කදෝකිමි ඇස් – 53

0
3409
කදෝකිමි ඇස්

“ඔයයි ආරණ්‍යායි කියන්නේ වෙනම මිනිස්සු දෙන්නෙක්ට..නේද?”

ඇය එසේ අසද්දී මේඝ හිස සැලී ය.ඔහු ද ආරණ්‍යා ද වෙනම චරිත බව සැබෑවකි.නමුත් ඔවුන්ගේ වර්තමානයට දෙමාපියන්ගේ අතීතය සම්බන්ධ නොවන බව කිව හැකිදැයි මේඝට සිතෙයි.

“ඒ වුණට මම හිතනවා දරුවො ළඟ දෙමව්පියන්ගෙ ගතිගුණ ටිකක් හරි තියනවා කියලා.බොහොම හොඳ දෙමාපියන්ට නරකම නරක ළමයින් ඉන්නවා තමයි පුතා.කිසිම ගුණයහපත් කමක් නැති මිනිස්සුන්ට බෝධිසත්ව ගුණ තියෙන දරුවෝ ලැබෙනවා තමයි.ඒ උනාට දරුවෝ ලඟ දෙමාපියන්ගේ ගතිගුණ තියෙනවා.එයාල සමාජයෙන් ගන්න සමහර දේවල් නිසා ඒවා වෙනස් වෙනවා.ඔයා ඇතුළෙ මහේන්ව සෑහෙන ප්‍රමාණයකට ඇති.මගේ දුව ඇතුලෙත් මගේ ගතිගුණ ඕනවටත් වඩා තියෙනවා.”

මේකලා මේ කියන්නට සැරසෙන්නේ නොපෑහෙන ගතිගුණ සහිත යුවලකට එතරම් දුරක් යා නොහැකි බව ද යන්න මේඝට නොපැහැදිලි ය.ඔහු ගැස්මකින් මේකලා දෙස බලා සිටියා ය.

“මගේ තාත්තා ඇරුණහම මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු පිරිමියා කවුද කියලා මම පුතාට කියන්නේ නැහැ.මගේ තාත්තා ඇරෙන්න මම මේ ලෝකෙ දැකපු හොඳම පිරිමි කීප දෙනෙක් ඉන්නවා.මගේ මහත්තයා,මගේ පුතා,මෝක්ෂ වගේම තව එක්කෙනෙක්.මෝක්ෂ මගේ දුවට කසාද බන්දන්න මමයි බිනරියි කැමති වුණත් ඒ ළමයි දෙන්නා ඒකට කැමති වෙන් නෑ.මෝක්ෂගේ වචනවලින්ම කියනවනම් ඒක සිංහබාහුයි සිංහ සීවලියි කසාද බැන්දා වගේ වැඩක්.මම දන්න අනිත් හොඳ මනුස්සයා ඔයාගේ තාත්තා.ඔයාගේ තාත්තට මම වෛර කරන්නෙ නැත්තෙත් අපි වෙන් වුණු හේතු පැත්තකින් තිබ්බාම එයා ගොඩක් හොඳ මනුස්සයෙක් නිසා..”

මේඝ ඒ වදන් අසා හුන්නේ හැඟීම්බරවය.තාත්තා ද මේකලා ගැන තවමත් කතා කරන්නේ කුඩා දැරියකගේ මට්ටමෙන් බව ඔහුට සිතුණු වාර අනන්ත ය.ඒ බැඳීම බිඳී ගිය මුත් පැරණි ප්‍රේම නගරයේ නටබුන් ඔවුන් තවමත් දරා හිඳියි.

“ඔයා තාත්ත වගේ නම් මම කැමතියි පුතා.ඔයා තාත්තගේ ගතිගුණ තියෙන ළමයෙක් නම් මගේ දුවව දෙන්න ඊට වඩා හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් නැහැ.”

මේකලා එසේ පවසද්දී මේඝට හැඬෙන්නට ආ තරම් ය.තාත්තාට තවමත් ඈ ආදරයෙනි.ඇය පෙම්වතියගේ මව නොවී තමන්ගේම අම්මා කරන්නට දෛවයට හැකි වූවානම් යැයි මේඝට සිතෙන්නට වූයේ ඒ මොහොතේ ය.

“මම ඔයාලගේ සම්බන්දෙට කැමති.ඔයයි මගේ දුවයි ඒ සම්බන්දෙ ගෙනියන තරම් දුර ඔයාලත් එක්ක ඉන්න මම පොරොන්දු වෙනවා.”

මේකලා එසේ කියා මේඝ දෙස බලා හුන්නේ ආදරය වෑහෙන දෑසකිනි.සඳරැස්ට තරමටම ඔහු වෙනුවෙන් ද ආදරයක් හදවතෙහි ජනිත වෙමින් පවතින බව ඇයට දැනෙයි.

“මගේ නොවිච්ච මගේ පුතෙකුත් මේ අහස යට ජීවත් වෙනවා කියලා හිතන එකත් එක විදියක සැනසිල්ලක්.”

කුඩා මෝක්ෂ නළවමින් හුන් මොහොතක බිනරිට එසේ කී අතීත දවසක් ඇයට සිහිව ඒ.මේඝ නොදැක සිටිය ද ඔහුගේ රූපය මවා ගත් දවස් මේකලාට ඕනෑතරම් තිබේ.ඇගේ වන්නට තිබූ ඒ කුඩා රූපයට හිමිකම් කියන්නට නොහැකි හිමිකමක් තමන්ටත් ඇති බව ඇය මුමුණා ගත් දවසක් ඕනෑතරම් ය.මහේන්ට වැනි හද සනසන මුදු බැල්මක් ද නොපරදින්නට කැමති ආත්ම විශ්වාසයක් සහිත ද ඔහු වැඩෙනු ඇතැයි ඇය සිහින දුටුවා ය.

“මම සඳරැස්ටයි මේඝටයි තරමට ඔයාටත් ආදරේ කරන්න ඇති.මට එහෙම හිතෙනවා..”

මේඝ ඉතා කුඩා දරුවෙකු කාලයේ පටන් ඇයට ආදරය කළේ ය.ඒ මේ කිසිත් නොදැන ය.සිංහල භාෂාවට ඔහුගේ ඇල්ම වැඩි කළ ලේඛිකාව ඇය නිසා ය.නමුත් එක දවසක් මේකලා ආන්ටිට එතරම් ලස්සනට ලියන්නට හැකි වීම ගැන පුදුම වෙද්දී තාත්තා පැවසූ කාරණාව ඔහුට මතක ය.

“ලස්සනට හිතන මිනිස්සුන්ට ලස්සනට ලියන්න පුලුවන්..”

ඒ සුන්දර අදහස් ඇති ගැහැනිය දෙස බලමින් මේඝ ඔහුට කියන්නට ඇති අනිත් කතාව කියන්නට සිතී ය.

“මගෙයි ආරණ්‍යාගෙයි සම්බන්දෙටත් කැමති නම් මෝක්ෂටයි සඳරැස්ටයි තරමටම මටත් මාව නොදැකම ආදරේ කරානම් මං තවදුරටත් ආන්ටිට ආන්ටි කියන එක කැත වැඩක්..”

ලක්ෂිට ජීවත් වීමට ඇති දින ඉතා වේගයෙන් ගෙවී යාම ගැන ද මේඝට වේදනාවක් නොතිබුණා නොවේ.නමුත් ඔහු මේ පැවසුවේ ඔහුට මේ මොහොතේ වඩා තදින් දැනුණු සිතුවිල්ල ය.

“මම අම්මාට අම්මේ කියලා කතා කරන්නද?”

ඒ ඉල්ලීම නැඟෙන්නේ දියණියගේ පෙම්වතාගෙන් වූවානම් මේකලා එතරම් සංවේදි නොවන්නට ඉඩ තිබිණ.නමුත් ඒ ඉල්ලීම පැමිණියේ ඉතා හිරිමල් කෙල්ලක කාලයේ ඇගේ සිහින අතර සිටි මේඝගෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here