නිලැසි – 28

“ආදරේට සීමා අඳින්නත් අපිට බෑනෙ දිගැසි.නිලැසි අක්කගෙ පැත්තෙනුත් මොකක්ම හරි කතාවක් ඇති..”

නිලැසි හන්දා හිත රිද්දාගෙන පාරාගෙන හුන් දිගැසිට එසේ කී දුලාජ් ඇගේ නෙත් අගිස්සෙන් රූරා ආ කඳුලක් ප්‍රවේසමෙන් පිස දැම්මේ ය.දවස් කිහිපයකට වතාවක් මුණ ගැසෙන පෙම්වතාගේ උරහිසේ හිස ගසා ගත් දිගැසි නිසොල්මන් තත්පර කිහිපයක් ගෙවා දැම්මා ය.

“එයාගේ පැත්තෙන් කතා නෑ දුලාජ්.එයාට කතාවක් තියනවනම් එයා ඒ කතාව ලස්සනට ලියා ගන්න ඕන.එයාට කිසිම අයිතියක් නෑ තිසරු අයියව රිද්දන්න..”

දිගැසි එසේ කියා කුණාටුවකට සම සුසුමක් හෙළුවා ය.දුලාජ් ඇගේ හිස පිරිමදිමින් නිහඬව අසා හුන්නේ ය.නිලැසි මේවා නිම්න සමඟ කතා කරන්නට පැකිලෙන්නේ ඔහු ඒවා අසා දුකටත් කෝපයටත් පත් වන නිසා ය.එසේම දකින සහ දන්නා කිසිවක් අම්මා සමඟ හෝ තාත්තා සමඟ කතා කරන්නට ඇය අකමැති ය.ඒ ඔවුන්ව පීඩාවට සහ ශෝකයට පත් කරන්නට ඇති අකමැත්ත නිසා ය.නිලැසිට මේ කාරණාව බෙදා ගන්නට සිටින හොඳම සහ එකම පුද්ගලයා දුලාජ් පමණකි.

“මම හැමෝටම ආයේ ආයේම කියන්නේ,අක්කට දුලාජ් අයියා ආදරේ බව අපිට පේනව.ඒ මනුස්සයා නරක මනුස්සයෙක් නෙවෙයි කියලත් අපි දන්නව.ඒත් අක්කට ඒක දැනෙන හැටි වෙනස්නම් එයාට අයිතිය තියනවනෙ තිසරු අයියගෙන් ඩිවෝස් වෙන්න,ඇයි අක්කට ඒක නිවැරදිව ලස්සනට කරන්න බැරි?”

දිගැසි එසේ පවසා එකිනෙක පෙරළෙන මුහුදු රළ දෙස බලමින් කාලය මොහොතක් ගෙවා දැම්මා ය.ඇය හා පැමිණෙන සුපුරුදු අවන්හලේ ගත කරන මේ සුළු කාලය දුලාජ්ට රෝහලේ දී ඇතිවන සියළුම මානසික කම්පන ද ශාරීරික වෙහෙස ද නැති කරන කාලයක් වූයේ නිලැසිගේ අසම්මත ප්‍රේමය ඇති වන්නට පෙර ය.දැන් දිගැසි දුලාජ් හා පවසන වචන සියයකින් අනූ නවයක්ම නිලැසිගේ කතාවට වෙන්ව තිබිණ.

“මිනිස්සු රිලේෂන්ශිප් ඇතුළේ අපහසුවෙන් ඉන්න ඕන නෑ දිගැසි.ඒක ඇත්ත.මම මෙඩිකල් කොලේජ් ඉන්න කාලේ වගේම හොස්පිටල් එකේදි වුණත් දැක්ක ගොඩක් මානසික ප්‍රශ්න මිනිස්සුන්ට ආවේ සම්බන්ධතා නිසා.කිසිම සම්බන්ධයක් වැරදි නෑ.ඒත් අපි සමහර වෙලාවට කරන සමහර දේවල් ඇත්තටම වැරදි.නිලැසිට තිසරු එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕන නැත්නම් එයා ඒක කෙලින් කතා කරන්න ඕන..”

දුලාජ් කතාවේ ගැඹුරුම තැන කියන්නට පෙර කෝපි උගුරක් පානය කළේ ය.දිගැසි කිසිවක්ම කන්නට බොන්නටවත් උනන්දුවක් නොදක්වා ඔහේ හිඳින්නී ය.ඔවුන් පසුකර යන කවරෙකුට වුවත් මේ යුවල කුමක් හෝ විසඳා ගත නොහැකි ගැටලුවකින් පීඩා විඳින වැටහෙන්නට එක් බැල්මක් ප්‍රමාණවත් ය.

“ඒත් නිලැසිට ඕක කවදාවත් එළියට පේන්න අරන් එන්න එරන්ද ඉඩ දෙන් නෑ.ඒ නිසා වැදගත් විදියට තිසරුගෙන් වෙන් වීම නිලැසිට හීනයක්..”

එරන්ද වැනි තරුණයන් විවාහක ගැහැනුන් විෂයෙහි ප්‍රේමයෙන් බැඳෙන්නේ විවාහයක් හෝ සැබෑ ප්‍රේමයක් අපේක්ෂාවෙන් නොවන බව නිලැසි නොදන්නාකම මේ අර්බුදය හට ගන්නට ප්‍රධාන හේතුව බව දුලාජ් පැවසී ය.
ඔවුන්ට මුදල් ඉපයීමේ සරලම මාර්ගය වන්නේ ආදරය ය.නිලැසි වැන්නියන්ගෙන් ඒ ඉපයීම සපුරා ගන්නා එරන්ද වැනි මිනිසුන් පිළිල වලට සමාන බව දුලාජ් පැවසුවේ කලකිරීම මුසු හඬකිනි.

“මේවා මහ සංකීර්ණ කතා දිගැසි.ඇත්තටම ඉතින් නිලැසිගෙත් මොකක්ම හරි දුර්වලකමක් ඔය මනුස්සයා ටාගට් කරන්න ඇති.ඒකයි ඕකට මුල..”

නිලැසි අවධානය ඕනෑවටත් වඩා සොයන්නියක වීම ද ආදරය සම්බන්ධයෙන් වහා තීරණ ගැනීම ද මෙයට හේතු වන්නට ඇතැයි දිගැසි අනුමාන කළා ය.

“ඒත් අක්කත් බබෙක් නෙවේ දුලාජ්..”

නිලැසි හිඳින්නේ රැවටෙමින් පමණක් නොවේ.රැවටීමක් සිදු කරමිනි.මේ උමතු ප්‍රේමය ගැන සත්‍යය අවබෝධ කර නොගතහොත් ඒ රැවටීම් සියල්ලෙන්ම අනතුරේ වැටෙන්නේ ඇය බව දිගැසි සිතුවේ ශෝකයෙනි.

“අක්කව මේකෙන් ගලව ගන්න උත්සාහ කරමු..”

දුලාජ් එසේ කීවේ දිගැසිගේ හිත හදන්නට ය.

“ඔව්,හැබැයි අක්කා තිසරු අයියගෙන් අයින් වෙන්නත් ඕන.සමාව දීලා ඉන්න අරින්න තිබුණා අක්කා මුලින්ම වැරැද්ද තේරුම් ගත්තනම්.ඒත් එයා තිසරු අයියව දැන දැන රැවැට්ටුවා..එහෙම එකේ ආපහු එයාට අවස්ථා දෙන්න ගියොත් මේ වැඩෙන් අසාධාරණයකට ලක් වුණේ තිසරු අයියා දෙනව.එරන්ද තව කාටහරි ඇමක් දායි.අක්කටත් හිතුණොත් එරන්ද වගේ වෙන අවතාරෙකට අහු වෙයි.ඒත් එරන්ද අයියා බෙංගාල බොක්ක නෙවේනෙ..”

දිගැසි කලකිරීම පිරුණු කටහඬින් පැවසී ය.සරසවියේ සිටි කාලයේ පටන් සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන ඇය තරයේ අදහන කාරණාවක් තිබේ. ඒ ගැහැනියකට පිරිමියෙකු වංචාවක් කරද්දී ඈ වෙනුවෙන් පෙනී ඉන්නා මිනිසුන් පිරිමියෙකු රැවටීමට අසු වෙද්දී ඔහු වෙනුවෙන් ද පෙනී සිටි යුතු බව ය.
මිනිසත්කම වෙනුවෙන් සාධාරණත්වය ඉටු වන්නට ගැහැනු පිරිමි භේදයක් නැති බව ඇය තරයේ විශ්වාස කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles