මා හද මට නැති විට- 06

“එයාගේ වොයිස් එකනම් මාර ලස්සනයි”

තේජ කියන්නේ අවංක හඬකිනි. පැහැදිලි හඬ සහ හැඟීම් ප්‍රකාශනය ගුවන් විදුලි නිවේදිකාවකට අත්‍යවශ්‍ය බව ඔහුට සිතේ. ෆේස්බුක් විහිළු පිටුවකින් හොයා ගන්නා ග්‍රාම්‍ය විහිළුවක් කරමින් ලතෝනි සිනා නඟන නිවේදිකාවන් හන්දා ඔහු ලංකාවේ ගුවන් විදුලි නාලිකා අහන්නේම නැත.

“ලාවි ටීවී ප්‍රෝග්‍රෑම් කීපෙකුත් කරනවා. එකක් කාන්තා වැඩසටහනක්. අනික සාහිත්‍ය වැඩසටහනක්. ඔය දෙකම ඔයාගේ රේඩාර් වලට අහු නොවෙන හන්දා ඔයා එයාව දන්නේ නෑ.”

තේජ මිතුරිය දෙස බලා හිනැහිණ. පුදුම කිරීම ඇත්තේ ඔහු සතුව ය.

“ඔයාගේ යාළුවා සුදු කෙට්ටු ගර්ල් කෙනෙක්. එයා හිනා වෙනකොට ඩිම්පල් එකක් තියනව. අඬන්න ළං වුණු ඇස් දෙකක් තියනව. අම්මා එක්ක ගෙදර ඉන්නේ. ලාවන්‍යා නේද නම?”

අනුත්තරා උඩ ගොස් බිම වැටුණා ය. අනිත් කතන්දරය මිතුරියට ඇත්තේ හඬන්නට ළං වූ දෑසක් බව ඇය මෙතුවක් කාලයකට සිතා සිටියේ නැත. තේජ ඇයව කොහෙන් හෝ දකින්නට ඇති බවක් අනුත්තරා සිතා ගත්තා ය.

“මං ඔයාව ලාවන්‍යාගෙ ගෙදරට දාන්නං. පාර කියන්නෝන නෑ.”

අනුත්තරාට පුදුමයෙන් මුව අයාගෙන සිටින්නට තේජ ඉඩ තැබුවේ නැත. උස් සිනාවක් සමඟ ඔහු රහස හෙළි කළේ ය.

“මගේ අලුත් ගෙදර ඉස්සරහනෙ ලාවන්‍යා ඉන්නේ. මං ඊයේ රෑ තිස්සෙ එයා එක්ක හොස්පිටල් හිටියේ. ආන්ටි අරන් ගිහින්.”

එවර සිනාව බෝ වූයේ අනුත්තරාට ය.ඇය තොරක් නැතුව සිනාවෙන්නට වූවා ය. ලාවන්‍යා වැඩසටහනෙහි ශශිකා නිසංසලාගේ “ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ” වාදනය වෙන්නට ඉඩ හැර තිබිණි. එය අවසන් වන තුරුම ලාවන්‍යා දුරකථනය මත මොන මොනවාදෝ ලියමින් හිනැහුණා ය.

“මං මිනිසුන්ට උදව් කරන්නේ නැති මනුස්සයෙක් වගේනෙ ඕයි තමුසෙ හිනා වෙන්නෙ”

තේජ කියන්නේ තරහිනි. ඔහුගේ තරහ අනුත්තරාට වැදගත් නැත. ඇය වට්ස් ඇප් සමඟ කාර්යබහුල වී සිටියා ය. මේ මොනයම් හෝ සරදම තමන්ට ය. නමුත් ලාවන්‍යා මේ මොහොතේ රාජකාරියේ ය. අනුත්තරට ලාවන්‍යා ගේට්ටුවට හැරලවන්නට ආ අනෙක් යුවතිය සිහි විණ. කෙල්ලන්ට මේවා බොහෝ රසවත් මාතෘකා ය.

“හදිසියේ මතුවූ දේවදූතයා කවුද කියලා අපි පුදුම උවමනාවකින් හොයල බැලුවා. මං දැනන් හිටියේ නෑනෙ මං ඔෆිස් එකේ දි නාන නාන වාරයක් ගානේ සබන් හොයල දෙන මනුස්සයා මගේ යාලුවටත් උදව් කරන්න අරන් කියලා.”

අනුත්තරා ඊර්ෂ්‍යාවෙන්දැයි තේජ සිතී ය. නමුත් ඇය ප්‍රේමය වැනි මාතෘකා කෙරෙහි ඔහුට නොගැලපේ. ඔහුට ඕනෑ කරන්නේ ගැහැනු ගුණයෙන් පිරී ගිය කෙල්ලකි. අනුත්තරාට වැඩිපුර ඇත්තේ කොල්ලන්ගේ ගතිගුණ ය. 

“තමුසෙට ඉරිසියයිද?”

තේජ කෙලින්ම අහන්නට සිතුවේ ය. එවර අනුත්තරා ඔහුගේ උරහිසට පහරක් එල්ල කළා ය. 

“අනේ වැඩේමනෙ. අපි ඔයා ගැන දැනගත්තේ ඊයේ රෑ. ඉස්සරහ ගෙදර අයියා කවුද බලාගන්න අපි පුදුම උවමනාවකින් හිටියේ. ඇත්තටම ඇත්ත කිව්වොත් මං මේ යන්නෙත් අනෝජම්මා බලන්න නෙවෙයි. තමුසෙව බලන්න.”

ලාවන්‍යා ගැන සහමුලින්ම විස්තර දැනගැනීම දැන් මාර්ගයක් ඇති බව තේජ දනියි. අනිත් අතට දවසක් පුරා කෙල්ලන්ගේ චැට් ගෲපයක මාතෘකාවක් වෙනවා කියන්නේම යමක් සිදු වී ඇති හැඩකි. ඔහු ලාවන්‍යාගේ ඊළඟ ගීත තෝරා ගැනීම මුමුණමින් රිය ධාවනය කළේ ය. අහන්නට ප්‍රශ්න ඕනෑතරම් තිබේ. නමුත් අනුත්තරා සමග ගනුදෙනු කිරීම ද ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වැඩකි. සමහරුන්ගේ පෞද්ගලික විස්තර ඔවුන්ගෙන්ම අසා දැන ගැනීම පහසු ය. නමුත් අනුත්තරාගෙන් ඒවා විමසීම ගලෙන් පට්ට ගන්නා වැඩකි. ඇය කෙනෙකුගේ පෞද්ගලිකත්වය ඒ තරමට සුරකින්නට වග බලා ගනියි.

“ලාවන්‍යායි ආන්ටියි විතර ද ගෙදර ඉන්නේ?”

එක් අක්කා කෙනෙකු විවාහ වී සැමියාගේ නිවසේ බවත් පොඩි අක්කා විදේශගත වී ඇති බවත් අනුත්තරා පැවසී ය.

“අංකල් නැති වුණේ අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේ ඉන්නකොට. අර ඉස්කෝලේ කහ ඉරක් උඩ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව බස් එකකින් යට කරපු කතාව මටකද? ඒ කාලේ නිව්සවලට පට්ට ගහපු කතාවක්.”

ඇගේ තාත්තා නැති බව අම්මා අසනීප වන බව අක්කලාගේ විත්ති දැනටමත් ඉන්ද්‍රා ආන්ටිගෙන් දැනගෙන අවසන් ය. එහෙත් ලාවන්‍යා සතුව ඊට වඩා කතාවක් තිබේ.

“ඔයා කෑගල්ලෙනෙ”

ලාවන්‍යාගේ ගම ද ඒ පලාතේ බව අනුත්තරා පැවසී ය. ඇය කොළඹ නිවසක්‍ රැගෙන හිඳින්නේ රැකියාවටම යැයි ඔහුට නොසිතේ. ඉෂාර අම්මාට රවමින් සඟවන කතාව දැනගන්නට තේජට උවමනා ය.

“ඉන්ද්‍රා ආන්ටි කිව්ව ලාවන්‍යා මොනවද පෙති ජාතියක් බීපු කතාවක්.”

තේජට ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය. ඔහු එහෙම පැවසුවේ සමගි මාවතට පිවිසෙන අතර ය. දැන් මේ කතාව හාරාවුස්සා බලන්නටනම් කාලයක් නොවේ. එහෙත් අනුත්තරා සුපුරුදු ලෙස කෝප ගත්තා ය. ඇය ආසන පටිය ඉවත් කළේම රවමිනි. ඒ තමන්ට ද ඉන්ද්‍රා ආන්ටිටදැයි තේජ නොදනියි. නමුත් ඔහු අනුත්තරා දෙස බලා සිටියේ ය.

“මේ ලෝකේ ඉන්න තරමක් ඉන්නේ කෙල්ලන්ගෙ හිත් ගිනි තියලා දාන පිරිමිනෙ. එහෙම එකේ දිවි නහගන්නවට වඩා මොනවා කරන්නද කියලා කෙල්ලො හිතන තැන් එනවා. “

කෙල්ලන්ගේ හිත් ගිනි තියන පිරිමි ගැන කතාවට තමන්ගේ හිත රිදුණේ ඇයිදැයි තේජ සිතී ය. සැක ඇති තැනට රිදෙන කතාවක් කියන්නේ අම්මා ය. ඔහු තමන්ගේ රහස් පෙට්ටගමට තව අගුලක් යොදන්නට සිතුවේ ය.

“කොල්ලා එක්ක අවුලක් ගියාද? පව්.”

ලාවන්‍යාගේ නිවසේ ගේට්ටුව අසල රිය නවතන ගමන් තේජ එහෙම කියන්නට වග බලා ගත්තේ ය. තේජට සුබ රැයක් පතා වාහනයේ දොර ඇරගත් අනුත්තරා තත්පරයක් නිහඬව සිටියා ය. අනතුරුව බෝම්බයක් මුදා හැරියා ය.

“කොල්ලා නෙවෙයි, කසාද මිනිහා. මේ ගේත් උගෙ එකක්. අර මිදුලෙ ඉන්න නිල් පාට ටී ෂර්ට් එක පේනවද? ඒ තමයි ලාවිගේ ලෝයර්. අපේ පාරමී”

පාරමී උසාවිය පටන් ගන්නේ දැන් වග සිතමින් අනුත්තරා තේජට සමු දුන්නා ය. සේතුපතිට අපහාස කිරීම ගැන සෙනුරිව වෙනම අල්ලා ගත යුතු වේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles