“මොකද ලොක්කි තනියම ආවේ?”
අම්මා අක්කාගෙන් එහෙම ඇහුවේ අක්කා ටැක්සියට සල්ලි ගෙවලා ඉවර වෙන්නත් කලින්.අක්කා මොකුත්ම නොකියා චූටි දුව වඩාගෙන ගෙට ගොඩ වුණා.
“මං ටික දවසක් ඉන්න ආවේ.”
අක්කා එහෙම කියලා පුටුවකට වැටෙනකොටම මං දැක්කේ අක්කගෙ නළලේ තියන ප්ලාස්ටර් එක.මම අක්කා ළඟින් වාඩි වුණේ ඒ ගැන අහන්න.එහෙම ලොකු ප්ලාස්ටරයක් නිකං ඕන වෙන්නේ නෑ කියලා හිතන ගමන් මම අක්කා දිහා පරිස්සමින් බලාගෙන හිටියේ ඒකට හේතුව අහන්න.
“ඔලුව මොකක් වුණාද අක්කේ?”
අක්කාට කලින් කතා කරේ චූටි දූ.එයා එයාගේ ඇස් පුලුවන් තරම් ලොකු කරලා අපිට උත්තර දුන්නා.
“තාත්ති අම්මිගෙ ඔලුව ඌවා වෙන්නම ගැහුවා.”
අම්මා අක්කා දිහා බැලුවේ කලබලයෙන්.මේ දේවල් පොඩි ළමයෙක් කියන්න ඕන නෑ කියලා හිතුණු නිසාම අපේ අයියාගේ බිරිඳ කසුනි අක්කා දූවත් අරගෙන යන්න ගියේ දුවගෙ ඔළුව හොඳටම අවුල් වෙලා කියලා කසුනි අක්කට හිතුණු නිසා වෙන්න ඇති.අක්කා දූවත් අරන් යන්න ගියාම මමත් අම්මත් ලොක්කිට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා.ඉසුරු අයියා ඔලුව පැලෙන්න ගහපු හැටිත් අනෙක් තුවාලත් ගැන අක්කා කියන්නේ අඬන ගමන්.මටත් අම්මටත් අහන්න ප්‍රශ්න දෙකක් මතු වුණා.අම්මා තමයි ඉස්සර වුණේ.
“ඔයා මොනවද කරේ? ඒ මනුස්සයට ඔච්චර කේන්ති යන්න..”
ඔලුවේ ලේ පෙරාගෙන ඉන්න ෆොටෝස් කීපයක් අක්කා පෙන්නන අතර අම්මා එහෙම ඇහුවම මට ආවේ පුදුමයක්.එහෙම අහන එකට කලින් අක්කාගෙන් අහන්න මොනතරම් ප්‍රශ්න තියනවද? ඒත් අම්මා කරේ අක්කගෙන් වුණු වරද හොයන එක.
“ඉවසන්නේ නැතිකමේ ප්‍රශ්න..”
එහෙම කියමින් අම්මා අක්කට දොස් පවරන්න පටන් ගත්තා.ඉසුරු අයියාගේ වෙන සම්බන්ධයක් ගැන අහපු අක්කට ඔලුව පැලෙන්න ගහපු අක්කා වැරදි වෙලා ඉසුරු අයියා නිවැරදි වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ.ඒත් අම්මා එහෙම නිගමනයකට ඇවිල්ලා හිටියා.
“නංගි ආපහු යන්න එපා.ඩිවෝස් කේස් එකක් දාමු.”
කසුනි අක්කා රෑට උයන ගමන් කියනකොට අම්මා කසුනි අක්කා දිහා බැලුවේ මුහුණ කොරහක් කරගෙන.දික්කසාදයක් ගෑනියෙක්ට මොනතරම් කැළැලක් ද කියන්න අම්මා සෑහෙන වෙලාවක් වැය කළා.කසුනි අක්කා මොකුත් නොකියා උයමන් අරගෙන ගියත් අම්මාගේ දේශනය නතර වුණේ නැහැ.
“පිට ගෑනු කියන ඒවා අහන්න එපා ළමයො.දික්කසාද වෙලා මොනවා කරන්නද?”
අම්මා අක්කට කියන්නේ තරවටුවකින්.ලේ හෙලවන්න ගහපු මිනිහෙක්ව අම්මා සුද්ධ කරනකොට තමන්ට තවත් මෙහෙ ඉන්න හිතක් නැති බවත් හෙට උදේ ම ආපහු යන බවත් අක්කා කියනකොට කසුනි අක්කත් අයියත් ඒ අදහස වෙනස් කරන්න පුලුවන් තරම් උත්සාහ කළා.නමුත් අක්කා ගෙදරින් ගියේ කලකිරීමකින්.ඇත්තටම තමන් විඳින වේදනාව තමන්ගෙම අම්මාට නොතේරෙනවානම් මොකටද තවත් විශ්වාසය තියන්නේ.අක්කා කිව්වෙම එහෙම.
“ඒ වුණාට ඔයා මෙහෙ ඉන්න නංගි..”
එහෙම අක්කට ඇවිටිලි කිරීම ගැන අයියත් කසුනි අක්කත් අම්මගෙන් බැනුම් ඇහුවට කසුනි අක්කා හිටියේ හරි බයකින්.අක්කා ඔය වගේ දේවල්වලට කලින් පුංචි පුංචි රණ්ඩු පටන් ගත්තු කාලෙම කසුනි අක්කා උපදේශනය වගේ දේවල් ගැන යෝජනා කළා.පිට මිනිස්සු පවුලේ දේවල් දන්නවද අහපු අම්මා කරේ අක්කලගෙ නඩුකාර උත්තමාවිය වෙච්ච එක.ඉසුරු අයියා ඒ වගෙ වෙලාවට පවුලේ උසාවියේ පෙනී හිටියේ බොහොම සන්සුන්ව.
“වින්ද්‍යා ඉවසනවනම් මේ ප්‍රශ්න ලොකු දේවල් නෙවෙයි..”
අක්කා වැරදිකාරි වෙමින් පවුලේ උසාවිය අවසන් වුණා.අක්කාට සාධාරණය ඉෂ්ට නොවී මේ දේවල් මෙහෙම වෙවී කොහොමද කියලා අපි හිතුවා.
කාලයත් ගෙවුණා.අක්කා අපිට කිසිම දෙයක් නොකියාම ගල් ගැහුණා.එක දවසක් ආපු හදිසි ඇමතුමක් සේරම වෙනස් කරනකම්ම අපි එහෙමම හිටියා!
“පොලිසියෙන් කතා කරන්නේ”
කසුනි අක්කා පපුවට අතක් තියාගෙන ඉඳගන්නා දර්ශනයේ ඉඳන් හැමදෙයක්ම මට අපහැදිලි.අපි අක්කලගෙ ගෙදරට ඉගිළුණු හැටි,ලේ විලක් මැද්දේ වැටිලා හිටිය අක්කා,පොලිස් කට උත්තර,කෑගහලා අඬන චූටි දු මේ හැම දෙයක්ම අපහැදිලි දර්ශන.
“තව ඉවසන්න.ගෑනු කියන්නේ ඉවසන අය..”
අම්මා කියපු ඒ වාක්‍යය තමයි මේ අපහැදිලි හැම දෙයකම ආරම්භය.මේ හැම දේකම ආරම්භය.ඉසුරු අයියා අක්කා මරලා දාන්න හිත හදාගත්තෙ කොහොමද කියලා මම කවදාවත් හිතන්නෙ නැහැ.
ඒත්,අක්කාගේ ජීවිතේ ගැළවෙන්න තිබ්බ හැම අවස්ථාවකම අම්මාගේ ඉවසීම පාඩම හරස් නොවුණනම්!! අක්කා මේ වගේ ගමනක් නොයන බව මට හොඳටම විශ්වාසයි.