තනිකම

“ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?”

අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන ගමන්.කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාමරේට එබිලා එහෙම අහපු අක්කා දිහා බලන්න ගිහින් ප්‍රශ්නෙත් අමතක වුණා කියලා කසුනිට හිතුණා.ඒ ප්‍රශ්න වගේයැ මේ ප්‍රශ්න.අක්කා හැමදාම ගෙදර එන්නේ ඔය කතාව අහගෙන.ඒ හැමදාම කසුනි කරන්නේ යන්තම් හිනාවෙලා අක්කාව මඟ අරින එක.

“තනියක් කොහෙද අනේ.මේ බලන්නකො තියන වැඩ ගොඩ.”

කසුනි කියන්නේ අක්කාගේ අවධානේ වෙනස් කරන්න හිතාගෙන.ඒත් අක්කා කසුනි ළඟින් ඉඳගන්නේ ඒ අවධානෙ පොඩ්ඩක්වත් වෙනස් නොකරන්න තීරණේ කරලා වගේ.අක්කා හැමදාම ඔහොම තමයි.දෙයක් හිතුවොත් හිතුවමයි.ඒ නිසා කසුනි මොනතරම් වැදගත් වැඩක හිටියත් මේ වෙලාවේ කරන්න ඕන අක්කා කියන දේ අහන එක.

“ඔයා ඔයා ගැන තීරණයක් ගන්නෝනෙ නංගි.ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ.ඒක අපිටත් වේදනාවක්.”

අක්කාගේ කටහඬ තීරණාත්මකයි.මේ තීරණයක් ගන්න කියන්නේ කසාදයක් ගැන.එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ කසාද බඳින්න බැහැ කියලා අක්කට නොතේරෙන්නේ ඇයි කියලා කසුනිට ඇත්තටම තේරෙන්නේ නෑ.ඒත් කොච්චර කිව්වත් අක්කා ඒ ගැන තේරුම් ගන්නෙත් නෑ.අම්මට තේරුම් ගන්න ඉඩ තියන්නෙත් නෑ.

“අක්කා,මං මම ගැන තීරණයක් අරන් ඉන්නෙ.මං රස්සාව කරගෙන ටියුෂන් ටිකකුත් කරගෙන ජීවත් වෙනවා.”

ඒත් ගෑනු ළමයෙකුට හැමදාම තනියම ඉන්න බෑ කියලා අක්කා කියන්නේ තරහින්.තනිකම වෙනුවට පවුල් වීම තෝරා ගන්න කියලා සෑහෙන දිග දේශනාවක් දුන්නු අක්කා සුව වෙමින් යන තුවාලයකට හීනි කෝට්ටකින් අනිමින් පාරන්න පටන් ගත්තේ ඊටපස්සෙ.

“අනිත් එක දැන් චතුරට ළමයෙකුත් ඉන්නවා.ඒ මනුස්සයා ඔයාව රවට්ටලා ගිහින් කසාද බැන්දා.දැන් දරු මල්ලො හදාගෙන යස අගේට ජීවත් වෙනවා.ඔයා එයාට පේන්න හොඳ කසාදයක් කරගන්න ඕන.”

කසාදයක් බඳින්න ඕන කාටවත් පේන්නද කියලා කසුනි හිතුවේ අක්කා තව බොහෝ දේවල් කියමින් ඉඳලා කාමරයෙන් එළියට ගියාට පස්සේ.ඇත්තටමනම් මේ හැමෝම කසුනිගේ විවාහය ගැන උනන්දු වෙන්නේ එකම එක හේතුවක් නිසා.

ඒ චතුරට රිද්දන්න!

කසුනිගේත් චතුරගේත් ආදරේ පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලෙමයි. විශ්ව විද්‍යාල දෙකකට සුදුසුකම් ලැබුවාට පස්සෙත් අවුරුදු කීපයක්ම ඒ ආදරය ගලාගෙන ගියා.ආදරෙන් ඉන්නවා කියන දේ ඒ සම්බන්ධෙ ඇතුළේ තියනවද කියන එක කසුනිට හිතෙන්න ගත්තේ කාලය ගලාගෙන යනකොට.සැකකිරීම් සහ මත ගැටුම් ඕනෑම ආදරයක් විනාශ කරනවා.මේ ආදර කතාවටත් ඒක පොදු සාධකයක් වෙනකොට සම්බන්ධය නවත්තන්න තීරණය කළේ චතුර.

“එහෙම කොහොමද එයා ඔයාව අතාරින්නේ?”

හැමෝම එහෙම අහනකොට කසුනිට හිතුණේ වෙනස් දෙයක්.එයා ඇයි බලහත්කාරෙන් මම ළඟ ඉන්නේ? අකමැත්තෙන් කෙනෙක්ට ආදරේ කරන්න බෑ කියලා කසුනිට තේරුම් ගිහින් තිබුණා.චතුර වෙන කෙනෙක් ළඟට යන්න ඇත්තේ එයාව කසුනිට වඩා දැනෙන නිසා වෙන්න ඇති.අවුරුදු ගාණක් නාස්ති වීම ගැන දොස් කියලා චතුරව බලහත්කාරයෙන් රඳවා ගැනීමෙන් වෙන සෙතක් නැති නිසා ආපහු දෙන්නව සමාදාන කරන්න කාටවත් ඉඩ නොදී ඉන්න තීරණය කළෙත් කසුනි.

“කාගෙද වැරැද්ද?”

එහෙම අහන අයට චතුර මොනවා කිව්වද කියන්න කසුනි දන්නේ නෑ.ඒත් කසුනි නම් හැමෝටම කිව්වේ දෙන්නම වැරදියි කියලා.චතුරට ඉවසීම අඩුයි. කසුනිගේ සැක කිරීම වැඩියි.ඉතින් එතකොට දෙන්නම වැරදියි.චතුර ඉක්මනින් විවාහයකට යද්දී පවා ඒ ගෑනු ළමයට කතා කරන්න කියලා කසුනිට හැමෝම කියන්න පටන් ගත්තා.

“ඒ කසාදෙ කඩලා දාල මට මොනවද ලැබෙන්නේ?”

කසුනි එහෙම කියලා නිහඬ වුණා.ඇත්තටම බලහත්කාරයෙන් චතුරව ලබා ගන්න බැරි බව ඇය තේරුම් අරන් හිටියේ.ඔහු ආයේම ලබා ගන්න උත්සාහ කරනවාට වඩා කසුනිට ඕනෑ වුණේ තමන්ව ගොඩ නඟා ගන්න.චතුරගෙන් තමන් මොනතරම් මානසිකව යැපිලාද කියලා තේරුම් ගියාම හිත සනීප වෙන්න බෙහෙත් අරගෙන තමන්ව ගොඩ නගා ගන්න කසුනි උත්සාහ කරා.

අක්කා මේ පාරන්නේ ඒ ගොඩ නැගෙමින් පවතින හිත.

චතුරට පේන්න කසාදයක් කරගන්න එක මොනතරම් අනුවණ වැඩක් ද කියන එක කසුනි හිතුවේ නිවී සැනසිල්ලේ.කාටවත් පේන්න සැනසීම හොයාගෙන තේරුමක් නෑ.අනාගතය ගොඩ නගා ගෙන තේරුමක් නෑ.ජීවිතය ගොඩ නගා ගන්න ඕනෑ තමන්ගේ සැනසීම වෙනුවෙන්.කසුනි එහෙම හිතමින් දිගටම තමන්ගේ වැඩේ කරන්න පටන් ගත්තා.අක්කා සාලයට වෙලා අම්මා එක්ක මංගල දැන්වීම් පිරික්සන හඬ ඇහෙනවා.කසුනි ඒ හඬ අහගෙන හිටියේ හිනාවකින්.අක්කා ආදරෙන් කරන දෙයක් නිසා විරුද්ධ වෙන්න නොහිතුණත් කසුනිට ඒ කටයුත්තට උල්පන්දම් දෙන්න හිතකුත් නෑ.

“තාම මට විසි නවයයිනෙ.සමහරවිට මට ආදරේ කරන්න,කසාද බඳින්න කෙනෙක් ලැබෙයි.ඒ නොලැබුණත් කමක් නෑ.මට මං ඉන්නවා.මං වෙනුවෙන් මං දේවල් කරනවා.ඒ නිසා මාව අක්කා හිතනවා වගේ තනි වෙන්නේ නෑ.”

අක්කාගෙත් අම්මාගෙත් කතාබහට ඔලුවට රිංගන්න නොදි ආයෙම තමන්ගේ වැඩේට හිත යොමන ගමන් කසුනි හිතුවේ සැනසීමෙන්.

More Stories

Don't Miss


Latest Articles