“මොකද පුතේ මේ දණ ගහගෙන..”
අමාලි එහෙම ඇහුවේ පාසල් කොරිඩෝවේ දණ ගහගෙන ඉන්න බිනුරිගෙන්.කාව්‍යා මොකුත් නොකියා ඔලුව උස්සලා බැලුවා.ඒ ඇස් කඳුළින් පෙඟිලා ගිහින්.ශාරීරික දඬුවම් දීමට තරයේම එරෙහි වෙන නිසා අමාලිට මේ නව යොවුන් කෙල්ල දණ ගහගෙන සිටීම ගැන දැනුණේ කම්පනයක්.
“හොද්දක් හැඳි නොගෑවොත් මොකද වෙන්නේ? කැටි ගැහෙනවා.ළමයිනුත් එච්චරයි.”
ජයන්ති මිස් ගුරු කාමරයෙදි එහෙම කියපු හැටි අමාලිට මතක් වෙනවා. ජයන්ති මිස් ගුරුවරියක් වෙලා අවුරුදු විසි ගාණක්.ඇය ඉතිහාසය උගන්වනකොට ළමයි නිදි කිරන්න පුරුදු වෙලා ඉන්න බව අමාලි දැනගත්තේ පත්වීම ගත්තු අලුතමයි.අමාලිගේ ගණන් පාඩම පවා මඟ නොඅරින කෙල්ලො රොත්ත ඉතිහාසය වෙලාවට සික් රූම් එකට,ලයිබ්‍රි එකට ආදී වශයෙන් රස්තියාදු ගහන්නේ දඬුවම් විඳින්න වුණත් ලෑස්තියෙන්.ජයන්ති මිස්ගේ ඉතිහාසය ඉගැන්වීම සදාචාරයෙන් අවසන් වෙන නිසාම කෙල්ලෝ රොත්තට ඒ පාඩම කල් කඳුරු බව අමාලිත් දන්නවා.
“ගවුම ඔච්චර කොට වෙලා පුලුවන්ද ළමයො?”
පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය පාලනේ මැද්දට ගවුමක් කඩා පාත් වෙනවා.ඊට පස්සේ නැහැදීම ගැන පාඩම පටන් ගන්න ජයන්ති මිස් වග බලා ගන්නවා. මඟුල් විසේ ඔළුවට ගහන කෙල්ලන්ට හිල් වෙන්න ටොක්කක් අනින්න ජයන්ති මිස් හරිම මනාපයි.ජයන්ති මිස්ට අනුව ගවුමක් කොට වෙන්න,හෝම් වර්ක් අමතක වෙන්න,පීරියඩ්ස් හැදුණාම ඇඬෙන්න හේතුව කොල්ලෙක්.මඟුල් විසේ නැති කෙල්ලන්ට ඔය මොන ප්‍රශ්නයක්වත් නෑ.
“බිනරි මොකද පුතේ මේ..”
අමාලි ආයේම අහනකොට බිනරි ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා.දඬුවම දෙන්න ඇත්තේ ජයන්ති මිස් බව අමාලි දන්නවා.ඒත් එකොළහ සී පන්තියේ පන්ති බාර ගුරුවරිය හැටියට මේ ඇඬුමේ මුල හොයන්න තමන්ට වගකීමක් තියනවා කියලා අමාලිට හිතුණා.
“හෝම් වර්ක් අමතක වුණාද? එහෙම නැත්නම් රිබන් අමතක වුණාද?”
අමාලි මිස්ගේ හිනාව සුන්දරයි.ඇත්තටම සිද්ධ වෙලා තියන දේ කියන්න හිතුණත් බිනරිගේ වචනවලට වඩා කතා කරන්නේ කඳුළු.අමාලි තමන්ගේ ශිෂ්‍යාව නැගිට්ටවා ගත්තේ ආදරයෙන්.
“අපි ඉස්සරලම පන්තියට යමුකො..”
නම් ළකුණු කරලා ගණිත පාඩමට ගිය අමාලි මිස් බිනරිට ලැබුණු දඬුවම ගැන වචනයක්වත් කතා කළේ නැහැ.දරුවෙක් දඬුවමකින් ගලවා ගැනීමට පස්සේ දඬුවමට හේතු වුණු කාරණාවත් දැන ගන්න ඕන කියලා ඇය දන්නවා.ඒත් බිනරිගේ කඳුලු ඉහිච්ච මුහුණ දිහා බලාගෙන ඒ හේතුව හෙවීම පසුවට කල් දාන්න අමාලි තීරණය කළා.
“ආ..මෙන්න.රෝස පෙති වගයක්.”
ගුරු කාමරේදී අමාලි මිස් උඩගිහින් බිම වැටුණේ ජයන්ති මිස්ගේ හඬට.ජයන්ති මිස් අතේ වේලිච්ච රෝස පෙති වගයක්.මේ මොකද කියලා හිතන්න ඉඩ ලැබුණේ නෑ.ජයන්ති මිස් කතා කරන්න පටන් ගත්තේ ටකරමට බොරලු වැටෙන සද්දෙට.
“අර ඔයාගේ පන්තියේ ඉන්නේ බිනරි කියලා කෙල්ලක්.පොත්ත සුදු හින්දාද මන්දා පුදුම දැඟලිල්ලක් තියෙන්නේ.”
හැමෝම එක්ක හිනා වෙලා කතා කරන බිනරිට තියෙන්නේ හොඳ සමාජශීලි බවක් නොකියා අමාලි ඉවසීමෙන් වැඩිහිටි ගුරුවරියට කන් දුන්නා.ඒ සවන්දීම නිසා ජයන්ති මිස්ගේ කටේ සද්දෙත් වැඩි වුණු ගාණයි.බිනරි ඉතිහාස පාඩමට කොච්චර කම්මැලි ද බිනරි දවසක් ටියුෂන් යනගමන් පාරෙදි මුණ ගැහුණු විදිය,එදා ඇය ඩෙනිම් කලිසමක් ඇඳලා හිටි ආකාරය වගේ නුවුමනා ලට පටත් ජයන්ති මිස්ගේ කතාවට එකතු වෙනවා.
“ඔය රෝස මල මං ගත්තේ බිනරි ගාව තිබිලා.”
මේ මැයි මාසේ.පෙබරවාරිය වුණානම් ආදරවන්තයන්ගේ දවසේ නාමයෙන් රෝස මල අත්අඩංගුවට ගත්තා වෙන්න තිබ්බා.අමාලි කිසිවක්ම නොකියා ඉවසීමෙන් අහගෙන ඉන්නකොට ජයන්ති මිස්ගේ කියවීමේ වේගය ගණනය කරමින් හිටිය විද්‍යාව ටීච,සුරේනිට කතා කරන්න හිතුණා.සුරේනිගෙ පළමු පත්වීම ලැබිලා තාම මාස කීපයයි.දැරියන්ට මිතුරියක් වීමෙන් බොහෝ ගැටලු විසඳෙන බව සුරේනි දන්නවා.
“ඕක ඒ ළමයා ගේන්න ඇත්තේ මල් වාස් එකට දාන්න.පන්ති කාමරේ ප්‍රසන්න තැනක් කරගන්න ඕන කියලා අමාලි මිස් එයාලට කියනවා මං දවසක් අහගෙන.”
සුරේනි එහෙම කියනකොට ජයන්ති ඇය දිහා බැලුවේ සමච්චලෙන්.
“පන්තියෙ මල් වාස් එකට දාන්න ගෙනපු රෝස මලක් දිහා බලාගෙන අඬන්න ඕනද?”
ජයන්ති මිස්ට තවත් මොකුත්ම කියන්න නොදී අමාලි ඇය දිහා බලාගෙන හිටියේ තියුණු බැල්මකින්.ඊටත් පස්සෙ ඇය කතා කරන්න පටන් ගත්තා.
“බිනරිගෙ ආත්තම්මා නැති වෙලා මාස කීපයක්.අම්මා ඩොක්ට කෙනෙක් නිසා බිනරිව පුංචි කාලෙ ඉඳන් බලාගෙන තිබ්බෙ ආතම්මා.”
එහෙම කියලා හුස්මක් ගත්තු අමාලි රෝස මලේ පෙති එකතු කරගත්තේ සීරුවට.
“බිනරි ආත්තම්මගෙ සොහොනේ රෝස පැළයක් හිටවලා තියෙනවා.මේ ඒ ගහේ පළවෙනි මල..”
රෝස පෙති ටික කොළයක් මතට අරන් අමාලි නැගිට්ටේ එහෙම කියන ගමන්.
“අනේ..එයාට පෙති ටිකවත් දෙන්න අමාලි මිස්.පව්.”
ජයන්ති මිස් මොකුත් නොකියම පොත් එකතු කරගෙන නැගිටිනකොට අමාලිට ටිකක් සද්දෙන් දෙයක් කියන්න හිතුණා.
“රෝස පෙති ටිකනම් ඒ දරුවා වේලලා පරිස්සම් කරයි.ඒත් බිඳුණු හිත හැදෙන්න තව කොච්චර කාලයක් යාවිද? වැරැද්දක් නැතුවම වැරදිකාරියක් වෙන්න ඒ ළමයට සිද්ධ වුණේ හිත හොඳටෝම රිද්දගෙන තියෙන වෙලාවක.”
නව යොවුන් වියේදී බිඳෙන හිතක් ආයේ ගොඩ නැඟෙන්න මොනතරම් කාලයක් යනවද? අමාලිට ඒ ගැන දිගටම කතා කරන්න ඕනෑ වුණා.ඒත් ජයන්ති මිස් යන්න ගියේ හුළඟ වගේ වේගයෙන්.
“බිනරිට මේ මල් පෙති ටික දෙන්න ඕන..”
මල් පෙත්තක් වගේ සියුමැලි බිනරිගේ හිත යම් තරමකට හරි හදන්න හිතාගෙන අමාලිත් නැගිට්ටේ සුරේනිට ලා හිනාවක් පා කරන ගමන්.