පෙට්‍රල් පෝලිම

ස්කූටිය අරන් ස්වර්ණා ලහි ලහියේ පෙට්‍රල් පෝලිමට යන්න පිටත්වුණා.මේ ටිකේම සරත් වැඩ නිසා පෝලිමට යන්න වුනේ ස්වර්ණාට.පහුගිය ටිකේ නම් සරත් ස්කූටියට තෙල් ගහන වැඩේ දිගටම කල නිසා මේ ගමන ස්වර්ණාට තරමක් ආධුනික බවක් වගේම කිසියම් අපහසු මානසික හැඟීමකුත් ගෙන දුන්නා.ඒත් අනිද්දා ඉඳන් පුතාට ඕලෙවල් විබාගෙ.පෝලිමට කොල්ලව එක්කගෙන යන්නත් බැහැ පාඩම් කරන්න තියෙන නිසා.දුව ලමිස්සියක් නිසා කොහොමත් පෝලිම් ගානෙ රස්තියාදු කරමින් තියාගන්න ත් ස්වර්ණා කැමති නැහැ.දැනටමත් ඉලන්දාරි ගේ වටේ කැරකෙනවා.කෙල්ලට ඒවා ගැන කිසි උනන්දුවක් නැති බව ස්වර්ණා දන්නව වුණාට පරිස්සම කෝකටත් හොඳයි නෙ කියලා හිතුවෙ සහජ ඉවෙන්.ඒ නිසා ළමයි දෙන්නව මහ ගෙදරින් තියලා,පුතාටත් පාඩම් කරන්න කියලා,ඉස්සර ලෙඩ වෙලා දවසක් මහ ඉස්පිරිතාලෙ නවතින්න යද්දි දැනුනා වගේ හැඟීමක් එක්ක ස්වර්ණා පෝලිමට යන්න ලක ලැහැස්ති වුණා.

අම්මා පොඩි උණු වතුර බෝතලේකට තේ හදලා තිබ්බා.නෑනා පැටිස් පාර්සලයක් ලෑස්ති කරලා තිබ්බේ අහල පහල අයටත් දීලම කන්න එක්ක.දැනටමත් පැය පහක් හයක් තිස්සේ පෝලිමේ ඉන්න අයගෙන් නිව්ස් ආව විදියට තාම තෙල් බවුසරයක් එන බවට කිසිම ආරංචියක් නැහැ.එයාලා පාන්දර එකට විතර පෝලිමට ගිය අය.දැනටමත් වෙලාව අටයි.තමන් හොඳටම පරක්කු බව ස්වර්ණාගේ හිත කිව්වා.වැස්සොත් කුඩ,රේන් කෝට්,කෑම,කියවන්න පොතක්,ෆුල් චාජ් ෆෝන් එක,වතුර බෝතලයක් වගේ කලමණා ඔක්කොම නැවත චෙක් කරගත්ත ස්වර්ණා හැමෝටම එක බැල්මෙන් සමු දුන්නා.

ස්වර්ණා ස්වර්ණ වර්ණයෙන් දිදුලන ඉතාමත්ම රූමත් කාන්තාවක්.අවුරුදු පනහක් වුනත් අවුරුදු තිහක විතර පෙනුම නිසා පොඩි කොල්ලො පවා ස්වර්ණාගේ පස්සෙන් එන තත්වයක් තිබ්බෙ.ඒත් ස්වර්ණා යකඩ ගැහැනියක්.තමන්ගෙ රූපෙන් වශීවෙන අයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නැති කෙනෙක්.එහෙම ගත්ත නම් ස්කූටියක නෙවේ පැජරෝ එකක යන්නෙ කියලා පොඩ්ඩක් බිව්ව වෙලාවට සරත් යාලුවො එක්ක පාරම්බානවා ස්වර්ණාත් අහගෙන ඉන්නෙ ආඩම්බරෙන්.ඇත්තටම සරත් ස්වර්ණා ගැන ආඩම්බර වුණා වගේම විශ්වාස කරන බවත්,ආදරේ කරන බවත් දන්න නිසා ස්වර්ණා හරිම සතුටින් හිටියේ සම වයසේ තමන්ගෙ මිතුරියන්ගේ පවා ඊර්ෂ්‍යාවට බඳුන් වෙමින්.යාන වාහන,දේපල,දරුවන්ගේ කටයුතු ,මනුස්සයාගේ හැසිරීම් ගැන අඬවැඩියාවෙන් පිරිලා තිබ්බ ඔවුන්ගේ ලෝකයට කිසිම චෝදනාවක්,අඬවැඩියාවක් නැතිව සතුටින් ඉන්න ස්වර්ණාව එක්තරා ආකාරයකට මැජික් එකක් වෙන්නත් පටන් අරන් තිබුණෙ.ස්වර්ණා නම් ඒ ගැන කිසිම තැකීමක් කලේ නැහැ පවා කිසිම කෙනෙක්ට තමන්ගෙ ආරක්ෂක සීමා මායිම් වලින් ඔබ්බේ අතිශය පුද්ගලික ජීවිතේට අත තියන්න ඉඩ තිබ්බේ නැහැ.

ස්වර්ණා තෙල් පෝලිමට එකතු වෙද්දි සිහින් ගැස්මක් වගේ දෙයක් පෝලිම දිගේ ගලාගෙන ගියා.කෙල්ලො,ගෑණු දෙතුන් දෙනෙක් පෝලිමේ දැනටමත් හිටියා.පෝලිම සෑහෙන්න දිගක් තිබුණ වගේම තෙල් බවුසරය දැන් ආවත් තමන්ගෙ වාරෙ එන්න පැය දෙකක්වත් යයි කියලා ස්වර්ණා අනුමානයෙන් හිතුවා.ඉර අව්ව සැර නොවුන දවසක සිරිය අහස පලකරමින් තිබූ නිසා ජැකට් එක ගලවපු ස්වර්ණා සිය ස්වර්ණ ලාලිත්‍ය පෙන්වමින් පෝලිම අරා හිටියා.

පියතිස්ස හිටියේ පෝලිමේ මුල.ස්වර්ණාගේ ආගමනය ආරංචි වුණ පියතිස්සට පෝලිමේ කෙලවරට යන්න ඕන වුණත් කිලෝමීටරයක් විතර දුරක් යන්න වෙන බව මතක් වෙලා හිත අඳුරුවුණා.ස්වර්ණාව තෙල් පෝලිමට එවපු සරතා ගැන කෝපයක් හිතට ආවත් කාලෙකින් නොදුටු ඇයව එහෙම හරි බලා ගන්න පුලුවන් වෙච්ච එකත් කොච්චර දෙයක්ද කියලයි පියතිස්ස හිතුවෙ.තෙල් ගහගෙන ස්වර්නා පෝලිමේ ඉන්න හරියෙන් නැවතිලා පොඩ්ඩක් රවුමක් ගහලා යන්න බැරියැ කියලා පියතිස්ස හිතුවා.පියතිස්ස ස්වර්ණාට ලව් කරන්න ගත්තෙ ඉස්කෝලෙ පහේ පංතියෙ ඉඳන්.ඒත් කවදාවත් ඒක කියන්න අවස්තාවක් හෝ ස්වර්ණාට ලංවෙන්න අවස්තාවක් හෝ පියතිස්සට ආවෙ නැහැ.ස්වර්ණා නමය පංතිය වෙද්දිම සරත් එක්ක යාළුවුණ අතර බොහෝ දෙනෙක්ගෙ බලාපොරොත්තු සුන් කරමින් ඒ සම්බන්ධය විවාහය දක්වාම පැවතුණා.මොනව වුණත් ස්වර්ණා තෙල් පෝලිමේ වේලෙන එක ගැන පියතිස්සට දුකයි.පෝලිම් පන්නල ඉස්සරහට ගන්නත් බැහැ.මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි.පොඩි හෝ අසාධාරණ කමක් ඉවසන් හිටිය කාලෙ අහවරයි.අරගලේ කොල්ලො ඈත ගමක මිනිස් සිතිවිලි වලට ජීවයක් එකතු කරමින් හිටියා.අසාධාරණය වෙනුවෙන් නැගී හිටපල්ලා කියන පණිවිඩය වේගයෙන් පියඹලා ආවා.

පියතිස්සට නම් කන්න බොන්න අඳින්න ටික ,වෙලාවට තෙල් ගහගන්න වගේ පහසුකම් තියෙනවා නම් රටේ වෙන මුකුත් ප්‍රශ්නයක් පේන්නෙ නැහැ.නගර සබාවෙ කුණු ට්‍රක් එකේ රියදුරු විදියට නගර සීමාවෙ තියෙන කුණු එකතු කරන හැම ගෙදරකින්ම සල්ලි එකතු කරගැනීම පියතිස්සගෙ පුරුද්දක්.ඒක අල්ලසක් කියලා තාම කවුරුත් විරුද්ධ වෙලත් නැහැ.ඒ නිසා මාසෙකට පඩිය එක්ක බර ගානක් හොයා ගන්න වගේම රස්සාවට වඩා ඉහල පෙනුමක් තියෙන්න ගෙවල් දොරවල් හදන්න,යාන වාහන ගන්න පියතිස්සට මහලොකු කාලයක් ගියේ නැහැ.ආණ්ඩුවෙ ක්ලාක් කමක් කරන සරත් ස්වර්ණාව අරන් ස්කූටියෙ යද්දි පියතිස්සට හීල්ලුනේ කිසිම ලස්සනක් නැති තමන්ගෙ නෝනව මතක් වෙලා.කිසිම අඩුපාඩුවක් නැති තමන්ගෙ ජීවිතේ ස්වර්ණා වගේ ගෑනියක් හිටිය නම් ඉතින් දිව්‍යලෝකෙ වගේ වෙන්න තිබ්බ කියලයි පියතිස්සට හිතෙනෙ.හැබැයි මේ ගැන කිසිම ඉඟියක් ස්වර්ණා නම් දන්නේ නැහැ කියලා මතක් වෙද්දිත් පියතිස්සට එන්නෙ කණගාටුවක්.ස්වර්ණාට ලන්වෙන්න මීට වඩා ස්වර්ණ අවස්ථාවක් එන්නෙ නැහැ කියලා පියතිස්සට විශ්වාසයි.

පැයකට විතර පස්සෙ ආයෙමත් ඔත්තුව දුන්න යාළුවට කෝල් එකක් දුන්න පියතිස්ස ට ආරංචි වුනේ ස්වර්ණා පෝලිමේ අයට පැටිස් බෙදුවා කියලා.තවත් පරක්කු වෙන්න හොඳ නැහැ කියලා හිතුන පියතිස්ස බයික් එක ලඟ ඉන්න කෙනෙක්ට පවරලා පෝලිමේ අග හරියට යන්න පටන් ගත්තෙ ස්වර්ණාව පොලිමේ මුලට ගන්න විදියක් කල්පනා කරමින්.

පියතිස්සට පයින් ගියපු කාලයක් මතක නැහැ.මීටර් සීයක් විතර යද්දි හති එන්නත් දෙසීයක් විතර යද්දි පපුව පොඩ්ඩක් රිදෙනව වගේ දැනෙන්නත් ගත්තත් පියතිස්ස දිගටම ඇවිදගෙන ගියේ ඉක්මනින්ම ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන හිතමින්.අඩි දෙකක් ඇවිදගන්න බැරි තමන්ගෙ ශරීරෙ ගැන කලකිරීමක් එක්ක වුනත් ස්වර්ණාට කිට්ටු වීමට තියෙන ස්වර්ණමය අවස්ථාව මග හරවා ගන්න පියතිස්සට ඕන වුනේ නැහැ.ඒත් තුන්වන මීටර් සියය ඉවර වෙනව එක්කම පපුව අල්ලගත්ත පියතිස්ස බිමට පාත් වෙනවා දැක්ක පෝලිමේ උදවිය කෑ ගහන්න ගත්තා.එතකොටම තෙල් බවුසරේ ඈතින් මතුවුණා.

හිතුවට වඩා ඉක්මනින් තෙල් ගහගත්ත ස්වර්ණා ගෙදර ආවෙ පියතිස්සගෙ මරණෙ ආරංචියත් අරගෙන.තෙල් පෝලිමක තවත් මරණයක් යන සිරස්තලයෙන් මරණය ගැන පත්තර,ටී.වී.වාර්තා කළා.සරත් හාෆ් ඩේ දාල ඇවිත් තිබුනේ පැය ගානක් ස්වර්ණාව තෙල් පෝලිමේ ලග්ගවන්න තිබ්බ අකමැත්ත නිසා.ඒත් සරත් එන්න කලින් ස්වර්ණා තෙල් ගහන් ගෙදරත් ඇවිත් කෑමත් උයල අහවරයි.

තෙලුත් තියෙන එකේ හවස ජෝඩුවම එක්ක පියතිස්සගෙ මල ගෙදර යන්න කතාවුණා.අනේ මේ අපේ පන්තිවල හිටපු පියතිස්ස කියලා මම නිකමටවත් හිතුවෙ නැහැනෙ.ඉස්කෝලෙන් අස්වුනාට පස්සෙ කවදාවත් පාරක තොටක දැක්ක කියලත් නිනව්වක් නැහැ.අපේ පන්තිවල හිටපු ළමයි ගොඩක් එයි.කාලෙකින් උන්ව හම්බෙන්න හරි බැරියෑ.ඒ නිසා ළමයි දෙන්නා අම්මලගෙ ගෙදර දාලා අපි නයිටක් ගහමු නේද කියලා ස්වර්ණා සැහැල්ලුවෙන් ඇහුවා.පහුවදා සෙනසුරාදා නිසා ටිකක් දවල් වෙනකම් නිදාගන්න පුලුවන් බවත් මතක් වෙලා සරත් ඔලුව වනන පරක්කුවෙන් ස්වර්ණා ගෙට ඇදුනෙ ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරලා මල ගෙදර යන්න සූදානම් වෙන්න.

More Stories

Don't Miss


Latest Articles