“හෙට දුවගෙ අකුරු කියවීම”ලයානි නිපුනට මතක් කළා.අද දවසවත් කවදද කියලා මතක නැති නිපුනට ඕව මතක නැති බව ලයානි අත්දැකීමෙන්ම දන්නවා.ඉස්සර නම් ඕවට රණ්ඩු වුන වාර අනන්තයි,අප්‍රමාණයි.පහුවෙද්දි පහුවෙද්දි ඒ නිපුන හිතලා කරන දෙයක් නෙවේ කියලා ලයානි තේරුම් ගත්තා.ඒ වෙද්දි රණ්ඩු දුර දිග ගිහින් දෙවරක්ම ලයානි ඩිවෝස් වෙන්නත් හදලා තිබ්බෙ.ඒ කලබල අතර තමා දුව එයාලාගේ ජීවිතේට අහම්බෙන් ආවේ.එක්තරා අහඹු පුංචි ආදර නිමේෂයකදී,තමන් කරගත්තේ ආපසු හැරෙන්නට අපහසු වරදක් බව සිතා පොස්ටිනෝ බිව්,ඒත් සැක හෙයින් අන්නාසි ගැට ඇතුලු එකී මෙකී ගබ්සා වන දෑ සොයමින් ආහාරයට ගත් ඒ කාලය සිහිවී ලයානිට දැන් නම් එන්නේ සිනහවක්.මේ කෙල්ල කොච්චර හයියද?කොහොම හරි මට අම්මා කියන්න ආවනෙ.ලයානිගේ ලේ නහර ආදරයෙන් පුරවමින් එන ඒ සිතුවිල්ල ජීවිතයම වෙනස් කරන්නට සමත් වුන බව ලයානි දන්නවා.
දුව කුසේ සිටින විට ලයානි මුලින්ම කලේ කවුන්සලර් කෙනෙක් හොයාගෙන යන එක.තනිවම ගිය ඇය ගෙදර ආවේ මහත් සැහැල්ලුවෙන්.පසුදා සැමියා සමග එන්න කිව්වත් ඒ දිනවල කුඹුරු වැඩ වලට හිරවී සිටි නිපුනගෙ වෙලාව උදුර ගන්න ලයානි කැමති වුනේ නැහැ.ඒ වෙනුවට ලයානි තමන් වෙනස් වෙන්න පටන් ගත්තා.
ක්ලිනික් යන දවස,ශොපින් යායුතු දවස්,පරික්ෂණ කලයුතු දවස්,දැන් ගැබට වයස,ඉඳන් තමන්ගේ උපන්දිනේ විතරක් නෙවෙයි,නිපුනගේ උපන්දිනය,දුරකතන අංක පවා කොලයක ලියලා බිත්තියේ අලවල තියන්න ලයානි පුරුදුවුණා.නිපුන ගේ ඉල්ලීම වුනේ ඒවා බලන්නත් අමතක වෙන නිසා අමනාප නොවී ඒවා මතක් කරන ලෙස.නිපුනට ගමේ ලොකු හාඩ්වෙයාර් එකක් තිබුණා.ව්‍යාපාර කටයුතු නිපුන කලත් මුදල් අයකරගැනීම්,චෙක් කටයුතු මේ සියල්ලම කලේ නිපුනගේ නංගි නයනා.ඇය පදිංචි වී සිටියේත් මහ ගෙදර.අම්මා තාත්තා සහ ඇයගේ පවුලේ අය සමග.දරුවා ගැන හිතලා ලයානි අදිමදි නොකර වැඩේ බාර ගත්තා.ප්‍රශ්න වලින් සෑහෙන කොටසක් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන බව ඒ සමගම ලයානිට තේරුණා.නිපුන ඒ සටහන් දිහා ඉඳහිට දුකින් වගේ බලන් හිටියත් ලයානිට මුකුත්ම කිව්වෙ නැහැ..ටික දවසකින් නිපුන තමන්ගේ ලියකියවිලි වැඩ ආදිය පිළිවෙලකට කර දෙන්න පුලුවන් ද කියලා ජීවිතේ ප්‍රථම වතාවට.ලයානි හරිම කැමැත්තෙන් ඒවා බාර ගත්තා.ඒලෙවල් කොමස් කරල බාහිර උපාධියත් සමත් වෙලා ඒත් සැමියා අකමැති නිසා රැකියාවක් නොකල ලයානිට තමන් ගැන වටිනාකමක් දැනෙන්න ගත්තා.
ලොකු යුද්ධයකින් පස්සෙ දේවල් පිලිවෙලක් වුනා.නිපුන සහ ලයානි අතර ප්‍රශ්න අඩු වුණා විතරක් නෙවෙයි නිපුන තමන්ගේ සම්පූර්න ලිපි ලේඛන වැඩ ලයානිට දුන්නා.මෙතෙක් ඒවා කල නිපුනගෙ සොයුරිය ඒ ගැන ලයානි සමග අමනාපව කතා කරන එක පවා නැවතුවත් නිපුන ඒ ගැන තැකීමක් කලේ නැහැ.ඒ විතරක් නෙවෙයි මීට පෙර වෙලා තිබ්බ මූල්‍ය වංචා රැසක් හොයාගන්නත් ලයානිට පුලුවන් වුණා.මහ ගෙදර අසල තමන්ගේම ඉඩමක් මිලට ගන්නත්,දරුවා ලැබෙන්නට පෙර මාස කිහිපයකින් එහි දෙමහල් නිවසක් හදන්නත්,සුපුරුදු බයික් එක වෙනුවට වාහනයක් ගන්නත් නිපුනට හැකිවුණේ ලයානිගේ සහයෝගය මත නිසා නිපුන තමන් කරන වැඩ සියල්ලටම ලයානිගෙන් උපදෙස් ගන්න පුරුදුවුණා.ඒවා අකුරක් නෑර මනාව ඉටු කිරීමේ සහ මෙහෙයවීමේ විශ්මිත හැකියාව තේරුම් ගත් ලයානි පරන කෝන්තර පසෙක දා නිපුනට ආදරය කිරීමට පටන් ගත්තා.යෝජනාවකින් හමුවූ ඔවුන් දරුවෙකු පිළිසිඳ ගත් පසු එකිනෙකාට සමීප වෙමින් සිටියා.ඒ දරුවාගේ වාසනාව බව ලයානි නිතරම සිතුවා.ගෑනිව ඕනෑවට වඩා කරට ගන්නා බව කියමින් මහ ගෙදර උදවිය විටින් විට ජල්ලි ඇල්ලුවත් දරුවාගේ වැඩ කටයුතුත්,කඩේ වැඩත් සමබරව කරගෙන යාමට උත්සාහ ගත් ලයානි ගෙදර ඉවුම් පිහුම් විශ්වාසවන්ත නෑයෙකුට පැවරුවේ ඒ සඳහා තමන්ගේ කාලය යෙදෙව්වොත් ව්‍යාපාරය අත හැරෙන නිසා.ඒත් සෑම කටයුත්තකදීම දරුවා අසල රඳවා තබා ගැනීමටත් නිපුනගේ ප්‍රායෝගිකනුවණ ඉක්මවා කටයුතු නොකිරීමටත් ඇය වග බලා ගත්තා.ගැටලුවක් බිඳ වැටීමක් එන හැම විටම කාටත් රහසින් කවුන්සලර් කෙනෙක් ගෙ සේවාව ලබා ගන්න තරම් ඇය බුද්ධිමත් තැනත්තියක් වුණා.
කඩේ වහලා වෙනදටත් වඩා කලින් නිපුන ගෙදර ආවේ හරිම සතුටින්.මොකද්දෝ නොදන්නා දීප්තියකින් ඇස් දෙක දිලිසුණා. බඩු මලු ගොඩක් අතේ.
“මම කාටවත් නම් කිව්වෙ නැහැ,අපි උත්සවයක් ගන්නවද? ලයානි විශ්මයෙන් ඇහුවා.මේ වෙද්දි ලයානි බඩු මලු කිහිපයක් ඇදලත් ඉවරයි.
“නැහැ,අපි විතරයි”සතුටක් නෙ ඉතින්.අපි ලස්සනට අරගමු.ඔයාට මම දෙයක් කියන්නත් තියෙනවා.
“අනේ ඔයාට වැරදිලා,එකම ජාතියෙන් හෝඩි පොත් දෙකක් ගෙනත්”ලයානි කලබලෙන් කිව්වා.එකම ජාතියෙ පොත්,පැන්සල්,පාට දෙක දෙක මතුවෙද්දී නිපුන සෙමින් කතා කලා.
“ලයානි,හෙට අකුරු කියවන්නෙ දුව විතරක් නෙවෙයි”
“එහෙනම්”
“මාත් අකුරු කියවනවා”
“මොකක්”
“ඔව්,ඔයා මටත් අකුරු කියවන්න.මේවා ඔයාගෙන් හැංගුවට සමා වෙන්න.මේක කවදාවත් ඔයාට කියන්න එපා කියල මට අණ ලැබුණේ.ඒත් පහුගිය කාලෙ ඔයා අම්මෙක් වගේ මේ ඔක්කොම බලා ගද්දියි මට තේරුණේ මගේම අය මාව රවට්ටල කියල.ඔයා මට එක සත පහක් වංචා කලේ නැහැ.ඔක්කොම මට කිව්වා.ඔයා දන්නෙ නැහැ,මම කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැහැ,පොඩි කාලෙ අසනීපයක් නිසා.ඉතින් මම අකුරු දන්නෙ නැහැ.”
මේ සිහිනයක්ද කියා සිතී ලයානි ඇස් පිස දා ගත්තා.නැහැ.නිපුන දරුවා වඩාගෙන කතා කරමින් ඉන්නවා.තමා කෙතරම් වංචාවකට ලක්වී ඇද්ද සිතුනත් ඒ හා සමානව අනුකම්පාවක් ලයානිගේ සිතපුරා දිව ගියා.නිපුන කුඩා දරුවෙකු ලෙසට තමා ඉදිරියේ ආයාචනා කරනු ඇයට පෙනෙන්න ගත්තා.
“අනේ,නිපුන”ලයානි ඉකියක් සිර කරගෙන කතා කලා.
“මම ඔයාට ඔක්කොම කියලා දෙන්නම්.අකුරු පුලුවන් වුනානම් ඔයා කොහේ නවතීද?ඔයාගෙ ප්‍රක්ටිකල් දැනුම අහලකටවත් මට එන්න බැහැ.ඔව් හෙට දුවට කලින් මම ඔයාට අකුරු කියවනවා.ඊට පස්සෙ ඔයා ඒ අකුරු දුවට කියලා දෙනවා”
නිපුනගේ දෑස් වලින් නිදහසේ කඳුලක් එලියට රූටමින් තිබුණා.ජීවිතේ ප්‍රථම වතාවට,මින් පෙර නොදැනුනු මහත් සෙනෙහසකින් යුතුව ලයානි සිය සැමියා දෙස බලා සිටියා.