“දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා.”
හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි ආරංචියක් අසන්නට ලැබීම ඔහුව කැළඹීමට පත් කරන්නට සමත් විණ.
“දූට සනීප නැද්ද?”
සහන් ඇසුවේ කැළඹීමෙනි.නමුත් හිමාෂා එය එසේ නොවන බව පැවසුවා ය.දියණිය රාත්‍රී සිහිනයෙන් තාත්තා සෙවූ බවත් ඒ ගැන දන්වන්නට සිතුණු බවත් හිමාෂා කියද්දී සහන්ට මහත් වේදනාවක් ඇති විය.
“මම එන්නම් දුව බලන්න.ඔයාගේ වැඩි කැමැත්තක් නැතුව ඇති කියලයි මම එන එක අඩු වෙලා තිබුණෙනම්.”
සහන් එසේ කියද්දී හිමාෂාට දැනුණේ කෝපයකි.ඇය ඒ කෝපයෙන්ම සහන්ව ඇමතුවා ය.
“සහන්,අපි අතර තියන එකම නෑකම දිනාරාගේ අම්මයි තාත්තයි කියන එක.වෙන කිසිම නෑකමක් අපි අතර නැතත් මම කැමති දිනාරා කවදාහරි මැරි කරන දවසක්වත් එනකම් ඒ නෑකම ආරක්ෂා වෙනවට.ඒ නිසා ඔයාගේ ජීවිතේ මොන වෙනස්කම වුණත් ඔයා දිනාරාගෙ තාත්තා කියන එක අමතක කරන්න එපා.ඔයාට එයාගේ තාත්තා වෙන්න මගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑනෙ”
හිමාෂා මෙසේ තදින් කතා කරන්නියක නොවන බව සහන් දනියි.ඔහුට තිගැස්මක් ඇති විණ.ආරංචි එහෙටත් මෙහෙටත් ගෙන යාමට ඕනෑවටත් වඩා පිරිස සිටින බව ඔහු දනියි.ඇතැම්විට ඔහු නැවත පියෙකු වන්නට යන බව ඇය දැන සිටිනවා වන්නට හැකි ය.ඔහුගේ ඒ සැකයට ඕනෑවට වඩා කල් මරන්නට සිදු නොවී ය.
“මට ඔයාගේ වයිෆ් කතා කළා.එයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා එයා මට කිව්වා.එයා සමහරවිට ඒක කියන්න ඇත්තේ ඔයාට තව දුරටත් අපි එක්ක ගනුදෙනු තියා ගන්න බෑ කියලා මතක් කරන්න වෙන්න ඇති.”
මල්මි එසේ කරන්නට ඇත්තේ මොන යක්ෂයෙකු ආරූඪ වීමෙන්දැයි සහන් සිතුවේ කෝපයෙනි.මල්මිට ඇය බලාපොරොත්තු වූ ජීවිතය ලැබී තියේ.තමන්ගේ විජිතය ඇයට පවරා නික්ම ගිය හිමාෂාගේ සිත මල්මි අතින් රිදුමට ලක් වීම සහන්ට ගෙන ආවේ ශෝකයකි.
“ඔයා හිතුවට මං නොදන්නව කියලා අපි මැරි කරලා හිටපු කාලෙත් ඔයයි මල්මියි අතර සම්බන්දයක් තිබ්බ බව මම දන්නව සහන්.”..
සහන්ට සිතුණේ කොහේ හෝ සැඟව ගන්නට ය.හිමාෂා කිසිම දිනක නොදන්නා බව සිතා සිටි රහසක් ඇය හොඳින් දැන සිටියි.ද්වේෂ සහගතව හැර යාම ඉදිරියේ උසාවියේ විත්තිකාරිය වු මොහොතේ පවා ඇයට තමන්ගේ වරද ඔප්පු කරන්නට නොසිතුණු කාරණය ඔහු සිතන්නට වූයේ ය.
“අපි කිසිම දෙයක් නොදන්නවා කියලා පෙන්නන සමහර දේවල් ගැන තමයි සහන් අපි හොඳටම දන්නේ.අපි සමහර වෙලාවට ඒවා ගැන නොදන්නවා වගේ ඉන්නේ අපේ මානසික සහනය වෙනුවෙන්.”
අතීතය හාරවුස්සා පලක් නොවුණ ද හිමාෂා එපමණක් පැවසුවා ය. ඇයට මල්මි ඇගේ ලෝකය ආක්‍රමණය කරන විට බියක් හෝ සැකයක් නොදැනුණා ය.දැනුණු අසීමිත කළකිරීම මධ්‍යයේ ඈ සහන්ගේ ලෝකය අතැර එන්නට ආවා ය.නමුත් මල්මි ආක්‍රමණිකයෙකි.එනිසාම ඇයට ඇගේ ලෝකයේ සුරක්ෂිතාවය ගැන බියක් දැනෙනවා විය හැකියැයි හිමාෂා සිතුවේ කාරුණික හදවතකිනි.
“සහන්,මම ඔයාට දුව බලන්න එන්න කියන්නේ ඒ දරුවට ඔයාව ඕන කියලා දැනෙන නිසා.ඒ නැතුව මට ඔයාගෙයි මල්මිගෙයි ජීව්තේට බාධාවක් වෙන්න ඕන නෑ.දූ දැන් නර්සරි යනවා.ඒ නර්සරියේ අනිත් දරුවන්ට තාත්තල ඉන්නකොට එයාටත් තාත්තෙකුගේ උවමනාව දැනෙනවා.ඒ නිසා ඉඳහිට එයාව බලන්න එන්න.ඔයා ආයේ තාත්තා කෙනෙක් වුණාට මගේ දූට ඉන්න තාත්තා ඔයා.”
හිමාෂා විවාහ වන්නේ නම් දියණියට නැවත පවුලක් ලැබෙන බව සහන් සිතී ය.නමුත් හිමාෂාගෙන් එවැන්නක් අසන්නට ඔහුට දැනුණේ බියකි.හිමාෂා එතරම් කතා කරන්නියක නොවේ.නමුත් ඇය කිව යුතු දේ නොබියව පවසන්නියකි.