“අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා.”
චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට සැරයක් ගෙදර එන චතුරි අම්මාට කතා කරන්න පටන් ගන්නේ මිදුල මැද්දෙදිමයි.ඒ එයාගේ සාමාන්‍ය විදිය.
“යාළුවෙක් වෙන්නැති පුතේ.”
චතුරිගේ අම්මා එහෙම කිව්වේ ඒ කතාව ඒ තරම් ගාණකට නොගෙන.දෙව්මි තවම ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ.මේ වයසට ඔය පොඩි දරුවන්ට මොන කොල්ලො ද? චතුරිගේ අම්මා,සීතා හිතුවේ එහෙමයි.
“ඒ අපිටනෙ යාළුවෙක් එක්ක කතා කළත් කොල්ලෙක් එක්ක රස්තියාදු ගහනවා කියලා දෙව්මිගෙ අම්මා කතන්දර හැදුවේ.”
චතුරි එහෙම කිව්වේ අම්මා හදලා දෙන තේ කෝප්පය අතට ගන්න ගමන්.ඒ කාලේ මිතුරෙක් එක්ක කතා කළත් ඒ ගැන ආරංචි කරගන්න දෙව්මිගේ අම්මා සුජීවා ගම හැම තැනම එකඑක කතා කිව්ව හැටි චතුරිට හොඳටම මතකයි.
“සාමාන්‍යපෙළ ඔය කියන තරම් හොඳට පාස් නම් උසස්පෙළට විද්‍යාව කරන්න බැරියැ.මොකටද කලා කරන්නේ.ටවුමේ ඉස්කෝලේ ගිහින් බොරු කතා කියනවද කොහෙදෝ.”
චතුරි සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වෙලා උසස් පෙළ වෙනුවෙන් කලා විශයන් තෝරා ගනිද්දී සුජීවා හැම තැනකම එහෙම කියලා තිබුණා.චතුරිගේ එකම සිහිනය නීතිඥවරියක වීම කියලා දැනගෙන හිටපු ඇගේ අම්මාත් තාත්තාත් ඒ සිහිනයට බාධා කරන්න ගියේ නෑ.ඒත් චතුරිට ඔය කියන තරම් ඉගෙන ගන්න බෑ කියලා කියල හරියටම ස්ථීර කළේ සුජීවා.ඒත් චතුරි දිස්ත්‍රික් කුසලතාවයක් එක්කම උසස් පෙළ ඉහළින්ම සමත් වුණා.මුළු ගමේම උදවිය ඒ ගැන මහා ඉහළින් සතුටු වෙනකොට අල්ලපු ගෙදර හිටපු සුජීවා නැන්දා සතුටින් වචනයක්වත් නොකියපු බව චතුරිට අදටත් මතකයි.
“කලා කරල නම් කාටද විභාග පාස් වෙන්න බැරි?”
චතුරි විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙන්නේ දවස් දෙක තුනකට කලින් ඒ කාලෙ නම් ඒ කාලයේ පන්තියේ ඉගෙන ගත්තු දෙව්මි මහා පණ්ඩිතකමින් කියපු හැටි චතුරිට අද වගේ මතකයි.ඒ වචන පුංචි දෙව්මිගෙ නෙමෙයි සුජීවා නැන්දගේ කියලා චතුරි අදටත් හිතනවා.
“ඔයා දන්නවද අක්කේ වැඩක්.දෙව්මි හැමතැනම කියනවලුනෙ ඔයයි මායි මාර කුඩුකේඩුයි කියලා.අපි එයා ඉගෙන ගන්නවට මාර ඉරිසියාවයිලු.”
චතුරිගේ නංගි මිතුනි අක්කා ගාවට ආවේ අලුත්ම ආරංචියක් අරන්.දෙව්මි පුංචි කාලේ අකුරු ලියන්න බෑ කියලා හූ තියලා අඬනකොට මිතුනිත් එක්ක එකතු වෙලා එයාට සෙල්ලම් ඉස්කෝල දැම්ම හැටි චතුරි සිහි කළා.ඉස්කෝලේ යන්න බෑ කියලා උදේට ලෙඩ වෙන දෙව්මිව ඉස්කෝලෙ එක්ක යන්නත් චතුරියි මිතුනියි නොකරපු දෙයක් නෑ.
“එයා පොත් කියවන්න පුරුදු වුණෙත් අපි නිසා.බලන්නකො අක්කේ දැන් කියන කතා.”
මිතුනි කියන්නේ කලකිරීමකින්.ඒ දේවල් ඒ තරම් නොහිතා ඉන්න හිතුවට දෙව්මි තරුණයෙකුගේ අත අල්ලන් හිටිය හැටි චතුරිට අමතක කරන්න අමාරුයි.ආදරය උපදින වයසේ ඇය ඉන්න බව ඇත්ත.නමුත් හොඳ නරක තෝරා ගන්න තරම් ශක්තියක් ඇයට තියනවද කියලා චතුරි හිතුවේ විස්සෝපයෙන්.ඒ වයසේ දරුවෙකුට වැරදෙන්න එතරම් වෙලාවක් නොයන බව හිතනකොට දෙව්මි ගැන සුජීවා නැන්දට කියන්න තිබුණනම් හොඳයි කියලා චතුරිට හිතුණා.
“ඔයාලා ඕවා කියන්න උවමනා නෑ පුතේ. මම හෙමින් සුජීවාට තේරුම් කරලා දෙන්න බලන්නම්.”
අසල්වාසිනිය ගේ තේරුම් ගැනීමේ ශක්තිය ගැන තරමක් දන්න සීතා එහෙම කිව්වේ දියණියන්ව කරදරේ වැටෙන්න ඉඩ නොතබා.ඒ වුණත් පුංචි කාලේ ඉඳලා හදා වඩා ගත්ත දෙව්මි අනතුරක් ගන්නවට ඇයගේ කැමැත්තක් තිබුණෙ නැහැ.
“දැන් දුව ඉන්නේ ඒ තරම් හොඳ වයසක නෙමෙයි නංගි.ටිකක් හොයලා බලන්න.ඔය වයස දරුවෝ වැරදි කරන්න ඒ තරම් හිතන්නේ නෑ.”
සීතා එහෙම උපදේශයක් දෙනකොට සුජීවා ඒක අහගෙන හිටියේ මූණ හතරැස් කරගෙන.ඇත්තටම මේ දේවල් කියන්න ඉරිසියාවට කියලා තමයි සුජීවට හිතුණේ.
“මගෙ ළමයගෙ කියන්න තරම් වැරැද්දක් නෑ අක්කෙ.ඔය කොළඹ රටේ ජීවත්වන ළමය ගැන අක්කා විමසිල්ලෙන් ඉන්න. කොහොමත් ඔය කැම්පස්වල ඉගෙන ගන්න ගෑනු ළමයි ගැන මිනිස්සු කියන්නේ හොඳ කතා නෙමෙයි.”
සුජීවා එහෙම කියාගෙන ගියේ ආවේගයකින්.ඒ ආවේගය පරද්දන්න කිසිම දෙයක් නොකියා ඉන්න සීතා තීරණය කළා.
“චතුරි දැන් යමක් කමක් තේරෙන ළමයෙක්නේ නංගි.දෙව්මි දුව තාම පුංචි.නොතේරුම් කමට නොගැළපෙන දේවල් කරන්න පුළුවන්.ඒ නිසා ඇහැ ගහගෙන හිටිය කියල වරදක් වෙන්නෙ නෑ.”
සීතා එහෙම කියනකොට සුජීවා ඒ දිහා බැලුවේ සමච්චල් සහගත මුහුණකින්.
“අනේ මේ අපේ ළමයින්ට අහල පහල ගෑනු පද හැදුවොත් මිසක් ඒ ළමයි කාගෙන්වත් කතන්දරයක් අහගන්න වැඩ කරන අය නෙමෙයි අක්කේ.මගේ දරුවාට මේ ගමේම ගෑනු ඉරිසියාවයි කියලා මම හොඳටම දන්නවා.අනිත් එක අමාරුවෙන් ඉගෙන ගෙන තැනකට ගිය එවුන් අපේ ළමයි ඉස්සරහට යනවට කැමතිත් නෑ.”
සුජීවාගේ අපහාස කතා දරාගන්න බැරුව සීතා කිසිවක් නොකියා ඉන්න තීරණය කළා.මලක් වගේ අහිංසක දෙව්මි ඉගෙන ගන්නවට තියන ඉරිසියාවට සීතා ඇයට කතන්දර හදන බවට සුජීවා ගම පුරා කියා ඇති බව ආරංචි වුණත් සීතා නිහඬවම ඉන්න තීරණය කළා.
“අපිටත් හොඳ වැඩේ අම්මේ.අපි මොකටද ඕවා කියන්න ගියේ.”
මිතුනි එහෙම කිව්වේ පසුතැවීමකින්.ඊටපස්සේ දෙව්මි දවස් කිහිපයක්ම තරුණයෙක්ගේ අත්අල්ලා වන නගරය පුරා එහෙ මෙහෙ යනවා දැක්කත් ගෙදර ඇවිත් කිසිවක්ම නොකියා ඉන්න මිතුනි පරිස්සම් වුණා.
“දෙව්මිගේ වට්ස් ඇප් ස්ටේටස් එහෙම හරිම විකාරයි.සුදු අප්පච්චි කිය කියා කොල්ලා ගැන ලියන්නේ.”
මිතුනි අක්කාට එහෙම පණිවිඩයක් යැව්ව වෙලාවක ආයෙම ඔය ගැන කිසිම දෙයක් නොසොයා ඉන්න කියලා චතුරිi පිළිතුරු එවලා තිබුණා.පුංචි කාලේ ඉඳලම ආදරෙන් හදාවඩාගත් අසල්වැසි නැගණිය ජීවිතය වරදාගන්න යන යන බව දැනුනත් කිසිවක් කර කියා ගන්න විදිහක් නැති බව චතුරිත් මිතුනිටත් තේරුම් ගියා.
“හැමෝටම තමන්ගෙ කියල ජීවිතයක් තියෙනව නේ.අපි ඒවට ඕනවට වඩා අත දාන්න ගියාම මිනිස්සු තේරුම් ගන්නේ වැරදියට.සමහරවිට මේ වෙන්න ඇත්තෙත් ඒකයි.අපි එයාට පොඩ්ඩක්වත් ඉරිසියා නොකරන්න දෙව්මි හිතන්නේ අපි එයා ගැන ඉරිසියාවෙන් කුඩුකේඩු කමින් ඉන්නවා කියලා.අපි එහෙම කතා අහ ගන්න ඕනෙත් නෑ නේද?”
දෙව්මි යන පාර එන්න එන්නම වැරදියි කියන එක දවසක් අක්කට මතක් කරද්දි මිතුනිට අක්කා කිව්වේ ඒ වගේ කතාවක්.
“අනේ අක්කේ මාර වැඩක් වෙලානෙ”
දේශනයක් ඉවර වෙලා නේවාසිකාගාරයට එන්න සූදානම් වෙනකොට නංගිගෙන් ආපු කලබල වට්ස් ඇප් පණිවිඩයක තිබුණේ ලොකු අඳුරක්.චතුරි වහාම මිතුනිට ඇමතුමක් ගත්තා.
“බලන්න අක්කේ දෙව්මි අර පිරිමි ළමයා එක්ක යන්න ගිහින්.සුජීවා නැන්දා විලාප දිදී අඬනවා.”
නංගි බොහොම ඉක්මනට ඒ කතාව නොකිව්වනම් දුරකථනය දිගේ ගලාගෙන ආපු ඇඬුම් හඬට චතුරි හුඟක් බය වෙන්නත් ඉඩ තිබුණා.සුජීව නැන්දාගේ හැඬුම් හඬත් අම්මා ඇයව සලසන්න දරන උත්සාහය චතුරි අහගෙන හිටි කිසිවක්ම නොකියා.
“කසාද බඳින්න වයසකුත් නෑනෙ අක්කේ.දැන් මොකද ඉතිං කරන්නේ?”
නංගි අහන ප්‍රශ්නයට චතුරිට පිළිතුරක් හිතා ගන්න බැරි වුණා.දරුවන්ගේ ජීවිතේ ගැන ඕනෑවට වඩා මැදිහත් වෙන එක අනවශ්‍ය බව ඇත්ත.ඒත් සොයා බැලීම සහ මැදිහත්වීම කියන්නේ කාරණා දෙකකට.ඒ බව සුජීවා නැන්දා තේරුම් ගත්තානම් කියලා චතුරි හිතුවේ මහා වේදනාවකින්.