කිරි අම්මාවරුන්ගේ දානය හරියට ම දෙන්නේ මෙහෙමයි.

කිරි අම්මාවරුන්ගේ දානය කියන්නේ අපේ රටේ පවතින සුන්දර සංස්කෘතික අංගයකට.සත්‍ය අසත්‍යතාවය ගැන නිවැරදිව කියන්නට නොහැකි වුණත් බොහෝ දෙනෙක් කිරි අම්මාවරුන්ගේ දානය දෙන්නට පෙළඹී ඉන්නවා.අපි අද කියන්න යන්නේ කිරි අම්මවරුන්ගේ දානය නිවැරදිව දෙන අන්දමයි.

කිරි අම්මා දානය දෙන්න හේතුව මොකක්ද?

දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වන පැපොල,කම්මුල් ගාය ආදිය  හැදුණාම පත්තිනි මෑණියන්ට කිරි අම්මා දානයක් දෙන බවට බාරයක් වෙනවා. නිවසේ දියුණුවට, ඇස්වහ කටවහ දුරුවීමට,යක්ෂ ප්‍රේත භූත දෝෂ දුරු කරන්නටත් සමහරු මෙසේ බාර වෙනවා
දරුවෙකු බලාපොරොත්තු වෙන කාන්තාවන් සහ ගැබිණියන් ද මේ බාර වීම විශේෂයෙන් සිදු කරනවා.මේ බාරය නිදහස් කරන්නේ දරුවා ලැබීමෙන් පසුවයි.

කිරි අම්මා දානය දෙන දවස්.

බදාදා හෝ සෙනසුරාදා මේ දානය දෙන්නට ක්‍රියා කරනවා.අඟහරුවාදා සහ පෝය දවස් මේ වෙනුවෙන් යොදා ගන්නේ නෑ.පළමුව අඩුක්කු වෙන්කර පොල් ගහක කොළ බැඳ කිරි අම්මලාට දානයක් දෙන බව පොරොන්දු වී පඬුරක් බැඳ දිනයක් වෙන් කර බාරවෙනවා

කිරි අම්මාවරු තෝරා ගැනීම.

සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, සත් පත්තිනි, අඹ පත්තිනි, දේව පත්තිනි, ගිනි පත්තිනි, මල් පත්තිනි ලෙස පත්තිනි දේවිය හත් වරක් ලෝකයට පහළ වූ බවට පවතින විශ්වාසය නිසා කිරි අම්මාවරු හත් දෙනෙකු තෝරා ගන්නට කටයුතු කරනවා.ප්‍රධාන කිරි අම්මා වන්නේ ඉතා සිල්වත් කාන්තාවක්.

  • වැන්දඹුවන්
  • දරුවන් නොමැති කාන්තාවන්
  • දරුවන් ලැබී මියගිය කාන්තාවන්
  • සුවකළ නොහැකි රෝගවලින් පීඩා විඳින කාන්තාවන්
  • අන්ධ, ගොළු, බිහිරි කාන්තාවන්
  • ගර්භනී මවුවරුන්
  • අවිවාහක කාන්තාවන්
  • දුරාචාරයේ යෙදෙන කාන්තාවන්
  • ළඟදී දරුවන් වැදූ කාන්තාවන්
  • මාසික ඔසප්වීම් දින ගත කරන කාන්තාවන්

මේ සඳහා තෝරා ගන්නේ නැහැ.දානයට ආරාධනා ලැබූ කිරි අම්මාවරු ආරාධනා ලැබූ දවසේ සිට නිර්මාංශ විය යුතුයි. දානයට ආරාධනා කරනු ලබන්නේ බුලත් හුරුල්ලක් පිරිනැමීමෙන්.පත්තිනි යහන ප්‍රධාන කිරි අම්මා විසින්ම සෑදිය යුතු අතර මව්වරුන් සඳහා සුදු මල් මාලා හතක් සහ කහ මල් වට්ටි හතක් සූදානම් කළ යුතුයි.

කිරි අම්මා දානයට කැවිලි සැකසීම

බත් ,කිරියා, හැඳි කැවුම් , කෙසෙල් ගෙඩි, කිතුල් හකුරු හා තැඹිලි අවශ්‍ය වෙනවා. පත්තිනි මෑණියන් උදෙසා පූජාවට පළතුරු 7ක් ,කැවිලි ,තැඹිලි සහ බුද්ධ පූජාවත්, සූදානම් කළ යුතුයි.මේ කිසිවක් ඉඳුල් කරන්නේ නෑ.රස බලමින් කැවිලි හෝ කිරිබත් සකසන්නේ නෑ.මැටි පහන් 8ක්, පහන් තිර 16ක්, පඬුරු 8ක්, බුලත් විට 8ක්, කපුරු පෙති, කිරි උතුරවන්නට මුට්ටියක්, ලද පස්මල්, හකුරු කැබලි,කෙසෙල් කොළ, හඳුන්කූරු, සුවඳ කුඩු, ලද පස්මල්, පිරිකර ද සූදානම් කරන්න අවශ්‍යයි.

කිරිඅම්මා දානය පවත්වන ආකාරය

ඉර නැගීමට පෙර එනම් උදේ 5ට කලින් කිරි අම්මාවරුන් පේළියට නිවසට පැමිණෙන අතර එහිදී  ඔවුන් නිවසට ඇතුළු වෙන්නේ දෙහි මුසු කහ වතුරෙන් දෙපා සෝදා පිරිසිදු කරගෙන .ඒ සඳහා දෙහි සහ වතුර බේසමක් නිවසට ඇතුළු වෙන තැන තිබිය යුතු වෙනවා.ප්‍රධාන කිරි අම්මා පත්තිනි මෑණියන්ගේ පින්තූරයක් සහ පත්තිනි සළඹ රැගෙන පත්තිනි යහන මත තියනවා. ඉන්පසු පිරුවටය එලූ පැදුරු මත ඔවුන්ට ඉඳගන්නට සලස්වනවා.

පත්තිනි මෑණියන්ට පූජාව පිළිගන්වන්නේ ප්‍රධාන කිරි අම්මා. පත්තිනි මෑණියන්ට ආරාධනා කිරීමෙන් පස්සේ පත්තිනි හෑල්ල හඬ නගා ගායනා කරනවා.  කිරි අම්මාවරුන්ට දානය පිළිගන්වන්නට පෙර බුදුන් වහන්සේට සහ දෙවියන්ට දානය පූජා කරනු ලබනවා.

ඉන්පසු කිරි අම්මාවරුන් හිඳගෙන සිටින ඉදිරියෙන් පත්තර කොළ එලා ඒ මත කෙසෙල් කොළ තබා එයට පොල් කිරි ඉස ඒ මත සෑම ආහාරයකින්ම 7 බැගින් තබනවා. ඔවුන් ඉෂ්ට දේවතාවා වෙනුවෙන් ආහාර කොටසක් වෙන්කර නිවැසියන්ට සෙත් පැතීම් සිදු කරනවා. ආහාර ගෙන අවසන්වීමෙන් පස්සේ කෝපි කෝප්පයක් පිරිනැමීම ද සිදු කරනු ලබනවා.

කිරි අම්මාවරුන් නිවැසියන්ට සෙත් පතන්නට පොල් තෙල් පහනක් පත්තු කර තිබිය යුතු අතර පහන් තිර 7ක් සහ තිර නිවන්නට කිරි පීරිසයක් ද සූදානම් කළ යුතු වෙනවා. කිරි අම්මාවරුන් පහන් තිර 7ක් පත්තු කරගෙන අදාළ අයගේ හිස වටා යවමින් සෙත් කවි ගායනා කරමින්, වස්දොස් යවලා ආශීර්වාද කවි ගායනා කර භාරයන් නිදහස් කරනවා. තිර නිව්වට පස්සේ කිරි අම්මාවරු පිරිත් කියලා ප්‍රධාන කිරි අම්මා කොහොඹ හෝ අඹ අතු කෑල්ලකින් නිවස පුරාම  කහ මිශ්‍ර කිරි ඉසීම් සිදු කරනවා.

කිරි අම්මාවරුන් දානයෙන් පස්සේ නිවෙස්වලට යන්නට නිවැසියන් උදව් කරන්නේ නෑ. කිරි අම්මාවරුන් රැගෙන යන ආහාර මල්ල අතින් එල්ලාගෙන යන්නෙත් නැහැ .එය තම දෙඅත්ල මත තබා පපුවට තුරුළු කරගෙනයි ගෙන යනු ලබන්නේ.ඔවුන් යනවා කියන්නෙත් නෑ. මුලින්ම ප්‍රධාන කිරි අම්මා පත්තිනි මෑණියන්ගේ රූපය ,සළඹ සහ දානය අරගෙන පිට වූ පසු ඒ පසුපස අනික් කිරි අම්මාවරුන් පසුපස නොබලා නොනැවතී ගමන් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles