ගෙදරදී පොඩ්ඩට හදිසි අනතුරක් වුනොත් කරන්න පුලුවන් දේවල්

අපි කොච්චර සැළකිල්ලෙන් පරිස්සමට බලාගත්තත් ඕනෑම වෙලාවක අනතුරකට මූණ දෙන්න එහෙමත් නැත්නම් ඉඩක් ලැබෙන තත්පරේදී අනතුරුදායක වැඩක් කරන්න අපේ පොඩ්ඩන්ට පුළුවන් කියල ඔබ දන්නවනේ. 

ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් මේ අනතුරු ගැන දැනුවත් වීම සහ ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද කියල දැනුවත් වීම වැඩිහිටි අපි ඕනෑම කෙනෙක්ට හරිම වැදගත්. 

ඒ නිසා ගෙදරදි වෙන්න පුළුවන් විවිධ අනතුරු වර්ග සහ ඒවට ඔබ ප්‍රතිචාර දක්වන්න ඕනෙ කොහොමද කියන කාරණාව ගැන ඔබව දැනුවත් කරන්න අපි අද ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි බලමු අනතුරකින් පසු ඔබේ දරුවා හැකිතරම් ඉක්මණින් රෝහලක් වෙත රැගෙන යා යුතු අවස්ථා මොනවද කියල?

යම් අනතුරකින් පසු ඔබේ දරුවා 

හුස්ම ගැනීම නතර කිරීම,  

අසීරුවෙන් හෝ වේගයෙන් හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම සිදුකිරීම,

ක්ලාන්තය, 

ඇඟ දරදඬු වීම,

ඇඟ වෙව්ලීම,

සිහිමද තත්වයට පත්වීම, (සමීපතමයන් හඳුනාගත නොහැකි වීම)

තුවාලයකින් හෝ කැපුමකින් නොනවත්වා ලේ වහනය වීම සහ විවර වූ කැපුම් සහිත වීම,

අවදි නොවීම / සිහිනැති වීම,

වමනය යාම 

වැනි තත්වයන් වලට පත්වීම හෝ 

ඇවිදීමට සහ චලනය කිරීමේදී පපු ප්‍රදේශයේ හෝ අත් කකුල් වල වේදනාවක් ඇත්නම් හෝ 

වස විස සහ ඖෂධ අධිමාත්‍රාවක් පානය කර ඇත්නම් 1990 හදිසි ගිලන් රථ සේවාව මඟින් හෝ ඔබේ පුද්ගලික වාහනයකින් හැකි ඉක්මණින් රෝහලක් වෙත ගෙන යාම අනිවාර්‍යයි. 

දැන් අපි බලමු අනෙකුත් සුළු තුවාල හෝ තත්වයන් සඳහා අපිට කළ හැකි ප්‍රතිකාර මොනවද කියල.

ඔළුව වැඳී ගෙඩි ගැසීම

පර්‍යේෂකයන්ට අනුව කුඩා දරුවන් අතර සුලභම අනතුරු වර්ග වලින් එකක් විදිහට හිස යම් තැනක වැඳී ගෙඩි ගැසීම හඳුනාගන්න පුළුවන්. 

ඔවුන් සඳහන් කරන ආකාරයට බොහෝ හිස ගෙඩි ගැසීම් භයානක නොවන අතර හානිකර හිස ගෙඩි ගැසීම් මේ අතර තියෙන්නත් පුළුවන්. 

අයිස් කැට හෝ ශීතකරණයේ ඇති ශීතකළ එලවළු කීපයක් ගෙන රෙදි කැබැල්ලක ඔතා ඔලුව ගෙඩි ගැසුණු ස්ථානය තවමින් මඳ වේලාවක් තබන්න ඔබට පුළුවන්.

ඒ වගේම දරුවගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සැළකිලිමත් වීමත් හරිම වැදගත්. දරුවට ක්ලාන්තය හෝ කැරකැවිලි ගතියක්, ඇවිදීමේ අපහසුවක් හෝ වමනය යාම වැනි තත්වයන් තිබෙනව නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා.

නාසයේ හෝ කනේ යම් දෙයක් සිරවීම

ඔබේ දරුවගේ නාසයේ හෝ කනේ යම් දෙයක් සිරවී ඇත්නම් මුලින්ම ඔබ දරුවා සන්සුන් කර යුතුයි.

විශේෂයෙන්ම නාසයේ යම් දෙයක් සිරවූ විට දරුවන් හුස්ම ගැනීමේ අපහසුවට පත්වෙන්න පුළුවන් නිසා දරුවාට කටින් හුස්ම ගන්න හුස්ම පහත හෙලන්න කියල දෙන්නම ඕන. මුඛය විවෘතව තැබීම අනිවාර්‍යයි.

නාසයේ හෝ කනේ යම් දෙයක් සිරවූ විට ඒවා ගැනීමට උත්සහ කිරීමෙන් දරුවාගේ නාස් සහ ශ්‍රවණ මාර්ගයට හානි වෙන්නත් සිරවූ දෙය තවත් අභ්‍යන්තරයට ගමන් කරන්නත් පුළුවන්. 

ඒ නිසා සිරවූ දෙය ගැනීමට ඔබ උත්සහ නොකර හැකි ඉක්මණින් දරුවාව වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්නම ඕන. 

තුවාලයක් හෝ කැපුමක් සිදුවී විට

තුවාලයක් සිදුවී එම තුවාලයෙන් හෝ කපුමෙන් ලේ ගලන විට ඔබ මුලින්ම පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන නමා එය තුවාලය මත තබා ඒ මත සෙමින් තෙරපීමක් කර යුතුයි. 

ඔබට මේ සඳහා පිරිසිඳු රෙදි කැබැල්ලක් සොයාගත නොහැකි නම් ඔබේ අත හොඳින් සෝදා පිරිසිඳු ඇඟිලි මඟින් මේ තෙරපීම කරන්න පුළුවන්.

නමුත්, තුවාලය මත වීදුරු හෝ යම් දෙයක් ඇනී තිබෙනවා නම්, ඒ මත තෙරපුම ඇති නොකර ඇනී ඇති වීදුරු කැබැල්ල හෝ වෙනත් ද්‍රව්‍ය වටා තෙරපුම සිදුකිරීම ඉතාම වැදගත්. 

ලේ ගැලීම නතර වෙන තුරු මෙසේ තෙරපීම සිදුකර යුතුයි. 

සාමාන්‍යයෙන් විනාඩි 10 කට පමණ පසු ලේ ගලා ඒම නතර විය යුතු අතර එසේ නොවෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍යයි. 

ඒ වගේම තුවාල වූ අත්පය චලනය කළ හැකි නම් එය ඉහළට ඔසවා ගෙන සිටීමත් වැදගත්. 

තුවාල මත ඇනී ඇති විවිධ කොටස් ඉවත් කිරීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍යයි වගේම ලේ ගැලීම නතර වූ තුවාලට සෝදා බෙහෙත් දැමීම ඔබට කරන්න පුළුවන්. 

පිළිස්සුම් තුවාල සඳහා

මුලින්ම දරුවාගේ පිළිස්සුම් තුවාලය ආසන්නයේ ඇති සියළුම ඇඳුම් ගලවා ඉවත් කිරීම කළ යුතුයි. නමුත් තුවාලයට ඇලී ඇති රෙදී හෝ ඇඳුම් කැබලි ඇත්නම් ඒවා ඉවත් කිරීමට උත්සහ කරන්න එපා.

ඊළඟට, සිසිල් ගලායන ජලයට පිළිස්සුම් තුවාලය විනාඩි 20 ක් 30 ක් පමණ අල්ලාගෙන සිටීම සිදු කරන්න අවශ්‍යයි.

ගලායන ජලය සොයාගන්න ඔබට නොහැකි නම්, සිසිල් ජලයේ, කිරි හෝ වෙනත් සිසිල් බීමක තුවාලය ගිල්වා තබාගැනීම කරන්න ඔබට පුළුවන්.

මේ වෙලාවේ දරුවා වැඩි වෙලාවක් සීතලේ ඉන්න නිසා දරුවාව යම් දෙයකින් හොඳින් ඔතා තබාගැනීමත් හරිම වැදගත්. 

ජලයේ තබාගෙන සිටීමෙන් පසු දරුවාව හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක්ට පෙන්වීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරනවා.

ඒ අතරතුර දන්තාලේප හෝ බටර් වගේ විවිධ දේවල් තුවාලය මත ආලේප කිරීමෙන් වැළකී සිටීම ඉතාම වැදගත්. 

තුවාලය ස්පර්ශ නොවෙන විදිහට පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් හෝ පොලිතින් ආවරණයකින් වසා දරුවාව වෛද්‍යවරයෙක් වෙත ගෙන යාමෙන් වෙනත් විශබීජ සහ ආසාදන වලට ලක්වීමේ අවදානම අඩුකර ගන්න ඔබට පුළුවන්. 

පිළිස්සීමේ ස්වභාවය මත අවශ්‍ය ප්‍රතිකාර ඔබේ වෛද්‍යවරයා තීරණය කරාවි. 

යම් දෙයක් ගිලී ඇත්නම්

ඔබේ දරුවා යම් දෙයක් ගිල ඇත්නම් එය ඔබේ ඇඟිලි හෝ වෙනත් ද්‍රව්‍ය යොදා ඉවතට ගන්න උත්සහ කරන්න එපා.

දරුවා සාමාන්‍ය පරිදි සිටිනවා නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් වෙත ගෙන යාම අනිවාර්‍යයි. 

දරුවා හුස්ම ගැනීමේ අපහසුවෙන් හෝ හුස්ම හිරවෙන ලක්ෂණ පෙන්වයි නම් ගිලන් රථය එනතුරු හෝ වෛද්‍යවරයා මුණගැසෙන තුරු පහත රූපයේ පරිදි දරුවා මුනින් අතර හරවා හිස බිමට සිටින සේ දණිස් මත තබාගෙන පිටට යම් වේගයකින් පහර දීම කරන්න ඔබට පුළුවන්. 

එවිට හිරවූ ද්‍රව්‍ය ඉවතට විසීවීම සිදුවෙන්න පුළුවන්. 

විදුලි සැර වැදීම

මේත් දරුවන් අතර සුලභව වාර්තා වෙන්න ඉඩකඩ ඇති අනතුරු වර්ගයක්. 

මුලින්ම ඔබ දරුවා වෙත ලඟාවීමට පෙර ප්‍රධාන සැපයුමෙන් ආරක්ෂිතව විදුලිය විසන්ධි කර යුතුයි. මේ සඳහා පාවහන් පැළඳ ලී දණ්ඩක් භාවිතා කරන්න පුළුවන්. 

කොස්සක් හෝ ප්ලාස්ටික් කැබැල්ලක් වැනි විදුලිය ගමන් නොකරන දෙයක උපකාරයෙන් දරුවා විදුලි සැර වැදුනු ස්ථානයෙන් ඉවතට ගැනීම හැකි ඉක්මණින්ම කළ යුතුයි. 

වෛද්‍ය ප්‍රතිකාර හෝ ගිලන් රථයක් පැමිණෙන තුරු යටිපතුල් වලට හෝ උගුරට තට්ටු කරමින් දරුවාව අමතන්න ඔබට පුළුවන්. 

හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම නම් අනිවාර්‍යයි. 

අස්ථි බිඳීමක් සිදුවූ විට

දරුවාගේ කොඳු ඇට පෙළ හෝ බෙල්ල බිඳී ඇති බව ඔබට තේරුනොත් දරුවාව එහා මෙහේ නොකර ගිලන් රථයක් පැමිණෙන තුරු තබා ගැනීම ඉතාම වැදගත්. 

අනවශ්‍ය එහා මෙහා කිරීම් දරුවාට ජීවිත හානි පවා ඇති කිරීමට ඉඩ ඇති නිසා එලෙස දරුවාව එහෙමහෙ කරන්න උත්සහා කරන්න එපා. 

අනතුරකින් පසු අත් කකුල් වල වේදනාවක්, ඉදිමුමක් හෝ සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් කෝණයක් දකින්න ලැබෙනවා නම් ඒ අස්ථි බිඳීමක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.

දරුවාව වේදනාවකින් තොරව එහාමෙහා කිරීමට ඔබට නොහැකි නම් ගිලන් රථයක් පැමිනෙන තුරු බලාසිටීම වඩා සුදුසුයි.

ඔබ දරුවාව ප්‍රවාහනය කරනව නම්, රෙදි කැබැල්ලකින් දරුවාව ඔතා ඔබේ එක් අතක් රිදුම් දෙන ප්‍රදේශයට උඩිනුත් අනෙක් අත ඊට යටිනුත් තබා රිදුම් දෙන අත් හෝ කකුල් චලනය නොවෙන පරිදි දරුවාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යාම ඉතාම වැදගත්. 

දරුවාව හැකිතරම් අනතුරු වලින් ඈත්කර තැබීම සහ හැකි සෑමවිටම දරුවාට ඔබේ අවධානය යොමුකිරීම මඟින් අතතුරු වළක්වා ගැනීම ඉතාම වැදගත්. 

ඉතිං අද ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇතැයි අපි විශ්වාස කරනවා. මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles