ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

“මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?”

මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන් මවාගෙන.

“පොඩි කොන්දෙ කැක්කුමක් තරූ.”

නයනි එහෙම කියලා වහාම පරිගණකය දිහා බලාගෙන වැඩ කරන්න පටන් ගත්තා.කාර්යාලයේ වැඩ පටන් ගන්නේ උදේ නමයට නිසා කලින් ඇවිල්ලා කිසිම දෙයක් කරන්න ඕන නැහැ අපිට වැටුප් ලැබෙන්නේ නෑ කියලා වෙනදට තර්ක කරන නයනි වැඩ කරන්න පටන් ගත්තේ මගේ කතාව මඟ හරින්න කියලා මට නොතේරුනා නෙමෙයි.ඒත් මම ඒක නොදන්න ගානට හිටියා.

“පවනි නෑ නේද තාම?”

රුවන් එහෙම ඇහුවේ නවය හමාරට විතර.ඒ අහන්න හේතුව ඊයේ පවනි පවරපු යම් කටයුත්තක් නිසා කියලා මට මතක් වුණු නිසා මම පවනිගේ පවනිගේ පරිගණකය වෙතට ගියා.රුවන්ට අවශ්‍ය දේ හොයාගන්න ඉඩ දීලා මම ආපහු මගේ මේසෙට ආවෙ රුවන්ට පණිවිඩයකුත් කියන ගමන්මයි.

“පවී දොළහට විතර එනවා රුවන්.එතකොට ඔයාට ඔයාගේ වැඩේ හරියටම කරගන්න පුළුවන්.”

ඕපාදූප අහන්න ගැහැනු පිරිමි භේදයක් නෑ තමයි.ඒත් රුවන් ඒ ජාතියෙ කෙනෙක් නෙමේ.ඔහු මට ස්තුති කරගෙන යන්න ගියාට නයනිටනම් අහන්න දෙයක් තිබුණා.

“පවනි කොහේ ගිහිල්ලද? අදත් අර ඩොක්ටර් ලඟට ගිහිල්ල ද?”

පවනි අද ගියේ වෛද්‍ය හමුවකට බව මම දන්න බව ඇත්ත.නමුත් එය ඇගේ අතිශය පෞද්ගලික කාරණාවක් නිසා මම නොදන්නා බව කියන්න හිස සැලුවා.පවනි අද ලබාගත්තේ වරුවක නිවාඩුවක් බවත් දහවල් දොළහ පමණ වන විට ඇය ආපහු කාර්යාලයට එන්න බවත් මම නයනිටත් පැවසුවේ වාර්තාවක ස්වරූපයකින්.

“අනේ මන්දා ඉතින් නේද?”

නයනි කියන්නේ  බොහොම කණගාටුදායක ස්වරයකින්.ඒ කණගාටුව හටගන්නේ මොනවටද කියලා දන්න නිසා මම එය නෑහුණු ගානට ඉන්න උත්සාහ කළා.නමුත් නයනි එහෙම ලෙහෙසියෙන් පසු බසින කෙනෙක් නෙමේ.

“ටික කාලයක් ඉඳලා බබාලා හදනවයි කියන අය වැටෙන අමාරුවක් තමයි ඕක.බොරුවට ජොලියේ ඉන්න කාලේ නාස්ති කරන ඊටපස්සෙ බලනකොට ළමයි නෑ.”

මම ඒ කතාවටත් උත්තරයක් දුන්නේ නෑ.අපි දෙන්නා අතරමැද මේසයේ ඉන්න එරන්දි නම් මුහුණේ අප්‍රසන්න බැල්මක් තවරාගෙන නයනි දිහා බලන හැටි මම දැක්කා.නමුත් නයනි එක්ක තර්ක කිරීම කිසිම පල ප්‍රයෝජනයකට නැති වැඩක් බව මම දන්න නිසාම මම කැමති මේ වගේ දේවල් නෑහුනු ගානට ඉන්න.

“අනේ ඉතින් ජීවිතේ මොනවා උනත් මටනම් යන්තම් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුණා.මේ මොන ප්‍රශ්න තිබ්බත් මට තියෙන එකම සැනසිල්ලත් ඔච්ච‍රයි.”

නයනි තනියම කියවනවා.තවමත් ඇයගෙන් වහනය වෙන සැර බාම් සුවඳත් එක්ක ඒ කියපු කතාව ගලපා ගත්ත මම කටට ආපු හැම වචනයම ආපහු ගිල ගත්තේ නයනිගේ හිත රිදවන්න තියෙන අකමැත්තට.තව කෙනෙකුගේ හිත රිදෙන එක ඇයට එච්චර ලේසි වැඩක් උනාට මට ඒක ඒ තරම් පහසු නෑ.

“ඇත්තටම පවනිට බබෙක් හදාගන්න බැරි වෙයිද?”

නයනි ආයෙමත් අහනවා.මම උත්තරයක් කල්පනා කරද්දී එරන්දි කටත් හදාගෙන නයනි දිහා බැලුවා.ඒ වචන සැර වැඩි වෙන බව දන්න නිසාම මම ඉක්මනින් උත්තර දුන්නා.

“බැරිකමක් නැහැ.ඔය ඩොක්ට ගොඩක් දක්ෂ කෙනෙක්”

එරන්දි දුන්නා නම් පිළිතුර වෙන්නේ අනුන්ගේ දරුවෝ ගැන කම්පා විය යුතු නැති බවත් අනුන්ගේ නිදන කාමර වලට  එබෙන්නට උවමනා නැති බවත් දන්නා නිසාම මම ඉක්මනින් පිළිතුරු දුන්නත් සැබෑවටම මටත් කියන්නට උවමනා වුණේ ඒ කාරණාව තමයි.

කාගේ හෝ රිදීමක් ගැන ඕනෑවට වඩා විමසිලිමත් වෙන්නට හිතෙන්නේ එයටත් වඩා වේදනා ඇති අයට බව මම නොදන්නවා නෙවෙයි.නයනි සමහර දවස් වලට අඳින කර වැසුණු ඇඳුම්,ටයිල් ලිස්සා වැටී ගෙඩි ගැසුණු බව කියන නළල,නිතරම ඇය ලඟින් වහනය වන වේදනානාශක තැවරුමක සුවඳ නයනි විඳින ජීවිතය ගැන අපට සාක්ෂි සපයනවා.නමුත් ඇය එහෙම ජීවිතයක් නොවිඳින ගානට අනිත් අයගේ රිදුම් ගැන සැලකිලිමත්.තවත් කෙනෙකුගේ වේදනාවක් අසන්නට බලන්නට සිතීම මනුෂ්‍යත්වය වෙන්නේ එහෙමත් වෙලාවකට.ඒ එම වේදනාව ගැන සිනා වෙන්නට කාරනා නොසොයා කදුලු පිස දැමීමට කාරණා සොයන අයට පමණයි.

Two employees gossiping in office cubicle

“තමන්ගෙ ඇස් වල පොල් පරාල තියාගෙන අනිත් මනුස්සයාගේ ඇහේ පොඩි රොඩ්ඩක් හොයන කැත.”

නයනි එහෙමෙහෙ වුණු හැටියේම එරන්දි එහෙම කියමින් මා සමඟ බැන වදින බව මම දන්නවා.ඒ බැනුමේ වරදක් නැහැ.ඒත් මට නයනි ගැන දැනෙන්නෙත් අනුකම්පාවක්.

“පවනි හරියට ලැජ්ජා වෙනවා නේද ඔය ප්‍රශ්නෙ නිසා.”

අද දවසේ කරන්න මොනතරම් වැඩ තිබුණත් නයනිට පවනිව බිම තබන්න කල්පනාවක් නෑ.

“මොනවට ලැජ්ජ වෙන්නද?ඒක මනුස්සයාගෙන් ගුටි කනවා තරම් ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි.”

එරන්දි මිතුරිය වෙනුවෙන් සීමාරහිතව පෙනී සිටිද්දී මට නයනි ගෙන දුක නොහිතුණත් නෙවෙයි.

“පවනිගේ ඇඟේ විසඳගන්න ඕනි ගැටලුවක් තියෙනවා.එයා ඒක විසඳ ගනිමින් ඉන්නවා.ඒ වගේ තමයි අපි කාටත් එක එක විදියේ ගැටළු එනවා.ඒව මොනම විදියකින් හරි විසඳගන්න පුලුවන්නම් තමයි අපිට සැනසිල්ල ලැබෙන්නේ.”

 එරන්දිගේ කතාවෙන් නයනිට දුක හිතෙන්න ඇති කියලා හිතලා මම ආයෙම එහෙම කිව්වා.ඇත්තටම ඉතින් පවනි නම් ඉන්නේ දුකින් නෙවෙයි.සමහරවෙලාවට පවනි පුංචි බබාලා ගෙ ඡායාරූප දිහා ආසාවකින් බලාගෙන ඉන්න අවස්ථා ඕනෑතරම් මම දකිනවා.නමුත් ඇය ඉක්මනින් දෑස් පිසදාගෙන ආයෙම හිනාවෙනවා.

ඇයට බලාපොරොත්තුවක් තියනවා.ඒ බලාපොරොත්තුව ඇයව ජීවත් කරනවා.

මේ කතාව මෙතනින් නවත්තන්න හිතාගෙන මම ආයෙම වැඩ කරන්න පටන් ගත්තා.නයනිගේ මුහුණ තලන්න හිතෙන බවට වට්ස්ඇප් පණිවිඩයක් මට එවපු එරන්දිත් පරිගණකයට සම්පූර්ණ අවධානය යොමු කරලා.අපේ නිහඩතාවය ආයෙමත් බිඳිලා ගියේ නයනිට ආව ඇමතුමකින්.නයනි දුරකථනය ඔහේ නාද වෙන්න ඉඩ දුන්නා.

දෙපාරක්!

තුන්පාරක්!

“ඕක ආන්සර් කරන්නකෝ අනේ. නැත්නම් phone එක off කරල පැත්තකින් තියන්න.මාරම ඩිස්ටර්බ්.”

කවුදෝ ඈතින් කෑගහනවා ඇහෙනකොට නයනි මං දිහා බැලුවේ අසරණ බැල්මකින්.

“අනේ මේක ආන්සර් කරලා උදිතට කියන්නකො මං ෆෝන් එක තියලා මීටින් රූම් එකේ කියලා.අද හවස් වන කම මට මීටින් එකක් කියන්න පුලුවන්ද?

අභ්‍යන්තර ගැටීම මොනවගේද කියලා මම දන්නේ නැහැ.නමුත් මම ඒ ඉල්ලීම ඉෂ්ට කරා.නයනිගේ සැමියාගේ රළු හඬ සවනේ හැපෙනකොට නයනි ළඟින් වහනය වෙන වේදනානාශක තැවරුමේ සුවඳ ගැන මට කිසිම සැකයක් දැනුනේ නැහැ.

“ඔයා හවස ගෙදර යනකොට ඔය කේන්තිය නිමිලා තියෙයි”

එහෙම වෙන බවට වැඩිය විශ්වාසයක් නැතත් නයනිගේ හිත හදන්න හිතාගෙන මම එහෙම කිව්වා.පවනි ආවේ ඒ මොහොතේමයි.ඇගේ දෑසේ තියෙන බලාපොරොත්තුවේ දීප්තිය වෙනදාට වඩා වැඩියි කියලා මට හිතෙන්න පටන් ගත්තා.නයනිගේ වේදනා නාශකයේ සුවඳ පරදාගෙන සුවඳක් පැතිරෙන්න පටන් අරගෙන.

ඒ පවනිගේ විලවුන් සුවඳ!

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content