“ඔයාගේ මෙලෝ හැඩයක් නෑනෙ.මම මේ බැලුවේ ඒකයි”
උපුලි ඒ කතාවට නොරිස්සුම් මුහුණ හරවල කමල් දිහා බැලුවේ උදේම දවස විනාශ වුණු කේන්තියත් එක්ක.විවාහ වෙලා අවුරුදු අටකට පස්සේ දරුවො දෙන්නෙකුත් ලැබුණාම හැඩය ගැන හොයන්න එන සැමියාට දෙන්න පිළිතුරක් ඇයට හිතාගන්න බැරි වුණා.
“ඔච්චර ගිලින්න එපා අනේ.පාරක එක්ක යන්න පවා ලැජ්ජයි.”
කමල් නොනවත්වාම කියවනවා.තියෙන වැඩ රාජකාරි එක්ක පිළිවෙළකට ආහාර පාලනය කරන්න හෝ ව්‍යායාම කරන්න වෙලාවක් නැති බව නොකියා රවලා බලන්න උපුලි තීරණය කළා.ඇය කාමරයෙන් එලියට ආවේ ඒ කෝපය දරාගෙන.
“මොනවද මාලා මේ හදලා තියෙන්නේ?” කෝපය දමා ගහන්න තැනක් හොයමින් හිටපු උපුලිට නිවසේ අත්උදව් කාරිය පිස අහවර කරලා තිබුණු ආහාර බඳුන් හොඳ හේතුවක් වුණා.මේ උයලා තියෙන්නේ උපුලි ඊයේ රාත්‍රියේ කියපු රෙසිපි එක කියන දේ කියන්න මාලාට දැනුණෙ බයක්.කේන්ති ගිය වෙලාවට අනිත් අය කියන කිසිම දෙයක් පිළිගන්න උපුලිගේ කැමැත්තක් නැහැ.
“මෙලෝ ගැලපීමක් නැති දේවල් උයනවනම් ඔයා මෙතන ඉන්න ඕනේ නෑනේ.අනේ අනිත් එක මේ පොළොව මොප් කරන එක හරියට කරන්න.හැමතිස්සෙම පැල්ලම්”
මුහුණ බලන්න පුළුවන් තරමට ඔප වැටුණු ගෙබිමේ පැල්ලමක් තියෙන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව මාලා විපිළිසර වුණා.නොනවත්වාම වැරදි කියන නෝනාට පිළිතුරු නොදී ඇය ඔහේ බලාගෙන හිටියා.
උපුලිට මහා මාර්ගයට රිය ගත්තු වෙලාවේ ඉඳලාම කමල් කියපු කතා එක පෙළට මතක් වෙන්න පටන් ගත්තා.උපුලි දැන් කිසිම ලස්සනක් නෑ කියලා හිනා වෙන එක කමල්ගේ දෛනික පුරුද්දක් වෙලා හමාරයි.උපුලි බැරල් එකක් වගේ,කොස් කොටයක් වගේ,එක එක උපමා හොයාගන්න කමල් පසුබට වෙන්නේ නැහැ.
“කොරහක් වගේ එකක් නැද්ද නංගි? අපේ නෝනට පිඟානක් මදි”
මිතුරු නිවසක රාත්‍රී ආහාර සංග්‍රහයකට ගිය මොහොතක කමල් එහෙම කියනකොට තමන්ගෙ අපහාසාත්මක කතාව දරා ගත්තෙ කොහොමද කියලා හිතන ගමන් උපුලි රථයේ වේගය වැඩි කළා.ස්කූටියක ගිය ලස්සන ගෑනු ළමයෙක් කාණුව පැත්තට මෝටර් සයිකලය හරව ගත්තේ අත දිගුකරලා උපුලි ට බනින ගමන්.
“කොකාකෝලා බෝතලයක් වගේ ඉන්නෙ ඔය.බයිසිකලේ පාලනේ කරගන්න බෑ.”
උපුලි පෙරළා බැණ වැදුණේ ගැහැනු ළමයාට ඇසෙන දුරක ඉඳන් නෙමෙයි.නමුත් බැන වැදීමෙන් හිත සහනයකට පත් වෙන බව ඇය දන්නවා.කමල්ගේ හැසිරීම් නිසාම හැඩවැඩ ගෑණු ළමයෙකු දුටුවිට දැනෙන පාලනය පාලනය කරගන්න බැරි තරහ ගැන සමහර වෙලාවට උපුලිටම ලැජ්ජාවක් නොදැනෙනවා නෙමෙයි.
උපුලි කාර්යාලයට ඇතුළු වුණේ හොඳ සතුටකින් නෙවෙයි. මුහුණටම මුණ ගැසුණු අමාලි උපුලිට සුබ උදෑසනක් පැතුවේ පිපුණු මලක් වගේ මුහුණකින්.අමාලි ඇඳලා ඉන්න තරම් කොටට අඳින්න තිබුණානම් කියලා උපුලිට හිතෙන්න ගත්තේ ඒ වෙලාවේ ඉඳලා.උපුලි කාර්යාල කාමරේට ආවේ ෂොපින් ඕනෑම මොහොතක කමල් කරන දහසකුත් එකක් අපහාස ගැන සිහි කරමින්.
“හරි කැතයිනෙ උපුලි ඔය ඇඳුම.ඇඳුම ලස්සනයි ඔයාගෙ ඇඟට කිසිම හැඩයක් නෑ.කියන්න ද ඔයාට හද ඔයාට හොඳයි අර මුස්ලිම් ලේඩීස්ලගෙ ඇඳුම්.ලෝගුවක් ඇඳ ගත්තම කිසිම හැඩයක් පේන්නේ නෑනේ.එතකොට ඔයා කොස් කොටයක් වගේ කියලා කාටවත් පේන්නේ නෑ.”
උපුලි මේවගෙන් හිත රිදවා ගත්ත අවස්ථා බොහොම වැඩියි.ඒ වගේ අවස්ථාවල කළ යුතු දේ ගැන ඇගේ මිතුරියක් වුණු ආශා උපුලිට කරුණු පැහැදිලි කළා.
“කෙට්ටු වෙලා ඇඟේ හැඩය හදාගන්න එක වැදගත් වෙන්නේ කමල් ට නෙමෙයි ඔයාට.අපි දැන් තිස්පහ පැනපු ගෑනු නේ.ඕනෑම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්.ඒ නිසා ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා ජිම් එකකට ගිහිල්ලා ඔයා ඉස්සර වගේම ලස්සන වෙන එක වැදගත් වෙන්නේ ඔයාට.ලස්සනට වඩා ලෙඩක් දුකක් නැතුව ඉන්න එක වැදගත්.”
නමුත් තමන් ඉස්සර තරමට හැඩවැඩ නොවන වග උපුලිට විශ්වාසයි.ඒ කතාවටත් ආශාට උත්තරයක් තිබුණා.
“මාලනී ෆොන්සේකා ඉස්සර කොච්චර ලස්සනයිද? තවමත් එයා ලස්සනයි තමයි.ඒත් දැන් සමනලී ෆොන්සේකා තරම්වත් සෙනාලි ෆොන්සේකා තරම්වත් ලස්සන නෑනේ.ඒ නිසා අපට අපි ගැන ඇත්ත තේරුම් ගන්න වෙනවා.කමල් ජරා කතා කියනවනං මේ එයාගෙ මානසිකත්වය කියලා ඔයා තේරුම් ගන්න.එයාගේ පටු මානසිකත්වය ඔයාට හදන්න බැරි වෙන්න පුළුවන්.ඒත් ඔයාට පුළුවන් නේද ඔයාගේ විදිහ පිළි අරගෙන සන්තෝසෙන් ජීවත් වෙන්න.”
ඒත් ඒ කතාව එක්ක එකඟ වීමත් උපුලිට ඒ තරමට අපහසුයි.තමන්ව නොසලකා හරින කෙනෙක් ගණන් නොගෙන තමන්ගේ සතුට තමන් සොයා ගන්නා ආකාරය ගැන ආශා මොනතරමට පැහැදිලි කලත් උපුලි ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ.
“ඔයා ඔයාවම අපහසුවට ලක් කර ගැනීම ගැන නම් මට තියෙන්නේ දුකක්.ඔයාට තියෙන්නේ ඔයාගේ පහසුව හදාගෙන හොඳින් ජීවත් වෙන්න.හැමතිස්සේම දුකින් තරහින් ඉන්න එපා.”
ආශා හිසේ කෙස් ගානට එහෙම කිව්වත් මිතුරිය ඒවා අහන්නේ වැඩි කැමැත්තක් නැති නිසා දැන් ආශා ඒ වගේ උපදෙස් දෙන එක අත්හැරලා බොහෝ කල්.
තමන්ගේ කෝපය කවුරුන් හෝ පිටින් යැවීම!දැන් උපුලිගේ ජීවන දහම එය බවට පත් වෙලා හමාරයි.
“මං ඔයාට මේ ඩොකියුමන්ට් එක හදන්න කිව්වේ ඊයේ නේද?”
ලියකියවිලි කිහිපයක් අරගෙන උපුලිගේ කාර්යාල කාමරයට ආව මධූෂා උඩ විසි වුණේ උපුලිගේ කෑගැහිල්ලට.කියන කටයුත්ත අද හවස් වරුව දක්වා ම කල් දමන්න කියලා උපුලි තමන්ට නියෝග කළේ ඊයේ බව මධූෂා කිව්වේ බැනුම් අහන්න තියන අකමැත්තට.තමන්ගේ රාජකාරිය හරියට කරලා තව බැනුම් අහන්නේ ඇයි මධූෂා කල්පනා කළා.නමුත් උපුලිගේ බැනවැදීම නැවතුණේ නැහැ.මේ කියන සමහර කාරණා වල තියෙන්නේ ළඟ එන විවාහයට සැරසීම,පෙම්වතා සමග තරම සමාජජාලාවල ඡායාරූප පල කිරීම වගේ රාජකාරියට කිසිසේත්ම සම්බන්ධයක් නැති කතන්දර කියලා තේරෙනකොට මධුෂාට ආවේ කේන්තියක්.ඇය කළ යුතු දේ ගැන කෙටියෙන් කියලා උපුලිගේ කාමරෙන් පිටතට ආවේ කේන්තියෙන්.
“මොකද මේ මූණ දෙක වෙලා? ලොක්කි බැන්නද?”
චරණි අහනකොට අමාලිත් ඒ හිනාවට එකතු වුණා.කිසිම තේරුමක් නැතුව අද උදේ උපුලි තමන්ට ඔරවපු හැටි ඇය කිව්වේ හිනාවකින්.වටහා ගන්න නොතේරෙන තරහක් හැම වෙලාවෙම වෙන කෙනෙක් පිටින් යවන්න බලාගෙන ඉන්න අංශ ප්‍රධානියා ගැන කේන්තියෙන් නෙමෙයි අනුකම්පාවෙන් බැලිය යුතු බව අමාලි කියද්දී ඒ කතාව පිළිගන්න අපහසුවක් මධූෂාට දැනුණා.
“මොනදේ තිබුනත් තමන් ඉන්නේ හරියට ආදරේ ලැබෙන තැන නෙමෙයි කියන දේ දැනුනහම සමහර ගෑනු යස්සනියො වෙනවා.උපුලි මිස්ටත් වෙලා තියෙන්නේ ඒක.ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් තිබුනට සමහරුන්ට ඒවට විසඳුම් හොයන්න උවමනාවකුත් නැහැ.එතකොට වෙන්නේ ඔක්කොම කුණු බෙංගාල බොක්ක ට කියලා අහක ඉන්න අපි පිටින් ඒ තරහ පිට වෙන එක.”
චරනි ලොකු කතාවක් කියන්න පටන් ගනිද්දි හිතට හරි නැති බව කියලා කසුන්ට යවපු පණිවුඩයට පිළිතුරු ඇවිත් කියලා මධූෂා දැක්කා.හිත් රිදෙන දේවල් ගණන් ගත යුතු නැති බවත් තමන් ඕනෑම මොහොතක ඇය සමඟ ඉන්නා බවත් ඔහු ලියා එවලා.
“හරි ආදරයක් ලැබෙන කොට ඕනෑම වේදනාවක් දරාගන්න හරිම ලේසියි”
මධූෂා රාජකාරියට අවධානය යොමු කළේ එහෙම හිතන ගමන්.