ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා පෙම්වතියගේ අක්කා රැවටූ තරුණයෙක්

(ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි.වෘත්තිය සදාචාරය හේතුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

සැමියා බැහැරක රැකියාව කිරීම සමහර තරුණ බිරින්දෑවරුන් දරා ගත යුතුම සිදුවීමක් වනවා.වෘත්තියෙන් ගුරුවරියක වූ නිමාලිටද එය එසේ වූවා.ඇය දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්.සැමියා දුර බැහැර රැකියාවක් කිරීම නිසා ඇයට එතරම්ම තනිකමක් නොදැනුණේ ඇගේ අම්මා සහ බාල සහෝදරිය ඇගේ නිවසේම ජීවත් වූ නිසා.දැන් ඇගේ විවාහයට වසර අටක් පමණ ගෙවී තිබුණා.නිමාලිගේ සැමියා වූ කමල් ආරක්ෂක අංශයේ සේවය කළ කෙනෙක්.කමල් ඇතැම් කාලවල නිවසට ආසන්න සේවා ස්ථානයක සේවය කළ අතර මේ කාලයේ සේවය කළේ නිවසින් ඉතා දුර බැහැර සේවා ස්ථානයකයි.ඔවුන් දෙදෙනා ඉතාම ආදරයෙන් ජීවත් වන යුවළක්.

කමල් දුරබැහැර සේවය කරද්දී ඔවුන් දෙදෙනා ෆේස්බුක් හරහා නිතරම චැට් කරන්නට පුරුදු වී සිටියා.බොහෝ විට දවල් කාලයේ දී තොරතුරු හුවමාරු කර ගැනීම දුරකතන ඇමතුම් හරහා සිදු වුණත් ෆේස්බුක් හරහා චැට් කිරීමට ඔවුන් දෙදෙනා හුරු වී සිටියා.රාත්‍රී කාලයේ දී.මැසේන්ජර් හරහා සිදු වූ මේ කතාබහ අතිශය පෞද්ගලික වූ අතර ඔවුන් විවිධ ඡායාරූප පවා හුවමාරු කර ගැනුණා.තවම තරුණ වයසේ සිටි ඔවුන් තමන්ගෙ හැඟීම් දුර සිටියදී බෙදා ගත්තේ මේ ආකාරයෙන්.

ඇතැම් වෙලාවට එදිනෙදා කතාබහ කරන්නට අමතක වූ දේවල් ද රාත්‍රියේ චැට් කරද්දි බෙදාහදා ගන්නට ඔවුන් පුරුදු වී සිටියා.

“අම්මගෙ බෙහෙත් දුන්නද?”
“නංගි ක්ලාස් ගිහින් ආවද?”
“පුතා අදත් ශිෂ්‍යත්ව ක්ලාස් පේපර් එකට ලකුණු අඩු ද?”
  
වගේ අතිශය සාමාන්‍ය දේවල් ද ඔවුන් මේ හරහා බෙදා ගත්තා. නමුත් මේ කතාබහ තුළ අතිශය පෞද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ අවස්ථා බොහෝ වැඩියි.

එක්තරා වතාවක කමල් නිවසින් පිටතට ගොස් සිටියදී නිමාලි ඒ ආකාරයෙන්ම ඔහු සමග චැට් කිරීමේ නිරත වුණා.ඒ ඔහුගේ නව facebook ගිණුම හරහා.දින දෙකක් පමණ චැට් කිරීම සිදුකර තුන් වැනි දිනයේ දී ඒ සැබෑවටම කමල් දැයි එක්තරා සැකයක් ඇයට මතු වූයේ ඒ අතර.

“ඇයි අනේ ඔයා මට ඊයේ රෑ අර වගේ කතාවක් කිව්වේ?”

ඒ ගැන පසුදා සැමියාගෙන් සැමියා ගෙන් අසන්නට ඇය වගබලාගත්තා.එවිට කමල් විස්මයට පත් වුණා.තමන් එවැනි කිසිවක් කතා කළේ නැති බව ඔහු කියන්නේ ස්ථිරව. සාමාන්‍යයෙන් මෙසේ රාත්‍රියේදී වෙන කතාබහ ඔවුන් පසුදා කතා නොකළත් කමල් වෙනදා කතා නොකරන පන්නයේ දෙයක් කතා වූ නිසා තමයි නිමාලි ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් විමසන්නට සිතුවේ.ඒ තමන් නොවන බව කමල් දිගින් දිගටම පවසද්දී නිමාලි අදාළ චැට් එකේ සමහර screenshots ඔහුට යවන්නට කටයුතු කරනවා.මේ තමන්ගේ ෆේස්බුක් ගිණුමක් නොවන බව කමල් ඒ මොහොතේදී පවසනවා.කමල් මේ වතාවේ නිවසින් පිටතට ගිය පසු පැරණි ගිණුම බ්ලොක් වී ඇති බව පවසා අලුත් ගිණුමකින් තමන් සමග චැට් කළ ආකාරය ගැන නිමාලි ඔහුට පවසන්නේ ඉන්පසුවයි.තමන් එවැන්නක් නොකළ බවත් මෙය විහිළුවක් නොවන බවත් කමල් බොහොම බැරෑරුම්ව පවසනවා.

“ඒ මොකක්ද උනේ?”

නිමාලි දැඩි බියට පත් වන්නේ ඉන් අනතුරුවයි.ඇය ඒ නිසාම තමන් ඒ ගිණුම සමග ඡායාරූප හුවමාරු කරගත් අන්දම ගැන කමල් ට පවසන්නේවත් නැහැ. එදා රාත්‍රියේ ද කමල්ගේ ඒ ෆේස්බුක් ගිණුමෙන් නිමාලි සමග චැට් කරන්නට චැට් කරන කෙනා පැමිණෙනවා.

“ඔයා කමල් නෙවෙයි කියලා මම දන්නවා.කවුද ඔයා?”

නිමාලි එසේ විමසද්දී අනෙක් පැත්තෙන් ඇයට නැගෙන්නේ තර්ජනයක්.තමන් කමල් නොවන බවත් නමුත් දිගින් දිගටම තමන් සමග චැට් කිරීමේ නිරත නොවුනොත් තමන් සතුව ඇති නිමාලිගෙ පෞද්ගලික ඡායාරූප සෑම තැනකම බෙදාහරින බවටත් වූ තර්ජනය කරනවා.මෙය නිමාලිට මහත් හිසරදයක් වනවා.ඇය ඉතා මානසික පීඩාවට පත් වෙන්නේ ඉන් අනතුරුවයි.ඇය කිසිම පිළිතුරක් නොදී සිටියදී ඇය යැවූ පෞද්ගලික ඡායාරූප නැවත ඇයට ලැබෙන්නේ ඒවා ප්‍රසිද්ධ අවකාශවල ප්‍රදර්ශනය කරන බවට ඇති වෙන තර්ජනය සමඟ.මෙය නවතින්නේම නෑ.ඒ නිසා නිමාලි සෑම මොහොතකම ගත කරන්නේ බියකින් සහ මානසික අවපීඩනයකින්.චැට් කරන කෙනා මුණ ගැසෙන්නට සිදුනොවුණත් නැවත නැවතත් ඡායාරූප යවන්නට සිදුවීම ඇයට සැබෑවටම පීඩාවක් වනවා.ඇගේ දෛනික ජීවිතය කටයුතු පවා අඩාල වන්නට පටන් ගන්නවා.නිවසේ දෛනික කටයුතු ආර්ථික ගැටලු සහ අනෙකුත් දේවල් සමඟ ඇය එන්න එන්නටම තරමක් වෙනස් හැසිරීමක් ගන්නට පටන් ගන්නවා.තමන්ගේ තත්වය දරාගන්නට බැරි තැන නිමාලි එය තමන්ගේ හොඳ මිතුරියක් සමග කියා තිබුණා.මේ මිතුරිය ඇයව උපදේශනයට යොමු කරන්නට කටයුතු කළා.

මේ ගැටළුව සම්බන්ධයෙන් මනෝ විද්‍යා උපදේශකතුමා ක්‍රියා කළේ මේ ආකාරයෙන්.

මා ඇගේ සැමියා වූ කමල් ද උපදේශනයට ගෙන්වාගත්තා.ගැටලුව විසඳීමේ දී ඇයට තර්ජනය කරන පුද්ගලයාට නැවත තමන්ට කරදරයක් වූවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දෙන්නැයි මා උපදෙස් ලබා දුන්නා.මෙසේ කරන කෙනා සම්බන්ධයෙන් නිමාලිට යම් සැකයක් තිබුණු අතර එය පසුව ස්ථිර වුණා.ඒ ඇගේ නැගණිය ගේ පෙම්වතාවයි.මෙසේ තර්ජනය කරන කෙනා කවුදැයි සැකයන් ඔස්සේ ගවේෂණය කරන්නැයි මා උපදෙස් දුන් පසු ඒ ඔහු වන්නට ඇති බවට ඇයට තදබල විශ්වාසයක් තිබුණා.එතෙක් පැවති පීඩාව අනුව කෙනාව අනුමානය කරන්නටවත් නිමාලිට හැකියාව තිබුණේ නැහැ.නංගිගේ පෙම්වතා වූ මිලාන් නිවසට යන එන තරුණයෙක්.ඔහු නිවසේ පිහිටීම පවා දැන සිටියා.ඒ නිසා කතාබහ කරපු යම් කාරණා ඔහු දැන සිටීම සම්බන්ධයෙන් ඔහු ගැන අවිස්වාස ඇති කරගන්නට පහසු වුණා.කමල් නිවසින් පිටව යන දවස් පවා මේ තරුණයා හොඳින් දන්නවා.

“මම මේ කතාකරන කෙනා ඔයා බව දන්නවා. නැවත මට කිසියම් හානියක් ඇති වුනොත් මම නීතිමය පියවර ගන්නවා.ඒ වගේම ඔයා කවුද කියන එක අනිත් අයට හෙළිදරව් කරනවා.”

නිමාලි එවැනි පණිවිඩයක් ඒ ෆේස්බුක් ගිණුමට යවනවා.

ඒ වගේම මෙම ගැටලුවේ සැබෑ ස්වරූපය පිළිබඳව ඉතාම සියුම්ව පියවරෙන් පියවර නිමාලිගේ සැමියාව දැනුවත් කිරීමටත් මෙම ගැටලුව වඩාත් හොඳින් විසඳාගැනීම සඳහා ඔහු මෙම ගැටලුව සමග ක්‍රියා කරන ආකාරය සමඟ ගැටලුවට වන ඍණාත්මක සහ ධනාත්මක බලපෑම් පිළිබඳවද ඔහුගේ දැනුවත්භාවය වැඩිදියුණු කරන්නටත් මට හැකි වුණා.

“අයියා වගේ මට කෙනෙක් චැට් කළා. මම ඒක හොයා ගත්තා.අපි දන්න කෙනෙක් කරලා තියෙන්නේ කියලා තේරුම් ගියා.”

නිමාලි එය තමන්ගේ නැගණිය වූ අමාලිට දන්වන්නේ ඉදිරියේදී මිලාන් නැවතත් හිරිහැර කළොත් ඔහු නීතිය හමුවට ඉදිරිපත් කිරීමේදී අමාලිගෙ සිතට වේදනාවක් ඇති නොවීමයි.එම නිසා අමාලිගේ සම්බන්ධයට ගැටලූවක් වී තිබුණේ නැහැ.මෙය අමාලිට හෙළිදරව් කර ඇගේ සම්බන්ධයට බාධා ඇති කරන්නට නිමාලි කැමැති වූයේද නැහැ.ඒ නිසා සම්පූර්ණ සත්‍ය සිදුවීම නිමාලි නැගණියට හෙළිදරව් කළේ නැහැ.නිමාලි නිවසේ සිටින කිසිම වෙලාවක මිලාන් නැවත නිවසට පැමිණ තිබුණේ ද නැහැ.

අපට සමහර ගැටළු පැමිණෙද්දී ඒවාට තව කෙනෙකුගේ උදව් ගත යුතු වෙලාවට අප ඒවා ලබාගත යුතුමයි.මේ ගැටලුවේදී නිමාලිව බ්ලැක්මේල් කර වෙනත් තැනකට ගෙන්වා ගැනීමට මිලාන් ක්‍රියා කළා නම් එය ඉතා විශාල අනතුරකට ඇය ලක් කරන්නක්.මේ ප්‍රශ්නය තවත් දුරදිග යාමට ද හේතුවක් වෙනවා.සමාජ ජාල සම්බන්ධයෙන් මෙවැනි ගැටලු ඉතා සුලබ වන අතර ඒ බොහොමයක් ගැටළු වලට හේතුව වන්නේ ද මේ ප්‍රශ්න තනි ව විසඳා ගැනීමට කාන්තාවන් උත්සාහ කිරීමයි.සමහර වෙලාවට කෙනකු සතුව ඇති ඡායාරූප මකා ගැනීම සඳහා ඔවුන් යෝජනා කරන තැන්වලට යන්නට පවා කාන්තාවන් පෙළඹෙනවා.එසේ නැතිනම් එක ඡායාරූපය වෙනුවට තවත් බොහෝ ඡායාරූප අපයෝජකයන්ට ලබාදෙන්නටත් කාන්තාවන් අනුවණ වෙනවා. මේ ආකාරයේ ගැටළු වලට මුහුණ දෙද්දී පළවෙනි ගැටලුව විසඳාගැනීම වෙනුවෙන් ඊළඟට බරපතල පියවර තැබීම නුසුදුසුයි.මෙවැනි ප්‍රශ්නයකදී පළමු පියවරේ දී ම සමීපතමයින්ගේ සහ නීතිමය උදව් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.ඔබ මෙවැනි ගැටලුවකට මැදිහත් වූ පසු තනියම එය විසඳා ගන්නට උත්සාහ ගන්නට එපා.එය ඔබව ගැලවීමට බැරිතරම් පැටලවීමක රැඳෙන්නට හේතුවක්.

ආදර සම්බන්ධතා අවසන්වීම, අනියම් සම්බන්ධතා තුළ මෙවැනි තත්ත්වයන් වලට ගැහැනුන් ලක්වීම සුලබයි.මේවා මුල් අවස්ථාවේදීම විසඳ නොගන්නා ඕනෑම මොහොතක හානි වෙමින් ඉදිරියට යාමට ඔබට සිදුවෙනවා.නමුත් මෙවැනි ප්‍රශ්න ඉන්පසු කෙළවර වන්නේ පළවෙනි අවස්ථාවේ තිබූ හානියට වඩා විශාල හානියකින්.හානිය දිගින් දිගටම වර්ධනය වෙනවා.ඒ නිසා එවැනි ගැටලුවක් පැමිණි පසු තමන්ට වඩාත්ම විශ්වාසවන්ත කෙනෙක් සමඟ එය බෙදා ගන්නටත් ඉන්පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කළ යුතුයි.

බිය වීම සහ පීඩා විඳීම කිසිම ප්‍රශ්නයකට විසඳුමක් ලබා දෙන්නේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles