ඔබේ දරුවා මොහොතකටවත් තනි කරන්න එපා..

ඒ හදිසි කාර්‍යාල හෝරාවන් අතර ඉසිඹුවක් ලද මොහොත විය.කොපමණ වැඩ රාජකාරි අතර මා ගිලී සිටිය ද ඒ සිඟිති මුහුණ මා එනතුරු මඟ බලා සිටියි. පියා අහිමි ඇය පතන්නේ මගේ ආදරය ය.රැකවරණය ය. මා ඇය කැටිව එන්නට දිනපතා පාසලට යන්නේ එනිසාම ය.

ප්ලෝයි, මගේ දියණිය අද මවෙත දිව ආවේ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන ය. ඒ අද දවසේ ඇගේ පෙරපාසල් ක්‍රියාකාරකම වන්නට ඇත. එය ගැන මා සමඟ පැවසීම ඇගේ දවසේ සතුට ය.ඒ ගැන මම ඇගෙන් අසන්නට පටන් ගතිමි. ඈට පවසන්නට බොහෝ දේ විය. අපි කියවමින් උද්‍යානය මැදින් ඇවිද ආවෙමු. කාර්යාලය සහ පෙර පාසල අතර ඇති මාර්ගයේ ඇවිද එන්නට අප බොහෝ ප්‍රිය කළේ මෝටර් රථයේ විත් මාර්ග තදබදයේ හිරවෙනවාට වඩා ඒ ගමන අපූරු නිසා ය.සැබෑවටම ඒ මව සහ දුව අතර වෙලාවකි.

උද්‍යානය මැදින් ඇවිද එද්දී මට කාර්යාලයෙන් ඇමතුමක් පැමිණි අතර එයට පිළිතුරු දෙන්නට මඳක් නැවතෙන්නට සිදු විය.ප්ලෝයි මවෙතින් මිදී පෙට්ටිය ද ඇදගෙන එහෙමෙහෙ දිවීම ඇරඹුවා ය. මගේ නෙත් ඈ වෙත විය. ඈ පෙට්ටිය තුළට රිංගා ගත්තේ හැංගිමුත්තන් කරන්නට ය. ඇයට එසේ ඉන්නට ඉඩ හැර මම ඇමතුමට අවධානය යොමු කළෙමි.

ඇමතුම අහවර කළ මම හෙමින් සීරුවේ පෙට්ටිය වෙත ගොස් ඈ ඇමතුවෙමි.

නැත!

මගේ සිඟිත්තිය එතුළ නැත.

මිනිත්තු කටු පැය බවට හැරෙද්දී උද්‍යානය පුරා ඈ සොයන්නට මට බොහෝ අය උදව් දීම ඇරඹිණි. පොලිසිය උදව්වට පැමිණි අතර ප්ලෝයි පැළඳ සිට වළල්ල පමණක් සොයා ගැණිනි.

මහ හඬින් හඬන්නට පටන් ගත් මට නැවත සිහිය පැමිණියේ රෝහල් සයනයකදී ය.

කාලය වේගයෙන් ගෙවී ගියේ ය. පොලිස් පරීක්ෂණ නොකඩවා ක්‍රියාත්මක විය. ප්ලොයිගේ සෙල්ලම් බඩු සහ ඇඳුම් තුරුලට ගෙන සිප ගනිමින් හැඬීම මිස වෙන යමක් කරන්නට මට සිහි වූයේ නැත.

තුන්වෙනි දිනයේ පොලිස් නිලධාරියා මවෙත පැමිණියේ අතිශය බැරූරුම් මුහුණක් ඇතිව ය. බිලිඳු දියණියකගේ මළ සිරුරෙන් ඇරඹි කතාව ඔහු අවසන් කළේ ඈ මිය ගොස් ඇත්තේ දූෂණයකට ලක් ව බව පවසමිනි.මගේ විලාපය තීව්‍ර විය.

මගේ දියණිය දූෂණයකට ලක් වී මිය යන්නට තරම් අවාසනාවන්ත දැයි සිතමින් මම වැළපුණෙමි. ඇගේ දුක්බර විලාපය මට ඇසෙන්නාක් මෙනි. කෑගසා හඬන මා නවතන්නට කිසිවෙකු සමත් වූයේ නැත.

දවස් ඔහේ ගෙවී ගියේ ය. මට එහි වෙනසක් නොවී ය.ජීවිතය මා ඔසවා පොළොවේ ගසා අවසන් ය.වැතිර හඬමින් සිටි මට නිවස ඉදිරිපිට වාහනයක් හෝන් ගසනු ඇසුණේ සිහිනයකින් මෙනි.

ඒ පොලිස් නිල රථයකි.මා සිටින්නේ සිහිනයකදැයි සැබෑවකදැයි මට වටහා ගත නොහැකි වූයේ මගේ සිඟිත්තිය විවර වූ දොරකින් කෑගසාගෙන මවෙත එද්දී ය. මම ඈ වැලඳ හඬන්නට ගතිමි. කිසිවෙක් මට බාධා කළේ නැත. පොලිස් නිලධාරීන්ට පින් දීම හැර මට පවසන්නට යමක් නොතිබිණි.

“ඔබ ස්තූති කළ යුත්තේ මෙතුමිය ට” මගේ වැලපුම සමනය වෙද්දී පොලිස් කාන්තාවක විසින් වෙළා ගත් අතක් ඇති තුවාල බොහොමයක් ඇති තරුණ ගැහැනියක මට හඳුන්වා දුන්නා ය. මගේ ප්ලෝයි ඈ වෙත සුරතල් සිනා හෙළන්නී ය.

“මම හිටියේ මගේ වගාබිමේ. ප්ලෝයි වඩාගෙන හිටිය මිනිහා දරුවා ගෙනියන්නේ දරුවගෙ අකමැත්තෙන් බව මට තේරුණා.මේ දවස්වල ලෝකේ පුරා වෙන නරක සිදුවීම් එක්ක වෙන්න යන දේ වටහා ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.මම ඒ මිනිහා නොනවත්වාම ලුහු බඳිනකොට ප්ලෝයි අම්මා ඕනි කියමින් මොරදෙන හඬත් මට ඇහුණා.පාලු තැනකදී ප්ලෝයි අතවරයට ලක් වෙන්න යනකොට පොල්ලක් අරන් ඒ මිනිහට ගහන්න මට පුලුවන් වුණා. මිනිහා මාත් එක්ක පොර බැදුවා.සිහි නැති වෙන්න යනකොටම මගේ ගමේ අය කිහිපදෙනෙක් අපි වෙත එනවා මට හීනෙන් වගේ මතකයි”

ඇය සිනාබරව පැවසුවා ය.

“පොලිස් පරීක්ෂණ වලින් ප්ලෝයි ඔබේ බව හඳුනා ගන්නතුරු මම තනි අතින් දූ බලා ගත්තා.මේ සතියට මං ප්ලොයිට හොඳටම බැඳිලා. මට දැන් හිතාගන්න බැරි ඈ නැතුව මං ජීවත් වෙන විදිය”

ඈ කියන්නේ කඳුලු අතරිනි. මම ඈ වැලඳ ගතිමි. ඇයට ස්තූති කරන්නට මගේ ශබ්දකෝෂයේ වචන ප්‍රමාණවත් නැත.

“ස්තූති අවශ්‍ය නෑ. මම ඒ සිදුවීමට මුහුණ දෙන ඕනෑම කෙනෙක් කරන දේ කළා. ඒත් දරුවන්ව මොහොතක්වත් තනි කරන්න එපා.. ලෝකය දැන් විනාශකාරි තැනක් වෙලා ඉවරයි.”

විනාශකාරි මිනිසුන් වෙසෙන ලෝකයේ ඈ වැනි යහපත් හදවත් ද ඕනෑ තරම් ඇති බව පවසා ඇය සමුගත්තා ය.

“ඔබේ දරුවා එක මොහොතකටවත් තනි කරන්න එපා” මගේ ප්ලෝයි තුරුලට ගෙන මට ලෝකයේ හිඳින හැම අම්මා කෙනෙකුගෙන්ම එලෙස ඉල්ලීමට උවමනා ය.

තායිලන්තයේ සත්‍ය කතාවකි.

Related Articles

Don't Miss


Latest Articles