රැවටීම කියන්නේ ආදරය නෙවෙයි.

“ඒ ළමයා මගෙ යාලුවෙක්.මට නොයා ඉන්න බෑ මේ වෙලාවේ.”

සජීව දඩිබිඩියේ ටී ෂර්ට් එකක් ඇඳගත්තේ එහෙම කියමින්.හිතවතියකට අසනීපයි නම් කොහෙද යන්නේ,ඇයි යන්නේ වගේ ප්‍රශ්න අහන එක හොඳ මදි කියලා සජිතා දන්නවා.ඒ නිසා සජිතා ඇහුවේ වෙනම ප්‍රශ්නයක්.

“සල්ලි තියනවද? හොස්පිටල් නැවතුණාම ළඟ ඉන්න කෙනෙක් ඕනෙද?”

ප්‍රශ්න දෙකටම සජීව කිව්වේ බලලා කියන්නම් කියන පහසු උත්තරය.ඒත් රෝහලට ගිය සජීව බිරිඳව ඇමතුවේ ඉතාම හදිසියකින්.

“ඔයා ළඟ සල්ලි ටිකක් තියෙනවද සජී.පවනි ගාව තියෙන සල්ලි බෙහෙත් වලට මදි.”

අවශ්‍ය මුදල අන්තර්ජාලය හරහා යවන ගමන් සජිතාට කල්පනා කල්පනා කරන්න දෙයක් තිබුණා.ඒ මේ වෙලාවේ පවනිට උදව් කරන්න ඉන්න එකම එක යාලුව තමන්ගෙ සැමියාද කියලා නම් නෙවෙයි.වෙනත් කාරණාවක්.

“මේ වෙලාවේ පවනි ලඟ ගෑනු කෙනෙක් ඉන්න ඕන නැද්ද සජීව?”

ඇය ළඟ ඇගේ අම්මා ඉන්නවා කියලත් සජීව කිව්වේ කලබලයෙන්. පවනිට උදව් වෙන්න යාම පසෙකට දැම්ම සජිතා ගෙදර වැඩ කරන්න පටන් ගත්තා.

“පවනිට මොකක්මහරි කරදරයක් වෙනකොට එතනට සජීව දුවන්න ඕනමයි කියලා කොහෙවත් ලියලා තියනවා වගේනෙ සජිතා.”

පවනි ගැන කතාබහක් ආරම්භ වෙච්ච වෙලාවක සජිතාගේ මිතුරිය නිලක්ෂි එහෙම කිව්වේ සැකයකින් වගේ.ඒත් ඒ මොහොතේ වත් සජිතාට රතු එළියක් දැල්වුණේ නැහැ.මිත්‍රත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට උවමනා නැති බව පමණක් ඇය හිතුවේ සැහැල්ලුවෙන්.

ඕනෑවට වඩා සැක කරන සම්බන්ධයක් තුළ මිහිරක් නැති බව සජිතා දන්නවා.ඇයටත් ඕනෑ තරම් පිරිමි මිතුරන් සිටි නිසා හැම කෙනෙකුම සීමාව දැනගෙන ඇසුරු කරන්නට ඇය දැනගෙන සිටි නිසා සජීව සහ පවනිගේ මිත්‍රත්වය ගැන වැරදි ඇසකින් බලන්නට ඇයට වුවමනා වූයේ නැහැ.

“ඔයාට යාලුවෝ ගොඩක් ඉන්නවා.සජීව ගේ එකම යාළුවා පවනි.”

නිලක්ෂිගේ රතු එළිය ආයෙමත් දැල්වෙද්දි සජිතාට පුංචි සැකයක් ඇති නොවුණම නෙවෙයි.

“සැක කර කර ජීවත් වෙන්න පුලුවන්ද?”

ඒත් ඒ හැම වෙලාවකම ඒ විදියට හිතන්න ඇය පුරුදු වුණා.යුතුකම් ගොඩක් නෑ ඉෂ්ට කළ සජීව ළඟ වෙනදා තරම් ආදරයක් නැති බව දැනෙද්දී පවා තමන්ගේ හිතලුවක් බව හිතන්න සජිතා කැමති වුණා.තමන් වෙනුවෙන් වෙලාව හොයාගන්න බැරි උනත් සජීවට පවනි වෙනුවෙන් වැය කරන්න ඕනෑවටත් වඩා වෙලාව තිබුණා.නිලක්ෂි කියන රතු එළි මේවාද කියලා ආයේ ආයේම සජිතා හිතන්න ගත්තේ අන්න ඒ වෙලාවට.

“මොකද සජීව ෆෝන් එකේ පාස්වර්ඩ් මාරු කරලා?”

හදිසි උවමනාවකට දුරකථන ඇමතුමක් ගන්න සජීවගේ ජංගම දුරකතනය අතට ගත්ත සජිතා එහෙම ඇහුවේ කේන්තියකින් නෙමෙයි සාමාන්‍ය තාලෙට.ඒත් සජීව ඒ ප්‍රශ්නයට බොහොම කෝපයට පත් වුණා.

“මනුස්සයෙකුට නිදහසක් තියෙනවනේ.ඔයාට මගේ ෆෝන් එකෙන් ඇති වැඩක් නෑ.”

වෙනත් කෙනෙකුගේ ජංගම දුරකථනය හොරෙන්  පරික්ෂා කිරීමට තරම් සජිතගෙ හිතට සැකයක් ඇවිත් නැහැ.ඇයට ඇත්තටම දුරකථනය අවශ්‍ය වුණේ ඇමතුමක් ගන්න.වෙනදා ඒ වගේ වුවමනාකම් දැනෙන ඕනෑම වෙලාවක කිසිම අවහිරයකින් තොරව භාවිතා කරන්න පුළුවන් වුණු සැමියාගේ ජංගම දුරකථනයට අගුලු වැටීම දෙවැනි රතු එළිය දෝ කියලා ඇයට හිතෙන්න පටන් ගත්තා.

“ඔච්චරම හංගන්න ඒ ෆෝන් එකේ තියෙන්නෙ මොනවද?”

නැවත නැවතත් එහෙම සිතීම වළක්වා ගන්න බැරි නිසා සජීවට හොරෙන් ඔහුගේ ජංගම දුරකතනයේ මුරපදය දැනගන්න සජිතා උත්සාහ කළා.උත්සාහය අසාර්ථක වුණේ නැහැ.සජිතා සැමියා නාන කාමරේට ගිය අතර ඔහුගේ ජංගම දුරකථනයේ ඇමතුම් සහ පණිවිඩ පිරික්සන්න ගත්තේ හිස ගිනි ගන්නා අතර.

“හොඳම යාළුවා” මී පැණි වලටත් වඩා මිහිරි භාෂාවකින් සජීව අමතන කෙටි පණිවිඩ දහස් ගණනක් විවිධ චැට් වලින් හොයාගන්න සජිතාට ගත වුණේ සුළු කාලයක්.ගෙදරට යුතුකම් පමණක් ඉෂ්ට කරන්න ප්‍රවේසම් වන සජීව “පවනි නැතිව මොහොතක්වත් ජීවත් විය නොහැකි බව” ලියා යවා ඇති අන්දම දකිනකොට තමන්ට මොන වෙලාවෙ සිහිසුන් වෙයි ද කියලා සජිතා හිතුවේ වේදනාවකින්.

නමුත් මේ සිහිසුන් වී වැටිය යුතු අවස්ථාවක් නෙවෙයි.ඇය දිරිමත්ව ජීවිතයට මුහුණ දෙන්න තීරණය කළා.මුලින්ම ඇය ඒ හැම පණිවිඩයක්ම ස්ක්‍රීන් ෂොට්ස් අරගෙන තමන් ළඟ ගබඩා කරගත්තා.ඊලඟට කරන දෙය  ගැන හිතන්න ඕන ප්‍රවේසමෙන්.

“ඔයාට එයාව අත්හරින්න බැරිද?”

නිලක්ෂිගේ ප්‍රශ්නයට සජිතාට මතු වුණේ හිනාවක්.අත් හරින්න බැරි තරමේ ආදරයක් ඔහු වෙත තිබුණු බව ඇය දන්නවා.ඒ ආදරේ අවසන් කිරීම පහසු නැහැ.නමුත් ඔහු තමන්ට ආදරයක් නැත්නම් වෙනත් තැනක බැඳෙමින් සිටියනම් වගකීමක් ඇති වැඩිහිටියකු වගේ ඒ කතාව තමන්ට කියන්න සජීවට නොහැකි වුණේ ඇයි කියලා සජිතා කල්පනා කළා.සාකච්ඡා කරලා විසඳගන්න බැරි ප්‍රශ්න මේ ලෝකෙ කොහේවත් නැහැ.රැවටීමට වඩා සමුදීම කියන්නේ බොහොම උතුම් දෙයක්.

“මම ඔයාගෙන් අහන්නේ නෑ ඇයි මාව රැවැට්ටුවේ කියලා.මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.ඒත් මෙතනින් එහාට වෙන්න ඕන මොකක්ද කියලා මට දැනගන්න ඕන.”

පවනි තමන් රවටා ගත් ආකාරය ගැන සජීව අතර කරන හැටි සජිතා බලාගෙන හිටියේ පිළිකුලෙන්.ඇත්තටම කිසිම වැඩිහිටියෙක් රැවටෙන්නේ නෑ. කෙනෙකුගේ කතාබහට හෝ හැඩරුවට රැවටෙන වයසක සජීව නැති බව සජිතා දන්නව.

“වැරැද්ද පිලිඅරගෙන මෙතනින් එහාට කරන දේ ගැන කතා කළා නම් හොඳයි නේද?”

සජිතා තමන්ට හැකි තරම් කාරුණික කටහඬකින් එහෙම අසද්දී පවා සජීවට උවමනා වුණේ මේ හදිසි සිතුවිල්ලක් බව පැහැදිලි කරන්න.ඔහුට සජිතා අවශ්‍යයි.පවනි කියන්නේ ජීවිතේ වුණු වෙනස්කමක්.

“එයාට අසනීපයි කියලා මගෙන් ඉල්ලා ගත්ත සල්ලි වලින් පවා ඔයා කරපු දේවල් මම දන්නව.”

කතා කරන්නත් අකමැති දේවල් ගැන තවදුරටත් කතා කරන්නත් සජීවගේ බොරු හේතු අහන්නත් සජිතාට වුවමනා වුණේ නැහැ.සාක්ෂි සමඟ වරදකරු ඔප්පු කරගත හැකිව තිබියදී කසාදෙකට නොයා හිඳීමේ තේරුමක් නැති බව ඇය හිතුවා.

“කෙනෙකුට දෙවැනි අවස්ථාවක් ලැබෙන්න ඕනේ තමයි.ඒත් මේ වගේ දේවල් වලට නෙමෙයි.මාත් එක්ක ජීවත් වෙන ගමන් ඔයා මාව රවට්ටපු හැටි හොඳටම වැරදි.සම්බන්ධයක් ඇති වුණා කියලා ඒ සම්බන්දෙ පවත්වාගෙන ගියා නම් මට මේ තරම් කේන්ති එන එකක් නෑ.ඒත් ඔයා කළේ මාව වගේම පවනිත් රවට්ටපු එක,එයා ඔයාට හොඳම යාළුවෙක් කියලා මාව රැවැට්ටුවා වගේම මාත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියලා එයාට කියන්නත් ඇති නේද?”

සජිතා අහන ප්‍රශ්න වලට පිළිතුරු නැති නිසා සජීව ගල්ගැහුණා.ප්‍රශ්නය මේ විදියට නිමා කර ගන්න ඔහුට ඇත්තටම වුවමනා වුණේ නැහැ.පවනි වෙනස් කරන වෙනස! සජිතා ඔහුගේ බිරිඳ! ඔහු හිතාගෙන හිටියේ එහෙමයි.නමුත් දැන් කරන්නට කිසිම දෙයක් නැති බව සජීවට වැටහෙනවා.

“සම්බන්දයක් ඇතුළේ අවංක වෙන්න සජීව.තමන්ට එක තැනක ඉන්න බැරිනම් අයින් වෙන හේතුව ගැන ඇත්ත කියලා එතනින් අයින් වෙන්න.රවට්ටන ගමන් ඔයත් රැවටෙන්න එපා.අපි කසාදයක් ජීවිත කාලයක්ම තියාගන්න ඕනි කියලා කොහේවත් ම නියමයක් නෑ.ඒත් කාලයක් තිස්සේ එකට ජීවත් වුණු කෙනාට අවංක වෙන එක මනුස්සකම.”

දික්කසාද නඩුව හේතුවෙන් නිවසෙන් පිටවෙන්න කලින් සජිතාට කියන්න තිබුණෙ එපමණයි.රැකියාවක් ඇති ආර්ථික ස්ථාවරත්වයෙන් යුත් ගැහැනියක් වන ඇය හොඳින් ජීවත් වෙන බව සජීවට සහතිකයි.ඇය හිස කෙලින් තබාගෙන කෙළින් තබා ගෙන පිටව යන්නේ වේදනාවකින් නෙවෙයි.”රැවටිලිකාරයෙක් ගෙන් මිදෙන එක වේදනාවක් නෙවෙයි.” ඒ ගැන විමසුවානම් ඇය එහෙම කියන බව සජීව හොඳින්ම දැනගෙන හිටියා.

ඒ නිසා ඔහු කිසිවක්ම නොකියන්න ප්‍රවේසම් වුණා.

More Stories

Don't Miss


Latest Articles