අනුරාධා අවන්හලට ඇතුළුවුනේ කෙළවරේම මේසය දිහා බලන ගමන්.ඇයට සුසුමක් හෙලුනේ ඉබේටමයි.අවන්හලේ කෙලවරේම තියෙන මේසය ලඟට ගිය ඇය මොහොතක් ඒ දිහා බලාගෙන ඉඳලා වාඩිවුණා.
” ඔයා එන ගමන් ද නිලූ ? ”
අනුරාධා මිතුරියට ඇමතුමක් ගත්තේ තවත් පොඩි වෙලාවක් තනි වෙන්න තිබුනා නම් හොඳයි කියලා හිතන ගමන්.
” මට විනාඩි දහයක් දෙන්න ”
අනුරාධා දුරකථනයේ ඡායාරූප එකතුවට ඇතුළු වෙලා අවසාන ඡායාරූපය දිහා ආයෙමත් බැලුවා. මිතුරෙකුගේ මාර්ගයෙන් උදේ කාර්යාලයේ ඉන්නකොට ආව ඇරයුම්පත අනුරධාගේ හිතට එකතු කළේ හිස් හැඟීමක්.
” අනූ ”
විහඟගේ හඬ අනුරාධා ට ඇහුනේ ඈත ලෝකෙකින් වගේ.
” අපි හැම ඇනිවසරි එකකටම මෙහේ එමු ”
ගිය අවුරුද්දේ තමන්ගේත් විහඟගේත් ආදරයේ සැමරුම් දිනය මේ අවන්හලේදිම සමරනකොට ඊලඟ සැමරුම් දිනය වෙනකොට තමන්ට තනිවෙන්න වෙයි කියලා අනුරාධා හීනෙකින් වත් හිතුවේ නැහැ. ජීවිතයේ හැම මොහොතක්ම අවිනිශ්චිතයි කියලා අනුරාධාට දැනෙන්නේ දැන්
” මට දැන් එපා වෙලා තියෙන්නෙ මේක “
විහඟ පුංචි පුංචි දේවල් වලටත් රණ්ඩු අල්ලන්න පටන් ගන්නකොට ඔහු මේ සූදානම් වෙන්නේ තමන්ගෙන් ඈත් වෙන්න කියලා අනුරාධා විශ්වාස කළේ නැහැ.ඒ වෙනුවට ඇය කළේ විහඟ එක්ක ගොඩනැගෙන ලස්සන අනාගතයක් ගැන හීන මවපු එක
” මං කොට්ටාව පැත්තෙන් ලස්සන ගෙයක් බැලුවා විහඟ. මේ වීක් එන්ඩ් එකේ අපි ඒක බලන්න යමුද ? ”
අනුරාධා දවසක් ඇහුවේ බලාපොරොත්තු සහගත දෑස් දල්වන ගමන්
” ගෙයක් ගන්න සල්ලි ? ”
විහඟගේ ප්‍රශ්නය උනේ ඒක
” ඉතුරු කරපු සල්ලි තියනවා මං ගාව. ඒ ගැන බය වෙන්න එපා ”
” අපෝ.. ඔයාගේ සල්ලි වලින් ගෙවල් අරගෙන මට රූකඩයක් වගේ ඉන්න වෙයි ”
හිතේ තිබුණු බලාපොරොත්තු දෙපාමුල කඩාගෙන වැටුණේ අනුරධා ගේ ඇස් වලට කඳුළු එකතු වෙන ගමන්
” විහඟ , මගේ දේවල් ඔයාගේ දේවල් කියල දේවල් නැහැ. තියෙන්නෙ අපේ දේවල්. ජීවත් වෙන්නේ අපි දෙන්නා නේද ? ”
අනුරාධා ඒ වචන ටික කියාගත්තේ බොහොම ඉවසීමෙන්
” මුලදී ඔහොම කිව්වට පස්සේ කොහොම වෙයිද කවුද දන්නේ ? “
විහඟ උත්තර දුන්නෙ සමච්චල් සහගත හිනාවකින්. මොන තරම් ආදරය කලත් විහඟ තමන් එක්ක අනාගතයක් ගැන හීන දකින්නේ නැහැ කියලා දැනෙනකොට අනුරාධා පරක්කු වැඩියි
හිතාගන්න බැරි තරම් වේගයකින් විහඟ ගේ ආදරය වෙනස් වෙනකොට නිහඬ හිනාවකින් ඒ හැමදේම දරාගන්න අනුරාධා පුරුදු වුණා.ඒ නිහඬ බවම විහඟට අනුරාධා ගෙන් ඈතට යන්න තවත් පහසු කලා
” අපේ අදහස් ගැළපෙන්නෙ නැහැ. තවදුරටත් අපි දෙන්න එකට ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේක හරි යන්නෙ නෑ අනුරාධා ”
කිසිම තෙතමනයක් නැති වචන ටිකකින් විහඟ දමලා ගහනකොට ඔහුව නතර කරගන්න ඕනේ කොහොමද කියලා අනුරාධාට හිතාගන්න බැරි වුණා
” තියෙන ප්‍රශ්නයක් කතා කරල විසඳ ගන්න ඕන නේද විහඟ ? මෙච්චර කාලෙකට පස්සේ ද ඔයාට අපේ අදහස් ගැළපෙන්නෙ නැහැ කියලා තේරුණේ ? ”
” ඔයාව වෙනස් කරගන්න හැදුවට ඔයා වෙනස් වුණේ නෑ. ඔයා මම හොයන විදිහෙ කෙනෙක් නෙමෙයි ”
විහඟ කියන්නේ කෝපය උතුරන ඇස්වලින් අනුරාධා දිහා බලන ගමන්
” කෙනෙක් අපේ ජීවිතයට එන්නෙ එයාගෙ හොඳයි නරකයි දෙකම අරගෙන. අනික, අපි තව කෙනෙක්ට ආදරය කරන්න ඕනේ එයාව වෙනස් කරන්න බලාගෙන නෙමෙයි ”
අනුරාධා ට ඕන උනත් තව දුරටත් එකම මගක යන්න විහඟට ඕන උනේ නෑ. හිතාගන්න බැරි තරම් විවිධ හේතු කියලා විහඟ අනුරාධා ගේ ජීවිතයෙන් සදහටම යන්න ගියේ තමන් ආදරය කරන දේවල් ඕනම මොහොතක අහිමි වෙන්න පුළුවන් කියලා ආයෙ ආයෙමත් අනුරාධා ට මතක් කරලා දෙන ගමන්.
ඒ වෙන්වීමෙන් පස්සෙ ජීවිතයේ ඉස්සරහට යන්න අනුරාධා ලොකු සටනක් කරනකොට විහඟ තවත් කෙනෙක් එක්ක ජීවිතේ පටන් අරගෙන කියලා අනුරාධාට අහන්න ලැබුනා.
” ඌ මහ ජරා මිනිහෙක්.ඌට ඕන උනේ ඔයාගෙන් කොහොමහරි ගැලවෙන්න ”
තමන්ගේ හොඳම මිතුරියගේ ඇස්වලින් දරාගෙන යන වේදනාව දැක්කම නිලූ කිව්වෙ කෝපයෙන්
විහඟ එක්ක අනාගතයක් ගැන හීන දැක්ක අනුරාධා තනියම තමන්ගේ ගමන යන්න හිත හදා ගත්තෙ ඊට පස්සේ. හැම වෙලාවෙම මතක් වෙන මතක , අමතක කරන්න මහා අරගලයක් කරන ගමන් අනුරාධා ජීවිතයට මුහුණ දෙන්න පටන් ගත්තා.
” අනූ. මේ ? ”
විහග ගේත් තමා ගේත් මිතුරෙක් වුණ ආකාශ් දුරකථනයේ තිබුන යමක් කාර්යාලයේ දී පෙන්නුවේ ඒ අතර.
” ඔයා සම්පූර්ණයෙන්ම හිත හදාගන්න ඕනේ කියලා ඔයාට දැන් තේරෙනවද ? කවද හරි එයා එයි කියලවත් බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ අනුරාධා “
ආකාශ් කිව්වේ ඇත්තටම අනුරාධා හිත හදාගන්න ඕන නිසා. ඒත් එක්කම තවත් මිතුරෙක් ඇගේ දුරකථනයට විහඟ ගේ විවාහ මංගල්‍යයේ ඇරයුම්පත එවලා තිබුණා
තමන් සතු දෙයක් අන්සතු වෙනකොට මොන මොන තරම් වේදනාවක් දැනෙනවද කියල අනුරාධා මොහොතින් මොහොත තේරුම් ගත්තා. ඇස්වලින් ගලන කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න ඇය ඉඩ හැරියෙ අදින් පස්සේ ආපහු කවදාවත් අඬන්නේ නෑ කියලා හිතාගෙනයි
” අනූ ”
අනුරාධා කල්පනා ලෝකයෙන් මිදුණේ තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න නිලූව දැකලා
” ඔයාට ඇයි මේ restaurant එකටම එන්න ඕන වුණේ ? ”
නිලූ ඇහුවේ අනුරාධා ඉදිරියෙන් අසුන් ගන්න ගමන්
” ආයෙ කවදාවත් මම මෙතනට එන්නේ නැති නිසා නිලූ ”
අනුරාධා අවන්හලෙ වීදුරුවෙන් පෙනෙන පාර දිහා බලාගෙන හිටියේ හිස් බැල්මකින්
” ඔයා තවත් ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා අනූ ”
නිලූ කිව්වෙ ආදරයෙන්
” මම අද වෙනකන් එයාට ආදරේ කළා. ඒත් මේ ඉන්විටේශන් එක දැක්කට පස්සේ එහෙම ආදරය කරන්න වත් ඕනේ නෑ කියලා මම තේරුම් ගත්තා නිලූ ”
අනුරාධා හෙලපු සුසුම් වල දිග පළල තේරුම් ගන්න නිලූට ඒ වෙලාවේ අපහසු වුණේ නැහැ
” අපි ආදරේ කරන අය අපිට අයිති වෙන්න වෙන්න ඕනම කියලා එකක් නැහැ තමයි. ඒත් එහෙමයි කියලා අපිට වටිනාකමක් නොදෙන තැන්වල නතර වෙලා ඉන්න එකේ තේරුමකුත් නෑ නිලූ ”
අනුරාධා අන්තිමට එහෙම කිව්වේ දුරකථනයේ තිබුන ඇරයුම්පතේ ඡායාරූපය මකලා දාන ගමන්.