සුධාරකගේ මස්සිනා මුව විවර කළ විටම නඩුව පරාද වූ බව අන් අයට නොතේරුණත් ඔවුන් සමග ආ නීතිඥ මහතාට නම් තේරුම් යන්නට ඇති.ඒත් කරන්නට දෙයක් නැහැ බුද්ධියට වඩා තන්හාව විසින් වසාගන්නා ලද මෝඩකම ඒ සියල්ලටම උඩින් තිබුණා.මස්සිනා දිගටම කියවනවා.අපි විත්තිය පාර්ශවය හෙයින් ඔහුට ඇතිපදම් කියවන්නට හැර බලා සිටියා.
“මේ නිලධාරියාගේ ගෙදර රජයේ රහස් ලියකියවිලි තියෙනවා.ලංකාවට තර්ජනයක් කලහැකි ඉතාම රහසිගත ලියවිලි තියෙනවා ගිණි අවි පතරොම් තියෙනවා.ඒවා ඔක්කොම අනතුරේ.මේ ගෑණුකෙනා මෙයා මැරුණට පස්සේ දොරවල් කඩාගන ගෙට රිංගගෙන.මේ නිලධාරියාගේ බිරිඳ දරුවෝ.වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට රට ගිහින් ඉන්නේ”
ස්ථානාධිපති තුමා මා දෙස බලා
” මිස් මේ කියන දේ ගැන ඔබතුමියට කියන්න දෙයක් තිබෙනවද”
නීතිඥවරු සමග කලින් කතාකරගත් පරිදි මම මා වෙනුවෙන් පෙනීසිටියා.
“රජයට හා ලංකාවට තර්ජනයක් වෙන දේවල් ගැන කතාකරන්න ආව මේ පුද්ගලයා ගැන මට ගැටලු සහගතයි මොකද මොහු මේ නියෝජනය කරන්න ඇවිත් ඉන්න පාර්ශවය කළ කී දේවල් ඔප්පුකරන්න සියලු ලියකියවිලි මෙතන තියෙනවා.ඒ නිසා රටට හානියක් වෙන්න තියෙනවා කියන දේවල් ගැන කතාකරන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද කියලා දැනගන්න මම කැමතියි”
එසේ කියූ මම ඒ වනවිටත් අදාල අංශ වෙත මා බාරදී තිබූ දිල්හානිගේ ලියකියවිලි සියල්ල අඩංගු ෆයිල් කවරය ස්ථානාධිපතිවරයා ට ලබාදුන්නා.මගේ නීතිඥයන් ඔහුට එහි ලියවිලි ගැන එකින් එක ස්ථානාධිපතිවරයාට පැහැදිලි කරද්දී පැමිණිල්ලේ නීතිඥයා විසින් මස්සිනා සහ මාමා පැත්තකට කතාකොට යමක් පවසනු මා දුටුවා.
නියත වශයෙන්ම මේ කරුණ නීතිවේදියා නොදැන සිටින්නට ඇති.ඇය හැමවිටම සමාජයට පෙනී සිටියේ සුධාරක වරදකරුවකු කරමින් ඇය අහිංසක ලද බොලඳ කාන්තාවකගේ චරිතයට පණ පොවමින් මා මේ ලිපිගොනු නීතිය හමුවට ගෙනේවි කියා කිසිවකු සිතන්නට නැහැ.මට තවදුරටත් රකින්නට දෙයක් නැහැ.මගේ සුධාරක මේ හැමදේම නිහඬව විඳවා යන්න ගියා.
ස්ථානාධිපතිවරයාට බාධාකරමින් ඔවුන්ගේ නීතිඥයා මෙසේ පැවසුවා
“දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේක නෙවෙයි. මේ නොදන්නා කාන්තාවක් මේ නිවස අත්පත්කරගෙන සිටීම.ඒක විසඳගන්නයි අපට ඕනෑ”
නමුත් පොලිස් නිලධාරියා ලිපිගොනුව පෙරල පෙරලා බැලුවා.
“ඒ වුනාට මේ ගෑනිකෙනා මේ දාලා තියෙන දේවල් හරි බරපතලයි නේ.මේ විදියට රජයේ ඉහළ නිලධාරීන්ගේ නෝනලා දරුවෝ මෙහෙම කියනකොට කොහොමද අපේ රට ජාත්‍යන්තර අධිකරණවලින් නිදහස්වෙන්නේ.කෝ එතකොට මෙයා වෙනුවෙන් ඉදිරිපත් වෙන ඇටෝනි හිමිකම තියෙන කෙනෙක් ඉන්නවද”
“ඔව් ඇටෝනි බලය පවරලා තියෙන්නේ මෙයාට කියමින් නීතිඥයා දිල්හානිගේ මාමණ්ඩිය පෙන්වූවා.ඔහු අත තිබූ ෆයිල් කවරයකින් එලියට ගත් ලියවිල්ලක් ස්ථානාධිපතිවරයා අත තැබුවා.එය මගේ නීතිඥයන් දෙදෙනා ඉල්ලාගෙන පරීක්ෂා කරන අතර ස්ථානාධිපති තුමා මගෙන් නැවත මෙසේ විමසා සිටියා
“මේ අය කියනවා මේ නිවසේ අවි ආයුධ තබාගන ඉන්නවා ය කියලා ඒක ඇත්තද. එහෙම නම් එතනදී ඔබතුමියට ගැටලුවක් වෙනවා”
“ඔව් මේ නිවසේ අවිආයුධ තිබූණා.සුධාරක වෙඩික්කරුවෙක් ඔහු ඒ වෙනුවෙන් රට නියෝජනය කරපු කෙනෙක්.ඔහු සතුව ඔහුගේ අවි ආයුධ තිබුණ බව ඇත්තයි.නමුත් දැන් ඒවා නීත්‍යනුකූලව රෙජිමේන්තුවට බාරදුන් පසූ එහි භාරයේ තිබෙනවා.”
එයට හරස් කැපූ මස්සිනා.
“නෑ නෑ.ආයතනයට අයිති ඒවාත් ඒ ගෙදර හංගගෙන ඉන්නවා “
යැයු පැවසුවා.
මට ඇත්තටම එවේලේ තරහක් ආවා. මිනිස්සුන්ට මෙහෙම බොරු කියන්න පුලුවන්ද? මම ඊට එරෙහි වුණා.
“මෙහෙමයි.මේ අය කියන විදියට ආයතනයට අයත් අවි ආයුධ ගෙදර තියෙනවා නම් මේ අය නෙවෙයි ඒ ගැන මගේ නිවස පරීක්‍ෂා කරන්නට හෝ විමසා සිටිය යුත්තේ ආයතනය නේද? ලක්ෂ හතක මාගේ පෞද්ගලික වියදමින් සුධාරකට අරන්දුන් තුවක්කුව පවා දැනට තිබෙන්නේ ආයතනය භාරයේ. ඕනෑ නම් ඔබට එය ආයතනයෙන් පරීක්‍ෂා කර බැලිය හැකියි.ඇරත් මේ මනුස්සයා තුවක්කු ගැන ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයක් මෙයාට හරියට කැටපෝලෙකින් රිලවෙකුට ගලක් ගහගන්න වත් බැරි කෙනෙක්.තුවක්කු ගැන මොකට හොයනවද.”
මා කීවේ ඇඟට පතට නොදැනී.ඒ අතර ඇටෝනි බලපත්‍රය බැලු මගේ නීතිඥවරු එයට බලය ලැබී තිබෙන ආකාරය ගැටලු සහගත බව ප්‍රකාශකරමින් එය පිලිගත නොහැකි බව පවසා සිටියා.මේ කිසිම විටෙක දිල්හානිගේ මාමා වචනයකුදු නොදෙඩූ අතර මුලුගැන්වී ම සිටියා.ඒ අතර දිල්හානිගේ නීතිඥයා ස්ථානාධිපතිවරයාට මෙසේ පැවසුවා.
“මේගොල්ලෝ මේ කාන්තාව අඳුරන්නෙ නැහැ.ඇය මේ මියගිය කෙනාගේ සම්බන්ධයක් තියෙනවා කියාගෙන ඇවිත් මේ නිලධාරියා මියගියාටත් පස්සේ ගෙදර දොර අගුල් කඩාගෙන බලෙන් ගෙට ඇතුලුවෙලා ඉන්නවා.මේ අයට අවශ්‍ය මැයගෙන් ගේ නිදහස්කරගන්නයි”
මමත් මගේ නීතිවේදීනුත් බලාපොරොත්තුව සිටි තැනට ඔවුන් ආවා.ඊට අපි දුන් පිලිතුර ඔබට මම හෙට කියන්නම්.