“ඔයාට මේ මනුස්සයව මතකද?”
තුහිනගේ ෆේස්බුක් ගිණුම අමුණා මලිති ඒ පණිවිඩය යැව්වේ හංසිට ය. සැබෑවටම හංසි නොදන්නා තරුණයෙකු ඒ නගරයේ නොවූ තරම් ය. ඕපාදූප සොයන්නට ඇය පාසල් කාලයේ පටන්ම හපනියකි. නමුත් ඒ කිසිවෙකුට හානිදායක වර්ගයේ ඒවා නොවේ. ෂාරුක් ඛාන්ගෙන් ඇරඹී නගරයේ ජීවත් වන කඩවසම් තරුණයන් දක්වාම ඇගේ විපරමට ලක් වූවෙක් නොවූ තරම් ය. මලිතිට එය සිහිව සිනාවක් නැගේ.
“මේ රමෝද්නෙ”
යසෝමා ගුරුතුමියගේ භෞතික විද්‍යා පන්තියේ සිටි හීන්දෑරි කොලුවා මලිති සිහි කළා ය.
රමෝද්?
ඔහුව එතරමට අමතකව ගියේ කොහොමදැයි ඇයට හිතන්නටවත් නොහැකි ය. ඔහුට ඒ කාලයේ මලිතිව ලුහු බඳින දෑසක් වූ බව මලිතිට මතක ය. නමුත් හීන්දෑරි කොලුවා කැරපොත්තෙක්ට සමාන බව කියමින් මලිති ඔහු පැමිණෙන වෙලාවල් මඟ හැර ටියුෂන් පන්තිවල වෙනත් වෙලාවන් තෝරා ගත්තා ය.
“රමෝද් නෙවෙයි,තමුසෙට මාව කසාද බැඳලා ඉන්න නුවන්වවත් මතක නැතුව ඇති. ඔයා හිතන් හිටියෙ ඒ කාලේ මුළු ලෝකෙටම ඉන්නෙ එක කොල්ලයි කියලනෙ. එහෙම පිස්සු වැටෙන ක්‍රෂ් එකක් මේ ලෝකෙ කාටවත්ම තියෙන්න නැතුව ඇති. අනේ මොට්ට මලී, රමෝද් විතරක් නෙවේ උඹේ පස්සෙ ලහිරු ආවා,පසිඳු ආවා, ඉෂාර අයියා ආව. තව කොල්ලො කීයක් නම් ආවද? උඹට ඒ එක මූණක්වත් මතකද? ඒ හැම එකාම අමතක කරලා නවීන්ව මැරි කරාම මට නම් පුදුමත් හිතුණා.”
පොල්ලෙන් ගහන්නාක් මෙන් දේවල් කියන්නට කැමති හංසි එසේ කියද්දී මලිති කිසිවක්ම නොකියා ඉන්නට උත්සාහ කළා ය. නුවන්ගේ මඟහැරීම නිසා සීතල පාට නවීන් තෝරා ගන්නට ඈ හිතුවක්කාර කළ බව මලිති මිතුරියට නොකීවා ය. ඕපාදූපයක් විමසුවාට එවැනි දෙයක් කියන්නට නොහැකි තරමට පාසල් මිතුරිය දැන් දුරස් ය.
“අර පේජ් එකේ දැකලද ඔයාට තුහිනව මතක් වුණේ”
හංසි අසන්නේ දුරකථනය දිගේ හිනැහෙමිනි. උත්පලා සහ ඇගේ ඉවුම් පිහුම් රහස් වලට හිනැහෙන තවත් ගැහැනු ඉන්නා බව රුවිනිට කියන්නට මලිතිට ඕනෑ විය. නමුත් තුහින ගැන ඕනෑවට වඩා විපරම් කිරීම ගැන ඇගෙන් දොස් අසන්නට වන බව සහතික ය.
“මං කියන්නෙ මේකයි. අපි ඔය රමෝද්ට තුහින කියල නමක් තියනව කියලවත් දැනන් හිටියෙ නෑනෙ. මෑන් දැන් සෙලිබ්‍රිටි කෙනෙක් වෙලා තිබ්බ ලස්සන නමකුත් යූස් කරනව.”
ඔහු තවදුරටත් උත්පලා සමඟ නැතැයි කියන්නට තරම් ආවේශයක් මලිතිට ඇති විණ. නමුත් එය පහසු නොවේ. එවැනි කමකට නැති ඕපාදූප හිතට ආ පමණින් පිට කළ යුතු නොවේ. තුහින තමන්ගේ ආයතනයේ සමහර ව්‍යාපෘති වලට එක් වන බව පමණක් පාසල් මිතුරියට කියන්නට මලිති වග බලා ගත්තාය. අඩුම තරමේ ඔහුගේ නිවසේ පිහිටීම ගැනවත් කියන්නට නුවුමනා ය.
“ඔයයි මායි ඉස්කෝලෙ කාලෙ එකට ටියුෂන් ගිහින් තියනවනෙ. මට දැන් මතක් වුණේ.”
මලිති තුහිනගේ ඇරයුම පිළි ගෙන එසේ ලියා යැව්වා ය.
“ඇත්තටම! මට මෙලෝ මතකයක් නෑ.”
තුහින එසේ ලියා එව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් ය. ඇය සමඟ ඈතින් හිඳ කතාබහ කරන්නට ඔහු තීරණය කළේ ය. ඔහු භාවිතා කළ නම තුහින නොවන හන්දාත් උසස්පෙළ කොලුවාට වඩා ඔහු බොහෝ කඩවසම් හන්දාත් හඳුනා ගැනීම අසීරු වූ බව මලිති කියද්දීත් තුහින එව්වේ සිනා මුහුණක් පමණි.
“අඩුම මාව මතක් වෙලාවත් නෑ. ලෝකේ ලස්සනම ලව් ස්ටෝරියක් අරන් යන නෝන මහත්තයනෙ”
තුහින දුරකථනය හා හිනැහුණේ වියරුවෙනි.
“විහිළු කතාවක් කියන්නද? මං ඔයාට තාම ආදරෙයි”
දින කිහිපයකට පෙර බැලූ චිත්‍රපටියක වූ ඒ දෙබස ඔහුට සිහි වේ.එහි පෙම්වතිය පරිද්දෙන් මලිති පණ පිටින් වළ දමන්නට තරම් කෝපයක් ඔහුට උපදී. අමතර පන්ති කිහිපයකටම ආ කඩා හැලෙන වරලසක් ද කතා කරන දෑසක් ද හිමි යුවතිය! ඇය හිත මොනතරමට සසල කරාදැයි කියන්නට ඔහුට වචන ඇත්තේම නැත.
“එයා ඔයාට කැමති නෑ.”
ඇගේ මිතුරියන් ගල් හිතකින් එසේ පැවසූ අතීතයට දැන් දශකයකටත් වැඩි කාලයක් පිරී තිබේ.එහෙත් තුහිනගේ වේදනාව තවමත් එහෙම ය. නුවන්ට උමතුවෙන් මෙන් ප්‍රේම කරමින් හිඳින කෙල්ලට වඩා ඔහු කෝප ගත්තේ නුවන් සමඟ ය. නොනවත්වාම නුවන් සමග පැටලීම එකල්හි ඔහුගේ විනෝදාංශය සරි විය.දැන් නුවන් යුරෝපා රටක ය. මලිති නිවස අසලම කාර්යාලයක සේවයට ආ දා තුහින නැවතත් ගිනි ගන්නට පටන් ගත්තේ ය.උත්පලා කරන හැම දෙයක්ම විහිළුවක් වන්නට ගත්තේ එදායින් පසුදැයි ඔහුට නිච්චියක් නොවේ.
“ඔයාට මතකද තාරකා? විමාෂා, මනුරි, එහෙම?”
මලිතිගේ පන්තියේ සිටි කෙල්ලන් රෑන අතරින් මතකයේ ඇති නම් කිහිපයක් තුහින ලියා යැව්වේ ය. ඔහු සමඟ කතා කරන්නට ප්‍රිය කරන්නිය ඒ හැම යුවතියක ගැනම දිගින් දිගටම විස්තර පැවසුවාය.
“එයාලව මතක හිටිනව. ලස්සන කෙල්ලොනෙ. ඔයාලා පොතේම ඇලිලා හිටිය මෙලෝ රහක් නැති ගැංසිය නේද? මට මතකයි යසෝමා මිස්ට එහෙම ඔයාලා පුදුම තරම් මුට්ටි අල්ලනව. ඒ කාලෙ ඔයා ඔලුවවත් පීරන්න අමතක කරලා නේද ක්ලාස් එන්නෙ?”
තුහින වේගයෙන් ලියනය කර එවයි. මලිති එක් දෙයක් වටහා ගත්තා ය.අමතක කළ බව කියන්නට උත්සාහ ගත්තාට ඔහුට ඇය අමතක වී නැත. ඔහුට ඇයව පුදුම තරම් මතකයේ තිබේ.
“දැන් නුවන් මොකද කරන්නෙ?ඔයාගෙ ඒ කාලෙ ලව් එක නේද?”
ප්‍රේමය හන්දා පලි ගන්නා තරුණයන් හිඳින චිත්‍රපටිම බලන්නට පුරුදු තරුණයා ඇසුවේ මලිතිට රිදවන්නට ය. ඒ ඇගේ ප්‍රථම ප්‍රේමය නොවන බවත් ඒකපාර්ශ්වික හද රිදවූ ප්‍රේමයක් බවත් මලිති අහිතක් නැතුව පැවසුවා ය.
“වන් සයිඩඩ් ලව් එකක් කරනවට වඩා හොඳයි එකපාර ගඟක මුහුදක පනිනව. අවුරුදු ගණන් ගියත් මිදීමක් නැති සාප ඒවා.”
ඔහු එසේ කියා දුරකථනය නිවා දැමී ය. රැය ගෙවෙන තුරුම ඇය දැවිය යුතු වේ. ඔහු තීරණය කළේ ය.
(තුහින සහ මලිති මෙතැනින් එහා කොහේට යාවිදැයි ලියා යන්න)