මල් තුහින – 16

වසර කිහිපයකට පෙර අතීතයේ ආදරය අයදිමින් ආ කොලුවා ප්‍රතික්ෂේප කිරීම මේ තරමට ගැටළු ඇති කරාවියැයි මලිති සිතා තිබුණේ නැත. ඇය කම්පාවෙන් කල්පනාවට වැටුණා ය.

මේ කම්පනය පිරුණු මොහොතකි.

“මමයි මගෙ මනුස්සයයි ඩිවෝස් වෙන්න ඇත්තටම හේතු වුණු දේවල් උඹ දන්නවද?”

රුවිනිගේ අතැඟිලි මලිතිගේ උරහිසේ වැටුණේ එසේ අසන අතර ය. මලිති වේදනාකාරී සිනාවක් නැඟුවා ය. ඒ වේදනාව කා වෙනුවෙන්දැයි පැහැදිලි නොවේ.නමුත් ඇයට දුකක් දැනේ.

“අපි අපේ ගෙවල් අස්සෙ බෙඩ් රූම් අස්සෙ වෙච්චා අදටත් පුලුවන් තරම් හංගගෙන අපිට වේදනාව දීපු මිනිස්සු රකිනවා. ඒ මිනිස්සුන්ටත් ගෞරවයක් තියනව කියල හිතනව.ඒ අපේ ගෑනුකම නෙවෙයි මලී, මනුස්සකම.”

සැබෑවටම මනුස්සකමට ගැහැනුකම හෝ පිරිමිකම යැයි ලේබල් අවශ්‍ය නැති බව මලිති ද සිතුවා ය.ජීවිතය කියන්නේ සමාව දීම සහ නිවැරදිවීම බව ඉගැන්වූයේ බාලිකාවේ විදුහල්පතිනිය ය.

“දැන් උත්පලා මහ විනාසයක් කරල ඉවරයි. අවංකවම තුහිනයා දිවි නහගන්න උනත් බැරි නෑ.”

කවුදෝ කියන හඬ ඇසේ. ඕපාදූප අසන්නට රුචි රංගනී මහත්මිය කුර්තාව උඩින් දැමූ ෂෝල් පට සකසමින් කෙල්ලන්ට එක් වී ඕපාදූප අසයි. අල්ලපු වැටේ ගින්න දැන් කොහොමටත් සමාජ මාධ්‍යයේ ලොකු ගින්නකි. රංගනීගේ අවධානය පවා ඇත්තේ වෙනත් තැනක ය. මලිති දුරකථනය අතට ගෙන සඳැල්ලට ගියා ය.නැවත ආ සිතුවිල්ලක් හන්දා ඔහු සමඟ ගනුදෙනු කරන කාර්යාල සගයා වෙත පැමිණියා ය.

“තුහිනගෙ නම්බර් එක?”

එසේ ඇසූ ගිම්හාන මඳක් නිහඬ විය.තුහින හොඳ මානසිකත්වයක හිඳින්නට ඉඩක් නොවේ.මේ වෙලාවේ රාජකාරි කටයුතු ඔහු සකතා කළ යුතු නැති බව ඔහු කීවේ ය

“එහෙම එකක් නෑ. උන්ගෙ පර්සනල් දේවල් අපිට වැඩක් නෑනෙ.මට මේ වැඩේ ඉවර කරගන්නෝන.”

ඇගේ කටහඬ එපමණ සැර ඇයිදැයි සිතමින් ගිම්හාන දුරකථන අංකය ලබා දුන්නේ ය.

“ඇත්තටම ඔය යකා දිවි නහ ගත්තොත්.”

කවුදෝ එසේ කියද්දී මලිතිට ඔහු ඇමතුම හා සම්බන්ධ වන තුරුම බිය දැනේ. ඇත්තටම ඔහු තවම ජීවත් වෙනවාද?

“රමෝද්?”

දුරකථනය හා ඔහු සම්බන්ධ වූ වහා මලිති කතා කළා ය.තුහින නිහඬ තත්පර කිහිපයක් ගෙවී ය.මලිති නේදැයි අසන්නට ඔහු භාවිතා කළේ සැර හඬකි.

“රමෝද් කෙනෙක් දැන් නෑ.කරුණාකරලා දැන් මිනිස්සු මට කියන නම කියන්න. අනික කතා කරේ ප්‍රොජෙක්ට් එකට නම් රනුකට කියන්න මම ඒ වැඩෙන් අයින් වෙනව කියල.”

මේ රාජකාරී කටයුත්තකට නොවේයැයි මලිති අසීරුවෙන් කියා ගත්තා ය. අනතුරුව ඈ හඬ වඩාත් මෘදු කරගන්නට වූවා ය.

“තුහින, ඔයා හොඳින්ද? මට ඔයාව අහන් ඉන්න පුලුවං.”

තුහින හිනැහුණේ උස් හඬකිනි. එය වියරු සිනාවකි. මහත් වියරු සිනාවකි.

“අහන් ඉන්න කියල ඉල්ලපු කාලෙ දෙන්න පුලුවන් ලොකු සීන් දීලා දැන් අහන් ඉන්නෙ ඇයි? අනුකම්පාවටද? ගෑනියෙක් මගෙ රෙදි ගලෝලා නිසා ඔය නෝනා අලුත් ඇඳුම් කපලා මහන්නද යන්නෙ? යනව අයිසෙ යන්න.”

තුහින එසේ කියා ඔහුගේ සඳැල්ලට ආවේ වේගයෙනි. ආයතනයේ සඳැල්ලෙහි වැවුණු නිල් මල් වැල අස්සෙන් පෙනෙන සඳක් වැනි මුහුණේ හිමිකාරිය හිඳින්නේ ළතැවුලෙන් බව ඔහු ඉන් අනතුරුව දැන ගත්තා ය.

එදා ඔහු ප්‍රතික්ෂේප කළ හන්දා දැන් ඇය වියවුලෙනි.

“මං ඔයාට දෙයක් එවන්නද?”

මලිති අසන්නේ ඔහු දෙස බලමිනි.

“මොනවද? මෝටිවේෂනල් ස්පීච්ද? ෆැමිලි කවුන්සිලින් නම්බර් එකක්ද?”

තුහිනගේ වියරු හඬ අතර දුරකථනය විසන්ධි විය. ඇය එවා තිබුණේ දුරකථන ඇප් එකක් ලෙස භාවිතා කරන දිනපොතක ස්ක්‍රීන් ෂොට් කිහිපයකි. තුහින ඒවා කියවන්නට විය.නිල් පැහැති මල් වැලෙන් ඔබ්බට නිල් පැහැති යුවතිය යන්නට ගියා ය.

අප්‍රකාශිත ප්‍රේමයක වේදනාවෙනි!

නොපිළිගත් ප්‍රේමයක් නිසා වේදනා විඳි අතීතය මතකයේ තිබියදීම ඔබට ආදරය කරන්නට පටන් ගතිමි.ඔබ මා ප්‍රතික්ෂේප කිරීම අරඹා ඇති බව දැනේ.ප්‍රේමයක වේදනා ඕනෑවට වඩා විඳින්නට මගේ හදවතට ධෛර්යය නැත. නොදන්නා කාලයක ඔබ ප්‍රතික්ෂේප කළ පාපය අයත් මට ය. පලි ගැනීමේ අයිතිය නුඹට ය.

මියැදීම වෙනුවෙන් සටහන් තැබීම ආරම්භ කළෙමි.නොදන්නා දිනයක නික්ම යන්නෙමි.

කිසිම දවසක ආදරයක් නොලද ගැහැනියක ලෙස නික්ම යන්නෙමි!!

තුහිනට අන් සියළු කාරණා පසුව විසඳා ගන්නට සිතිණ.

එහෙත් ප්‍රේමයක් නොලබා නික්ම යන ගැහැනියක ලෙස ඇය ඇයව හඳුන්වා ගන්නේ ඇයිදැයි ඔහුට සැක ය.

(මල් තුහිනත් SmartLady.lk වෙබ් අඩවියත් කියවන ඔබට 2023 ප්‍රේමයෙන් පිරී යන නව වසරක් වේවා. හෙට සිට හවස 6.30 ට ගංගා ෂයිනි ගමගේ මහත්මිය ලියන “රිදුණු තැන් පිරිමදිමි” කියවන්නට පුලුවන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles