රිදුණු තටු පිරිමදිමි – 07

දුවෙකු මුණ ගැහෙන්නට තාත්තා කෙනෙකු රූපලාවන්‍යාගාරයක් ළඟ කල් මරන්නේ ය යන්න මොන තරම් තාර්කික ද? මොන තරම් ප්‍රායෝගික ද? අංජන නීලවතුර ගේ ප්‍රකාශයෙන් සන්තුෂී තුළ අමුතු ආකාරයක කැළඹීමක් ඇති වුණා වී ද ඔහු ව විශ්වාස කරන්නට ඇය මඳක් පසුබෑවා ය. 

“විශ්වාස නෑ. තමුන්ට මොනා කිව්වත් විශ්වාස නෑ. ඒ තරං සැකේ”

සමහර වෙලාවට කල්ප විසින් කියන්නට යෙදුණ ඒ වචන ටික මේ මොහොතේත් සන්තුෂී ගේ හදවත තුළ පිළිරැව් නැගෙන්නට විය. විශ්වාස කරන්නේ කොහොමද? මිනිසුන් ට ඒ තරම් බොරු කියන්නට හැකි යයි ඇය දැන ගත්තේ කල්ප නිසාවෙනි. ඔහු කටට එනවාට බොරු කීවේ ය. හේතුවක් ඇතිව ද කිසිදු හේතුවක් නැතිව ද බොරු කීවේ ය. ඒවා බොරු බව ඔප්පු වෙත්දී සන්තුෂී ගේ ආත්මය කීරි ගැසී ගියේ ය. කාලයක් යත්දී ඔහු කියනා කිසිවක් විශ්වාස නොකරනා මානසිකත්වයක් ඈ තුළ ගොඩ නැගී තිබිණ. ඇතැම් විට ඔහු කියන්නට යෙදුණ සත්‍යයක් දෙස පවා ඇය බලන්නට ඇත්තේ බොරුවක් ය යන සැකයෙනි. කල්ප හින්දා සමස්ථ පිරිමි ලෝකය දෙස ම සැකය තැවරී ගත් දෑසකින් බලන්නට හුරු වීම කාලය විසින් ඈ තුළ සිදු කරනා ලද අනුවර්තනයකි.  

“දුව හම්බ වෙන්න තාත්ත මෙතනට එන්නෙ…ඇයි දුවව ගෙදරදි හම්බ වෙන්න බැරිද…”

සන්තුෂී ගේ මුහුණේ ඔහු ව පිළි නො ගන්නා සැකසහිත බවක් ද අවඥාවක් ද පැහැදිලි ලෙස ප්‍රදර්ශනය විය. තරුණයා වඩාත් නොරිස්සුම් වූයේ ය.

“පුළුවන්නං එන්නෑනෙ”

සන්තුෂී වේගවත් ගමනෙන් පිය ගැට පෙළ නැග ගියා ය.

“අපිට තියන ප්‍රශ්න විසඳගන්න බැරුව ඉන්නව…තව ප්‍රශ්න අරං එනව මෙතනට”

මේ උදයේත් ඇය වෙත ශේෂ ව තිබුණේ පෙර දා රාත්‍රියේ කල්ප නිසා ඇති වූවා වූ නොසන්සුන් බවයි. 

“පව් මිස්. එහෙනං කොල්ල මොකක් හරි ලොකු අවුලක ඇත්තෙ”

“ඒ කියපු ගර්ල් සැලෝන් එකට එනවද බලල අපි මොකක් හරි කරමු මිස්”

“තාත්ත නැති නිසා මං හොඳට දන්නව තාත්ත කෙනෙක්ගෙ ආදරේ වටිනකම…අඩු ගානෙ ඒ ළමයට අපි ඒකවත් තේරුං කරල දෙන්න ඕනෙ”

තරුණියන් දෙදෙනා වැඩ කරන අතරේත් කියවූයේ ඔහු ගැන ම ය. මේසය අසල පුටුවේ හිඳ ගෙන සීසීටීවී කැමරා දර්ශන දෙස අවධානය යොමු කර ගෙන සිටි සන්තුෂී ගේ හිතේ මෘදු කොනක් අවදි වී ගෙන ආවේ ය. නන්නාඳුනන ඔහු ඒ මේ අත සක්මන් කරමින් හිඳී. ඔහු බොරුවක් කරනවායි චෝදනා කරන්නට තරම් ඉක්මන් වන්නේ කෙසේ ද? කෙනෙකු ගේ හදවත තුළ වන කතා ගැන පිටින් බලා කිසිවෙකුට අර්ථකතන දිය නොහැකි ය. හැම වෙලේ ම ලස්සනට සිනහ වී සිටින තමන් වුව ජීවිතයේ හිස් තැන් හා සන්තාප වේදනා කෙතෙක් නම් හද තුළ සඟවා ගෙන සිටිනවා ද? හැම මිනිසෙකුට ම තමන්ගේ ම වූ හදවත් කතාවක් තිබේ. එසේ ම ඔහු ලෝකයට පෙන්වන බාහිර ස්වරූපයක් තිබේ.

ක්ෂණික සිතිවිල්ලකට නතුව සන්තුෂී අසුනෙන් නැගිට ගත්තා ය.

“අංජලී නෝට් බුක් එකයි පෑනකුයි අරගෙන එන්න”

කියාගෙන ම ඇය පහළට බැස්සා ය. ඒ කුමට දැයි යුවතිය දැන සිටියේ නැත. සමහර වෙලාවට සන්තුෂී ගේ චර්යාවන් ඔවුන් ට තේරුම් ගත නො හැකි ය. ඇගේ පෞරුෂය සමගින් සැසඳෙන්නට ඔවුන්ට නො හැකි බවක් දැනෙන අවස්ථා ද උදා වෙයි. 

සන්තුෂී කෙළින් ම ගියේ අංජන නීලවතුර ගේ රිය වෙතට ය. අංජලී තරමක් තිගැස්සී ගෙන සන්තුෂී පිටුපසින් සිටියා ය.

“මිස්ටර් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම එක දෙයයි. ඒ සැලෝන් එකට එන අයගෙ නමයි කන්ටැක්ට් නම්බර් එකකුයි ගන්න පොතක් දාන එක විතරයි. සාමාන්‍යයෙන් අපි එහෙම දෙයක් කරල නෑ. ඒත් අපි ළඟ ඩීටේල්ස් තියා ගන්න ඕන නිසා එහෙම කරනව කියන්න පුළුවන්නෙ. ඔයාගෙ දුවගෙ නම කියන්නකො. අංජලී ලියා ගන්න හරියට”

“හරි මිස්..”

යුවතිය නම ලියා ගැනීමේ සූදානමකින් ඔහු දෙස බැලුවා ය. අංජන ගේ විඩාපත් දෑස් වල බලාපොරොත්තුවක් දැල්වී ගෙන තිබිණ.

“තැන්ක්යූ”

ඔහු මිමිණුවේ ය.

“දුවගෙ නම සදෙව්මා. සදෙව්මා නීලවතුර. ඒත් එයා ෆුල් නේම් එක  කියයිද කියල මං දන්නෙ නෑ”

සන්තුෂී ත් අංජලී ත් උනුන් ගේ මුහුණු බලා ගත්හ. අංජලී ගේ බැල්මේ වූයේ ‘පව් මිස්’ වැනි කතාවකි. පිරිමින් ගේ අහිංසක බැල්මට රැවටිය යුතු නැතැයි සන්තුෂී මඳහසකින් යුතුව සිතුවා ය. නමුත් ඔහු හා සම්බන්ධ යම් අභ්‍යන්තර ගැටළුවක් තිබිය හැකි බව නම් ඇය ට දැනෙමින් තිබිණ. 

“අංජලී මේ සර්ගෙ කන්ටැක්ට් නම්බර් එකත් ලියා ගන්න”

“හරි මිස්”

ඔහු ගේ දුරකතන අංකය ලබා ගැනීමෙන් අනතුරුව සන්තුෂී අංජලී ව පිටත් කොට හැරියා ය.

“මේ වෙලාවෙ ඉඳල දිගටම අපි පොතක් මේන්ටේන් කරනව. ඔය නම තියන කෙනා ආවොත් අපි අනිවාර්යෙන් ම ඉන්ෆෝම් කරන්නං. ඔයා මෙහෙම මෙතන රස්තියාදු වෙන එකේ තේරුමක් නෑනෙ. අපිට කරන්න පුළුවන් දෙයක්නං ඩෙෆිනේට්ලි අපි කරනව”

“තෑන්ක් යූ”

“යූ ආ වෙල්කම්. ඔයා දැන් යන්න එහෙනං. අපරාදෙනෙ මෙතනට ගත වෙන වෙලාවෙ. ඇත්තටම මන් දන්නෑ ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද කියල. මට දැන ගන්න අවශ්‍යතාවයකුත් නෑ. හැබැයි ඒ ප්‍රශ්නෙ ඉක්මනටම විසඳෙන්න කියල මං විශ් කරනව”

ඇය නික්ම ගියේ ඔහු ට කුඩා සිනහවක් ද පිරිනමා ය. ඒ සිනහව තුළ ළෙංගතු කමක් නොවන්නට ඇත. එය මේ වෘත්තියට එළඹීම තුළ ඇය විසින් පුහුණු කර ගන්නා ලද වෘත්තීමය මට්ටමේ සිනහවකි. 

ඒ විදිහ හොඳ යයි අංජන ට ද සිතිණ. ඔහු යළි නික්ම ගියේ නිදහස් සිතකිනි. පසු ගිය කාලය තුළ ජීවිතය සැලකිය යුතු මට්ටමකින් අවුල් ව ගිය බව ඔහු ට සිහිපත් වේ. රැකියාව අහිමි නොවී තවමත් රැකී තිබෙන්නේ මීට පෙර ඔහු ගෙන් එවන්  ප්‍රතික්‍රියාවක් ආයතනයට නොලැබුණු බැවිනි. 

එදා කාර්යාලයට ගිය හෙතෙම අතපසු වූ බොහෝ කටයුතු අනලස් ව ද කාර්යක්ෂමව ද ඉටු කළේ ය. ජීවිතය නිස්කාරණේ දිය කොට හැරිය යුතු නැති බවක් හදිසියේ ඔහු ට දැනෙන්නට විය. සැබවින් දුකක් හෝ පශ්චත්තාපයක් කියා යමක් තිබෙනවා නම් ඒ දියණිය සදෙව්මා ගැන පමණ ය. 

“අංජන ආයෙ පිළිවෙලකට වැඩ ටික කරන්න ගත්ත එක ලොකු දෙයක්. එහෙම නොවුණනං කම්පනි එකට ඩිසිෂන් එකක් ගන්නම සිද්ද වෙනව. මොකද තවත් කල් අංජන වෙනුවෙන් බලන් ඉන්න කම්පනි එකක් විදිහට පුළුවන් කමක් නැති නිසා”

 අංශ ප්‍රධානියා ඔහු සිටිනා අවදානම් තත්වය ගැන අංජනව දැනුවත් කළේ ය. ඇතැම් විට ඔහු එසේ කළේ මින් ඉදිරියට අංජන වෙනුවෙන් අවස්ථාව දීමක් සිදු නොවනු ඇති බව අවධාරණය කරන්නට වන්න ඇත.

එදා දවසේ රූපලාවන්‍යාගාරයෙන් දුරකතන ඇමතුමක් ආවේ නැත. ඔහු බෝ ඉවසීමෙන් සිය රාජකාරී කටයුතු වල නිරත වූයේ ය. ඇය ගැන කිසිවක් ම නො දැන සිටියා වී ද සන්තුෂී ගැන විශ්වාසවන්ත හැඟීමක් අංජනට දැනෙමින් තිබිණ. දෙවන දිනයේ ද ඔහු සිය වැඩ කටයුතු වල නිරත වූයේ ය. නමුත් සැලෝන් සන්තු වෙතින් ඇමතුමක් ආවේ නැත. ඉවසීම පුපුරා ගොස් ඔහු ගේ ජංගම දුරකතනයට සැලෝන් සන්තු නාම පුවරුවේ තිබී ගබඩා කර ගත් දුරකතන අංකයට ඇමතුමක් නොගෙන බැරි තැනට අංජන පත් වූයේ රාත්‍රියේ දී ය. 

එතකොට සන්තුෂී නිදන්නට සූදානම් වෙමින් කැඩපත ඉදිරියේ සිට මුහුණේ ‘නයිට් ක්‍රීම්’ ගල්වමින් සිටියා ය. කණ්ණාඩි මේසය මත වූ ජංගම දුරකතනයෙහි සනිටුහන් ව තිබුණේ ගබඩා කොට තිබූ නමක් සහිත අංකයක් නොවේ. ඇය එක වර පිළිතුරු දෙන්නට උනන්දු නොවුණේ ඒ නොදන්නා කම හින්දා ය. ක්‍රීම් ටික ආලේප කිරීමෙන් පසු දුරකතන සවනට ගෙන නො සැලකිලිමත් ලෙස ‘හෙලෝ’ කීවා ය.

“මිස්…මං මේ නම්බර් එක සේව් කර ගත්තෙ මිස්ගෙ සැලෝන් එකේ බෝඩ් එකෙන්. සදෙව්මා ආවෙ නැද්ද මිස්..”

ඔහු කතා කළේ බෙහෙවින් ආචාරශීලීව ය. ඒ හඬේ වූ තැන්පත් බව නිසා ම සන්තුෂී ගේ දෙතොල් මත්තට මඳහසක් ආවේ ය.

“ආ…ඔයාද…මං ඒත් බැලුව නම්බර් එක කාගෙද කියල”

“මං අංජන. කෝල් එකක් නැති නිසයි මං ගත්තෙ. කරදරයක්ද දන්නෙත් නෑ මේ වෙලාවෙ”

“ආ නෑ නෑ. එහෙම ප්‍රශ්නයක්නං නෑ. අපි එදා ඉඳං එන හැම කෙනාටම ඒ පොත දෙනව. නමයි කන්ටැක්ට් නම්බර් එකයි ලියන්න කියල. ඒක් සදෙව්මා කියල නමක්නං තවම ලියවිලාම නෑ අංජන”

“ඒක තමයි නේද…ඒත් මට කිව්වෙ සැලෝන් සන්තු එකට හෙයා කට් එකකට එන්න ඉන්නව කියලයි”

“ඉතිං ඔයාට එයාගෙං දැන ගන්න බැරිද කවදටද එන්නෙ කියල…”

ඇසුවේ මෝඩ ප්‍රශ්නයකැයි සන්තුෂී ට සිතුණේ පමා වී ය. නමුත් යළි එය ආපසු හැරවිය හැකි මගක් වූයේ නැත.

“ඒක ලොකු කතාවක් මිස්. ඇත්තටම ඒක කියන්න ගියොත්…රෑ එළි වෙනකල් අහන් ඉන්න වෙයි මිස්ට”

“මට සන්තුෂී කියන්න අංජන. මට පහසුයි නම කියල කතා කරනකොට”

ඇය එසේ කීවේ මේ අරුම පුදුම තාත්තා හා දියණිය ගැන දුරට දිගට නැතත් යන්තමින් හෝ දැන ගන්නට හිත්හි උපන් ගැහැනු කුතුහලය හින්දා ය.

“මට දුවට කතා කරන්න විදිහක් නෑ මිස් සන්තුෂී. ඇත්තටම…එයාව මගෙන් ඈත් කරල තියෙන්නෙ”

“කවුද…”

සන්තුෂී ගේ මුවින් ඒ තනි වචනයේ පැනය පිට වූයේ මේ මොහොතේ ම හැකි නම් ඒ වෙන් කිරීම සිදු කළ තැනැත්තා වෙත එළඹ හොඳින් හෝ නොහොඳින් ඔහු ගේ ඒ දුෂ්ට ක්‍රියාව නතර කරනා තරම් ආවේගයකිනි.

“දුවගෙ අම්ම”

ඔහු කෙතරම් අසීරුවෙන් ඒ වචන දෙක පිට කළේ ද යත් උගුර යටින් පිට කළ ඒ වචන අංජන ගේ ම සවනට වුව නෑසුන තරමි.

“ආ…”

සන්තුෂී ට තමන් ගේ සවනට ඇසුණ දේ විශ්වාස කර ගත නො හැකි තරම් විණි.

“එහෙම වෙන්නෙ කොහොමද…”

“මේක කවුරුවත් කිව්වට පිළිගන්නෙ නෑ කියල මං දන්නව. ඒත් ඒක තමයි ඇත්ත. දුවගෙ අම්ම මගෙත් එක්ක ප්‍රශ්න ඇති කර ගෙන මගෙන් වෙන් වෙලා මහ ගෙදර ගිහිං දැන් මාස පහක්. මට ඒක ගැන අවුලක් නෑ. ඒත් එයා ළමයගෙ ඔළුවට ඕන නැති විසබීජ දාන එකයි මට ඉවසගන්න බැරි. දුව මුලින් මං කතා කළහම හොඳට කතා කළා. එත් පස්සෙ පස්සෙ එයා වෙනස් වෙන්න ගත්තා. මං කතා කළාම ඔළුවෙ කැක්කුමයි..හෝම් වර්ක් තියනව වගේ මොනා හරි කිය කිය මග අරිනව. කොටින්ම දැන් මගෙ කෝල්ස් වලට ආන්සර් කරන්නෙත් නෑ. වෙන නම්බර් එකකින් ගත්තත් මොකක් හරි කියල ඉක්මනට ෆෝන් එක තියනව. මං දන්නව..එයාගෙ බ්‍රේන් වොශ් කරනව ඇති. තාත්ත කෙනෙක්ට එයාගෙ දුවව එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ සන්තුෂී. දුවට තාම ඒක තේරෙන්නෑ”

“මේක මාර වැඩක්නෙ. ඩිවෝස් වුණත් ළමයව බලන්න දවසක් දෙනවනෙ”

සන්තුෂී වැඩි වැඩියෙන් උණුසුම් වෙමින් සිටියා ය. කොහොමත් කවදත් ඇය අසාධාරණය පේන්නට බැරි ගැහැනියකි.

“අපි ඩිවෝස් වෙලා නෑනෙ”

“ඉතිං ඔයා ඩිවෝස් එක ඉල්ලන්න. එයාට බෑනෙ එහෙම ළමයගෙ තාත්තගෙං ළමයව හංගගෙන ඉන්න”

මුවින් පිට වුණේ කිසි සේත් නො කිව සිටිය යුතු වූ කතාවකැයි කල්පනා වන විට සන්තුෂී හිසෙහි අත ගසා ගත්තා ය. ඇගේ ඒ ස්වරයට අංජන ගේ මුහුණට ද සිනහ රැල්ලක් නැගී ආවේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles