“ඔයා ඇයි”
ඔහු ඇසුවේ පුදුමයෙනි. ඔහුට කොහොමටත් පෙනෙන්නේ මලිති නිරන්තරයෙන්ම හිනැහෙන සන්තෝසය පිරුණු යුවතියක ලෙස ය. එහෙත් දැන් ඇය කියන්නේ අදහන්නට අසීරු කතාවකි.
“අපි හැම කෙනෙක්ගෙම පිටට පේන ජීවිතේ ඇත්තටම තිබුන නම් මොනතරම් හොඳයිද?”
මලිති එසේ කියද්දී සෑම කෙනෙකුම ඇගෙන් අසන්නට නොපැකිළෙන ප්‍රශ්නය අසන්නට තරම් තුහින ද අඥාන වූයේ ය.
“ඔයාට බබාලා ගැන මොකක් හරි ප්‍රශ්නයක්?”
ශේන්යා දකින ඕනෑම තැනක ඇය ව සුරතල් කරන්නට නොපැකිළෙන මලිති දරුවන්ට ඉතා ආදරය කරන ගැහැණියක බව උත්පලාද පැවසූ අන්දමට තුහිනට මතක ය.අනුන්ගේ දරුවන්ට පවා ආදරය කරන සුන්දර ගැහැණුන් ගැන මලිතිගේ නම නොකියා උත්පලා දිගු සටහනක් තබා තිබූ අන්දම පවා ඔහුට මතක ය. ඇය එහි ලියා තිබුණේද ජීව විද්‍යාත්මක අම්මා කෙනෙකු වන්නට නොහැකි අය පවා හදවතින් අම්මා කෙනෙකු වන අපූර්වත්වය ය.
“මට එහෙම ප්‍රශ්නයක් නෑ”
ගහෙන් ගෙඩි එන්නාක් මෙන් යැයි පහේ පන්තියෙදි ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඉගෙන ගත් ප්‍රස්ථාව පිරුලු තුහිනට සිහි විය. මේ ඒ තරමට රළු පිළිතුරකි. එවැනි කැත කතාවක් ඇසීම ගැන වහා සමාව අයදින්නට ඔහුට සිතිණි.
“ඕක මගෙන් හැම මනුස්සයෙක්ම අහන ප්‍රශ්නයක්. මට තරහ ගියේ නෑ.”
සැබෑවටම කෝපයක් ඉපදුණ ද මලිති එසේ කියන්නට ප්‍රවේසම් වූවා ය.
“ජොබ් ස්ට්‍රෙස්?”
රනුක ආයතනය ඉතා සුන්දර සහ මනා කළමනාකාරිත්වයකින් හසුරුවා ගත්තද රංගනී සියල්ල අවුල් කරන බව බාහිර ව්‍යාපෘති සඳහා සහභාගී වන සෑම අවස්ථාවකම තුහින අවබෝධ කරගෙන සිටියේ ය. ඇතැම්විට ඇය රැකියාව සම්බන්ධ පීඩනයකින් ද වන්නට පුළුවන.
“මං නවීන් එක්ක ඉන්නේ හොඳින් නෙවේ. මං ඒකට ට්‍රීට්මන්ට්ස් ගන්නව.”
එපමණකි. ඇය අන්තර්ජාල සම්බන්ධතාවය අත්හිටුවා තිබිණි. එසේ වන්නට හේතු අසා ඇගේ සේවා ස්ථානයට ගොස් ඇය මුණ ගැසීමට තරම් කුහුලකින් තුහින පිරී යයි.
නමුත් ඔහුට කුරිරු සතුටක් හට ගත්තේ ය. ඉතා උඩඟු අන්දමින් ඇය ඔහු ප්‍රතික්ෂේප කළ අතීතයක් වේ. නමුත් ඔහුව ප්‍රතික්ෂේප කරන්නට හේතු කෙනාද ලබා ගන්නට ඇයට හැකි වූයේ නැත. ඉන් අනතුරුව ඇය විවාහයක් තුළ සන්තෝසෙන් ජීවත් වෙන බව ඔහු සිතා සිටියේ ය.
නැත! එය ද ඉටු වී නැත.
“එහෙමයි කියලා ඒකට සතුටු වෙන එක මහ කාලකන්නි දෙයක් නෙමෙයි ද?”
හෘද සාක්ශිය ඔහුගෙන් ප්‍රශ්න කරන අන්දම තුහිනට දැනිණ. ඇයට ඔහු ප්‍රතික්ෂේප කරන්නට හේතු තිබෙන්නට ඇත. ඒවා ඒ කාලයට අදාල වුවද මේ කාලයට අදාල නොවන්නේ නම් ඔවුන්ට නැවත සමීප වන්නට නොහැකිදැයි ඔහුට සිතේ.
“මැච් එක පටන් ගන්නෝ.”
රංගනි එහෙමෙහෙ වන්නට ඉඩ හැර යුවතියක මොර දෙද්දී තුහින සමග කළ සංවාදයෙන් මලිති සැබෑ ලෝකයට ආවා ය.ක්‍රිකට් තරංගයක් කියන්නේ කොහොමටත් කාර්යාල පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයකි. ජය හෝ පරාජය අදාළ නොවේ. යළි ගොඩ නැඟෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෘදයාබාධ ඇති කරන්නට සමත් වෙන හන්දාම වැඩ කටයුතු පමා කර ගනිමින් රූපවාහිනි තිරය වටා රොක් වීම කාර්යාල සගයන්ගේ පුරුද්දකි.
“චාමිකව බලන්නයි, දස්සව බලන්නයි, ධනාව බලන්නයි, වනියට පැණි හලන්නයි මෙතන තැග් ගැහෙන් නැතුව උඹලා ගිහින් වැඩක් බලාගනිල්ලකො. උඹලයි අපි දන්න ක්‍රිකට්.”
තරුණයෙකුගේ සරදමක් නැගෙද්දී ඔහු සමඟ කෙල්ලන් වාද ඇති කරගන්නට පටන් ගත්තේ එක පොදියට ය.
“අන්න කැප්ටන් ඉන්නව මලී. උඹේ ක්‍රෂ් එක නේද?”
දවස පුරා වැඩි කතා බහක් නැති මිතුරියගෙන් රුවිනි ඇසුවේ ඇය ක්‍රිකට් බලන්නට පොළඹවා ගන්නට නොවේ, කතා කරන්නට පොළඹවා ගන්නට ය.මලිති වියළි සිනාවක් නැඟුවා ය.
“දැන් මට ඒ ක්‍රෂ් එක දැනෙන්නෙ නැති තරම්.”
මලිති එසේ කියද්දී නායකයාගේ තැන උදුරා ගන්නට සමත් වූ අලුත්ම තාරකාව කවුදැයි දැනගන්නට රුවිනිට ඕනෑ විය.
“මට කිසිම ක්‍රෂ් එකක් නෑ. ඒ මට නවීන් හින්දා පිරිමි සංහතියම එපා වෙලා ඉන්නේ හින්දද නැත්තං හිත පුරාම තුහින ඉන්න හින්දද කියන එක පැහැදිලි නෑ.අනේ මන්ද රූ. මට මාව තේරෙන්නෙත් නෑ.”
මලිති එසේ කියන්නේ කම්මුල මත අතක් තබා ගනිමිනි. සියල්ල අත් හැරුනු ලීලාවෙන් සිටින ඇය දෙස රුවිනි බලා සිටියේ කම්පිත හදකින් ය.