අංජන නීලවතුර ගේ හා ඔහු ගේ බිරිය වින්දි ගේ යුග දිවිය දෙදරා යන්නට හේතුවක් අංජනට තවමත් සිතා ගත නො හැකි ය. එය විෂ සහිත සම්බන්ධයක් බවට පත් වූයේ කවදා සිට ද කියා හෝ ඔහු හරියට ම දන්නේ නැත. ටික ටික උනුන් කෙරේ දැනෙමින් තිබුණ නොරිස්සුම යම් කිසි තැනෙක දී පුපුරා ගිය බව පමණක් ඔහු ට මතක තිබේ.
වින්දි මුල සිට ම සුළු වශයෙන් විශාධයෙන් පෙළුණා ය. ඇය නියැළුණ ගිණුම් අංශයේ රැකියාව තුළ වූ කාර්ය බහුලත්වය ක්ලමථකාරී එකක් වූයේ ය. ඇගේ ප්‍රධානියා සිය වෘත්තිය තුළ හැසිරුණ සේවකයන් නුරුස්නා සහගත ස්වභාවය, වින්දි ව තව තවත් විශාධයේ අඳුරු අගාධය කරා ගෙන යන්නට හේතු විය. ඇය වෙතින් ද නිරන්තර නුරුස්නා සහගත බවක් විද්‍යමාන විය. රැකියා ස්ථානයේ පීඩනය ඇය විසින් පහ කර ගන්නට උත්සාහ කළේ ගෙදරදී ය. ඇතැම් විට එය ඇය විසින් සිතා මතා කරන්නට යෙදුණු දෙයක් නොවේ. ඇයටත් නො දැනී, ඇගේ පාලනයෙන් ගිලිහී යමින් ඉබේ ම සිදු වූවකි. සමහර වෙලාවක අංජන ඉතා ළෙංගතු ලෙස කතා කළත් ඇය ඇඟට කඩන් පැන්නා ය. හේතුවක් නැතුව හෝ නො ගිනිය හැකි තරම් සුළු සිදුවීමක් ලොකුවට වර්ධනය කර ගෙන ඔහුත් එක්ක පැටළුණා ය. මේවා නො විය යුතු ව තිබූ රණ්ඩු ලෙස වී ද දුර දිග ගියේ යුග දිවියක් තුළ පැවතිය යුතු සාමය හා සමාදානය කඩාකප්පල් කරමිනි.
ඇතැම් අවස්ථා වල තමන්ට තමන් පාලනය කර ගත නො හැකි බවක් වින්දි ට ම දැනිණ. නමුත් සිදු වන්නේ කුමක් දැයි ඇය නො දැන සිටියා ය.
අසරු වේගයෙන් කාලය ඉගිල යමින් තිබිණ. දියණිය සදෙව්මා වයසින් ද සිරුරෙන් ද වැඩෙමින් සිටියා ය. ඇය නිසාවෙන් පවුල් ජීවිතයෙහි මුහුණ දෙන්නට සිදු වූ බොහෝ දේ ඉවසා ගන්නට අංජන පෙළඹුණේ ය. ඔහු පියෙකු ලෙස අසීමිත ව සදෙව්මා ට ආදරය කළේ ය. ගේ ඇතුළේ ඇති විය යුතු හා පිටස්තරයෙකු කිසි සේත් නො දැන ගත යුතු අඹු සැමියන් අතරේ පමණක් ඇති විය යුතු දබරයක් ඇතැම් විට ඇසුරු කරන බොහෝ දෙනෙකු දැන ගත්තේ කෝපාවිෂ්ඨ වී වින්දි ඒවා දුරකතනයෙන් හෝ කිහිප දෙනෙකුට කියා සිටි බැවිනි. විටෙක මිනිස් ස්වභාවයෙන් ඈත් වෙමින් ඇය යක්ෂ වේශයක් ගත්තා ය. දෙතුන් වතාවක් ම දිවි නසා ගැනීමේ උත්සාහයක් ද දැරුවා ය.
නිහඬ වන්නට අංජන තීරණය කළේ ඉනික්බිති ය!
“ඔය විදිහට කොහොමද ජීවත් වෙන්නෙ…තවත් කල් යවන්න ඕන නෑ. ඔයා වින්දි එක්ක කතා කරල ඩිවෝස් වෙන්න”
අන්තිමට අංජන ගේ ගෙදරින් ම ඒ යෝජනාව ආවේ ය. ඒ වෙලාවේ සිය හදවතෙහි දැවීමේ සංවේදනයක් ඇති වූ බවක් අංජනට සිහි කර ගත හැක. ඔහු ට සිය විවාහ ජීවිතය බිඳ වැටීමකට ලක් කර ගන්නට කිසි දාක අවශ්‍යතාවයක් වූයේ නැත. අනිත් අතට සදෙව්මා වූ කලී ඔහු ට සිය ලෝකය ම විය. දොළොස් වන වියෙහි දී ඇය මල්වර වී වැඩිවිය පත් ගැහැනු ළමයෙකු ලෙස අභිශේක ලබා ද සිටියා ය. එවන් දියණියක් සිටිනා පියෙකු වශයෙන් හැකි තාක් ඉවසන්නට අංජන උත්සාහ කළේ ය.
“ඔහොම කොහොමද බං ජීවිත කාලයක් එකට ඉන්නෙ…ඩිවෝස් වෙයං”
ඔහු ගේ මිතුරන් පවා කීවෝ ය. අහේතුක ව ඇති වූ දබරයක් දුර දිග ගිය වෙලාවක, බැරි ම තැන අංජන මේ යෝජනාව අකමැත්තෙන් වුව වින්දි වෙත ගෙන ආවේ ය.
“මෙහෙම හේතුවක් නැතුව හැම දාම රණ්ඩු වෙවී ප්‍රශ්න එක්ක ගෙවන මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ වින්දි. ඔයාට මාත් එක්ක සතුටෙන් ඉන්න බැරි වුණාට වෙන කෙනෙක් ළඟ එහෙම ඉන්න පුළුවන් කියල හිතෙනවනං අපි වෙන් වෙමු. දුව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි දෙන්නම කරමු”
එය ඉතා සාධාරණ යෝජනාවක් වූයේ ය. නමුත් අංජන කිසි සේත් බලාපොරොත්තු නොවූ විලසින් වින්දි ඔහුට බරපතල චෝදනාවක් එල්ල කළා ය.
“ඔයාට වෙන සම්බන්දයක් තියනව. ඒකයි ඔයාට මගෙන් ඩිවෝස් වෙන්න ඕන වුණේ. ටික කාලෙක ඉඳන් මට ඕක තේරුණා. මං ඉවස ඉවස හිටියෙ අතටම අල්ල ගන්නකල්. දැන් ඔය තමඅන්ගෙ කටින් ම කිව්වෙ. තවත් එක විනාඩියක්වත් මං මේ ගෙදර ඉන්නෑ”
කියමින් ලොකු නැටුමක් නැටූ ඕ ඇඳුම් කැඩුම් බෑග් වලට ඔබා ගෙන පතිකුළයෙන් නික්ම යාමට සූදානම් වූවා ය. සදෙව්මා සිටියේ බිය වී ය. අංජන ඇය සනසමින් ද වින්දි සන්සුන් කිරීමට උත්සාහ කරමින් ද සිටි මුත් ඔහු පරාජය වෙන ලකුණු පෙනෙන්නට තිබිණ.
“ඔයා ඕන තැනක යන්න. හැබැයි දුවව අරං යන්න බෑ”
අවසන ඔහු එසේ කීවේ කෙසේ හෝ වින්දි ව නතර කිරීමේ අරමුණෙනි. නමුත් ඇය කළේ උමතුවෙන් වාගේ හැසිරෙන එක ය.
“ඔයා වගේ ජරා මිනිහෙක් එක්ක ගෑනු ළමයෙක් තියල යන්න කියලද කියන්නෙ…ආ…කීයටවත් මං ඒක කරන්නෑ. මාව මැ රු වත් දරුවව දාල යන්නෑ තමුං ළඟ”
ඒ වෙලාවේ වින්දි ව නතර කරන්නට ගියේ වී නම් බරපතල යමක් සිදු විය හැකි ව තිබුණෙන් අංජන ඉවසා ගත්තා ය. හිතේ ආවේගය තුනී වූ පසු වින්දි යළි දියණිය ද ගෙන ගෙදර පැමිණෙනු ඇතැයි ඔහු උදක් ම බලාපොරොත්තු වී ද දින සති මාස කල් ගෙවෙමින් කාලය ගත වූවා පමණ ය. අංජන මුල දී දියණිය ට දුරකතනයෙන් කතා කළා ය. සිය ගෙදර හදිසියේ ම අත් හැර දමන්නට වීම ගැන සදෙව්මා සිටියේ දුකෙනි. අංජන හැකි තාක් ඇගේ හිත සනසා තැබුවේ ය. වින්දි ට නොදැනී ඇගේ මහ ගෙදරට ගොස් ඒ මව් පියන් සමග ද කතා කළේ ය.
“අනේ මන්දා පුතේ අපේ ළමයට මොන යකෙක් වැහිලද කියල. අපි නොදන්නව නෙවේ පුතා කවුද කියන එක. ඒත් මේ වින්දි කියන එකක් නාහන තරමට පුදුම විදිහට හිතුවක්කාර වෙලානෙ”
“මටත් තේරෙන්නෑ අම්මෙ එයාගෙ හැසිරීම. මෙච්චර කාලයක් මං මේ ප්‍රශ්න මේ ගෙදරට අරං ආවෙ නෑ. ඒත් අපේ ගෙදර අය දන්නව පහුගිය අවුරුදු කීපය කොහොමද ගත වුණේ කියල. මන් දන්නෑ වින්දිට මොනාද වෙලා තියෙන්නෙ කියල. මං ඒත් කතා කළා ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න..ඒත් එයා ඒකට ලෑස්ති නෑ. එයාට පිස්සු කියලද හිතන්නෙ කියල මාත් එක්ක රණ්ඩු වෙනව”
ඒ දෙමව්පියන් ට ජීවත් වීමෙන් ලද සමාජ අවබෝධයක් මිස පත පොතින් ලද උගත් කමක් හෝ උපාධි සහතික හෝ වූයේ නැත. එනිසාවෙන් ම එය මානසික ව්‍යාධියක් කියා නොසිතුවත් වින්දි ගේ අනවශ්‍ය කෝප ගැනීම හා නොරිස්සුම ඉක්මනින් ම නවතා දැමිය යුත්තක් බව දැන සිටියහ. නමුත් සිය උගත් දියණියට පවුල් දිවියක වටිනාකම ඒත්තු ගැන්වීමේ ලා ඔවුන් උගත් ශිල්ප මඳ විය.
“අම්මලට මං මෙහෙ ඉන්න එක කරදරයක් වෙලා නං දරුවවත් අරං මං කොහෙ හරි යන්නං. එච්චරනෙ”
වින්දි මව් පියන්ගේ ද ඇඟට කඩා ගෙන පැන්නා ය.
“ඔය ඉතිං…යන්න නෙවෙයි කියන්නෙ මේ පොඩි කෙල්ලගෙත් ජීවිතේ අවුල් කරල දාන්න එපා කියලයි. ගහ මරාගෙන හරි ළමයි වෙනුවෙන් එකට ජීවත් වෙන්න බලහල්ල. අපි කළෙත් එහෙම තමයි”
“අම්මල එහෙම කළා කියල අපිත් එහෙමම කරන්න ඕනද…එයාට දික්කසාද වෙන්න ඕන කිව්වෙ නිකංද…වෙන සම්බන්දයක් තියන නිසා. දෙන්නං මං දික්කසාදෙ…මං මැරුනහම තමයි දික්කසාදෙ ගන්න වෙන්නෙ”
ඒ අම්මා නිකටෙහි අත තබා ගත්තේ ඒ සිය දියණිය ම දැයි විශ්වාස කර ගත නො හැකි ව ය.
ඒ කතාව එහෙම ය. ඒ කතාවේ සමහර තැන් අංජන දැන සිටියේ ය. සමහර තැන් ඔහු නො දැන සිටියේ ය. ඒ, පහු වෙත්දී සදෙව්මා බලන්නට ඔහු මහ ගෙදර යන එකට ද වින්දි විසින් විරෝධය පෑ නිසා ය.
“මේ ගෙදරට ඇවිත් අපිට පාඩුවෙ ඉන්න දෙන්නැතුව කරදර කරනවනං මං ළමයත් අරං කාටවත් හොයා ගන්නවත් බැරි දිහාකට යනව”
වින්දි ගේ ඒ තර්ජනය අංජන ගේ කෝපය දැල්වී ද ඔහු ඊට බිය ද වූයේ ය. වින්දි කියන්නේ ඕනෑ ම දෙයක් කළ හැකි ගැහැනියක බව මේ වෙත්දී ඔහු වටහා ගෙන සිටි නිසා ය. ගැටළුවේ කුණාටු අවධිය සමනය වන තුරු අංජන බලා සිටින අතරේ වින්දි දියණිය ගේ සිත පියා කෙරේ බිඳවූයේ ඔහු වෙනත් විවාහයක් කර ගත් පසු දරුවන් ලබා සදෙව්මා ව අමතක කරනා බව කියමිනි.
“සොරි. මං එච්චර හිතල නෙවෙයි ඩිවෝස් වෙන්න කියල කිව්වෙ”
ඒ කතා බහෙන් පස්සේ සන්තුෂී අංජන ට කෙටි පණිවිඩයක් යැව්වා ය. ඔහු කහ පාට මඳ සිනා මුහුණක ඉමෝජියක් එවා තිබිණ.
තුවාල සීරුමක් වාගේ දෙයක් සන්තුෂී ගේ සිතේ උදා වන උදයේ ද ඉතිරි ව තිබිණ. කල්ප එක්ක ගෙවුණා වූ විවාහය හැර පියා යන්නට ඇයට සිතී ඇති වාර ගණනේ නිමක් නැත. එහෙම හිතෙනා හැම වතාවක ම ඇය ඒ බව කීවේ සිය පියා වෙත ගොස් ය. නැත්නම් ඔහු ට දුරකතනයෙන් කතා කොට ය.
“කසාද බැඳපු කොයි ගෑනි වුණත්…කොයි මිනිහා වුණත් දික්කසාද වෙන්න ඕන කියල එක වතාවකට හරි හිතනව පුතා. ඒක එහෙම තමයි”
එහැම විටෙක ම සිරිවර්ධන කීවේ ය.
“ඒත් දරුවො ගැන හිතල ඒ හිතිවිල්ල අකුල ගන්නව”
ඔහු ට වන්නේ තුවාල වූ හිතක ඔසු ගල්වන විදිහේ වදන් සරකි. තාත්තා එක්ක ටික වෙලාවක් කතා කිරීමෙන් පසු හිතේ වූ චණ්ඩ මාරුත මඳ සුළං බවට පත් වෙන හැටි සන්තුෂී නිරන්තර අත් දැක තිබේ. කල්ප සමගින් සිය දියණිය හිතුවක්කාර විවාහයකට එළඹි අවස්ථාවේ ළය පැළී මිය යා හැකි තරම් වේදනාවක් සිරිවර්ධන අත් වින්දේ ය. නමුත් ඔහු ඒ සියල් වේදනා සමනය කර ගත්තේ කල්ප සාර්ථක මිනිසෙකු ලෙස ජීවිතය ගොඩ නංවා ගනු දකිමිනි. ජීවිතයක සාර්ථකත්වය යනු ආර්ථික ස්ථාවරත්වය පමණක් ම නොවෙන බව ඔහු පවා වටහා ගත්තේ මිල මුදල් ද සමග බෑණා ගේ මිනිස් ගුණාංග විකිණී යනු දැනෙත්දී ය.
“ළමයි ගැන විතරක් හිතල මං දැන් ඔහේ ඉන්නව තාත්ත. තාත්ත කියනව වගේ මේ කසාදෙ කඩාගෙන ආයෙ යන්න වෙන්නෙත් පිරිමියෙක් ළඟටනං….එයා මෙයා වගේ නෑ කියල කොහොමද හිතන්නෙ…මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ. දරුවො දෙන්න දිහා බලා ගෙන මට සතුටු වෙන්න පුළුවන්”
යාළුවෙක් වාගේ කතා කළ හැකි තාත්තා කෙනෙකු කියන්නේ දුවකගේ ජීවිතයට අපමණ ශක්තියකි. මුලින් කපා දැමු ගසක් සේ සන්තුෂී කඩාගෙන වැටුණේ ඒ තාත්තා උන් හිටි ගමන් හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමු ගත් වෙලාවේ ය. ආයේ දුර්වල වන හිතට ශක්තිය දෙන්නට තාත්තා නැති බව සිහිපත් වෙත්දී ඇය වඩ වඩාත් හිත දිරිමත් කර ගත්තා ය. විවාහයෙන් පළා යනවා වෙනුවට එහි පසෙකින් හිඳිමින් ම ජීවිතයේ සතුට සොයා ගත යුතු බව ඇයට සිහිපත් කොට දුන්නේ තාත්තා ගේ ආත්මය ම ය.
තාත්තා ඇයට කෙතරම් නම් ආදරය කළේ ද? ඒ වූ කලී කිසි දාක මිනුම් කළ නො හැකි ආදරයකි. පියෙකු හා දියණියක අතරේ වන ආදරය මැදින් පැන විනාශ කොට දමන්නට මෙලොව කිසිවෙකුට ඉඩ දිය යුතු නැත!
“මේ ඉන්නෙ සදෙව්මා”
සන්තුෂී උදයෙන් ම වැඩ ඇරඹුවේ ඒ පුංචි ලස්සන ගෑනු ළමයා ගේ සේයා රුව අංජලී ට හා ලයංගි ට පෙන්වමිනි.
“ආ…මේ අර බෝනික්කි වගේ චූටි කෙල්ල නේද…”
“දැක්ක ගමං මතක් වුණා නේද…දෙතුන් සැරයක් මෙහෙට ඇවිත් තියනව හෙයා කට් එකට. අවුරුදු දහ තුනක්ලු එයාට. හැබැයි ටික කාලෙකින් දැක්කා කියල මතකයක් මට නෑ”
“මටත් නෑ මිස්. නෑ මෙහෙට ආවෙ නෑ ටික කාලෙකින්”
“සමහර විට දැන් වෙන සැලෝන් එකකින් කොණ්ඩෙ කපනව ඇති. මට එයාගෙ අම්ම කවුද කියල මතක් වෙන්නෙ නෑනෙ”
“මටත් මූණනං හරියට මතක නෑ. හැබැයි ඔය ගර්ල් අම්ම එක්ක ආව වගේ තමයි මතක”
සන්තුෂී ගේ හිතේ වැඩ කළේ ම ඒ දියණිය තාත්තා ට මුණ ගැස්විය හැකි මාර්ගයක් ගැන ය. තාත්තා ඇයට කොයි තරම් ආදරේද කියා ඇය ට කියා දෙන්නට ඇත්නම් යයි ඇය කිහිප වර සිතුවා ය.
“ඔයා දුවගෙ ස්කූල් එක ළඟට එහෙම ගියෙ නැද්ද…”
ඒ ප්‍රශ්නය හිතට නැගුණ ගමන් සන්තුෂී අංජන ට ඇමතුමක් දී ඇසුවා ය.
“ළඟදි එහෙමත් ගියා. දුව ස්කූල් ස්ර්විස් වෑන් එකක යන්නෙ..මාව දැකල කෙල්ල ටක් ගාල අහක බලා ගෙන ගිහිං වෑන් එකට නැග්ගා. ඉස්කෝලෙ ළඟනෙ. එයාට ලැජ්ජ වෙන දෙයක් කරන්න කියන්න මට බෑ. ඒකයි මං සැලෝන් එකට එයිද බලන්නෙ. අන්තිමට මාත් එක්ක හොඳින් කතා කරද්දි එයා කිව්ව සැලෝන් සන්තු එක ළඟට තාත්ති එන්න. අපි එතන පීසා හට් එකට ගිහිං පීසා කන ගමන් කතා කරමු කියල”
සැබවින් ම සන්තුෂී ට දුක සිතිණි. ඔහු වෙනුවෙන් උදව්වක් කළ නො හැකි වීම තමන් අතින් සිදු වන වරදක් සේ ඇය ට දැනිණ.
“මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මං දුවත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්නද…නැත්තං ගෙදරට හරි ගිහිං කතා කරන්නද…මං එයාට කියන්නද එයා තාත්තත් එක්ක කතා කරන්න ඕන කියල…මං එයාට තේරුං කරල දෙන්නද තාත්ත කෙනෙක්ට එයාගෙ දුව ගැන තියන ආදරේ කොහොම එකක්ද කියල…නැත්තං මං එයාගෙ අම්මට කතා කරල කියන්නද එයා මේ කරන්නෙ ලොකු වැරැදදක් කියල…”
අංජන ගේ ඇස් වලට තෙතමනයක් කාන්දු වී ගෙන ආවේ ය. හදවතේ ඈත කොනක අහේතුක රිදුමක් ද ඇති වෙමින් තිබිණ. උගුර හිර වී තිබුණෙන් වදනකුදු දොඩා ගන්නට ඔහු ට හැකි වූයේ නැත.