රිදුණු තටු පිරිමදිමි – 38

සන්තුෂී සිරිවර්ධන හා කල්ප බණ්ඩාරතිලක වෙනුවෙන් දික්කසාද තීන්දුව ලැබිණි. අවසාන වශයෙන් කල්ප ඊට හිත හදා ගෙන තිබිණ. ඒ තනි වීමට වන බිය කියනා ප්‍රශ්නයට උත්තරයක් ද සමග ය. මෑතක දී ක්ෂේත්‍රයට පැමිණි නවක නිළියක සමග ඔහු විවාහය තීන්දු කොට ගෙන තිබිණි.

එයින් පසු කල්ප සන්තුෂී වෙනුවෙන් තැවුණේ ම නැත. ඇය ඔහු ගේ ජීවිතයට සතුටක් වූයේ ම නැතැයි ඔහු තීරණය කළේ ය. ඇය විනෝදකාමී නොවන අලස හා නීරස ගැහැනියකි. ජීවිතය සතුටෙන් ගෙවන්නට ඊට වඩා ප්‍රීතිමත් හා මිත්‍රශීලී සහායිකාවක අවශ්‍ය බව ඔහු සිතුවේ ය. ඒ සියල්ල තමන් ගේ හිත හදා ගන්නට කියනා කතා ය යන්න අමතක කර දමන්නට කල්ප ට හැකි විය.

විවාහයක් හා දික්කසාදයක් අතරේ වන වෙනස කුමක් ද කියා සිතන්නට සන්තුෂී උත්සාහ කළා ය. මේ ඇය බලාපොරොත්තුවෙන් සිටි දෙයක් වී ද එම අවසානය ඇගේ හදවතේ තුනී ශෝකයක් මවා ලමින් තිබිණ. දික්කසාදය කියන්නේ නීතීඥවරයෙකු අතේ ආ පණිවිඩයකි. ඇය අර පෙර කී ශෝකය හිස් කමෙන් විස්ථාපනය වෙන්නට හැරියා ය. 

ජීවිතය කියන්නේ හැම දා අලුත් බලාපොරොත්තු වලින් අලුත් කර ගත යුත්තක් මිස පරණ ශෝක සෙවනැලි මත බිඳ වැටීමට දිය යුත්තක් නොවේ. අලුත් රූපලාවන්‍යාගාරයේ සැලැස්ම, ගොඩනැගිල්ල ඉදි කිරීමට සුදුසුකම් ලබා සමත් ව පැමිණියේත් එදා ම ය. ජීවිතය තැනෙකින් පැරදුණ ද තවත් තැනකින් සමත් විය හැකි බව ඇස් පනා පිට සන්තුෂී ට එය ඔප්පු කරමින් තිබිණ.

“මේ තාත්තගෙ ෆික්ස් ඩිපොසිට් එකක්. මට පවරපු. අපි මේක කඩල සල්ලි ටික අරගෙන බිල්ඩින් එකේ වැඩේ පටන් ගමු. මූලික වැඩ ටික මේ සල්ලි වලින් කෙරීගෙන යනකොට බෑන්ක් ලෝන් එක පාස් වෙලා තියෙයිනෙ”

ස්වර්ණකාන්ති දීප්තිමත් දෑසකින් දියණිය අත ස්ථාවර ගිනුමක සහතිකය තැබුවා ය. ඒ ඇය සිය දියණියව මුළුමනින් විශ්වාස කිරීම ගැන සහතිකයක් විය. ජීවිතය  කියන්නේ සතුටක් ම නොවේ. නමුත් දුකක් ම ද නොවේ. සම අනුපාත වලින් දුක හා සතුට ද මිශ්‍ර වී අප වෙත එළඹෙන්නකි. ඒ සියල්ලට උපේක්ෂා සහගත බවකින් මුහුණ දිය යුතු බව දැන් සන්තුෂී වටහා ගෙන තිබේ.

“ඒත් මේ ටවුන් එක මැද්දෙ සැලෝන් එකට ආපු කස්ටමර්ස්ල ගොඩක් කැඩෙයි නේද සන්තු…මට එහෙම හිතෙනව. ඔයගෙ ඉන්කම් එක අඩු වෙන්න පුළුවන්. ඒ අස්සෙ ලෝන් එකකුත් ගෙවන්න තියනව”

තප්ති සිහිපත් කළා ය. සන්තුෂී ගේ මුහුණේ ඇඳුණේ ඇයට පුරුදු සන්සුන් සිනහව ය.

“වෙනසක් වෙන්න බැරි නෑ. ඒත් මහ ලොකු දුරක් නෑනෙ අලුත් තැනට. අපේ සර්විස් එක ගැන සැටිස් අය ඒ පොඩි දුර වෙනස ප්‍රශ්නයක් කර ගන්න එකක් නෑ කියල මට හිතෙනව. අනිත් එක ඒ හරියට හොඳ සැලෝන් එකක් නැති නිසා අපිට අලුත් කවුඩ් එකක් හදා ගන්නත් පුළුවන්. ඊටත් වඩා අපේ අලුත් සැලෝන් එකේ පෙනුම එක්ක…අපිත් එක්ක හුඟක් අය වෙනස් නොවී ඉඳියි. එතනට එන්න ආස වෙයි”

සන්තුෂී කිසි සේත් අලුත් අභියෝගය ගැන නො සැළුණා ය. ඒ වෙනුවට ඒ අභියෝගයට මුහුණ දීමට නො සන්සුන් සිතින් බලා සිටියා ය.

“ළමයි කියනව මට ඕවට මහන්සි නොවී ඉන්නලු. ජීවත් වෙන්න ඕන සල්ලි එයාල එවන්නංලු. නැත්තං මටත් එහෙ එන්නලු”

“එක අතකට ඒකත් ඇත්ත. සල්ලි හම්බ කරන්න කියල දැං මහන්සි වෙලා මොකටද එක අතකට…මොකද ළමයි වෙනුවෙන් කියලයැ…එයාල ආයෙ මේ දූපතේ ජීවත් වෙන්න එන්නෑනෙ”

“ඒත් ළමයි බලන් ඉන්නැතුව මගෙ ජීවිතේ ඉතිරි කාලෙ සැපෙං සනීපෙං ගත කරන්න සල්ලි ටිකක් හම්බ කරන්නත් ටිකක් ඉතුරු කර ගන්නත් ඕන තප්ති. අම්මත් අසනීප වෙනව. අපිට වුණත් ඉස්සරහට එන්නෙ අසනීප අඩු නැති වයසක්නෙ. කාටවත් අත නොපා බේත් හේත් ටික හරි අපහසුවක් නැතුව ගන්න ප්ලෑන් එකක් තියෙන්න ඕන. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල දුක් විඳින්නෙ නැතුව පහසුවෙන් බේතක් හේතක් කර ගන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකකට හරි යන්න අතේ සල්ලි තියෙන්න ඕන. සතුට සල්ලි වලට ගන්න බෑ කියල මිනිස්සු කිව්වට…සතුටෙන් සැපෙන් ඉන්න සල්ලි ඕන තප්ති. හදිස්සියක් කලබලයක් නෑ. මට හෙමිහිට ඒ පාර හදා ගන්න පුළුවන්”

“මං ඉන්නව ඒ හැම තැනකදිම ඔයා එක්ක”

“ඇත්ත. අතීතෙන් මට ඉතුරු වුණේ අම්මයි දරුවො දෙන්නයි ඇරුනම ඔයා විතරයි”

“ඇයි අංජන…”

සන්තුෂී ට බිම බැලිණ. අහේතුක රිදුමක් හදවතේ හරි මැද තැනක සිට වටේට පැතිර යනවා ඇයට දැනිණ. අංජන ඇවිත් තියෙන්නේ අතීතයෙන් බව ඇත්ත ය. නමුත් ඇයට නො දැනෙන්නට ය. අනිත් අතට දැන් ඉන්නේ එදා අතීතයේ උන් අංජන නොවේ. ඔහුගේ උරුමකරුවන් ලෙස වින්දි ද සදෙව්මා ද දෙපසින් හිඳිති.

“කල්ප වෙන ගෑනු එක්ක සම්බන්දකං හදා ගද්දි මට කොච්චර රිදුණද තප්ති…මං කොච්චර අසරණ වුණාද…මට කොච්චර අසාදාරණයක් වුණාද…වින්දි කියන්නෙත් ගෑනියෙක් මං නිසා ඒ ගෑනිට අබ මල් රේණුවකවත් අසාදාරණයක් වෙන්න මං ඉඩ තියන්නෑ. එහෙම වුණොත් ඒක මං මටම කර ගන්න වැරැද්දක්”

අර පපුවේ රිදුම පුපුරා ගියේ කඳුළු අහුරු දෙකක් වශයෙනි. සන්තුෂී ඉක්මනින් ඇස් වල ටිෂූ ගුලියක් හිර කළා ය. තප්ති යෙහෙළිය ගේ උරහිසක් තදින් අල්ලා ගත්තා ය.

“මට තේරෙනව ඔයාගෙ හිත. අපි බලමු. ඔයාට වරදින්න විදිහක් නෑ”

හරි යාමක් හෝ වැරදීමක් ගැන හිතන්නට දැන් සන්තුෂී උත්සාහ කරන්නේ නැත. ඇයට ඕනෑ මේ මොහොත තුළ තෘප්තිමත් ජීවිතයක් ගෙවන්නට ය. අලුත් රූපලාවන්‍යාගාරය වෙනුවෙන් අත්තිවාරම් දැමීම ඇයට එහෙව් සතුටක් ගෙන ආ දිනයකි. ගොක් කොළ වලින් පහන් පැල් තනා සිව් මායිමේ පහන් දල්වා පිරිත් කියා නූල් ඇද අත්තිවාරම් කපන මොහොත වෙනුවෙන් තප්ති හා සැලෝන් එකේ වැඩ කරන ගෑනු ළමයින් දෙදෙනා හැරෙන්නට සහභාගී වූයේ අංජන පමණකි.

අංජන ට ඇරයුම් කරනා එක ගැන ද දෙවරක් නොව කිහිප වරක් ම සන්තුෂී සිතුවා ය. ඔහු පෙම් කළ සරස්වතී දේවිය කවුදැයි කිසි දා ක නොකියා සිටියේ වී නම් මිතුරෙකු ලෙස ඔහු ඇසුරු කරනා එකෙහි ඇයට අපහසුවක් නැත. නමුත් දැන් තත්වය ඊට වෙනස් ය. දැන් ඔහු ගේ ඇස් වල බැල්ම ඇයට කියවා ගත හැක. එසේ කියවන්නට සන්තුෂී බිය වූවා ය. ඒ තරම් හදවත ගැහෙනා සිදුවීමකට මෑත කාලයේ දී ඇයට මුහුණ දෙන්නට සිදු වී නැත.

නමුත් ඔහු ට නො කියා ඉන්නට ඇයට බැරි විය. ආරාධනයක් නොව ඕ මතක් කිරීමක් කළා ය. අංජන ඒ දිනය ආයාසයකින් තොර ව මතකේ තියා ගත්තේ ය.

දැන් ඔහු රැය නිදන්නට වින්දි ගේ මහ ගෙදරට එයි. ඒ හිතට එකඟ නැතිව වී ද සදෙව්මා වෙනුවෙන් ගත් තීරණයකි. වින්දි ගේ මානසික තත්වය සමථයකට පත් වෙත්දී දියණිය මානසික රෝගියෙකු වේවී යන බිය අංජන ට විය. ඔහු වැඩ නිම වීත් පමා වන තුරු කාර්යාලයට වී කුමක් හෝ වැඩක නිරත වෙමින් හිඳ වින්දි ගේ ගෙදර යයි. සදෙව්මා සැනසිල්ලේ හුස්ම ගන්නේ ඔහු එහි පැමිණි පසු ය. අංජන ඔවුන් ගේ නතර වීම ගැන මනාපයක් වින්දි තුළ නැත. නමුත් ඇයට කරන්නට දෙයක් තිබුණේ ද නැත. මේ වන විට ඇය උපදේශන වාර කිහිපයකට සහභාගී වී තිබේ. ඇතැම් අවස්ථා වල අංජන සමග ද සදෙව්මා සමග ද මනෝ වෛද්‍ය අංශයේ නියෝජිතයෝ සාකච්ඡා කළහ. ඇයට ඖෂධ ප්‍රතිකාර ද ලබා දී තිබිණ.

වින්දි ගේ සෞඛ්‍ය තත්වය මත ඇයට රැකියා ස්ථානයෙන් නිවාඩු ලබා දෙන ලදී. ඒ අනුව ඇයට විවේකය ලැබිණ. රැකියා ස්ථානයේ පීඩනය අඩු වී යාම මත වින්දි කෝප ගන්නා එක ටික ටික අඩු වෙමින් තිබිණ. අංජන ගෙදර පැමිණිය ද ඇය රණ්ඩු ඇති කර ගන්නට ගියේ නැත. එසේ ම ඔහු සමග සුහද ඇසුරකට ද නො ගියා ය.

සිය වෛවාහක ස්වාමි පුරුෂයා ව ඇගේ කාමරයට කැඳවීම ඇය තරයේ ප්‍රතික්ශේප කළා ය. අංජන ට නවාතැන් ලැබුණේ ඉස්තෝප්පු කාමරයේ වන අතර එය ඔහු ට සැනසිල්ලක් ද විය. 

“කෙල්ල නිසයි මං හැම දේම දරා ගෙන ඉන්නෙ”

ඔහු හිතුවේත් කීවේත් එහෙම ය.

අංජන සදෙව්මා ට සන්තුෂී ගේ රූපලාවන්‍යාගාරයට මුල් ගල තබනා සිදුවීම ගැන නො කීවේ ඇයටත් එහි යාමට අවශ්‍ය වන නිසා ය. එසේ වූවොත් වින්දි මේ බව කෙසේ හෝ දැන ගන්නවාට සැක නැත. එය අර්බුධ උග්‍ර කරනා  කාරණයක් වනු ඇති නිසා අංජන ඒ සුබ මොහොත වෙනුවෙන් සහභාගී වීමට ගියේ තනිව ය.

එදා සන්තුෂී හිටියේ ඇත් දළ පැහැති සේද දිගු ගවුමක් හැඳ ය. අංජන ගේ හිත තත්පරයක් තුළ කාල තරණය කොට අතීතය කරා දිව යන ලදී. සන්තුෂී අංජන ගේ ඇස් වලින් පරිස්සම් වී ඉන්නට වග බලා ගත්තා ය.

“පුතා ආව එක කොච්චර දෙයක්ද…මොකද සන්තුගෙ අයියවත් ලංකාවෙ ඉන්න එකක් කියලයැ…”

ස්වර්ණකාන්ති ට නම් අංජන දැකුම ඇස් වල සඳුන් තැවරීමක් සරි විය. සැබවින් අංජන වෙතින් දිස් වූ පුරුෂ ලක්ෂණ, ගැහැනු හදක් එපමණ ආකර්ෂණය කර ගන්නා ඒවා ය. ඔහු ගේ සිනහව දැක්කත් බඩ පිරෙනවා යි කියන්නට ස්වර්ණකාන්ති පුරුදු වී සිටියා ය. සුදු අත් දිග කමිසයෙන් ද අළු පාට කලිසමෙන් ද සැරසී දිළිසෙන කළු සපත්තු පැළඳ සිටි ඔහු කඩවසම් කාර්යාල චරිතයක් මවා ලී ය.

හාමුදුරුවන් වැඩම කරවූයේ අංජන ය. යළි උන් වහන්සේලා පන්සල කරා වැඩමවූයේ ද ඔහු ය. මූලිකත්වය ගෙන වැඩ කරන්නට පිරිමියෙකු නො සිටි එතැන ඔහුට නිරායාසයෙන් ම මූලිකත්වය ලැබී තිබිණ. ස්වර්ණකාන්ති ගේ මුවෙහි වූයේ ම අංජන පුතා යන ආමන්ත්‍රණය ය. ඇය ට කොයි දේටත් ඔහු ගේ අදහස් හා උපදෙස් උවමනා විය. 

“අංජන පුතාට බෙදල දීල ඉන්න”

කිරිබත් මේසය විවර කළ ගමන් ස්වර්ණකාන්ති සන්තුෂී ගේ කනට කොඳුළා ය. ඒ අනුව එදා ප්‍රථම කිරිබත් කැබැල්ල පිළිගැන්වුණේ අංජනට ය.

“ඔයාගෙ හීනෙ ඔයා ආස විදිහටම පාට වෙන්න ඕනෙ”

ඔහු කිරිබත් පිඟාන අතට ගන්නා ගමන් මිමිණුවේ ය. එය වූ කලී හදවතින් ම කළ ආශීර්වාදයක් බව ඇයට නො දැනුණා නොවේ. 

“ඔයාට ඕනෙ කියල හිතෙන ඕන වෙලාවක මං එතන ඉන්නව”

“මං දන්නව” කියා කියන්නට සන්තුෂී උත්සාහ නොකළා ය. නමුත් ඒ බව ඇය දැන සිටියා ය. ඇය ඒ බව දන්නා වග ඔහු ද දැන සිටියේ ය. 

ජීවිතයකට අරමුණක් හිමි වූ කල එය ට හොඳ ප්‍රවේගයක් ද හමු වේ. සැලකිය යුතු ජවයකින් සිය දිවිය දිව යන්නට පටන් ගෙන ඇති බව සන්තුෂී ට දැනිණ. ඇය ගොඩනැගිල්ල සෑදීමේ කටයුතු ගැන නිරන්තර සොයා බැලුවා ය. එහි ඉදිකිරීම් කටයුතු කළ අත්දැකීම් ඇති මේසන් බාස්වරු සමග ද තර්ක කරමින් ඇයට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි වෙනස් කොට ගත්තා ය. ඒ රූපලාවන්‍යාගාරය මුළුමනින් ම සිය අදහස් හා ආශා මත ද එක් රැස් කර ගත් දැනුම මත ද ගොඩ නගන්නට ඇයට ඕනෑ විය. දවස පුරා ඇය වැඩ කළා ය. හැන්දෑවට ගෙදර විත් උයා පිහා, අලුතින් ඉදි වන ගොඩනැගිල්ල පුරා ඇවිදිමින් හීන මැව්වා ය. සිමෙන්ති සුවඳ ඇයට අලුත් බලාපොරොත්තු මවා දුන්නේ ය. 

“මට දැන් හොඳයි. තාත්තිට ගෙදර යන්න කියන්න සදෙව්මා”

දවසක් වින්දි සදෙව්මා අමතා කීවා ය. වින්දි වෙත කිසිදු කලබලයක් නැති ශාන්ත ස්වභාවයක් වී ද අම්මා යළි අසනීප වීමට එනවාද යන බිය සදෙව්මා තුළ ඇති විය.

“ඇයි…තාත්ති හිටියදෙන්කො”

එවර වින්දි දෝතෙහි මුහුණ හොවා ගෙන ඉකි ගගහා හඬන්නට වූවා ය. කෑ ගසමින් හඬන්නට වූවා ය. බිය පත් සදෙව්මා දොරගුළු දමා කාමරයෙන් පිටතට ගියා ය.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles