සඳ ගංතෙර -46

“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට සහස් කිව්වා.ඒත් ඇත්ත වෙනස් පුතේ.”

එසේ කියද්දී චාන්දනීගේ මුහුණේ තිබූ වේදනාව දුලන්‍යා තාරුකාට හෙළි කළා ය. තාරුකාට සිනාවක් නැඟිණ.

“මං මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ මගේ දූට”

අම්මා එසේ පැවසූ දවස තාරුකාට මතකයෙන් අමතකව නොයයි. ඒ පැරණි මතක අමතක කරන්නට තේරෙන කාලයට ආ පසු ඇය මනෝ වෛද්‍යවරුන්‍ට බොහෝ සේ වියපැහැදම් කළා ය. තවමත් හිටිහැටියේ මතක අවදි වේ.

“මගෙ රත්තරං, ඔයා හොඳටම දන්නවා අපේ අම්මා මගේ නංගිට තරම්ම ඔයාටත් ආදරෙයි. ඔයාටයි නංගිටයි ආදරේ කරලා ඉතුරු වුණොත් තමයි අම්මා මටයි මල්ලිටයි ආදරේ දෙන්නේ. මං ඔයාට දුන්නු හොඳම තෑග්ග මගේ ආදරේ නෙවෙයි. මගේ අම්මා. එහෙම එකේ අඬන්න එපා.”

මතක ඇහැරී ඉකිගසන තාරුකා දුලාජ් තුරුලට ගන්නේ එහෙම කියමිනි. දැන් සියල්ලටම වඩා හොඳ ආදරය ඔහු දෙන බව සත්‍යයකි. ඔහුගේ ළයට තුරුළු වී ගත් පසු ලෝකයක වේදනා අමතක වන බවත් ඇත්තකි. ඔහුගේ අම්මා ගැන සෑම කතාවක්ම සත්‍යයකි. එහෙත් ඇතැම් මොහොතක තාරුකා වේදනාවට පත් වන්නේ ඒ අම්මාගේ ආදරය නිසා ය.

“පුතේ, ඔයාට නින්ද යනවනෙ. බබාව මං ගන්නම්”

“අනේ ඔන්න ඔය රෙදි ටික ඔහොම තියලා යන්න පුතේ මං වනන්නම්.”

අම්මා එහෙම කියයි. ඇය එවැනි සහයෝගිමත් අම්මා කෙනෙකු වී නැවතුණානම් වේදනාව අල්ප ය. තාරුකාගේ හිසට තෙල් දැමීම, එකම ඉරියව්වෙන් නිදන්නට ගොස් රිදෙනා තැන්වල ආලේපන ඇතිල්ලීම, ඇය කන්නට කැමතිම දේ පිසීම, නින්දට වැටි සිටින ඇයට පොරෝනාවක් පොරවා හිස සිඹ යන්නට යාම, ඇතැම් මොහොතක බත් කට කට අනා කැවීම දුලාජ්ගේ අම්මා කරද්දී තාරුකාට ඉවසන්නට අසීරු ය.

“මට වෙලාවකට හිතෙනවා නංගි ඔයාලගෙ අම්මා අර සීයට අනූවක් නැන්දම්මලා වගේ උනානං කියලා. අම්මෙක් කියන්නේ ලෝකයක් කියලා මං එහෙම වුණානං නොදැන ඉන්න තිබ්බා. මට අපේ අම්මට සමාව දෙන්න අමාරුම ඔයාලගෙ අම්මා නිසා. කවදාම හරි ඔයාව කසාද බඳින්න ලැබුණොත් මගේ මල්ලිට වෙන්නෙත් ඒක.”

සඳරැස්ට නම් එය දැන් තියාම සිදුවෙමින් තිබිණ. “කොල්ලාගේ” දේවල් සොයා බලා කිරීම දුලන්‍යාගේ අම්මාට ඇති ලස්සන පුරුද්දකි. ඒ හන්දා ඇයට ඕනෑවටත් වඩා හුරතල් වීම සඳරැස්ගේ ද සිරිත ය.

ආදරය ලැබෙන තැනකින් ලබා ගැනීම නරක නැත. නමුත් අම්මාගේ ආදරය වෙනත් අම්මා කෙනෙක් අතින් ලැබීම පවා හිත පෑරෙන්නට හේතුවකි.

“දැන් අපේ අම්මට ඕන අපිව යාළු කරගන්න ඔයාව සාම දූතයා කරගන්නද?”

තාරුකා අසන්නේ මන්දස්මිතයක් දරාගෙන ය. දුලන්‍යා හිස වැනුවා ය.

“තව මොනවද එයා කියන්නේ?”තාරුකා අසද්දී වැදගත්ම කතාව දුලන්‍යාට සිහිපත් විණ.

“ගෑනුන්ගෙ ආදරේ කියන්නෙ මහ දිග කතාවලට පුතා.මං ඒ කතාව ඔයාට කියනවා. ඔයා සහස්ගේ වුණත් සඳරැස්ගේ වුණත් මං ඔයාට ඒක කියනවා.”

ඇය මල්වැන්න මහත්මිය නොවී ඉන්නට ගත් තීරණය ගැන කියන්නට දුලන්‍යා තෝරාගෙන තිබේ. කවදා කියයිදැයි නොදන්නා නමුත් ඇය ඒ කතාව පවසන බව දුලන්‍යාට විශ්වාසයක් තිබිණ.

“සමහරවිට කියයි. මට අම්මාව ඒ අතින් තේරුම් ගන්න පුලුවං. එයාට ඕන වුණේ ආදරේ. කමල් විජේවර්ධන ඔය වගේ සල්ලිකාරයෙක් නෙවෙයි අම්මාව අරන් යනකොට. කමල්ට දියුණු වෙන්න අම්මා ලක්ෂ වාරයක් කැපකිරීම් කරන්න ඇති. උදව් කරන්න ඇති.හැබැයි සැප සම්පත් උතුරන ගෙදරකින් බැහැලා ගිහින් අම්මා කමල් එක්ක චූටි ගෙදරක ජීවත් වුණා. හාල් පොල් උස්සාගෙන ගිනි අව්වේ පයින් යන අම්මා ගැන කිය කියා අම්මම්මා සාප කරපු හැටි මට මතකයි. අම්මට මහ දරුණු විදියට ආදරේ ඕනකමක ඉන්න ඇති. සැප සම්පත් දීලා කරුණාව හොයා බැලීම දුන්නට තාත්තා අතින් ආදරේ මගෑරුණාද කියන්න බෑනෙ නංගි. ගෑනියෙක් හැටියට මට අම්මාව තේරෙනවා. කිසිම හේතුවක් නැතිව මහ රෑ දුලාජ්ව ඇහැරෝලා මට ආදරේ නෑ කියලා අඬපු විකාර දවස් මගෙ ප්‍රෙග්නන්ට් කාලේ තිබුණා. අදටත් එයා දූ කිස් කර කර ඉන්නකොට ඔයාව හුරතල් කරනකොට මං මූණ එල්ලාගන්න වෙලාවල් තියනවා. ගෑනියෙක් හැටියට මට අම්මාව තේරෙනවා. ඒත් මට දුවෙක් හැටියට එයාව තේරුම් ගන්නෝන නෑ.”

තාරුකා ඇයට දැනෙන ඇත්ත එසේ පැවසුවා ය. අවුරුදු ගණනක් අතුරුදහන් අම්මාව නැවත කැන්දාගෙන තමන්ගේ කුඩා ලෝකයේ ඇයට දෙන ඉඩ ගැන තාරුකාට වැටහීමක් නොවේ.

“ජීවිත අස්සේ ඕනෑවට වඩා දුෂ්ටයෝ ඉන්නෝන නෑ අක්කේ. සහස්ව රිජෙක්ට් කරනකොට එයා වුණත් තේරුම් ගනී මං එයාට ආදරේ වෙන් නෑ කියලා. සහස්ව තෝරා ගත්තත් සඳරැස් අයියව තෝරාගත්තත් කියලා චාන්දනී ආන්ටි කීවට මගේ තෝරා ගැනීම ගැන මම දන්නවා.”

දුලන්‍යා විශ්වාසයෙන් පැවසුවා ය. ඇත්තටම ඇගේ තෝරා ගැනීම ගැන ඇයට සැක නැත.

“චාන්දනී ආන්ටි මාව මුණ ගැහුණට ආයේ එයාව මුණ නොගැහී ඉන්න මං උත්සාහ කරන්නං. කවදහරි මට කියනව කිව්ව කතාව කියන්න එයාට ඕන වුණොත් මං එයාව අහන් ඉන්නං”

දුලන්‍යා අක්කාට පිළිණ දුන්නා ය.

දැන් දුලන්‍යාගේ රහස පවසා අවසන් ය. දැන් තාරුකාට ද කියන්නට හිතට බර කතාවක් තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles