පෙමාතුර – 23 කොටස

විසල් මල්වැන්න ගේ තුරුණු මුහුණ දෙස මම බලා ගෙන ම සිටියෙමි. පිටාර ගලනා පැහැදුල් පොකුණු සරි ඒ දෑස් වල මේ මොහොතේ වූයේ කැළැතුණු ස්වභාවයකි. එහි ගැඹුරේ ම දුකක් තියෙන්නට ඇත. මට ලං ව බැලිය හැකි වූයේ නැත. නමුත් දුක යටපත් කර ගෙන සිනහ වෙන්නට දරනා ඔහු ගේ උත්සාහය මගේ පපුවේ රිදවීමක් ඇති කරවන ලදී.

“ආ විසල්…මොකක් හරි අවුලක්ද..එක පාරටම ගෙදර යන්න වෙලා කියල කිව්වෙ…”

පුංචි ඔහු ට ප්‍රශ්නයෙන් පලා යන්නට ඉඩ දුන්නේ නැත.

“ගෙදරින් එන්න කියල තියනව”

ඔහු පිළිතුරු දුන්නේ සිතිවිලි ලෝකයක සිට බව පෙනිණ. එන්නට කියා තිබෙන හේතුව ඇතැම් විට ඔහු නිශ්චිත ව නො දන්නවා විය හැක. ඒ අවිනිශ්චිත බව ඔහු මේ අයුරින් කළඹවා තිබෙනවා වන්නට පුළුවන.

යන්නට හේතුවක් ගැන පුංචී ප්‍රශ්න කළේ නැත. එය අපේ සදාචාර රාමුවට එකඟ ද නැත. කවුරුන් හෝ කැමැත්තෙන් කීවොත් මිස අපි කිසිවෙකු ගේ පෞද්ගලිකත්වයට සීමා ඉක්මවා අත නො පොවමු.

“හෙට ෆ්‍රයිඩේනෙ. මං ඔෆිස් ඇරිල එහෙමම යන්නයි ඉන්නෙ. වීක් එන්ඩ් එකේ ගෙදර ඉඳල…පුළුවන් වුණොත් සන්ඩේ ඊව්නිං එනව..නැත්තං මන්ඩේ ඔයිස් එකට ම එනව”

ඔහු ට එය කියන්නට ඕනෑ වූයේ පුංචි ට නොව මට බව මම දනිමි. ඔහු වෙනුවෙන් කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්නද කියා මා දැන සිටියේ නැත. විසල් ගේ ස්වභාවය අනුව මගේ හදවතට දැනෙනා ගැස්ම වැඩි වී ඇති බව පමණක් මම දනිමි.

ප්‍රේමය වූ කලී අසීමිත හැඟීමකි. ඒ අසීමිත බව උපදවන්නේ නිදහස ය. අත්පත් කර ගැනීමේ අදහස ඇති වන තැන ම එකී නිදහස ද ප්‍රේමයේ අසීමිත බව ද මිය යයි.

මා හුස්ම ගන්නේ ප්‍රේමයෙන් බව මට දැනේ. දැනෙමින් පවත්නා මේ අසීමිත බවට ද මම අසීමිත ව ලොබ බඳිමි. හරියට එය භාවනා කිරීමෙන් අත් පත් කර ගත හැකිවා වූ අසීමිත සැහැල්ලුව වාගේ දෙයකි. ආත්මාර්ථය හිස එසවීම තුල මේ සියල්ල විනාශ වී යනු ඇත.

අයිති කර ගන්නට සිතීමේ ප්‍රේමයෙහි ප්‍රාථමික බවින් තොර ව විසල් ගැන සිතන්නට මට උවමනා ය. විවාහය කියනා පටු රාමුවට සීමා කරන්නේ නැතිව ඒ ප්‍රේමයට පවතින්නට හරින්නට මා රිසි ය. නමුත් එක්තරා අවස්ථාවකදී අප විසින් අත් හරින්නට සිතනා එකී සීමාවන්, අපේ ම වටපිටාව විසින් ඉල්ලා සිටිනු ඇත. අප ට රාමු ගත වන්නට සිදු වන්නේ එවිට ය. අප ට විවාහය ප්‍රතික්ෂේප කළ නො හැකි වන්නේ සමාජ ගතානුගතිකත්වයන් විසින් එල්ල කරනා වූ පීඩනව දරා ගන්නට තරම් අප සවිමත් නොවන නිසා ය.

ප්‍රේමයෙහි ආතුර බව නමැති නිර්වින්දනය තුළ මම පියවි සිහියෙන් ද ඉන් ඔබ්බෙහි ද මාරුවෙන් මාරුවට සැරිසරමින් සිටියෙමි. ප්‍රේමය එක් පසෙකින් මහ කන්දක් ව මදෙස බලා සිටි අතර අනිත් පසින් ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන්ගේ ජීවන අත්දැකීම් මහ තුරක් සේ මදෙස බලා සිටියේ ය. අනුන් ගේ වස්තුවකට අත තැබීම පාප කර්මයක් බව, දහම් පාසල් ගිය මා නො දන්නවා නොවේ. නමුත් ජීවිතය කියන්නේ දැන දැන කරන වැරදි වලින් ද අඩු නැති තැනක් බව සමීපතම වැඩිහිටි ගැහැනුන් මට පසක් කර දී තිබේ.

උදේ මා සඳැල්ලට වී සිටියේ දින කිහිපයකට සරිලන්නට ඔහු දැක ගත යුතු ය යන සිතිවිල්ල නිසා ය. සමහර විට යළි මට ඔහු දකින්නට හෝ නොලැබෙනු ඇත කියන සිතිවිල්ල ද යටි හිතේ විය. මම ඒ ඍණාත්මක සිතිවිල්ල හිත යටට ම ඔබා ගෙන සිටියෙමි.

ඔහු පිටතට ආ නිමේශය මගේ පපුව පසාරු කර ගෙන ගිය හැඟීම් ගොන්නක එකතුවකි. අඩි කිහිපයක් පරතරය ඇති, මැදින් තාප්පයක් ඉදි වුණ යාබද ගෙවල් දෙකක සඳළුතලා දෙකක් නොවී නම් අප ට එහෙම ඈතින් සිට අප දෙස බලා සිටිය නො හැකි වනු ඇත.

“අවුල් වෙන්නැතුව ඉන්න ඕන…හොඳද…”

ඔහු හෙමිහිට කීවේ ය. දෙතොල් තද කර ගත් සිනහවකින් මම හිස සැළුවෙමි.

“ආවට පස්සෙ කතා කරමු”

ඊටත් මා කළේ හිස සලනා එක ය.

“මං යන්නද මැණික එහෙනං”

ඒ සඳැල්ලට පැන ඔහු ව තදින් වැළඳ ගත හැකි වී නම් මා එසේ කරනු ඇත. ආදරයේ දී කෙතරම් දුරින් සිටිය ද කම් නැත කියා අප කොතෙක් කීව ද ආදරයේ දී ළඟින් සිටීම මොන තරම් සැනසිල්ලක් ද? මේ වෙලාවේ ඒ සැනසිල්ල මට පැත්ත පලාතක හෝ වූයේ නැත.

ඔහු පිය ගැට පෙළ බසින්නට වූයේ ය. මම කාමරයට දිව ගෙන ගිහින් ‘පරිස්සමෙන්’ කියා පණිවිඩයක් තැබුවෙමි. කොළ පාට හරි ලකුණු දෙකින් පසු ඔහු මොනවාද කියන බව සලකුණු වෙමින් තිබිණ. මම දුරකතන තිරය දෙස ම බලා සිටියෙමි.

“ආදරෙයි ගොඩක්”

ඒ මිහිරි පණිවිඩය ආවේ ය. මම දුරකතනය දෙතොල් මත්තේ තබා තදින් සිප ගතිමි.

ඉනික්බිති දින හතරක් ගෙවී යන තුරුත් ඔහු ගෙන් කිසිදු කොරතුරක් වූයේ නැත. විසල් ගේ ගෙදර තත්වය ගැන නො දන්නා නිසාවෙන් දුරකතන ඇමතුම් දෙන්නට මම පසු බෑවෙමි. අඩු තරමින් ඔහු කෙටි පණිවිඩයක් හෝ තබා නොමැතියෙන් මම වඩාත් පසු බෑවෙමි. ඔහු ගේ පැත්ත සුරක්ෂිත කරනු වෙනුවට, දියාරු බොළඳ කෙල්ලක සේ ආදරය කරන්නට ගොස් ඔහු අනාරක්ෂිත කරන්නට මට සිත් වූයේ නැත. කොහොමටත් කවදටත් මම බොළඳ කෙල්ලක නොවුණෙමි. ප්‍රේමයේ දී ද එසේ වන්නට බැරි මාන්නයක් මට විය.

රාජකාරී කටයුත්තක් වෙනුවෙන් විරංග හමු වන්නට මට සිදු විය. වෙළෙඳ දැන්වීම ගැන කතා බහ කිරීමෙන් පසු ඔහු මා විනිවිද බැලුවේ ය.

“මොකද්ද අවුල..”

හොඳ මිතුරන්ට අනෙකා ගේ හදවත හැඳින ගන්නට වචන ඕන වන්නේ නැත. මා සිනාසුණා විතර ය.

“අර මෑන්ගෙ අවුලක් නේ..”

“තියන නපුරු කම”

මම මූණ හකුලා ගතිමි.

“ඇයි…”

“එයාගෙ නම විසල්”

“මොකා වුණත්…”

“ඔයි..ය…”

“අවුල් කියල දැන දැන දේවල් ඔළුවෙ දා ගත්තහම අවුල් තමයි ඉතිං”

මම ඔහු ගේ කාර්යාල මේසයේ වීදුරු තලාවෙන් පෙනෙනා මගේ ම රුව දෙස බලා ගෙන මඳක් කල් මැරුවෙමි.  ඒ මුළු කාලය පුරා විරංග මදෙස බලා උන්නාට සැක නැත.

එක මොහොතක මම වහා හිස එසවීමි. එතකොටත් ඔහු නිසංසලේ මදෙස බලා සිටියේ ය.

“ඔයා කරන්නෙත් ඒකමනෙ”

මගේ ප්‍රකාශය ඍජු වූයේ ය. විරංග තිගැස්සී ගියා කියා සිතමි.

“අපි කවුරුත් කොච්චර අවුල් කියල දැනගෙන වුණත් දේවල් ඔළුවෙ දා ගන්නව තමයි. ඒ දේවල් කොච්චර අවුල් වුණත් අපි කැමති දේවල් නිසා…ඔළුවෙ දාගන්නෙත් කැමැත්තෙන් තමයි”

“ව…ස…”

ඔහු එසේ කීවේ මඳහසකුත් ඇතිව ය. මම තව දුරටත් රැව්වෙමි.

“ඔච්චර රූඩ් වෙන්න එපා”

“ඔයත්”

විරංග සමගින් එකට එක කියා හෝ විසල් වෙනුවෙන් පෙනී සිටින්නට තරම් එඩිතර කමක් ඒ වෙලාවේ මට වූයේ ය.

“මට තේරෙනව”

එවර ඔහු සුසුමක් හෙළා බිම බලා ගත්තේ ය.

“මොකද්ද…”

“එයාට ගොඩක් ආදරෙයි කියල”

මට වදන් අමතක විය. ඇතැම් අවස්ථා වල ආදරය අපව කෙතරම් නම් අසරණ කරනවා ද? තුන් කොන් ආදරයක් කියන්නේ ම ඛේදවාචකයකි. නමුත් ඒ වෙනුවෙන් අප ට යමක් කර ගත නොහැකි වෙයි.

විසල් ගමට ගොස් දෙදිනකට පස්සේ ත් කිසිදු ආරංචියක් නොවීම මත මම අසහනයට පත් ව සිටියෙමි. නමුත් එවන් හැඟීමක් වුව පිටතට නොපෙන්වා මා තුළ ම දරා ගැනීමේ හැකියාව දැන් මා සතු ය.

“විසල්ලගෙ දිහා මාර ප්‍රශ්න ලු”

දෙවන දින හැන්දෑවේ නදීරා ගෙදර ආවේ එහෙම කියා ගෙන ය. ඒ වෙලාවේ, අම්මා තේ හදන තුරු මා හා පුංචි කුඩා රවුම් මේසය වට හිඳ, පුංචී හැදූ ෆිශ් රෝල්ස් කමින් සිටියෙමු. පිටි උගුරේ යන්නට හැදුවත් මම අසීරුවෙන් ඒ වලකා ගෙන වතුර උගුරක් බීවෙමි.

“ඇයි…”

“මේකිට පිස්සුනෙ”

“ඉෂිනිටද..”

“ඔව්. ඒකි ගිහින් ගිනි තියල. මේ කොල්ලට වෙන සම්බන්දයක් තියෙනවයි අරව මේව කියල. ඒකයි විසල්ට ගෙදර එන්න කියල කියෙන්නෙ”

“ඉතිං..”

“මොනා වුණත් කොල්ල ජෙනුයින් කියල තියෙනව ඉෂීව මැරි කරන්න බෑ කියල”

බඩ පපුව හිස් ව ගියා සේ සැහැල්ලුවක් මට දැනිණ. මම හෙමිහිට දිගු හුස්මක් ගනිමින් පෙනහලු පුරවා ගතිමි.

“ඒ ගමන විසල් ගෙ අම්ම ගෙදර තිබුණ මැහි තෙල් බෝතලයක් අරං බොන්න ගියාලුනෙ”

අර දැනුණ සැහැල්ලුව කොහේ ගියා ද කියා මා දන්නේ නැත. පුටුවත් එක්ක ම මා පොළොව තුළට කිඳා බසිමින් ඉන්නවා සේ මට දැනෙන්නට ගත්තේ ය.

“ඒක හරිම වැරදියිනෙ. තරුණ ළමය්න්ගෙ ජීවිත අරමුණු එක්ක වැඩිහිටියො ඒ විදිහට සෙල්ලං කරන්න නරකයි”

“ඉෂිනි ගෙ තාත්තටලු පරම්පරාවෙ බූදලේ අයිති. පිරිමියා එයා නිසා. හැබැයි එයාට පුතෙක් නෑලු. ඉෂිනිගෙ අක්ක පැනල ගිහිං නිසා මුකුත්ම දෙන්නෙ නැතුව පවුලෙන් අයින් කරල. පවුලෙ දේපල පිට යන නිසා කොහොම හරි මේ දෙන්නව බන්දන්නලු දෙපැත්තෙම අයට ඕනෙ”

“දේපල වගේද කොල්ලෙක්ගෙ හිත…විසල් බෑ කියද්දි එහෙම බලහත්කාරකමක් කරනකොට…පව් ඒ කොල්ල”

“ඒ අම්ම වහ බීලද…”

ඔවුන් කතා කරන අතරේත් මගේ හිතට වද දෙමින් තිබි පැනය එයයි.  මා කොහොම කතා කර ගත්තා ද කියා හෝ සිහියක් මට නැත.

“වහ බොන්න කලින් එයාට චෙස් පේන් එකක් ඇවිත්…කට්ටිය ඉක්මනට අම්මව හොස්පිට්ල් අරං ගිහිං. හාට් ඇටෑක් එකක්ලු ඇවිත් තියෙන්නෙ”

“අනේ දෙයියනේ”

මම අර අගාධයේ තව තවත් පත්ලට ම ගිලා බසිමින් සිටියෙමි. මිදීමක් නොවන්නේ ය. එතෙර වීමේ හැකියාවක් නොවන්නේ ය. මා ඉදිරියේ වන එක ම මාර්ගය ගිලී යාම පමණ ය කියා මට සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...