Bed Time Story

මහදැන මුත්තාගෙ කතා

කතාවේ නම -පහ හය කිරීම

මහදැන මුත්තයි එයාගේ ගෝලයෝ පස් දෙනයි ඔන්න ගඟකින් එතෙර වෙන්න ආවා .ගඟින් එතෙර වුනාට පස්සෙ එයාලට  ඕන වුණා ඔක්කොම ඉන්නවද කියලා දැනගන්න .මොකද එයාලගේ කණ්ඩායමේ ඔක්කොම හයක් හිටියා කියලා එයා කලින් දැනගෙන හිටියා .ඔන්න මුලින්ම එක්කෙනෙක්  ගණන් කරන්න පටන් ගත්තා .මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි.මාර වැඩේ නේ එක්කෙනෙක් අඩුයි .හැමෝම ඒ විදියට ගණන් කරා .එක්කෙනෙක් අඩුයි .අනේ ගඟ අපේ එක්කෙනෙක්ව බිලි අරගෙන .එයාලා ගං ඉවුරේ ඉඳලා අඬන්න පටන් ගත්තා .
ඔන්න ඔතනින් අමුත්තෙක් යන්න ආවා .මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි අඬන්න හේතුව එයා ඇහුවා .මහදැන මුත්තා කිව්වා ගඟ ඒගොල්ලන්ගෙන් එක සගයෙකු බිලි අරගෙන කියලා .
හරි බය වෙන්න එපා, බයවෙන්න එපා මම ඔයාලගේ නැති වුණු කෙනා හොයල දෙන්නම් .ඔක්කොම කීයක් ද හිටියෙ කියල  එයා ඇහුවා .හයායී හැමෝම එක එක හඬින් කෑ ගැහුවා
අමුත්තා සියලු දෙනාම පෝලිමට තිබ්බ. මේක අමාරු වැඩක් .ඒ නිසා නිකම්ම බැහැ .මට සෑහෙන මුදලක් මේ සඳහා ඕන .අමුත්තා කිව්වා .මහදැන මුත්තා කැමැත්තෙන් ම එකඟ වුණා .මොකද විශ්වාසවන්ත ගෝලයෙක් හොයාගන්න  එක කොච්චර අමාරුද කියල මහදැනමුත්තා දන්නවා .ඔන්න පෝලිං ගැහුණු පිරිසට අමුත්තා මෙන්න මෙහෙම කිව්වා .මගේ අතේ මේ තියෙන හැරමිටියෙන් මම හැමෝටම පාරක් ගහගෙන ගහගෙන යනවා .තමන්ට පාර වැදුනු ගමන්ම ඉලක්කම කියන්න .පලවෙනි එක්කෙනා එක කියලා පටන් ගන්න .ඔන්න අමුත්තා මුලින්ම මහදැනමුත්තාගේ පිට පාරක් ගැහුවා .බුදු අම්මෝ එකයි .මහදැන මුත්තා වේදනාවෙන් කෑ ගැහුවා .ඔහොම හැමෝගෙම පිටට හයියෙන් පාරවල් වැදුනා .ගණන් කරද්දී හය දෙනෙක් ම හිටියා .මහදැනමුත්තටයි ගෝලයින්ට යි හරිම සතුටුයි .නැතිවුනු එක්කෙනා හම්බ වෙලා .ඉතින් එයාල හරිම සතුටෙන් පොරොන්දු තෑග්ග දෙන්නත් අමතක කළේ නැහැ .අමුත්තා හිනාවෙවී යන්න ආව ගමන යන්න ගියා.

-චම්මි-