පතිදම්වැල් 21

එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත.

ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර මොහොත මියයන තුරුම මතකයේ තබාගත යුතු බවටත් සිහි තබාගෙන ආ කෙල්ලක වැස්සේ තෙමීම නිසා උණ හෙම්බිරිස්සාව හදා ගත්තා වුව උන්නෙ සන්තෝසයෙනි.

ඒකපාර්ශ්වීය වුවද සොඳුරුතම ප්‍රේමණීය මොහොතක් සිත තුලින් විඳිමින් ආ නිමේශය බිඳ වැටුනේ අම්මාගේ හඬිනි.

“කුඩයක් අරන් යන්න කියල කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ. දැන තිමේ තෙමිල තෙමිල ලෙඩ හදාගත්තට පස්සෙ මටමනෙ කරදරේ” කියමින් අම්මාගේ කටහඬ එද්දී ඒ ප්‍රේමණීය හැඟීමෙන් මිදුණු උශාලි මෙලොවට අවතීර්ණ වෙද්දී උන්නේ තම නිවසේ දොරකඩ අසලය.

එහෙත් ඒ ආවේ කෙසේද යන්න පිලිබඳව කිසිත් නිනව්වක් නැතුවාක් මෙනි.

අම්මාගේ බැනුම් අසමින් ඇය කියූ පරිදි තුවායකින් හිස පිසදාගෙන උණුසුම් දියෙන් ඇඟ සෝදා ගෙන විත් අම්මා සකසා තිබූ කොත්තමල්ලි කෝප්පය බොද්දී උශාලි මතක් කරේ ඒ සුන්දර නිමේශයයි.

දුලන්‍යාගේ තාත්තා පාරේ එහා පස හිඳ සිනාසුනද කිසිසේත්ම වාහනය රැගෙන විත් පාරේ මෙහා පැත්තේ වාඩි වී හුන් තමා අසල නතර කර ගොඩ වන්නයැයි පවසනු ඇතැයි උශාලි බලාපොරොත්තු වූයේ නැත.

බලාපොරොත්තු නොවුවද ඒ මොහොත ඒම ගැන උශාලි උන්නේ පුදුමයෙනි, සතුටෙනි.

“චීච කොහෙද ගියේ?”

දුලන්‍යාගේ සිඟිති කට හඬ මතුව එද්දී පවා උශාලි උන්නේ මෙය සිහිනයක්ද නොඑසේනම් හැබෑවටම සිදු වන්නක්ද යන පැනය සිත ඇතුලෙන් විමසමිනි.

“ක්ලාස් ගියා පුතේ”

“චීච තාම ක්ලාස් යනවද?” දුලන්‍යා අසන්නේ ඇස් ලොකු කරගෙනය. ඒ හුරතලයට සිනහ ගියේ උශාලිට පමණක්ම නොවේ.

“මෙයා මොන්ටිසෝරි එකෙදිත් ටීචට මේ වගේ කරදර කරනව ඇති නේද එක එක ඒව අහ අහ?”

ඒ දුලන්‍යාගේ තාත්තා පළමු වරට තමාව ඇමතූ මොහොතය. උශාලිට ඒ වදන් වල අකුරක් අකුරක් පාසා තවමත් හොඳාකාරවම මතකය. අනෙක් අතට ඒ ඔහු සමග කතා බහක් ඇරඹූ පලමු අවස්තාව වුවද එවෙලේ එයට දෙන්නට පිලිතුරක් සකසාගන්නට තනද්දී සිතට ආ කෝලබව කොත්තමල්ලි කෝප්පය බොද්දීත් සිතට දැනෙන්නාක් බඳුය.

“අනේ නෑ, මෙයාලා හොඳයි ඉතින්”

දුලන්‍යාගේ තාත්තා එයට සිනාසුනේ කණ්ණාඩියෙන් පිටුපස අසුනේ වාඩි වී හිඳින උශාලිත්, දුලන්‍යාත් දෙස බලමෛනි. ඔහු සිනාසෙද්දී ඔහුගේ දෑස් පවා සිනා සෙන බව උශාලි දැනගත්තේ ඒ මොහොතේය. එහෙත් ඒ  සිනාසෙන දෑස්වල වුව කුමක්දෝ වේදනාවක අන්දකාරය තැවරී ඇති බව උශාලි නොදුටුවා නොවේ.

එහෙත් ඒ අන්දකාරය ගැන විමසන්නට හැකියාවක් හෝ ඉඩකඩක් තමුන් දෙදෙනා අතර නැති බැවින් කුතුගලය සිත අස්සේ රඳවාගෙන උශාලිද පෙරලා සිනහවක් මවා පෑවාය.

“හොඳටම වැස්ස නේද?”

කෝලබව සිත ලැජ්ජාවට පත් කරන්නක් වුවද දුලන්‍යාගේ තාත්තා උන්නේ කතා බහ කරන්නට බලාගෙන බව උශාලිට තේරුනි.

එහෙත් කිව යුත්තේ කුමක්ද? එයට දිය යුත්තෙ කුමනාකාරයේ පිලිතුරක්ද යන්න ගැන උශාලිට පැහැදිලි අදහසක් තිබුනේ නැත.

“ඔව් ඒක තමයි. හිතපු නැති විදියට වැස්සෙ”

අනෙක් අතට එවන් පිලිතුරක් නොදී “ඔයයි මමයි හම්බෙන හැම දවසකම වහිනව නේද?” කියා කියන්නට තිබුනා නම් කොතරම් අපූරුද කියා සිත විමසන අයුරු උශාලිට ඇසේ. එහෙත් ඒ සැබෑවටම අසන්නට හැකි පැනයක් නොවේ.

අනෙක් අතට ඔහු ඉන්නේ එදා තමා සහ ඔහු අතර වූ දුරකතන ඇමතුම අමතක වූවා පරිද්දෙනි. නොඑසේනම් එය මතක තිබුණද දුලන්‍යා හිඳින තැන ඒ ගැන පවසන්නට බැරි කමක් ඇති නිසාවෙන්ද? ඒ සිතුවිල්ල සුන්දරය. 

ප්‍රේමයේ මල් පිපෙන්නට මේ වස්සානය සුන්දර හේතුවක් වුවද ඒ මල් පිපෙන්නේ තම සිත අස්සේ පමණක් බව උශාලි දනී.

“චීච මේ මම ගත්තා ලෙද්දයි හැට්ටෙයි අවුලුදු උත්සවේට” කියමින් දුලන්‍යා නිහඬතාවය බිඳ දමමින් වාහනයේ තිබූ බෑගයක් අවුස්සමින් පෙන්නන්නේ දම් පාට මල් වැටුණු සුන්දර කහ පාට රෙද්දක් සහ හැට්ටයකි.

ඇයගේ සිත අස්සේ තිබෙනා සතුට ඇඳුම දෙස බලන වාරයක් පාසා ඇස්වලින් පිටතට පනින බවක් උශාලි ඒ අතරේම දුටුවාය.

“ලස්සනයිනේ, ඔයාද මේක ගත්තේ?”

“ඔව් තාත්ති දුන්නෙ”

දුලන්‍යාගේ වදන් සිනාවට හේතු කාරණා සපයද්දී දුලන්‍යාගේ තාත්තාද ඒ කතාබහට එක්වීම උශාලිගේ සිතට ගෙනැන්නේ වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ සතුටක් තැවරුන කෝල බවකි.

“හවස් වෙනකම්ම අවුරුදු උත්සවේ තියෙනව කියල අපේ අම්මා කිව්ව මට”

“ඔව් සර් එදාට එක එක විදියෙ සෙල්ලම් එහෙම තියෙන නිසා හවස තුන විතර වෙනකම් තියෙනවා”

ඔහු අමතන්නට වෙනත් වදනක් නොමැති තැන සර් කියා පැවසීම ගැටලුවක් නොවනු ඇතැයි සිතා එසේ කීවද ඔහු කණ්ණාඩිය ඔස්සේ බලමින් සිනාමල් මේ පැත්තට එවයි. ඒ සිනාමල් හසුවන්නේ නෙත් වලටය. එහෙත් සිනාවකින් පිලිතුරු දෙද්දීම දෑස් බිමට බරවෙන්නේ කෝල සිත නිසාවෙනි.

“එදා පෙයරන්ට්ස් මීටින් එකට මට එන්න බැරිඋනානේ”

රෙයාර් මිරර් එකෙන් තමන් දෙස බලමින් ඔහු පවසන්නේ සමාව ඉල්ලන බැල්මක් දෙනෙතෙහි අලවාගෙනය. ඒ බැල්ම හී තුඩක් මෙන් ඇදී ගොස් වැදෙන්නේ හද මැදටය. එය තියුණු සරකින් විත් වැදුණද, කිතියක් මිසක වේදනාවක් සිතට කානොවද්දයි.

“ඔව් මම ඒත් කල්පනා කරා ආවෙ නැත්තෙ ඇයි කියල”

ඒ පමණට වඩා වැඩි කතාවක්ද කියා පැහැදිළි නැති නමුත් දැන් පිටකල වචන ආපසු ගැනීමේ හැකියාවක් නොමැත.

“හදිසි වැඩ වගයක් ආවනේ. ඔෆිස් එකේ”

එතරම්ම පැහැදිළි කිරීමක් දෙන්නට ඔහුට සිතුණේ තමා සිතන තරම් දුරස්ත බව තමා සහ ඔහු අතර නොවන නිසාවෙන්ද කියා සිතුණද ඒ ඔස්සේ දිගින් දිගටම සිතනට හැකියාවක් නැත. දුලන්‍යා අනෙක් පස හිඳගෙන එක එක දේවල් ඇය මිල දී ගත් ඒවා අතරින් අදිමින් පෙන්නයි.

පාට පාට කොණ්ඩ කටුය. සෙල්ලම් බඩුය. රස කැවිලිය. දරුවන්ගේ ලෝකය පිරී ඇත්තේ ඕවායෙනි.

“ඔක්කොම ටීචට පෙන්න පෙන්න කරදර කරන්න එපා බබී”

සිනාවන් සමග දුලන්‍යා අමතන ඔහුගේ ආදරබර වදන් සහ එකී වදන් වල ගැබ් ව තිබූ ස්වරය සිත සොරාගන්නකි. 

“අනේ කරදරයක් නෑ. කෝ ඉතින් මේ කොණ්ඩ කට්ට මම ඔයාගෙ ඔලුවට ගහන්නද? ලස්සනද කියල බලන්න”

දුලන්‍යා ගේ අතින් ඇය පෙන්වමින් උන් කොණ්ඩ කට්ට ගෙන ආසනයේ පැත්තට හැරී උශාලි එය ඇගේ කොණ්ඩයේ රඳවන්නට තැනුවාය.

“මේකත් ගහන්නකො චීච”

“අනේ බබි ඉතින් දැන් ඔය ඇති ටීචටකරදර කරා. අන්තිමේ ටීච හිතාවි අපි ටීචව පික් කරේ මේකට කියල”

පළමු වදන් පෙළ දුලන්‍යා වෙතය. දෙවන වදන් පෙළ උශාලි වෙතය. ඒ සමාව අයදින බැල්මක් ද සිනහවක්ද සමග ඇදී ආ වදන් පෙළකි.

“අනේ ඒකට කමක් නෑ මම හරිම ආදරෙයි දුලන්‍යාට, මගේ දරුවෙක්ට තරම්”

ඒ කියන්නට උන් කතාවක් නොවේ. එහෙත් හදවත ඇතුළාන්තයේ ඇති බොහෝ දේ ආදරය කරන හිත් ඉදිරියේදී ඇසිල්ලකින් වචන වීම සාමාන්‍ය දෙයකි. 

ඒ වදන් සමග පැතිර ගිය නිහඬතාවයෙහි තිබුණේ පුදුමාකාර සීතලකි.

ඒ සීතලත්, රෙයාර් මිරර් එකෙන් දකින්නට ලැබුණ ඔහුගේ සීතල එහෙත් වේදනාවට බර බැල්මත්, තෙමී ඇති ඇඟත්, ඇඟටම ඇලුණු ඇඳුමත් නිසාවෙන් දැනෙන සීතලට එක් වූ වාහනය ඇතුලේ වූ වායු සමීකරණයේ සිසිලස දරාගන්නට අපහසු වෙද්දී උශාලි උන්නේ යාන්තමට මෙන් ගැහි ගැහීය.

පොත් පත් සහිත අත් බෑගය පපුවට තුරුලු කරගෙන සීතල මකා ගන්නට උත්සාහ කලද වෙව්ලන දෙතොලද ගැහෙන අතැඟිලි ද එයට එරෙහි වෙයි.

අනෙක් අතට එවෙලේ වාහනය තුල තිබුන නිහඬ බව ද දරාගන්නට නොහැකි තරම් බැවින් උශාලි උන්නේ ජනේලයෙන් එපිට ඇද හැලෙන මහ වැස්ස දෙස පලමුවරට දකින්නෙක් මෙන් බලමින්. සිතෙන් බොහෝ දේ ගැන කල්පනා කරමිනි.

“චීච ට සීතලද?” කියමින් දුලන්‍යා එසේ අසද්දී පවා උශාලි උන්නේ පුදුමාකාර ලෙස ගැහෙමිනි. අනෙක් අතට දුලන්‍යාගේ පැනයට උත්තරයක් දෙන්නට පවා නොහැකිව මෙන් වෙව්ලන දෙතොල සමගෛන් රතු වූ කම්මුල් ද සහිතව උශාලි එක් වරක් ඇය දෙසත් දෙවනි වර කණ්ණාඩියෙන් ඔහු බලා හිඳින බවද විමසමින් ඔලුවෙන් ඔව් කියා පිළිතුරු දුන්නාය.

එහෙත් දුලන්‍යාට කියූ ඒ උත්තරයට පිලිතුරු දුන්නේ ඇයගේ තාත්තාය.

“සොරි මිස් ඒසී එක අඩු කරන්න මට අමතක උනා. පිටිපස්සට ඒසි එක අඩුවෙන් එනව කියල හිතල තමයි මම පොඩ්ඩක් වැඩි කරල තිබුනෙ”

කියමින් ඔහු තකහනියේ ඒසී එක අඩු කරන්නට දඟලද්දී උශාලි උන්නේ වෙවලන දෙතොලින් යමක් කියාගන්නට අපහසුවෙනි.

එහෙත් අමාරුවෙන් මෙන් දෑස් වල තවරා කියූ ඒ ස්තුතිමය වචන ගැල් වූ බැල්ම කන්ණාඩිය ඔස්සේ ඔහු වෙතට යවන්නට අපහසුවක් නොමැත.

නුගේගොඩ පාලම යටින් ඉස්සරහට දමා මද දුරක් ට්‍රැෆිස් එක ඔස්සේ ගිය වාහනයට තමාව නිවසටම හැරලවන්නට බැරි බව උශාලි දැන උන්නාය.

මේ තාවකාලිම නැවතුම් පලක් මිස සදාකාලික නවාතැනක් නොවන බවත්, සිතෙන් වුව පෙම් කරමින් හිඳින්නේ අනුනනට අයිති කෙනෙකුට බව උශාලිට මතක් වූයේ අහම්බයෙනි. ඒ සිතුවිල්ල ඊලඟට මුවින් ගිලිහුන වචන පේලියට ගලා යන්නට මාවත සකසා දුනි.

“මාව ඉස්සරහ බස් හෝල්ට් එකෙන් දාන්න සර්”

එසේ කියමින් උශාලි සූදානම් වූයේ බස් හෝල්ට් එකෙන් බසින්නටය.

“අපි ටීචර් සේනානයක  පාරට හැරෙන තැන වෙනකම් යනව ටීච. එතන ඉඳල ලඟනම් අපිට ඒ හරියෙන්ම දාන්න පුලුවන්”

ඒ පිලිතුර ඔස්සේ දුලන්‍යාගේ නිවස පිහිටා ඇත්තේ නාවලට කිට්ටුවෙන් බව තේරුම් ගන්නට උශාලි හැකිවුන. එහෙත් ඉතින් ඒ දැනුමෙන් තේරුමක් තිබේද යන්න ගැන වගක් එවෙලේ සිතට දැනුනේ නැති තරම් ය.

“මම ඉන්නෙ මරදානෙ. මාව එතනින් දාන්න. 176 මට යන්න පුලුවන් සර්”

“මේ වැස්සේ?”

ඔහු අසන්නේ විමතියට පත් ඇස් බැල්ම කණ්ණාඩිය හරහා මෙපසට එවමිනි. එහෙත් එයට දෙන්නට පිලිතුරක් නැති තැන උශාලි උන්නේ සිනාසෙමිනි.

“කුඩයක්වත් තියෙනවද?”

කියමින් ඉහුම ප්‍රශ්න විමසයි. සිනා සී එයට පිලිතුරු දුන් උශාලිට බසින්නට වාහනය අයිනෙන් නතර කල පසුව වුවද ඔහුගේ දෑස තුල වූයේ පැනයකි. එහෙත් ඒ උශාලිට පිලිතුරක් දිය හැකි පැනයක් නොවේ.

වාහනයෙන් බැස දුලන්‍යාට බායි කියා උශාලි කඩිනමින් සෙවණක් බලා දුව ගියේත් දුලන්‍යා රැගත් රිය වාහන ගංගාවට එක්වුනේත් එකටම මෙනි.

එතැන් පටන් තමා නිවසට ආවේ කෙසේද යන්න පිලිබඳව වුව මතකයක් හරියාකාරව නොවුනද උශාලි උන්නේ පුදුමාකාර සන්තෝසයකිනි.

තමා පෙර ආලය කර අව් රශ්මියට වඩා වැස්සට ආලය කරන බවට තේරුම් ගනිමිනි. එහෙත් ඒ වැස්ස සදාකාලික මල් වැස්සක් වේද, නොඑසේනම් අනොරා වර්ශාවක් වී වියල් සන්තකයන් උදුරාගෙන යන ගංවතුරක බවට පත් වේද යන පැනය සිතෙන් විමසමිනි.

ඒකපාර්ශ්විය වුවද එය ආදරයකි. නොපවසාම ඒ ආදරය බිඳ දමන්නට සිදු වන බව දැනගෙන වේදනාවට පත් සිත සනසන්නට ඒ සිහිල් වැසි දියට නොහැකි බව තමා දැන උන්නාද යන්න පවා සැකයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles