බොජුන් හල තුළ වූයේ සන්සුන් නිහැඬියාවකි. ඒ අවේලාවේ කෑමට එහි විත් සිටියේ සන්තුෂී හා අංජන හැරෙන්නට වෙනත් තරුණයන් දෙදෙනෙකු පමණකි. ඔවුන් දෙදෙනා ගේ ද බොජුන් හල් සේවකයන් ගේ ද ඇස් යොමුව තිබුණේ බිත්තියේ රඳවා තිබූ කුඩා රූපවාහිනී තිරයේ දර්ශනය වෙමින් තිබි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වෙත ය. මේ මොහොත වන විට අංජලී හා ලයංගා ද දෑස් රූපවාහිනී තිරයේ අලවා ගෙන ඇතැයි සන්තුෂී ට සිහි විය. ඇය රූපලාවන්‍යාගාරයෙන් පිටතට ගිය ද ඔවුන් දෙදෙනා ගේ සේවය ඇය සිටියදී සේ ම පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නට තරුණියෝ උත්සාහ කරති. ඒ සන්තුෂී ගේ ජංගම දුරකථනය ද සීසීටීවී කැමරා දර්ශන සහිත බව දන්නා නිසා ය. නමුත් සන්තුෂී කිසි සේත් හොර අල්ලන්නට පිටතදී එය නිරීක්ෂණය නොකරන්නී ය.
“කන්න”
අංජන ගේ හඬ ඇසුණේ දුර ඈත වෙනත් ලෝකයකින් සේ ය. සන්තුෂී හිත එතැනට ගෙන විට දෑස් පියන්පත් ඔහු ගේ මුහුණ මත තබා විවර කළා ය. ඇගේ ලා රත් පැහැති ආලේපන ගැල්වූ දෙතොල් මත්තේ අව්‍යාජ මඳහසක් විය.
“ඔයා කන්න. මං හිතන්නෙ ඔයා ලන්ච් අරං නෑ”
එය ආදරණීය තරවටුවක් සේ ය. සන්තුෂී නම් රූපලාවන්‍යාගාරයෙන් නික්මුණේ දිවා ආහාර ගැනීමෙන් පස්සේ ය. ඒ නිසා ඇය වෙත කුස ගින්නක් වූයේ නැත. මේ බොජුන් හල ඉදිරියේ ඇය රිය නතර කළේ ම මුලින් ම අංජන ගේ කුසට අහරක් වැටිය යුතු ය යන අදහසිනි. ඒ ගමන් කතා කරන්නට පුළුවන.
“පළවෙනිම දේ…ඔයා ස්ට්‍රෝං වෙන්න ඕන අංජන. දැන් ඔයා දන්නවනෙ සිද්ද වෙලා තියන දේ. දුව පිළිගන්නෙ අම්ම එයාගෙ ඔළුවට දාන දේ. ඒක මේ වෙලාවෙ අපිට වෙනස් කරන්න බෑ. මං මොන බණ දේශනා කළත් එයාගෙ තාත්ත විදිහට ඔයාට හර්ට් ඇති. ඒත් ඉතිං ඔයා පොඩි ළමේක් නෙවේනෙ. මේකට ෆේස් කරන්න. හිත හදා ගන්න. මං කියන්නෙ එයාලව අමතක කරන්න හිත හදා ගන්න කියල නෙවෙයි. මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් කියල හිත හදා ගන්න. ඊට පස්සෙ බලමු කොහොම හරි දරුවගෙ හිත වෙනස් කරන විදිහක්. අපිට ඕන විදිහටම හැම දේම වෙන්නෑ අංජන…සිද්ද වෙන දේවල් වලට අපි ෆේස් කරන විදිහ තමයි ජීවිතේ කියල කියන්නෙ..ටිකක් අමාරුයි වගේ දැනෙන දෙයක් ජීවිතේ ඉස්සරහට එද්දි ජීවත් වුණා ඇති කියල ප්‍රශ්න වලින් පැනල දුවන්න අයිතියක් අපිට නෑ. අපිට ඕන හැටියට දේවල් වෙනස් කර ගන්නනං ඒකට ඕන තරං ආත්ම ශක්තියක් අපි ළඟ තියෙන්න ඕන. ආයෙත් එහෙම ඔය මැරෙන කතාව කියන්නකො බලන්න”
හිතේ තිබුණ මහ කන්දක බර වලාකුළක් සේ ඈතකට පාව යන බවක් අංජනට දැනිණ. මහ වැස්සකට පසු එබිකම් කරනා අලුත් ඉර එළිය පොදක් සේ ඔහු ගේ දෙතොල් අතරේ මඳ සිනහවක් පිපිණි.
“අපරාදෙ බියුටීශන් කෙනෙක් වුණේ”
ඒ සිනහව රැඳි දෑස් වල එල්ලී ගෙන ම සන්තුෂී “ඇයි” කියා ඇසුවා ය.
“කවුන්සලර් කෙනෙක් වෙන්නයි තිබුණෙ”
එවර ඇයට සිනා ගියේ ය. ඒ සිනහවේ යම් තැනකදී මුව තුළ වූ අහර පොදක් පිටි උගුරේ ගොස් සන්තුෂී හිස මේසයෙහි ඔබා ගෙන කහින්නට වූවා ය. අංජන වතුර වීදුරුව ඇය වෙත ලං කළේ ය. වතුර බොන්නට හිස එසවූ තරුණිය ගේ ඇස් පිනි කඳුළකින් තෙත පාට ගැන්වී තිබිණ. අංජන ගේ ඇස් අභිමුව මැවුණේ දේදුන්නක චමත්කාරයකි.
“හරි මං ඔයාට කවුන්සලින් කරන්නකො. මං කියන විදිහට වැඩ කරල අන්තිමට පේමන්ට් එක කළාම ඇති”
වතුර ටිකක් බී අවසන ඇය කීවා ය.
“සමහර ප්‍රශ්න තියනව අංජන…අපිට කවදාවත් විසඳන්න බෑ”
එහෙම කියත්දී සන්තුෂී ගේ හිතේ හිටියේ කල්ප බණ්ඩාරතිලක ය. ඇය මොහොතකට ඒ ලෝකයට ගියා ය..ස්ත්රීත්වයේ සංකේතයක් බඳු ඒ වත දෙස ඔහු ඇස් පිය නො සලා බලා සිටියේ ය. කාලයකට කලින් බාලිකා විද්‍යාලයක කලා උළෙලකට ගිය දාක සරස්වතී නැටුමේ සරස්වතී දේවියට පෙනී සිටි බාලිකා රුව අංජන ට සිහි විය. ඒ නම් සරස්වතියමයි කියා එදා ඒ නැටුම් අංගය අවසන් වන තුරු ම ඔහු ඈ දෙස බලා සිටියේ ය. එවන් ස්ත්‍රී හැඩතල ඇති ගැහැනුන් ඉන් පසු වැඩිහිටි දිවියේ දී ඔහු ට හමු වුණා නම් ඒ කලාතුරකිනි. පාසල් යෞවනයෙකු ලෙස හද බැඳ ගත් ඒ ස්ත්‍රී ලාලිත්යයයෙන් අනූන සරස්වතිය කිසි දාක ඔහු ගේ හදවතින් බැස ගියේ නැත. වින්දි කාලි යක්ෂණිය ගේ වේශය ගන්නා හැම විටෙක ම ඒ සරස්වතී දේවතා රුව හද මළුවේ විරාජමාන ව ඔහු දෙස සන්සුන් දිළිසෙන දෑසකින් බලා සිටියා ය.
සරස්වතිය හද මඬලින් බිමට බැස තමන් ඉදිරියේ හිඳ සිටින්නා සේ මේ මොහොතේ අංජන ට දැනෙන්නට විය.
“ඒව සිද්ද වෙන දිහා බලං ඉන්න විතරයි පුළුවන්. යම් කිසි දවසක මොකක් හරි විදිහකට ඒ ප්‍රශ්නත් විසඳෙන්න නියමිත ඇති. ඒත් අපි ඒව මැද්දට පැනල අපිට ඕන විදිහට විසඳන්න ගියොත් වෙන්නෙ ලොකු අවුලක්. ඔයාගෙ වයිෆ් වුණත්…හැමදාම ඔය වැරදි අවබෝදයයි තරහයි එක්ක ඉන්නෙ නෑනෙ. එයා දේවල් තේරුං අරං කූල් ඩවුන් වෙන වෙලාවක් එයි. හුඟක් දුරට එයා කරපු කියපු දේවල් ගැන ඒ වෙලාවට එයා පසු තැවෙන්න පුළුවන්. හරි ඔයා දුව යාළු කර ගන්න ඕනම දෙයක් කරන්න. හැබැයි එයාගෙ රිඇක්ශන්ස් වලින් හිත රිදොගෙන මනසින් වැටෙන්නෑ කියන අවබෝධයෙන්. ඒ වගේම මේ ප්‍රශ්නෙ විසඳගන්නෙ කොහොමද කියල තැවි තැවි ඩ්‍රිංක්ස් ගන්නයි…හැඟීම් වලට ඉඩ දීල වැඩ කරන්නයි ගියොත් වෙන්නෙ ඔයා ඔක්කොම අවුල් කර ගන්න එකයි. මං කියන එක තේරෙනවද…එතකොට දුව වුණත් ඔයාව තවත් මිස් අන්ඩස්ටෑන්ඩ් කරනව. හරි..ප්‍රශ්නයක් තියනව. ඒක පැත්තකින් තියල ඔළුව නිරවුල් කරගෙන ඔයාගෙ එදිනෙදා වැඩ ටික කරං යන්න. ස්පෙශලි ජොබ් එක හරියට කරන්න. ඔයාගෙ පර්සනල් ලයිෆ් එක පිළිවෙල කර ගන්න ඕන තමයි. හැබැයි ඒ අනිත් හැම දේම අවුල් කර ගෙන නෙවෙයි. ඇත්තටම මේක මට අදාල කාරණයක් නෙවෙයි. ඒත් ඔයා තාත්ත කෙනෙක් විදිහට සෙන්සිටිව් වෙද්දි මට හරියට මගෙ තාත්ත මතක් වුණා. මාත් එයාට ලොකූ වරදක් කරපු…ඒ නිසාම හදන්න බැරි වරදක් මගෙ ජීවිතේට කර ගත්ත දුවෙක්. ඒකයි මට ඔයාව හුඟක් දැනුණෙ..හැබැයි අද මගෙ තාත්ත ඉන්න තැනක ඉඳන් මං දිහා බලන් මං ගැන සතුටු වෙනව ඇති. ඉස්සල්ලම සන්සුන් වෙන්න අංජන. පතුලට යනකල් පැහැදිලිව දකින්නනං වතුර පැහැදිලි වෙනකල් ඉන්න වෙනව. බොර වතුරෙන් මුකුත් පේන්නෑ”
සන්සුන් ව වුණත් ඇය කතා කර ගෙන ගියේ තරමක් වේගයෙනි. ඒ තරම් ඉක්මනට හිතට සිතිවිලි ගලා ආ බැවිනි. උගුරට වියළි ගතියක් දැනුණෙන් සන්තුෂී ඇය අසල වූ අයිස් කැට දැමූ සීතල බීම උගුරක් බීවා ය. අංජන ගේ ජංගම දුරකතනය හැඬවුණේ ඒ වෙලාවේ ය. තිරය දෙස බැලු හෙතෙම තත්පර කිහිපයක් එදෙස බලා සිටියේ පිළිතුරු දෙනවාද නැද්ද යන දෙගිඩියාවෙනි. එක අතකට සන්තුෂී කීවා සේ ප්‍රශ්න වලින් පැන යා යුතු නැත.
“කියන්න වින්දි”
ඒ නම ඇසුණු ගමන් සන්තුෂී ගේ හිත ද ගැස්සී ගියේ ය. අනුන්ට අයිති පිරිමියෙකු සමග මේ විදිහට හුදෙකලා වීම වුව කොයි ආකාරයකට බලපාවිද යන පැනය හදවත නැගුණේ ඒ වෙලාවේ ය.
“දෙකක් කියන්න තමයි මං මේ කතා කළේ. මං කියල තියනව නේද මනුස්සයො අපේ ගෙදර හතර මායිමට යන්න එපා කියල. තමුන්ට සිංහල තේරෙන්නැද්ද…”
අංජන ගේ සවනට සිර වී තිබුණ ද වින්දිගේ හඬේ වූ ඝෝෂාකාරී බව නිසා දුරකතනයත් ඔහු ගේ සවනත් අතර අවකාශයෙන් රිංගා ඒ සැරපරුෂ ගෝරනාඩුව සන්තුෂී ට ද ඇසිණ. මහත් සේ අසරණ ව අංජන තව තවත් දුරකතනය සවනට තද කර ගත්තේ ය. ඔහු ගේ මූණේ වූයේ සමාජය ඉදිරියේ නිරුවත් වූ මිනිසෙකු ගේ පරාජිත බව ය.
“මොන එහෙකටද මගෙ ළමයට වද දෙන්න එහෙ යන්නෙ…ඒ ළමයට පාඩුවෙ ඉගෙන ගන්න දුන්නොත් හොඳයි. දුවට හරි ආදරේ ඇති තාත්ත. හහ්…ඒ ළමය දන්නව ආදරේ තරම”
“වින්දි ඔයා දරුවගෙ ඔළුවට එක එක බහුබූත දාල ඒ ළමයව මගෙන් ඈත් කරන්න හදන්නෙපා”
“මොනා ඈත් කරන්නද…දැන් ඈත් කරන්න දෙයක් නෑ. ඩිවෝස් වෙන්න නේද ඕන කිව්වෙ. ඉතිං දාන එකයි නඩු. හම්බ වෙයි තමුන්ට ඩිවෝස්…විඳවල මැරෙන්නයි වෙන්නෙ තමුන්ට. දරුවවත් එන එකක් නෑ මිණිය බලන්න”
“වින්දි කරුණාකරල බොරුවට නැති ප්‍රශ්න නිර්මාණය කරන්න එපා. ඔයාට මාත් එක්ක ඉන්න බැරිනං ඒක වෙනම දෙයක්. හැබැයි දුවව මගෙන් ඈත් කරන්න එපා”
ඔහු එසේ කියත්දීම අනිත් පසින් දුරකතන සම්බන්ධය බිඳ දැමිණ. අංජන දෙතොල් තර කොට පියා දුරකතනය මේසය මතින් තැබුවේ ය. සන්තුෂී බිම බලා ගත්තා ය.
තාත්තා ඇවිත් ගිය බව සදෙව්මා අම්මා ට උදක් ම කතා කොට කීවේ ඇය එසේ දැනුවත් කොට තිබූ හින්දා ය. වින්දි විසින් අංජනට ගෙදර නොපැමිණෙන ලෙස අනතුරු අඟවා තිබුණ ද ඔහු යම් මොහොතක පැමිණෙන්නට බැරි නැතැයි සැකයක් ඇයට විය. අංජන ගෙන් පළි ගැනීමේ වියරු චේතනාවක් වින්දි තුළ බරපතල ලෙස මුල් දුවා තිබේ. ඇයට සියලු වැරදි සිදු වූයේ ඔහු නිසා ය යන සිතිවිල්ල ගැලවිය නො හැකි ලෙස ඇගේ සිත පුරා මෝරා වැඩේ. යම් කිසි මොහොතක ඔහු සදෙව්මා ව සොරකම් කර ගෙන යාවී යන බිය ද විටින් විට වින්දි ව තිගස්වයි. ඇයට ඕනේ ඔහු වැඩියෙන් ම ආදරය කරනා දියණිය ඈත් කිරීමෙන් ඔහු රිද බිඳ දමන්නට ය. අංජනව ගෙතුළට වද්දා ගැනීම පිළිබඳව එදා වින්දි සිය දෙමාපියන් සමග ද රණ්ඩුවක් ඇල්ලුවා ය.
“ඒ මිනිහ සදෙව්මාව උස්සගෙන ගියොත් එහෙම ඕගොල්ලො වග කියන්න ඕනෙ”
එය තර්ජනයකි. සැබවින් ම එවැන්නක් සිදු වුවහොත් තමන් වැරදිකරු වනු නියත බව ඔවුන්ට වැටහිණ.
එදා අංජන ගෙදර ගියේ අලුත් මිනිසෙකු ලෙස හිත හයිය කර ගෙන ය. අවුරුදු දහ තුනක් තිස්සේ පවුලක් ලෙස ජීවත් වූ ගෙදර දැන් තනි මිනිසෙකු ලෙස දිවි ගෙවත්දී දැනෙන්නා වූ හැඟීම් වල සංකීර්ණ බව ඔහුට ම වුව පැහැදිලි කර ගත නො හැකි ය. නමුත් සන්තුෂී කීවා සේ සමහර දේවල් සිදු වෙන ආකාරය පාලනය කළ නො හැකි බව ඔහු ද පසක් කර ගත යුතු ය. සන්තුෂී ද ඉදිරියේ දී වින්දි ගෙන් පැමිණි දුරකතන ඇමතුම සැබවින් ඔහු ලැජ්ජාවට පත් කළේ ය. නමුත් එක අතකින් එය එසේ වූ එක හොඳ ය කියා ඔහු සිතුවේ ය. සන්තුෂී වන් පිටස්තර ගැහැනියක ඔහු කී කතන්දර කොයි තරම් පිළිගන්නවාද යන සැකය ඔහු ට විය. ඇය වූ කලී ලෙහෙසියෙන් රැවටෙනා විදිහේ ස්ත්‍රියක නොවන බව මුල සිට ම ඇය ප්‍රකට කළා ය. තමන් ගේ නිරවද්‍යභාවය ඔප්පු කරන්නට ඒ අහඹු ඇමතුම හේතුවක් ලෙස අංජන ට පෙනිණ.
“එහෙම තමයි. කාලි යක්ෂණියි පත්තිණි මෑණියි ඔක්කොම එකම ගෑනියෙක්ගෙ වේශ කියනවනෙ. එයාගෙ පැත්තෙන් එයාටත් මොනා හරි හේතු ඇති එහෙම වෙන්න”
එදා හැන්දෑවේ ඒ ගැන දැන ගත් පසු තප්ති කීවා ය. සැලෝන් එක වසා දමා ගෙදර වෙනුවට සන්තුෂී තප්තිලා ගේ ගෙදර ගියේ අංජන ගැන මේ පුවත හිතට වදයක් වූ හින්දාම ය.
“අපිත් අපේ මිනිස්සු කරන සමහර දේවල් නිසා යක්ෂණියො වෙන වෙලාවල් තියනවනෙ”
“ඒත් ඒක පවුල කඩල බිඳල දාගන්න හේතුවක් වෙනවනං එතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවනෙ තප්ති”
“හැම වෙලේම පිරිමි කියන ඒව පිළිගන්න බෑ කියල අපිත් හොඳටම දන්නවනෙ සන්තු..කවුද දන්නෙ ඔය අංජනත් එහෙම ඇක්ට් කරන කෙනෙක්ද කියල. නැත්තං නිකංම වයිෆ් යයිද ළමයත් අරං…”
හදිසියේ ම රිය ඉදිරියට සතෙක් පැන්න විටෙක සේ තිරිංග තද කොට සිය මනස නවතා ගන්නට සන්තුෂී ට සිදු විය. අංජන කියන්නේ කිසි සේත් ඇයව දැන සිටි තැනැත්තෙකු නොවේ. අහම්බෙන් ඇයට ඔහු හමු වුණේ රූපලාවන්‍යාගාරය ඉදිරියේ ඇගේ රිය හරස් කොට රිය නවතා ගෙන සිටි දාක ය. ඇය ඔහුට නොසිතා ම සමීප වූයේ දියණියක ගැන සංවේදී කතාවක් ඔහු ට තිබූ නිසා ය. බොහෝ පිරිමින් කල්ප ලා වාගේ ස්ත්‍රීන් රැවටිය හැකි අය බව සිතා සිටියත් අංජන ගේ ඇස් වල එහෙම ව්‍යාජ පිරිමියෙකු ඇය දුටුවේ නැත.
“මට හිතෙන්නෙ එයාගෙ වයිෆ්ට මොකක් හරි ප්‍රශ්නයක් තියනව. කවුන්සලින් ඕන කරන…”
තප්ති හඬ නගා හිනැහෙන්නට වූවා ය. ඒ සිනහවේ අරුත තේරුම් ගන්නට සන්තුෂී ට හැකි වූයේ නැත.
“ඇයි හිනා වෙන්නෙ…”
“නෑ. බැන්දට පස්සෙ හුඟක් පිරිමින්ට පේන්නෙ තමන්ගෙ ගෑනි යකෙක් වගේ. නැත්තං මානසික රෝගියෙක් වගේ..ඔය පුරුදු ස්ක්‍රිප්ට් එකනෙ. අංජන ඔයිට වැඩිය ක්‍රියේටිව් අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියං එන්නයි තිබුණෙ. මට පුදුම මේක තමුසෙ ඉස් මුදුනෙන් පිළිගත්ත එකනෙ”
තප්ති කියන්නේ අලුත් කතාවක් නොවේ. මීට පෙර සන්තුෂී ද කියන්නට පුරුදුව සිටි කතාවකි. නමුත් අංජන ට ඒ කතා ආදේශ කළ නො හැකිය කියා හිතෙන තරමට සන්තුෂී ගේ සිතිවිලි වෙනස් කළේ කවුරුන් ද?
“මට එයාව විශ්වාසයි”
ඒ වචන තුන ඇගෙන් පිට වූවාද නැත්ද කියා එකවර සන්තුෂී ට සිතා ගත නො හැකි විණි. නමුත් තප්ති ගේ ඇස් ලොකු වූ විදිහ අනුව නම් ඇගෙන් එය පිට වී තිබිණි. ඒ මොහොතේ කවරක් කියන්නද කියා නො දැන ගොළු වී ගියේ තප්ති ය.