හිත මිතුරු..

සංගීතා ගේ හිත පුදුම තරමේ කලබලයක තිබුණේ. ලොකු පුතාගේ හොඳම මිතුරා කියලා විස්තර කිය කිය හිටපු දරුවා තමන්ගේ කාර්‍යාලයේ සුලු සේවිකාවක වුණ ලතාගේ  දරුවෙක් කියලා දැනගත්තේ අද. ඒ  පාසැල් සංවර්ධන සමිතියට ගියපු වෙලාවේ. ලොකු පුතා එයාගේ මිතුරාවයි, මිතුරාගේ ගෙදර අයවයි හඳුන්වලා දෙනකොට සංගීතා හිතේ ඇති වුණ තිගැස්ම හංගගන්න පුදුම තරමින් උත්සාහ කලා.  ඒ වගේම නොසන්සුන් කමක් ලතාගේ ඇස් වලත් දැක්කා. ලතා වචනෙන් දෙකෙන් වෙන පැත්තකට ඇවිදන් ගියාට පස්සේ තමයි සංගීතාගේ හිතට පොඩි හරි සැනසීමක් දැනුනේ.

ඊට පස්සේ සංගීතා ගුරුතුමියව හමුවෙලා ලොකු පුතාවත් එක්කගෙනම ගෙදර ආවා. ඒ එන මඟදිත් ලොකු පුතා කියෙව්වේම ඔහුගේ මිතුරා වුණ චමල් ගැන.

“මගේ ඔලුව කැක්කුමයි ලොකු පුතා ..ඔය කියවිල්ල නවත්තගන්නකො..”

සංගීතා කවදාවත් නැතුව පුතාටත් කෑ ගැහුවා. වෙනදාට කතා නොකර යන එකට ආඩපාලි කියන අම්මා මෙහෙම කියන්නේ ඇයි කියලා තිවංකට වැටහුනෙත් නැහැ. ඒත් ඔහු ඊට පස්සේ කිසිම දෙයක් කිව්වේත් නැහැ.

සුදේශ් ගෙදර එනකල් සංගීතා කලේ නිදාගත්ත එක. නිවසේ උදව්වට ඉන්න කාන්තාව එක්ක තිවංකව පන්ති යැව්වේ කුලී රියක. පොඩි පුතා ඉස්කෝලේ ස්විමින් ප්‍රැක්ටිස් නිසා සංගීතාට බාධා කරන්න කිසිම කෙනෙක් හිටියේ නහැ.

“අනේ බලන්නකෝ සුදේශ් … හරි වැඩක් නේ වෙලා තියෙන්නේ….”

සුදේශ් කාර් එකෙන් බහිනකොට සංගීතා කාර් එකේ  දොර ළඟ.

“මොකද සංගීතා ?”

“හරි වැඩෙ අනේ ..අර ලොකු පුතා ඉස්කෝලේට අලුතින් ශිෂ්‍යත්වෙකින් චමල් කියලා ළමයෙක් ආවා කිය කිය කියනවා ඔයාට මතකද? දෙන්නා හොඳම යාලුවෝ කියලා..”

“ඔව් ඔව් ඉතින් ..”

“අනේ ඒ අපේ ස්ටාෆ් එකේ ක්ලීනින් වලට ඉන්න ලතාගේ පුතා සුදේශ් .. මට නම් පිස්සු වගේ …”

“මොකටද ඒකට පිස්සු වැටෙන්නේ ඔයා?”

“අද ඒ ගෑනිත් ඇවිල්ලා හිටියා මීටින් එකට.. ලොකු පුතා මට අඳුන්වලා දුන්නත් එක්ක …. මට ලැජ්ජාවේ බෑ…. ඒ ගෑනි නම් වචනෙන් දෙකෙන් ලිස්සලා ගියා…. ඒ උනාට දැන් ඊළැඟ සතියේ පුතාගේ බර්ත්ඩේ එක.. පුතා ඕකටත් ඔය ඔක්කොමලා ගෙන්නන්න ඕනි කියාවි ..”

“ඉතින් ඒකේ තියෙන වරද මොකද්ද සංගීතා .. ඔයා උගත් බුද්ධිමත් ගෑණියෙක් නේද? ඔය ලතාද කවුද කෙනා ලොකු පුතාගේ හොංදම යාලුවාගේ අම්මා කියන එක කවදාවත් වෙනස් නොවෙන දෙයක් ..ඒත් එයා ඔයාගේ ස්ටාෆ් ක්ලීනර් කෙනෙක් කියන එක හැමදාම එහෙම තියෙන්නේ නැහැ.. ජොබ් එක එහෙ තියලා එන්නකෝ ..ඉවරනේ… ඔයාටත් වෙලාවකට ප්‍රශ්න නැතුවට ප්‍රශන් …”

සුදේශ් එහෙම කියාගෙන ගෙදරට ඇතුල් වුණා.

” ඔයා ට කමක් නෑනේ.. ප්‍රශ්නේ තියෙන්නේ මට.. මම ලොකූට කියනවා වහාම ඔය යාලුකම නවත්තන්න කියලා…”

සුදේශ් ආයෙම හැරුණා.

“ඔයා ලොකු පුතාගේ ඔලුවට ඔය විශ ආකල්ප ඇතුල් කරොත් ඊට පස්සේ ළමයින්ගේ හැමදේම ඔයාම කරගන්න සංගීතා.. මට කියන්න එපා..”

සංගීතා ට ඉන් එහාට සුදේශ් එක්ක තර්ක කරන්න ඉඩක් තිබුණේ නැහැ. සුදේශ්ගේ වචනේට පිටින් ගිහිල්ලා ලොකු පුතාට චමල් එක්ක යාලුකම නවත්තන්න කියන්න විදියක් නැතුව සංගීතා මානසිකව පුදුම තරමක මානසික වදයක් වින්දා

ඒ මානසික වදය ලොකු පුතාගේ පිටින් කෝපයක් වෙලා පිට වෙන බව වැටහෙද්දී පවා සංගීතාට පාලනය වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ.

“ඔයාගේ ඔය විකාර නිසා ළමයා මානසිකව ඇදගෙන වැටෙනවා සංගීතා …”

සුදේශ් කිහිප වතාවක්ම අනතුරු ඇඟෙව්වාත් සංගීතා ඒ වචන වලින් පාලනය වුනේ නැහැ.

ඊට පස්සේ ගෙවුණ සති කිහිපය ඇතුලත තිවංකගේ වෙනසක් ඉස්සෙල්ලාම ඇඳින්නේ සුදේශ්.

” ලොකු පුතා …  ඔයා මොකක් හරි ප්‍රශ්නේකද?”

” ප්‍රශ්නයක් තමා තාත්තා… මම අර කිව්වේ මගේ යාලුවෙක් හිටියා චමල් කියලා.. එයා එක ල්පාරටම ඉංග්ලිශ් මීඩියම් අමාරුයි කියලා සිංහල මීඩියම් පන්තියට මාරු වුනානේ තාත්තා….දැන් ඉන්ටර්වල් එකටවත් මාත් එක්ක කන්න එන්නේ නෑ….. “

සුදේශ් සංගීතාගේ දිහා බැලුවා. සංගීතා කිසිම දෙයක් නොදන්න ගානට ඉවත බලාගෙනම හිටියා. තිවංක දිගින් දිගටම තමන්ගේ මිතුරාගේ හදිසි වෙනස් වීම සහ අහිමි වීම ගැන කිව්වා.

” දරුවා ට වෙලා තියෙන බලපෑම පේනවනේ… ඔයා ඔය ලතා ලවා චමල්ට බලපෑම් කරලා අඳුරු කලේ චමල්ගේ ජීවිතේ විතරක් නෙවෙයි  සංගීතා.., අපේ තිවංකගේත් ජීවිතේ…..”

තිවංක මාසයක් දෙකක් යනකොට චමල් ගැන කියවන එක නැවැත්තුවා. සංගීතා සුදේශ්ට ඒ ගැන උදම් ඇනුවා. තමන් කල දේ නිසා  තිවංකට වැදගත් පැලැන්තියේ මිතුරන් ආශ්‍රය කරන්න ලැබුණ බව ට උද්දාමයෙන් කියෙව්වා.

ඒත් ඒ උද්දාමය තිබුනේ ටික කාලයයි.

” තිවංකගේ අම්මා ටිකක් තිවංක ගැන හොයලා බලන්න වෙනවා… මුල් වාරේ තිවංක හොඳට වැඩ කලා.. ඒත් මේ වාරේ හැම විෂයකම ලකුණු පනහට අඩුයි … ඒ විතරක් නෙවෙයි පීරියඩ් කට් කරලා කිහිප වතාවක්ම ප්‍රින්සිපල් සර්ට අහු වෙලා තිබුනා…. බරපතලම දේ … තිවංක ඉස්කෝලේට සිගරට් ගෙනල්ලා අහු වුණා… ඒ නිසාමයි මම පෞද්ගලිකව අම්මව මුණ ගැහිලා මේ ගැන කියන්න හිතුවේ… තිවංක පිළිගත්තා යාලුවෝ කිහිප දෙනෙක් එක්ක සති ගානක් තිස්සේ සිගරට් පාවිච්චි කලා කියලා…”

සංගීතා ගුරුතුමියට සවන් දුන්නේ ඒ කියන දේවල් හීනයක් කියලා හිතාගෙන. ගෙදර ඇවිල්ලා ඒ ගැන සුදේශ්ට කිව්වම සුදේශ්ගෙන් ලැබුණ ඇල් මැරුණ ප්‍රතිචාරයෙන් සංගීතා තව කඩාගෙන වැටුණා.

“හොඳ වැදගත් පැලැන්තියේ ළමයිනේ සංගීතා …වරදක් කලා වෙන්න බෑ…”

සුදේශ් කිව්වේ එච්චරයි . ඊට පස්සේ සංගීතා තිවංක ගෙදර ආව ගමන් තිවංකව අල්ලගෙන වාඩි වුණා. අඬ අඬා ඇහුවා ගුරුතුමිය කියපු දේවල් ගැන.

” එහෙම එකක් නෑ අම්මා… මම ඊළඟ ටර්ම් එකේ ලකුණු ගන්නම් …. “

තිවංක ඕනිවට එපාවට කියනකොට සංගීතාට තව ඇඬුණා.

“අනේ ලොකු පුතේ … ඇයි අම්මට මෙහෙම කතා කරන්නේ?”

” අම්මේ … ලතා ආන්ටිට එක එක ඒවා කියලා චමල්ව සිංහල මීඩියම් පන්තියට මාරු කෙරෙව්වේ අම්මා කියලා මම දන්නේ ඊයේ… ඒ ඊයේ මම සිගරට් තියන් ඉඳලා අහු වෙලා ප්‍රින්සිපල් සර් ලඟ ඉන්න වෙලේ ..  මාව බේරගන්න , මම වෙනුවට දඬුවම් විඳින්න ඊයේ චමල් ආවා ඔෆිස් එකට .. ඒ ආව වෙලාවේ තමයි ඌ කිව්වේ අම්මා ලතා ආන්ටිට බලපෑම් කරලා තිබුන බව… මාත් සිංහල මීඩියම් යනවා… මම චමල් එක්ක පාඩම් කරලා ඊලඟ ටර්ම් එක ගොඩ දාගන්නම් … මේ වුණ දේවල් හොඳ නෑ අම්මා…. අනෙක් උන්ටත් මම කිව්වා සිගරට් බොන්න එපා කියලා..ඒත් උන්ට සල්ලි තියෙනවා… ඒවා ගැන හොයන්න කෙනෙක් නෑ.. ඒ නිසා උන් උන්ට ඕනි දේ කරනවා… මං පොරොන්දු වෙන්නම් … මං ඒ සෙට් එකට වැටෙන්නේ නෑ…..”

සංගීතා ඉකි ගහ ගහ ඇඬුවා.

“අම්මා …. මිනිස්සුන්ට කොහොමද ඔයා එහෙම කරන්නේ අම්මා.. මං හිතුවේ මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා කියලා…. ඒත් ඔයාගෙ ඇතුලේ හොඳ අම්මා කෙනෙක් වගේම නරක මනුස්සයෙක් ඉන්නවා අම්මා… මම ඒ නරක මනුස්සයට විරුද්ධව ඔයා එක්කම සටන් කරනවා…”

සුදේශ් තිවංකගේ ඔලුව අත ගෑවා. සංගීතා සුදේශ්ගේ අතින් අල්ල ගත්තා.

සමහර වෙලාවට ජීවිතේ වැහුණු පාරවල් වලට එබෙන්න එළිය ලැබෙන්නේ දරුවන්ගෙන් බව සුදේශ් හිතුවා.

අපේක්ෂා ගුණරත්න

More Stories

Don't Miss


Latest Articles