ගීතාංජලී – 1 කොටස

0
44

“කෝච්චියෙ ආවත් මෙහෙට එද්දි නම් රෑ වෙනව නෝනෙ.ගෑණු දැරිවියක් එන හන්ද මං කෝකටත් කලියෙන්ම ඇවිදින් උන්න ඉස්ටේසමට. මේ කාලේ විස්වාස කොරන්න බෑනේ “

“මේතරම් පමා වේය කියල මන් හිතුවෙ නෑ.”

“කෝච්චි ඕම තමා නෝනේ.හැබැයි බස් එකේ එද්දි හේ අර කරකැවිල්ල එන හන්දා කෝච්චියෙ එන එක මාන්සි අඩුයි”

“ඒකනම් හැබෑව මාමේ.මාමාට එන්න කීවෙ ලොකු ඉස්කෝලෙ මාත්තය වෙන්නැති.”

“ඔව් නෝනෙ.නෝනෙ රුහුනෙ ඉඳල එන හන්ද රෑ වේය, රදන්පොල  වලව්වට ගොහිල්ල ඇරලවන්නය කියාල ලොකු ඉස්කෝලෙ මහත්තය කීවා”

“රදන්පොල වලව්ව කිව්වෙ මක්කද?”

මන් එහෙම වලව්වක් ගැන හාංකවිසියක්වත් දන්නෙ නැති හන්ද තමා ඒ මාමා ගෙන් එහෙම ඇහැව්වෙ. මන් මක්කටද කියල කිව්ව හන්ද වෙන්නැති ඒ මනුස්සය ඇස් ගෙඩි දෙක ඔලුව උඩ තියාන හැරිල බැලුවෙ.

“රදන්පොල වලව්ව කියන්නෙ කොහාටද කියල ඇහැව්වෙ මාමෙ?”

“ඒක මිසක්ක. ඇයි ඔය ලමයට ඉස්කෝලෙ මහත්තයා කිවේ නැද්ද නතරවෙන්න සූජානම් කොරල තියෙන්නෙ රදන්පොල වලව්වෙ විත්තිය”

“ආහ් මට ඉස්කෝලෙ මාත්තය ලියාල එවාල තිබුනෙ මෙහෙ ඉස්කෝලෙ පරණ ගුරුවරියකගෙ ගෙදරය කියල නතරවෙන්න තියෙන්නෙ.ඒ ඇරෙන්න වෙන මක්කවත් කිව්වෙ නෑ”

“රදන්පොල වලව්වෙ ලොකු කුමාරිහාමි ඉස්කෝලෙ ඉගැන්නුව තමා.ඒ බවලතීගෙ සුවාමිපුරුසය මෙහෙ උන්නු හරි ප්‍රසිද්ද වෙද මහත්තයෙක් නෙව.ඕනෑතරම් සුදු මාත්තුරු පවා ආව උන්දැගෙන් බේත් කොරගන්න. ඇල්වතුර දුන්නත් ලෙඩ සනීප වෙන තරමෙ බලගතු සෑස්තර උන්දැ දැනන් උන්න නෙව.පරම්පරාගත වෙද්දු”

“මන් ඒ විත්තියක් දැනන් උන්නෙ නෑ”

“ලොකු මාත්තය හදිසියෙ හුරුදයාබාදෙකින් මැරෙන කම්ම ඔය වලව්ව මහා ඉහලට උන්නෙ නෝනෙ. බොරු කියන්නෙ මොකටද හරි හොඳ මිනිස්සු. උදව් පදව් කරගෙන ,ගමේ මරණ මගුල් හැම එකටම සහබාගී වෙච්චි උදවිය.අදටත් ගමේ හැම එකාම සලකනව. වෙද මහත්තය මලාට පස්සෙ තමා ඔක්කෝම නස්පැත්ති පටන් ගත්තෙ”

“නස්පැත්ති කීවෙ මක්කද මාමෙ?”

“එහේ වෙද මහත්තයටයි ඔය ඉස්කෝලෙ නෝනටයි උන්නෙ එකම එක දෝණියැන්දයි… පුංචි කුමාරිහාමිත් හරි හොඳයි. ගමේ ඉස්කෝලෙටමයි ගියේ, අන්තිමේ ගමේ ඉස්කෝලෙටම ගුරු පත්වීමක් හදාන එද්දි මයි හිතේ නෝනෙගෙ තරමටම වගේ ඇති. කාලාන්තරේක ඉඳල නෝනෙ ගමේ ඇහැට කනට පේන ගැටිස්සියො අන්තරස්දාන වෙන්න අරන්. පුංචි කුමාරිහාමි නැතිඋනේ දෙවනියට.ඊට කලියෙන් ගමේ උන්නු පබා කියාල තව තරුණ දැරිවියක් නැතිඋනා.මාසේ පෝය දවස ලන් වෙලා තමා හැම කෙලීම නැතිවුනේ. පබා කෙල්ල නැතිවෙච්චි වෙලේ අපි හිතාන උන්නෙ ඒකීට ඇයි හොදැයිකම් පාපු සුමනෙ එක්ක පැනල යන්න ඇතැ කියල. ඒඋනාට ඒකි රෙදි කඩමාලු ටිකත් දාල ගොහින් තිබුනෙ.සුමනෙත් ගමෙන් අන්තරස්දාන වෙලා තිබුන.උන් දෙන්න අන්තරස්දාන වෙලා සතියකට පස්සෙ තමා සුමනෙගෙ මිනිය උඩහ ඇල්ල පැත්තෙ දෙබොක්කාවක හිරවෙලා තියනව නාන්න ගියපු කොල්ලො රංචුවක් දැකල තිබ්බෙ. එතනින් තමා අපිට තේරුම් ගියේ පබාට වෙන අකරතැබ්බයක් වෙලා කියල. දැන් කොයිතරම් කල් ගියාඩ හොයාගන්න බැරිවුනා මුකුත්ම.පබාලයි ගේ තිබ්බෙත් ඔය ඉස්කෝලෙ ට යන පාරෙමයි”

“මක්කවත්වම හෝඩුවාවක් හොයාගන්න බැරිඋනාද මාමෙ?”

“මොන? පොලෝසියෙනුත් ආව.ම්හ්. ඉන්පස්සෙ තමා පුංචි කුමාරිහාමි අන්තරස්දාන උනේ.ඒ වතාවෙත් කොයිතරන් නම් හෙව්වද.මුලු ගමම පීරල හෙව්වත් හම්බුනේ නෑ නෙව. “

“සැක හිතෙන කවුරුවත් උන්නෙත් නැද්ද?”

“ඔය ඔක්කෝම හෙව්ව නෝනෙ පොලෝසියෙන් ඇවිදින්.සැකයි කියක කියන්නවත් මීට කලියෙන් මෙහෙ එහෙමට ලොකු සිද්දි උනේ නෑ නෙව.ලොකු ඉස්කෝලෙ මහත්තය, ඊටපස්සෙ කුලවංස ඉස්කෝලෙ මහත්තය, ලොකු හාන්දුරුවො, වලව්වෙ ඇත්තො, රදන්පොල වලව්වට එහා ඉන්නව තව වලව්වක්  ගොඩකවෙල වලව්වෙ ඉස්ටීවන් ලොකු මහත්තය, උන්දැටඔය ලොකු ලොකු දැන් ඇඳුනුම් කම් හෙම තියනව, ඒ හැමෝම හෙව්ව . ම්හ් අබමල් රේණුවක තරමෙවත් විස්තරයක් හම්බුනේ නෑ.අද වෙනතුරුම”

” ඒ දෙන්න විතරද නැතිඋනේ?”

“තව කුසුමා කියල කෙල්ලෙක් උන්න.ඒකි දවසක් පන්සලේ පින්කමක් ඉවරවෙල එද්දි කවුදො පස්සෙන් දුවාන ඇවිත් තියනව.ඒකි කෝමහරි දුවල බේරිලා. මහසෝන කියල බයවෙල ඒකිට තොවිලයක් කරන්නත් උනා.තව දොලේ ගෙදර සුමනාවතී කෙල්ල, හේනෙ ඉඩමෙ අන්දිරිස් ගොයියගෙ කෙලී හෙමත් ඕම නැතිඋනා. “

“හ්ම්ම්ම්”

මම සෑහෙන කල්පනා කොර කොර ආවෙ. හිත අස්සෙන් අම්ම කියාපු වචන ඇහෙන්න ගත්ත.

“උඹලට ඔව්ව කියන එක බෝම ලේසි.අපි නෙව මෙහෙ ගින්දරෙන් ඉන්න ඕන.ලේසි පාසු තැනකටද යන්නෙ.යන්න එන්නම පැය කීයක්ද? මොකාක් හරි හදිසියක් උනත් ලියුම් කරදහියක් එන්නත් සෑහෙන දවස් ගාණක් යාවි නොව”

අම්ම කිව්ව දේ නාහ ආව එක මෝඩකමක්ද කියාලත් හිතුනා.අනිත් අතට දැන් ඉතින් මක්ක කරන්නද? මන්තිරි හාන්දුරුවො මාරුවක් හදාල දෙන්නද කියාල අහපු වෙලේ පණ්ඩිතකමට බෑ කිව්ව හන්ද දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහන වෙනව නෙව.

හැබෑටම මක්ක වෙලාද මේ හැටි කෙල්ලො නැති වෙලා තියෙන්නෙ? අනික පොලීසියටත් හොයාගන්න බැරිවුනා ය කියන්නෙ?

ඒ මාමා හුළු අත්‍තක් පත්තුකොරන් ආව හන්දා හොඳා . ඉස්ටේසමේ ඉඳල වලව්වට යනකම්ම තිබ්බ පාර කෑලි කපන්නැහේ අඳුරුයි. එක පැත්තක ඇල්ලෙන් එන වතුර ගලන් යන ඔය.ඔයට එහායින් ගම  අනිත් පැත්තෙන් ගන සැරේට කැළෑව.

කතාව නතරවෙලා නිස්සද්දව යද්දි මට දැනුනෙ කැලෑව පැත්තෙන් ඉඳන් කවුදෝ මන්ද අපි දිහාව බලාන ඉන්නව හේ.

එහෙම සැරේටම දැනිච්චි හන්ද තමා මන් හැරිල බැලුවෙ. සර සර ගාන හුලං සද්දෙ එක්ක චීක් චීක් සද්දෙකට කෑගහගෙන ඉගිලිලා ගිය  වවුල්ලු රෑනක් ඇරෙන්න වෙන කවුරුවත්නම් උන්නෙ නෑ.

ඒ උනාට කවුදෝ මන්දා බලාන ඉන්නව කියලාමයි මට හිතුනෙ…

-මතු සම්බන්ධයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here