ගීතාංජලී – 12

0
2132

“දුවේ දුවේ…”

“හනේ මන්ද අක්කේ, දැන් දවස් ගාණක ඉඳල මේ ලමය රෑට හීනෙන් අම්මේ අම්මේ කියාල බයෙන් කෑගහනව.”

“තනිකං දෝසයක්ද දන්නෙ නෑ අක්කේ.”

“වතුර ඩිංගිත්තක් මැතිරුව නම් හොඳයි වගේ”

මාව හෙල්ලිලා වගේ ඇහැරෙද්දි මන් දුටුවෙ බණ මඩුවෙ උන්නු බවලතුන් මන් දිහාව බයෙන් හේ බලාන උන්නු එක.ලොකු හාංදුරුවො පිරිත් කියන එකත් නවත්තල.නැන්දයි තව බවලත්තු කීප දෙනෙකුයි මන් දිහාවට ඇවිදින් උන්න.

මූණ පුරා වතුර බින්දු ඉහිරිල තිබ්බේ එතනම ඇස් දෙක බිරන්තට්ටු කරන් උන්නු කුමාරිගෙ අතේ තිබ්බ වතුර වීදුරුවෙන් විත්තිය ඒ කලබල අස්සෙත් මට පෙනුනා.

“ආයෙ වතාවක් හීනෙන් බය උනාද දුවේ.”

නැන්ද එහෙම අහද්දි මගෙ ඇස් දෙකයි අත් දෙකයි එකපාර ගියේ ඔසරිය දිහාවට.

කෝ කෝපි වැක්කිරිච්ච පැල්ලම නෑනෙ , තෙත් වෙලත් නෑනෙ.ඒ කිව්වෙ මන් හීනයක්ද දුටුවෙ?

එකදිගට පෙනිච්ච හැම හීනෙම උන්නෙ රෝස පාට ඔසරියක් ඇඳන්.මේ පාරත් එහෙමයි.කලින් දුටුවෙ ස්වරනව.මේ  පාර මාව දුටුවෙ? මට මක්ක හරි වින්නැහියක් වෙන්න යනවද?

මන් උන්නෙ හැබෑවටම තෝන්තුවෙන්.ඒ වෙද්දිත් මහ රෑ වෙලා

“මාන්සිය හන්ද වෙන්නැති දූට නින්ද ගියේ ආටානාටිය පටන් ගනිද්දිම වගේ.ඒ වෙලාව යක්කු එලි බහින වෙලාවනෙ දුවේ.බයවෙන්න ඇත්තේඑකයි”

“දූ ඩිංගක් එලියට ගොහින් හුලං ඩිංගක් වැදෙන කම් ඉන්න.කට්ටිය හෙම ඉන්නව එලියෙ බයවෙන්න කාරි නැ”

නැන්ද වටකොර ගත්ත බවලත්තු එහෙම කියද්දි නැන්ද උන්නෙ මන් දිහාව බෝම අනුකම්පාවෙන් හේ බලාන.

“ඩිංගක් එලියට ගිහින් ඉඳල එන්න දුවේ.මේ කුමාරි එක්කල යන්නකො”

“යන් නෝනෙ.හුලං ඩිංගක් වැදුනම හරි යයි”

කුමාරි මගෙ අතෙනුත් අල්ලාන එහෙම කිව්වට පස්සෙ මාත් තෝන්තුවෙන්ම වගේ තමා එලියට බැහැල ආවෙ .

පන්සල් මිදුල පුරාමහඳ එලිය වැක්කිරිල ලස්සනට පෙනුනට මගෙ හිත තිබ්බෙ තෝන්තුවෙන් වගේ. මක්කද මේ මට මේ හැටි හීනෙන් පේන්නෙ? මට මක්කහරි විපත්තියක් වෙන්න යනවද? ඒකෙන් ගැලවෙන්න මන් මක්කද කොරන්න ඕන. මගෙ හිතයි ඇඟයි තලල දැම්ම හේ තමා මන් උන්නෙ.

“නෝනට බොන්න කෝපි ඩිංගක් අරන් එන්නද?”

අපි අතරෙ තිබ්බ නිස්සද්දෙ බිඳින්නැහෙ කුමාරි එහෙම ඇහුව.

කෝපි කිව්ව ගමන් මට මතක් උනේ මන් හීනෙන් දුටුව දේ.ඔසරියට වැටිච්චි කලු පාට කෝපි පැල්ලම, ඒ එක්ක වෙච්ච වින්නැහිය එක්ක කෝපි බොන්න මට බය හිතුනා.

“කෝපි එපා කුමාරි.කහට ඩිංගක් හඳාන එන්නකො”

“හා නෝන ඒනම් මෙතෙන්ට වෙලා ඉන්නකො.තව කට්ටිය හෙම පේන්න ඉන්නව නෙව.බයවෙන්න කාරි නෑනෙ.මන් හනික කහට කෝප්පයක් වක්කරන් එන්නම්”

“හා”

කුමාරි එහෙම කියාල දාන සාලාව දිහාවට යන්න ගියා.

පන්සල වත්තෙ එක මායිමක් සම්පූර්ණයෙන්ම මහ රූස්ස ගස් වලින් වටවෙලා තිබ්බ හන්ද ඒ පැත්ත අඳුරුයි. ඒ අඳුර අතරින් මන් දුටුවෙ සුරුට්ටුවක් උර උර ඉන්න ආසිරිව. පිරිත අතරවාරෙත් මුන්දැ සුරුට්ටු උරනව නෙව.

 ආසිරි දුටුව මන්  ඉන්න විත්තිය. කලින් වතාවක හේම සුරුට්ටුව කැලෑවට විසිකරපු ආසිරි මන් ඉන්න දිහාවට එන්න ආව.

 ඉස්සෙල්ල ඉස්කෝලෙ වත්තෙදි හඳ එලියට දුටුව ආසිරි නෙව උන්නෙ.ආයෙමත් කලියෙන් වගේ එයැයිගෙ ඇස් මලානික වෙලා උන්න. එයැයි උන්නෙත් මේ ලෝකෙ ඉන්නව හේ නෙවි.හරියට අහසින් කඩාපාත් උනා හේ. කටහඬ වුනත් මහ ගොරෝසු තාලෙට තමා ඇහුනෙ මට.

“ගීතාංජලී”

“ආසිරි මක්කැයි තනියම කොරන්නෙ?”

“ඒකම මන් ගීතාංජලීගෙන් ඇහුවොත්?”

හීනයක් දැකල බයවෙලා එලියට ආව විත්තිය කියන්න ලැජ්ජ හන්ද,

“කම්මැලි හන්ද එලියට ආව”

කියල ආසිරිට කිව්ව.

“ආහ් ඒක මිසක්.මටත් බෑ අප්පා ඔය හැටි එක දිගට වාඩිගෙන ඉන්න. ඒ හන්ද මාත් එලියට ආව.”

කතාව අතර තුරම ආසිරි පන්සල් වත්ත පුරා විසිරිල උන්නු කොල්ලො කුරුට්ටො දිහාව බලනව මන් දුටුව.

“ඇයිආසිරි ?”

“අපි අර පැත්තට ගොහින් කතා කොරමුද ගීතාංජලී ? මේ කට්ටිය ඉන්න තැන මන් ඔයා එක්ක කතා කොර කොර ඉන්නව දුටුවොත් ඔයාට හොඳ මදිනෙව.”

එයා එහෙම කිව්වම මාත් ඒ ගැන කල්පනා කොරා.සමහර විට ආසිරි මට අර එයා පස්සෙ කියන්නම්ය කිව්ව කාරණව ගැන කියන්න වෙන්නැති එන්න කියන්නෙ.කට්ටිය ඉන්න තැන ඕක කියන්න ලැජ්ජ හන්ද වෙන්නැති ඒ පැත්තට යන් කියන්නෙ.

ඒ හන්දාම උන්දැ එක්ක මම තනිපංගලමෙ රෑ ජාමෙ කතා කොර කොර ඉන්න එක කවුරුහරි දැක්කොතින් නාක විත්තිය ඇත්ත නෙව කියල හිතාල මන් උන්දැ එක්කම ඒපැත්තට හිතාන ඉක්මනට අඩිය තිබ්බ.

“ගීතාංජලීට කියන්න කාරනා කීපයක් මට තියනවය  කියල මන් කිව්ව මතක ඇති නෙව.”

“හ්ම්ම්ම්”

“මන් ඒක කියන්නත් එක්කමයි ගීතාංජලී ව මේ පැත්තට එක්කන් ආවෙ.ඒකට කාරි නෑ නේද?”

“කාරි නෑ ආසිරි”

ලැජ්ජාව හන්දම මන් බිම බලාන එහෙම කිව්ව.

“මගෙ හිතේ ගීතාංජලී ගැන මනාපයක් තියනව.මන් දන්නෙ නෑ ගීතාංජලී මන් ගැන කෝම හිතාන ඉන්නවද කියල? ඒඋනාට මන් හිතුව තව පමා නොකරමේ ගැන ගීතාංජලී ට කියන්න ඕනය කියල”

ආසිරි ඒක කියද්දි උන්දැ උන්නෙ නිකන් මත්වෙලා හේ. හරියට ගමේ, රෑට කසිප්පු බීල දඟලන චාලි අයිය වගේ මත්වෙච්චි කටහඬකින් තමා ආසිරි  කතා කොලේ.

මගෙ හිතේ ඒ කටහඬ ඇතිකලේ නොරිස්සුමක්.ඇයි මේ මනුස්සයට අර ඉස්සෙල්ල ඉස්කෝලෙ වත්තෙදි කතාකොල විදිහට කතාකොරන්න බැරි.

ඒ නොරිස්සුම හන්ද වගේම ආසිරි එක පාර ඇහැව්ව දේට මට කියන්න හිතුනෙ මන් කැමති නැති විත්තිය විතරයි. හිටි ගමන් එක එක විදිහට කතාව මාරු කොරන මිනිහෙක් එක්ක මන් කෝමද හාදකමක් තියන්නෙ? අනික අපෙ අම්මල හෙම දැනගත්තොතින් මන් කෝමද මූණ දෙන්නෙ?

“මට ඒකට මක්කවත් කියන්න විදිහක් නෑ, අපෙ අම්මල තමා ඔව්ව තීරනේ කොරන්නෙ.මට තීරනයක් ගන්න හැටියක් නෑ”

මන් එහෙම කිව්වම ආසිරිගෙ මූනෙ තිබ්බ පෙනුම එකපාර වෙනස් උනා.

“ඇයි එහෙම කියන්නෙ? ?මන් අයිආර්සී  කාරයෙක් හේ පේනවද ? මොකද්ද මගෙ වරද?”

ආසිරි එකපාර කතාකොරගෙන ගියේ කේන්තියෙන් වගේ.

“මන් එහෙම දෙයක් නෙවි ආසිරි කිව්වෙ? අම්මල හෙම දන්නෙ නැතුව මන් කෝමද වචනයක් දෙන්නෙ?”

“මන් හිතුවෙ ගීතාංජලී මට මනාප නැත කියාල”

“මට ඔයැයි අහන මක්කටවත් උත්තර දෙන්න හැටියක් නෑ ආසිරි.මන් යනව . කට්ටිය බලාන ඇති මන් එනකම්.”

මන් එහෙම කියාල ආසිරි ආයෙ ඒකට කියන්නෙ මක්කද කියල අහන්නත් කලියෙන් හැරිල එද්දි තමා දුටුවෙ කුමාරි තේ වීදුරුවකුත් අතේ තියාන කැරකි කැරකි හැම පැත්තෙම මාව හොයනව.

“මන් බැලුව මේ ගීතාංජලී නෝන කොයිබද ගියේ කියාලා?”.

“ආහ් ඒක මිසක්ක.කෝ කුමාරි තේ බොන්නෙ නැතෙයි?

“තේ හදද්දිම මන් බීව නෝනෙ.ඒ හන්ද නෝනෙ බොන්න”

“දුවේ, ගීතාංජලී …”

නැන්ද කතාකරන සද්දෙ එක්කම තමා අපි හැරිල බැලුවෙ. බණ මඩුවෙ ඉඳල අපි උන්නු පැත්තට එන ගමන්ම නැන්ද කතාකොලා.

“නැන්දෙ “

“අනේ පුතේ බලන්නකො වෙලා තියන දේ.හාංදුරුවන්ට පූජ කොරන්න හිතන අරං තිබ්බ සිවුරු දෙකයි, කුඩයි මන් අමතක වෙලා ගෙදර දාල ගොහින් නෙ.මා එක්ක එව්ව අරන් එන්න යන්ද? දූට මහන්සි නැත්තම්?

“මොන මාන්සියක්ද නැන්දෙ? යන් මන් එන්නම්.හිටින්න මන් මේ තේවීදුරුව තියල එන්නම්.”

“වීදුරුව දෙන්න නෝන.මන් තියන්න.නෝනල ගොහින් එන්න.”

“ඔව් දුවේ.ඩිංගක් ඉන්න

ලොකු ඉස්කෝලෙ මහත්තයලයි පුතා එන්නම් ය කීවා අපි එක්කල යන්න.රෑ නෙව .තනියම යන්න බෑ නෙව”

ඉස්කෝලෙ මහත්තයලයි ලොකු පුතා සුගත් ඉගෙන ගත්තෙ අපෙ ඉස්කෝලෙම ඉහල කැලෑසියක.ඉස්කෝලෙදි හම්බුවෙලා තියෙන හන්ද අපි අඳුරනව.හුලු අත්තකුත් පත්තු කොරගෙන සුගත් ආවට පස්සෙන් අපි වලව්ව දිහාවට ඇවිදන් ගියා.

වලව්ව දිහාවට යන ගමනුත් මන් කල්පනා කොලේ හීනෙ ගැන.මේ විදිහටම  මන් හීනෙනුත් කැලෑ පාර පහු කොරන් ගියා නේද කියල හිතුනට හීනෙන් හේ බයක් නොදැනුනේ නැන්දයි සුගතුයි මා එක්කම උන්නු හන්ද වෙන්නැති.

“මේ පාර පිරිත කලින්ටත් වඩා සාරෙට කෙරුන හේ තමා මට නම් පෙනුනෙ.නැද්ද පුතේ? අපේ දූ නම් මේ මුල් වතාව නෙව ගමේ පිරිතට ඉන්න”

“ඒක ඇත්ත වලව්වෙ නැන්දෙ, කලින්ටත් වඩා සෙනග මේ පාර ඇවිදින් උන්න.කොටින්ම අර බීල ගම වටේ කෑගහන සේතං අප්පුත් මේ පාර පිරිතට ඇවිදින් උන්නෙ”

“ඔව් ඔව් මාත් දුටුව.පුදුමයි උන්දැ අද සිහි කල්පනාවෙන් උන්න.අපේ ඉස්ටීවන් මලයටත් ඉස්මනට යන්න ඕනය කියල ගියා.උන්දැට හෙට රාජකාරි වැඩකට  කොලබට යන්නත් තියනවය කියල ගියා.”

කතාවෙන් කතාවෙන් අපි වලව්වට ආව. නැන්ද බඩු ටික අරං එන්නම්‍ ය කියල ඇතුලට ගියාම මන් එලියට වෙලා උන්නෙ සුගත් එලියෙන් උන්න හන්ද.

හීනෙන් දැක්ක හේ බය හිතෙන ගතියක් දැන්නම් මට තිබුනෙ නෑ.වත්ත පුරාම හඳ එලිය වැක්කිරිල හරි ලස්සනයි.

“මං ඩිංගිත්තක් මේ පැත්තට ගොහින් එන්නම් ගීතාංජලී නෝන”

සුගත් එලිබහින්නදකොහෙද ගේ පිටිපස්සට ගියාම මං ඉස්තෝප්පුවට ගොහින් වාඩිගෙන උන්න.

“ජබොස්ස්ස්….”

එකපාර ලිඳ දිහාවෙන් සද්දයක් ආව හන්ද ම න් හිමීට ඉස්තෝප්පුව කෙලවරටගොහින් බලද්දි දුටුවෙ කවුරුහරි මූන වහගත්ත මනුස්සයෙක්, ලිඳ දිහාවට ඇවිදන් යනව.රංජිත් මේ මහ රෑ අපෙ වත්තෙ මක්ක කරනවද?  නැන්ද හරි සුගත් හරි උන්දැව දැක්කොතින් මක්කහරි පුරස්නයක් වෙයි කියන බය හන්දම මන් හිතුව උන්දැට ගොහින් කියන්න නැන්දල දකින්න කලියෙන් වසං වෙන්නය කියල.

මන් රංජිත්ට කතා කොරන්න යද්දි තමා දුටුවෙ රංජිත් ලිඳ දිහාවට එබීගෙන ඉඳල ආයෙ ඉස්ටීවන් මහත්තයලයි වත්ත දිහාවට යනව.

“රංජිත්…රංජිත්”

මන් කතාකරනව උන්දැට ඇහුනෙ නැතුවා වත්ද? උන්දැ මක්කදහැබෑටම ලිඳට දැම්මෙ? 

ලිඳ අද්දරට ගොහින් එබිල බලන ගමන් මන්  කල්පනා කොරේ ඒක.

“අහ්හ්හ්හ්හ්”

කවුරුහරි ඇවිදින් මගෙ කටයි  වහනව මට දැනුනෙ.කෑ ගහන්නවත් මට වෙලාවක් තිබුනේ නැ.උන්දැගෙ අතෙන් වැහිච්ච මගෙ කටහඬ බෝම අඩු සද්දෙකින් තමා එලියට පිට උනේ.

“රංජිත්….”

මගේ ඒ සද්දෙ ගෙදර උන්නු නැන්දට තියා රංජිත්ටවත් ඇහුනද මන්ද..

ඇයි උන්දැ මාව ඒ ඉස්ටීවන් මහත්තයලයි ගේ දිහාවට ඇඳන් යන්නෙ.පිටිපස්ස හැරිල උන්දැගෙ මූන දිහා බලන්න මන් තකහනියක් වලි කෑවත් උන්දැගෙ අතේ තිබ්බ දරදඬු ගතියට මට ඒක කොරන්න බැරිඋනා.

කැලෑවෙ තිබ්බ නිදිකුම්බ ගස් වලට මගෙ කකුල් කැපුනා උන්දැ මාව ඇදන් ගිය වේගෙට.ඩිංග ඩිංග ගොහින් ඉස්ටීවන් මහත්තයලයි වත්තට ඇතුල් වෙලා උන්දැ මාව ගොහින් දැම්මෙ දිග කොරිඩෝවක් අද්දර තිබ්බ කලු පාට කාමරේකට.

ඇදගෙන ගොහින් මාව විසික්කොල පාරට බිත්තියෙ වැදිච්ච මගේ ඔලුව එක්ක මට මතක තිබ්බෙ ඒ අඳුර මැඳ්දෙ මගෙ ඇස් පියවෙනව විතරයි.

ආයෙ සිහිය ආවෙ බල්ලෙක් මගෙ මූණ ලෙව කද්දි දැනිච්ච හීතලට.

ඒ එක්කම මටඇහුනෙ දම්වැල් සද්දයක්. මාව ඇඳක් උඩ තියාල ගැටගහල තිබුනා.රෙදි පටකින් මගෙ කට බැඳල තිබුන හන්ද මන් උන්නෙ කෙඳිරි ගාන්නවත් ඇහැක් තත්ත්වෙක නෙවි. ඒ දම්වැල් සද්දෙ ආවෙ කාමරේ  වෙන අහකින්.තිබ්බ අඳුර එක්ක මට මක්කවත් පෙනුනෙ නෑ.

“කරස් කරස් කරස්”

බිම ඇදීගෙන යන දම්වැල් සද්දෙ එක්ක මට තේරුනා ඒ සද්දේ එන්නෙ මාව ගැටගහල තිබ්බ ඇඳට පිටිපස්සෙන් විත්තිය.

කොයිතරම් දැඟලුවත් මට බැරිඋනා මාව ගැටගහල තිබුන ලණු පොටවල් ගලවගන්න.

එන්නඑන්න දම්වැල් සද්දෙ ලන් වෙනව එක්කම මට දැනුනෙ කවුරුහරි කෙඳිරි ගාන වගේ සද්දයක්.

“ආආආ..ඕඕඕඔ. අ  අ අ අ අ..”

ගොරොද්දෙ අදින සද්දයක් එක්ක ඒ දම්වැල් සද්දෙ ඇඳ අද්දරටම ආව. බයටම ඇස් වහන් උන්නු මම ඇස් භාගෙට හේ ඇරල බලද්දි දුටුව දෙයින් මට කලන්තෙ හැඳෙන්න හේ ආව.

එක ඇහැක් සුදු පාට වෙච්චි මහත මිනිහෙක්.උන්දැගෙ කට අද්දරින් කෙල පෙරෙනව.උන්දැව කාමරේ ඈත කෙලවරක දංවැලකින් ගැට ගහල තිබුන.කට කෙලවරින් බේරෙන කෙල මගෙ දිහාවට මූන ලන්කොරන් උන්නු උගෙන් කටෙන් මගෙ උරපත්තට වැටෙද්දි මං අප්පිරියාවට ඇස්දෙක පියාගත්තෙ බයට ඇස් වලින් වැක්කිරිච්ච කඳුලු මගෙ කම්මුල් දිගේ ගලාන යද්දිමයි.

ඒ එක්කම මක්කහරි පිච්චෙන ගඳක් එක්කම මට ඇහුනා කවුරුහරි එලියෙ පොරබදනව වගේ.

“අතෑරපන් මාව.”

පොරබදන හඬ එක්කම මට ඇහුනෙ ඉස්ටීවන් මහත්තය බෙරිහන් දෙන හඬ.

“අතෑරපන් යකෝ. මගේ වලව්වට ඇවිදින් මට විලංගු දාන්නෙ.අතෑරපන්”

මිනිස්සු රාසියක් එහෙ මෙහෙ දුවන සද්දෙ එක්ක එන්න එන්නම අර කරවෙන ගඳ මගෙ නාහෙ පසාරු කොරන් ගියා.

දම්වැලෙන් ගැට ගහල උන්නු මිනිහට මේ වයෙ වගක්වත් නෑහේ උන්දැ උන්නෙ මගේ මූන ලෙවකන ගමන්.උන්දැ ඇඳ උඩට නගින්න හදද්දිම කාමරේ දොර මහ හයියෙන් ඇරුනා. ඒ එක්කම අපි උන්නු කාමරේ ලී සීලීම කඩන් බිඳන් ගිනි ජාලාවක් ඇඳ අද්දරය වැටුනෙ මාවයි අර මිනිහවයි ඒ ගින්දරෙන් නාවගෙන හේ.

“ගීතාංජලී……..”

මහ සද්දෙට කෑගහන් ඇරපු දොරෙන් එන අපි දිහාවට දුවන් ආව රංජිත් ගෙ රූපෙ මගෙ ඇස්වලින් හිමීට බොඳ වෙලා ගියා…..

-මතු සම්බන්ධයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here