ගීතාංජලී – 10

0
1788

“මන් දැක්කෙ රෝස පාට ඔසරියක් ඇඳගත්ත ගෑනියෙක් පිටි පස්ස හැරි හැරි කැලෑව මැද්දෙ දුවන් යනව.එයැයිගෙ දිග කොන්ඩෙ විසිරිලා හැම තැනම… මට එයැයිගෙ මූන පෙනුනෙ නෑ හරියට.

එයැයි පිටිපස්ස හැරි හැරී දුවගෙන ගියේ කවුරු හරි පස්සෙන් එනවය කියා බයට වගේ. 

එහෙම ගොහින් එයැයි පය ලිස්සල බිම ඇදන් වැටුන.කවුරුහරි එයැයිගෙ පස්සෙන් ආව මිනිහ එයැයි ලඟට ලං වෙද්දි එයැයි කොලේ දෑතෙන් මූන වහන් අම්මේ කියල කෑගහපු එක.

ඒ එක්කම මට ඇහුන කවුරුහරි ඈතින් කෑගහනව.

“ස්වරනාආආආආආආආආඅ…………”

“දුවේ දුවේ… නැගිටින්න”

“හ්ම් අම් හ්ම්ම්ම්”

“හීනයක් දැක්කද පුතේ…පුතා කෑගහනව ඇහිල මන් මේ ආවෙ.මොකටද පුතේ බය වුනේ.”

දාඩිය දාගෙන තිගැස්සිලා ඇහැරෙද්ද්දි තමා මන් දුටුවෙ  ඇඳ උඩ මගෙ ඉහ අද්දරින් වාඩිවෙලා, ඇස් දෙක බිරන්තට්ටු කොරගෙන බලාන ඉන්නෙ නැන්ද විත්තිය.

එවෙලෙ තමා මට තේරුනේ මන් හීනෙන් තමා හැමදේම දැකල තියෙන්නෙ කියාල.

“නරක හීනයක් දැක්කද දුවේ. දූ කෑගහන සද්දෙ ඇහිල තමා මන් උඩහට ආවෙ”

“ඔව් නැන්දෙ.”

“මේ වෙච්චි වින්නැහි එක්ක දූගෙත් හිත කලබල වෙලා හන්ද වෙන්නැති දුවේ නරක හීන පේන්නෙ.”

එහෙම කියන ගමන්ම කාමරේ මේසෙ උඩ තිබ්බ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වක් කොරාන ඇවිත් නැන්ද මට බොන්න දුන්නෙ.

වතුර වීදුරුව එක උගුරට බොන ගමන් මන් කල්පනා කොලේ මන් දැකපු හීනෙ ගැන.හැබෑවටම ඇයි මන් කවදාවත්ම දැකල නොතිබ්බ ස්වර්නව හීනෙන් දුටුවෙ? එයැයිට හැබෑටම මක්කද උනේ? එයැයිට වෙච්ච සංගදිය හොයන්න කියලද මට මේ හීනෙන් පෙනිල කියෙව්වෙ?

“පන්සිල් අරන් තව ඩිංගක් නිදියන්න දුවේ.තාම දෙකේ කනිසමවත් පහුවෙලා නෑ මයෙ හිතේ.මන් දූට ඇහරවන්නම් උදේට.නිදියන්න”

මගෙ ඔලුව තව තුන් හතර පාරක් බෝම ආදරෙන් අතගාපු නැන්ද කාමරේ දොරත් වහන් යන්න ගියා.

බීල අහවර වෙච්ච වතුර වීදුරුවත් අතේ තියාන මන් ඇඳ විට්ටමට හේත්තු වෙලා කල්පනා කොර කොර උන්නා. හැබෑටම මන් මේ අහක දකින දේවල් වල හැබෑව මක්කද? හීනෙන් පෙනිච්ච දේද ස්වර්නට හේම අනිත් ගෑනු ලමයින්ටත් වෙලා තියෙන්නෙ?මටත් ඒ වින්නැහිය  වෙන්න යන හන්දද ස්වර්න හීනෙන් ඇවිත් කියෙව්වෙ?

කල්පනා සාගරේක ගිලි ගිලි උන්නු මන් නිදාගන්න තීරනේ කොලේ හිතට වගේම ඇඟටත් මේ වෙච්චි හැමදේම තෙහෙට්ටුවක් ගෙනැල්ල තිබ්බ හන්ද.වතුර වීදුරුව මේසෙ උඩින් තියාලා ජනේලෙ ඩිංගක් ඇරල දාන්න කල්පනා කොලේ දාඩිය පිරිච්ච සරීරෙ එක්ක නිදියන්න  අමාරු හන්ද හුලං ඩිංගක් වදින්නය කියාල.

ජනේලෙ අරින්න අත තියද්දිම මන් දුටුවෙ  අර පන්දම් එලිය ආයෙ කැලෑව අස්සෙ හක්මන් කොරන්න අරන් විත්තිය. මන් දිගටම බලාන උන්නා.හැමදාම ඒ පන්දම් එලිය අරන් හක්මන් කොරන මිනිහ එන්නෙ එකම ඉසව්වකින්.නුග ගහ පැත්තෙ ඉඳන් ඇවිදින් උන්දැ හැමදාම යන්නෙ ඉස්සරහ පැත්තෙන් ලිඳ තියන ඉසව්වෙ කැලෑව දිහාට.

රංජිත් වෙන්නැති මේ කියන හැකේ මගෙ හිතට එන්න මූලිකවන හේතු උනෙත් පොකුන තියන ඉසව්වෙන් ඇවිදින් නුග ගහ මුල අද්දරට එන්න මහ අමාරුවක් නැතිහන්ද.

පන්දම් එලිය දිහාවටම අඩිය තියන් උන්නු මන් දුටුව එදා වගේම ඒ මනුස්සය අපෙ වත්තට හීන් සැරේ ඇතුල් වෙනව.

කලින්දා හේම උන්දැ අපේ වත්ත මායිම ඇතුල් වෙද්දිම පන්දම වහල දාවිය කියල මන් බලාන උන්නත් , මෙදා එහෙම නොකලෙ කලින්ද හේ හඳ එලිය වත්ත පුරා විසිරිලා තිබ්බෙ නැති හන්ද වෙන්නැති.

හිමින් සැරේ අඩිය තිය තිය වත්ත දිගේ ගොහින් ලිඳ පැත්තෙ කැලෑවට ඇතුල් වෙන්න මාන බලාපු පන්දම් කාරයා, මොකක් හරි දැකල කලබල උනා හේ පන්දම් එලිය වහල අපේ ඉස්තෝප්පුවට එහායින් තිබ්බ මහකොස් ගහ පල්ලෙ හැංගුනා.

“එකපාර ඒ මක්කද උනේ?”

කියාල මන් මගෙන්ම අහන ගමන්ම ලිඳ පැත්ත බලද්දි තමා දුටුවෙ ඒ පැත්තෙ ඉඳල තවපන්දම් එලි දෙකක් හෙමි හෙමින් මේ දිහාවට එන විත්තිය. ඒ පාර කවුදැයි ඒ? කියන හැකෙන්ම මන් බලාන උන්නා.මන් විතරක් නෙවි කොස් ගහ පාමුල හැංගිච්ච පන්දම් එලියත් ඒ දිහාව බලාන ඉන්න විත්තියත් මන් දුටුව.

පන්දම් එලිදෙක ආවෙ හිමින් සැරේ නතර වෙවී වටපිට බල බල කියාල තමා මටහිතුනෙ. කොස් ගහ අස්සෙ හැංගිල ඉන්න රංජිත්ව හොයන්න පොලීසිය රෑ තිස්සෙ කැලෑව පීරන විත්තිය මට එවෙලෙ තමා තේරුනේ. දෙයියනේ මට ඇහැකි නම් උන්දැ මෙතන කොස් ගහ පාමුල හැංගිල ඉන්න විත්තිය පොලිසියෙ මහත්තුරුන්ට කියන්න කියල හිතද්දි තමා කුස්සිය පස්සෙ බත් කන්න එන කුක්කා මහ සද්දෙට බුරාගෙන ඉස්සරහ පැත්තට ආවෙ. ඩිංග වෙලාවක් ගොහින් නැන්ද මහ පාන පත්තු කරල ඉස්තෝප්පුවේ දොර අරිනව මට ඇහුනෙ.

“වයිටෝ , වයිටෝ… ඉජු ඉජු”

 නැන්ද කුක්කට කතා කරන සද්දෙ එක්ක ඌ කෙදිරි ගගා ඉස්තෝප්පුව අද්දරට ආව.මන් බලාන උන්නෙ කොස් ගහ පාමුල හැංගිච්ච පන්දම් කාරය දිහාව, උන්දැව මට මේ උඩහට පෙනුනට නැන්දට ඌ පෙනිච්ච නැති එක හරි.කුක්කට උගේ ඉව ආවෙ නැති එක නෙව පුරස්නෙ?

ඒ එක්කම අර පන්දම් එලි දෙකත් නිවිල ගොහින් තිබ්බ.පොලිසියෙ මහත්තුරු දෙන්න බය වෙලාවත්ද වයිටගෙ සද්දෙට?නැත්තම් ඒව අස්සෙ රංජිත් පැනල යාය කියල හිතුවද?

තව ටික වෙලාවකින් නැන්ද ඉස්තෝප්පුවේ දොර වහල මහ පානපත්තු කරල ආයෙ බුදියන්න යන්න ගියේ.

මන් බලාන උන්න දිගටම. නැන්ද දීපු මක්කද කකා උන්නු කුක්කා, එකපාර කොස් ගහ දිහාව බැලුවෙ ඌට වගේම මටත් ඇහිච්චි චුස් චුස් සද්දෙ ට වෙන්නැති.මන් එතකොට තමා දුටුවෙ කොස් ගහ අස්සෙ හැංගිච්ච පන්දම් කාරයා කටෙන් සද්ද කරකර කුක්කට උගෙ ලඟට අඩගහන විත්තිය. පුරුදුකාරයෙක්ව දැක්කහේ කුක්කා ඒ මිනිහ ලඟට දුව්වෙ නැට්ට උඩ තියාන.ලඟට ගියාට පස්සෙත් ඌ ඒ මිනිහගෙ කකුල් දෙකේ එල්ලිලා සෙනේ පාන්න ගත්තු එක මට මහ පුදුමයක් උනා.

උන්දැ දිහාවට මගෙ ඇස් ඇරිල තියෙද්දි මන් දුටුව උන්දැ උන්නෙ අනිත් පන්දම් එලි ආ දිහාව බලාන විත්තිය. ඒ වෙද්දි ඒ පන්දම් එලි දෙක නැතිවෙලා ගොහින් තිබුනා.

හෙමින් සැරේ තමන් උන්නු කොස් ගහ මුල අද්දරින් එලියට ආව උන්දැ ආයෙ උන්දැ ආව දිහාවට යන්න ගත්තෙ වල්ගෙ වන වන නට නටා එයැයි පස්සෙ ඇදිච්චි කුක්ක එක්කමයි. පල්ලෙහට එල්ලිච්චි එයැයිගෙ අතේ ඇඟිලි ඉඹ ඉඹ නටා නටා තමා කුක්ක උන්දැ පස්සෙ ගියා.

ටික දුරක් ගොහින් නතර වෙච්චි පන්දම් කාරයා එකපාර ජනේලෙ පැත්තට හැරිල බලද්දි මට හැංගෙන්නවත් වෙලාව මදිඋනා.බයවෙච්චි පාරට මගෙ කකුල් ගල් ගැහුන හේ තමයි මටදැනුනෙ.උන්දැ මාව දැක්ක විත්තිය මට තේරුනා. මන් දිහාව උන්දැ එක එල්ලෙ බලාන උන්න විත්තිය බෝම ලා පාටට විසිරිච්ච තරු එලියෙන් මන් දුටුව. මූන වහන් ඉඳපු රෙදි කෑල්ල ලිහන ගමනුත් උන්දැ බලාන උන්නෙ මන් දිහාව.බයවෙච්චිපාර කකුල් ගල් ගැහිච්චි මමත් එහෙම්ම බලාන උන්න.

රෙදි කෑල්ල ඩිංග ඩිංග මූන වටේ කැරකිලා ලිහෙද්දි උන්නෙ මන් හිතාපු කෙනාම නේද?

“රංජිත්…”

එයැයි තමා කියාල හිතාන උන්නත්, හැකයක් තිබ්බත් කවුදැයි දෙයියනේ හිතුවෙ ඒ උන්නෙ එයැයි විත්තිය ?මගෙ ඇස් වලින් කඳුලු බේරෙද්දි කකුල් පන නැතුව මන් එතන බිම ඉඳගෙන කල්පනා කොරන්න ගත්ත.

ආයෙ එබිල ජනේලෙන් එලිය බලද්දි තමා මන් දුටුවෙ කාමරේ දිහාව තාම බලාන උන්නු රංජිත් මන් ආයෙ එබෙනව දැකල් එයැයිගෙ තොල් උඩහින් ඇගිලි තියාල මට යමක් කියන්න තනනව.

“මේ ගැන කාටවත් කියන්න එපා”කියල කියන්න ඇත්තෙ එහෙම කීවොතින් එයැයි මාවත් අන්තරස්දාන කොරන්න බලන් උන්නු හන්ද වෙන්නැති නේද? 

මගෙ ඇස් වලින් බේරෙච්චි කඳුලු පිහ පිහ මන් දුවගෙන ඇවිත් ඇඳට වැටුනෙ නොහිතපු විදියට හැමදේම පස්සෙ ඉන්නෙ රංජිත්ය කියාල දැනගත්ත දුකටද?නැත්තම් පබාලා, ස්වරනල, සුගුනිලට වෙච්ච් වින්නැහිය හන්දද කියල මන්වත් දැන උන්නෙ නෑ.

ඉස්කෝලෙ කුලී වැඩකොරන්න ගියාම රංජිත්, පබාල, සුගුණි ල එක්ක හෙම කතාකොරන්න ඇති.ස්වර්න එක්ක කතා කොරන්න ඇත්තෙ මා එක්ක හේම නාන පොකුන ලඟදි වෙන්නැති.එයැයි මා එක්ක කතාකොරන්නෙත් මාව අන්තරස්දාන කොරන්න බලාගෙනද? ඒ අන්තරස්දාන කොරාපු ගෑනු ලමයින්ට රංජිත් මක්ක කොරන්න ඇතිද? දවස් ගානකට සැරයක් මතුවෙන්නෙ ඒ ගැනු ලමයි මරල හංගන්න යන හන්දද? රංජිත් ගෙ ඊලග ගොජුර මමද?

කල්පනා කොර කොරම වරුව ගෙවුන මිසක් මට ඇහැ පියවන්න ලැබුනෙ නෑ. උදේ ඇහැරිල ඉස්කෝලෙ යන්න ලැහැත්ති වෙද්දිත් මන් උන්නෙ තෝන්තුවාවෙන්.හැමදේම ගංවතුරකට ගහන් ගිය මිනිහෙක් හේ මන් උන්නෙ බිරන්ත වෙලා හේම තෝන්තුවෙන්.

එදා දවසෙ ඉස්කෝලෙ එහෙමකට කියල ඉගැන්නිමක් නොවුනෙ සුගුණි ට වෙච්ච වින්නැහියෙන් කංපා වෙච්ච ගම තාම ඒකෙන් මිදිල උන්නෙ නැති හන්ද.ලමයි උනත් ඇවිත් උන්නෙ බෝම අඩුවෙන්.ක්‍රීඩා පුහුනුවීං හෙමත් අහෝසි වෙච්ච හන්ද මන් එක්කම ගෙදර යන්න ආසිරිත් ආව.බයිසිකලේ තල්ලු කොරන් යන ගමන් එයැයි මක්කද මක්කද දෙඩෙව්වට මං හැබෑටම උන්නෙ බෝම වේදනාවෙන් තෝන්තුවෙන් . ඒ හන්ද එයැයි කිව්ව ඒවට හූමිටි තියනව මිසක්ක මන් වෙන දෙයක් කොලේ නෑ.

“ගීතාංජලී මොකක් හරි පුරස්නෙකද ඉන්නෙ?”

“ගීතාංජලී, ගීතාංජලී “දෙතුන් ගමනක් කතා කොරල මන් උත්තර දුන්නෙ නැති හන්ද මගෙ අතට තට්ටු කොරපු ආසිරි එහෙම ඇහැව්ව.

“ආහ් මොකද්ද ආසිරි කිව්වෙ?”

“හැබෑටම මොකක් හරි පුරස්නයක් ද ගීතාංජලී ?”

“ඇයි ආසිරි එහෙමෙ ඇහැව්වෙ?”

“ගීතාංජලී වෙනදට වඩා වෙනස් අද.මොකකට හරි බය වෙච්චි ගානයි”

” එහෙම එකක් නෑ ආසිරි”

“නැත්තම් කාරි නෑ.මොකක් හරි පුරස්නයක් තියෙනම් කියන්න ගීතාංජලී .බයවෙන්න කාරි නෑ.මන් කාටවත්ම කියන්නෙ නෑ”

එහෙම කියල ආසිරි මන් දිහාව බලාල හිනාඋනා.

“මන් මේ කල්පන කොලේ සුගුණි ගැන ආසිරි.මේ ගමට මක්කද වෙලා තියෙන්නනෙ කියල”

“මොනව කරන්නද ගීතාංජලී , තව වින්නැහි වෙන්න කලියෙන් මේ ඉන්න ලමයි ටිකවත් බේරගන්න විදිහක් තමා බලන්න ඕන.”

“හ්ම්ම්ම්”

“පොලිසියට උනත් මෙව්වයි ගානක්නැති හැටි.ලොකු ඉස්කෝලෙ මහත්තය හෙම කීපාරක් ගොහින් කිව්වද? ඉස්ටීවන් මහත්තයත් කිව්වලු.කෝ මොකෙක්වත් මක්කවත් කොරේ නෑ පොලිසියෙන්”

“හ්ම්ම්ම්”

මට හිතුන ආසිරිට කියන්න ඊයෙ රෑ මං දුටුව දේගැන.රංජිත් ගැන.ඒ එක්කම මට මතක් උනේ රංජිත් තොල් වලට ඇඟිල්ල තියල මට කියන්න හදපු දේ ගැන. බය හන්දම මන් කට ඇරියෙ නෑ ආසිරිට මේ ගැන කියන්න.

හවස ගෙදර ඇවිදින් නාන්න පොකුන ලඟට යද්දි මගෙ කකුල් ගැහිච්ච හැටි දන්නෙ මන් විතරයි.හිත ගැස්සිච්චිහැටි දන්නෙ මන් විතරයි.

හෝදන්න ඕන රෙදි පෙඟෙන්න දාල මන් පොකුන ලග හිටං බලාන උන්නෙ ඈතින් එන රංජිත් දිහාව.වෙනද හේ හොර ගමනක් නැතුව බෝම වේගෙන් මන් උන්නු දිහාවට ආවෙ මන් හැමදේම දැන් දන්න විත්තිය එයැයි දන්න හන්ද හේම තවත් මාව රවට්ටන්න එයැයිට විදිහක් නෑ කියල දන්න හන්ද වෙන්නැති.

කෙලින්ම මන් දිහාවට ඇවිදන් ආව එයැයි මන් දිහාව කෙලින්ම බලාන උන්න.

“ඊයෙ රෑ වෙච්ච දේවල් දැක්ක දේවල් කාටහරි කිව්වද?”

වෙනදට වඩා වෙනස් මහ නපුරු කටහඬකින් තමා උන්දැ ඒක ඇහැව්වෙ.බයටම වචන ගිලිච්චමම නැහැයි කියාල කිව්වෙ ඔලුවෙන්.

“බෝම හොඳයි.කාටහරි කියල අහුවුනොත් ඒක අහවර වෙන්නෙ තමුන් අහවර වෙලා විත්තිය හොඳට මතක තියාගන්න.මේ ගැන වගේම මන් ගැන කට හෙල්ලුවොත් ඒක තමුන්ගෙ අවසානෙ බව මතක තියාගන්නව හොඳයි. ගෑනු ඉන්න ගෑනු විදිහට.පිරිමි වගේ වීරකම්.කොරන්න දඟලන්නෙ නැතුව.රෑට ජනෙල් වහන් නිදියන එක මිස වත්තෙ හොර අල්ලන එක ගැනුන්ගෙ රාජකාරියක් නෙවි.”

එහෙම කියල එයැයු යන්න ගියේ බයටම කඳුලු පෙරපෙර, ගොලු වෙලා උන්නු මගේකම්මුල් ගන සැරේට මිරිකලා.

වෙනද හේ කතාකොරන්න නොයිඳ එයැයි යන්න ගියේ මාව තව බිරන්තට්ටු කොරල.

ඒ සිද්දියෙන් පස්සෙ දවස් ගානක් යනකම්ම රංජිත් ව මට මුලිච්චි උනේ නෑ.බය හන්දම රෑට මන් පන්දම් එලිය ගැන හොයන්න තැනුවෙ නෑ හේම කාටවත් ඒ ගැන කිව්වෙත් නෑ. ඒ සතියෙ මන් ගෙදර ගොහින් ආවෙ, ඊටපස්සෙ සතියෙ සෙනසුරාද මහපිරිත තියෙන හන්ද හේම ලමයි එක්ක ඉස්කෝලෙ කැවිලි හදන රාජකාරිය මට පැවරිල තිබ්බ හන්ද.

“අක්ක මැලවිලා ගොහින්”

මාව දුටුව නංගියි මල්ලියි එහෙම කිව්වමත් මන් කොලේ හිනාවෙච්චි එක.කාට කියල කියන්නද?නංගි යි මල්ලියි පොඩිහන්ද කෝමත් කියල තේරුමක් නෑ නෙව.

ගෙදර ගියා උනත් හිතේ සැනසිල්ලක් තිබ්බෙනෑ . ගෙදර ගොහින් ආයෙ ආවට පස්සෙ සතිය සෑහෙන වැඩ රාජකාරි තිබුන පිරිත හන්ද.මුලු ගමම පිරිතට ලක ලැහැස්ති උනේ ගමට බලපාල තියන මේ නපුරු කාලෙන් මිදෙන්න පිරුත උපකාර වෙයි කියල හිතාන හේ.

-මතු සම්බන්දයි-

උදතාරී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here