“අග්ගල ටික එහෙම ලැහැස්තිද ගීතාංජලී නෝන?”
“ඔව් ඉස්කොලේ මහත්තය “
“ආසිරි මහත්තය එන්නම් ය කීව සයිකලෙන් කැවිලි පෙට්ටි ටික අරන් යන්න.ටැට්ටරයක්වත් අරන් යන්න බැරි ඉසව්වක නෙව පන්සල තියෙන්නෙ.”
” ඒකතමා.තේ හදන්න ඕන කලමනා හෙම මන් ලමයි අතේ ඔක්කොම පන්සලට යැව්ව ඉස්කෝලෙ මහත්තය “
“ඒක හොඳා.වෙනද මෙච්චර කරදර උනේ නෑ ගීතාංජලී නෝන. ඉස්කෝලෙ තිබ්බ හන්ද, ඕනෙතරම් ඉඩකඩ තිබ්බ හන්ද මෙච්චර නහින්න උනේ නෑ.මේ පාර පන්සලේ පිරිත කරමුය කියල හාංදුරුවො කීව හන්ද ඉඩකඩ මදි උනත් මන් හා කිව්වෙ මේ ගමට වෙලා තියෙන නස්පැත්ති ගැනත් සලකල බලලා”
ලොකු මහත්තය එහෙම කීවම මන් උන්දැ දිහා බලල හිනාඋනා.ආසිරි ඒ ඒක්කම තමා බයිසිකලෙන් ඉස්කෝල වත්ත ඇතුලට ආවෙ.
“ආහ් අපි මේ ආසිරි මහත්තයව මතක් කොලා විතරයි. තව ඩිංගිත්තක් ඉන්න වෙනව මහත්තයො හැබැයි තාම ඔක්කොම අඩුක් කරල අහවර නැහැ”
“ඒකට කාරි නෑ ඉස්කොලේ මහත්තය .කෝමත් තේකක් කාරිය හෙම බීල තමා යන්න ඕන.උඩහට පල්ලහට බයිසිකලේ පැදලම හරි අමාරුයි”
“අනේ ගීතාංජලී නෝනෙ මෙන්න මේ ආසිරි මහත්තයට බොන්න තේකක් වක්කොරෝල දුන්නනං”
ආසිරි දිහාව වගේම ලොකු ඉස්කොලේ මහත්තය එක්ක හිනාවෙන ගමන්ම,
“වතුර ලිපේ තිබ්බ මහත්තය .තාම පැහිල අහවර නෑ” කියල මන් කිව්ව.
තව ඩිංගක් වෙලා පන්සලේ පිරිතට වෙන සූදානම ගැන ආසිරි එක්ක කතා කොරකොර උන්නු ලොකු ඉස්කෝලේ මහත්තය එහාට යන්න ගියා. ආසිරි යි මායි විතරයි එතන උන්නෙ.අනිත් හැමෝම එක එක වැඩ අස්සෙ හිරවෙල උන්නු හන්ද අපි තනියම ඉන්න එක කාටවත් පුරස්නයක් උනේ නෑ.
“ගීතාංජලී, මහන්සි නැද්ද උදේ ඉඳන් කැවිලි පෙවිලි සූදානම්.කොරල”
“අනේ නෑ.ගමේදිත් අපෙ ගෙදරින් තමා මහ පිරිතට ඕනෑ කරන ඔක්කොම කැවිලි පෙවිලි සූදානම් කොරේ.ඒකහන්ද පුරුදුයි නෙව”
“ආහ් ඒනම් කාරි නෑ නෙව.”
“ඒකතමා”
“ගිය සතියෙ මයෙ හිතේ ගීතාංජලී ගෙදර ගොහින් ආවනේද? මන් ලොකු ඉස්කෝලෙ මහත්තය එක්ක එහෙ වලව්වට ආව කුමාරිහාමි මුනගැහෙන්න.එතකොට කිව්ව ඔයා ගෙදර ගිය විත්තියක්”
“ඔව් ආසිරි මේ සතියෙ පිරිත හන්ද ගෙදර යන්න වෙන්නෙ නැති හන්ද මන් පහුගිය සතියෙ ගෙදර ගොහින් ආව”
“ඒකහොඳා.ආයෙ ඉතින් කවද යන්න වෙයිද දන්නෙ නෑනෙ.”
“ඒකනේන්නම්.”
“ලේසිපාසු දුරක් ය ගාල්ලට යනවය කියන එකත් මේ දීපංකරේ ඉඳල”
“ආසිරි ගෙදර ගියේ නැතෙයි?”
“මන් ගෙදර එක්ක ඒ හැටි ඇයි හොඳැයියක් නෑ ගීතාංජලී, අපෙ ගෙදර ඇත්තන්ට ඕන උනේ මන් පරිපාලනේ පාස් කොරල කන්තෝරුව ක රස්සාවට යනවට.මට ඕන උනේ ගුරුවරයෙක් වෙලා රටට සේවයක් කොරන්න.ඒහන්ද උන්දැල මනාප නෑ.”
“අම්මල ඉතින් ආසිරි ගෙ හොඳට වෙන්නැති නෙව කියනව ඇත්තෙ.”
“හොඳට තමා”
එහෙම කියල ආසිරි බෝම ලස්සනට හිනාඋනා.මට එතකොට තමා මතක් උනේ තාම ආසිරිට තේ වක්කොරල දුන්නෙ නෑ නේද කියල.
“කතාවෙන් කතාවෙන් ආසිරිට තේ ඩිංගක් වක්කොරෝල දෙන්න අමතක උනා නෙව.හිටින්න, මන් හනික තේ වක්කොරන් එන්නම්”
“නෑ නෑ ඒකට කාරි නෑ”
මන් තේ සූදානම් කොරන අතර වාරෙත් බලාන උන්නෙ ආසිරි දිහාව.අද උන්දැ වෙනද වගේ නෙවි.බෝම පින්වන්ත පාටයි.අද කෝමත් හැමෝම සුදු ඇඳගෙන උන්නු හන්ද පින්වන්ත පාටට තමා පෙනුනෙ.
අහස වැහෙන්නම පායාපු හඳේ එලිය මුලු ඉස්කෝල වත්ත පුරාම විහිදිලා.ඒ හඳ එලිය මැද්දෙ අහස දිහා බල බල එහෙට මෙහෙට හක්මන් කොර කොර කල්පනා කරන, සුදු සරමයි කමිසෙයි ඇඳගෙන උන්නු ආසිරිව මන් දුටුවෙ දිවිය ලෝකෙන් ආව කුමාරයෙක් හේ ලස්සනට. මන් එයා දිහාව බලාන ඉන්න විත්තිය දැනගෙන වගේ එකපාර මන් දිහාව හැරිල බලාපු ආසිරි බෝම ලස්සනට හිනාඋනා. ඩිංගක් වෙලා එයැයි මන් දිහාවත් , මන් එයැයි දිහාවත් බලාන ඉඳල අපි දෙන්නම ලැජ්ජාවෙන්වගේ එකපාර බිම බලාගත්තා.
කට කට ගෑවිල්ලෙ තේකෙ හැඳි ගාන අතරෙත් මගෙ ඇස් හොරාට හොරාට ආසිරි දිහාවට ඇදුනා.තේක අරන් යද්දිත් ආසිරි අහස දිහා බලන් තනියම කල්පනා කොර කොර හිනා වෙවී උන්න.
“ආසිරි “
මන් කතාකොරාම තමා එයා එකපාර ගැස්සුනා හේ කල්පනාවෙන් මිදිල හිනාවෙලා මගෙ අතෙන් තේක අරගත්තෙ.බන්දේසියක තියාන ආවෙ නැති හන්ද මගෙ අතින් තේක ගනිද්දි මගෙ ඇඟිලි වල ගැටිච්චි එයැයිගෙ ඇඟිලි වල තිබ්බ සීතල මගෙ මුලු සරීරෙම ගල් කලේ හිත නිකන් ඔත්පල කලා වගේ.
ඒ හැඟීමත් එක්කම අනිත් පැත්ත හැරිල මන් එන්න හදද්දි ආසිරි මාව නතරකොලා.
“ගීතාංජලී”
එයැයිගෙ කටහඬ වෙනදට වඩා බෝම සිරියාවට, බෝම ලස්සනට මගෙ හිතට කතාකොලා.
බිමබලාගෙනම එයැයි දිහාව හැරිල බලාපු මන් එයැයි දිහාව බලද්දි එයැයි එක එල්ලෙ බලාන උන්නෙ මන් දිහාවමයි.
“ඇයි?”
මගෙ කටහඬ නිකන් ගොරොද්දෙ අදින්නැහේ උගුර යටින් තමා සද්ද පිටකොලේ.හරියට කාටහරි ඇහෙවී කියනව වගේම මගෙ හිත අස්සෙ තියන හැඟීම ආසිරි දැනගනීවි කියල බයෙන් වගේ.
“ගීතාංජලී සුදුපාට ඔසරියට අද හරි හැඩයි”
ආසිරි කියන්න ගියේ වෙන දෙයක් ඒඋනාට කිව්වෙ වෙන දෙයක් කියාලයි මට නම් හිතුනෙ.මක්ක උනත් එයැයි කියාපු දේට නම් මගෙ හිත ඇතුලෙ මලක් පිපුනෙ ලැජ්ජාවෙන් මගෙ ඇස් බිමට බර කොරන ගමන්මයි.
“මන් විතරක් මොකෝ ආසිරිත් අද වෙනදට වඩා හැඩයි නෙව”
මන් එහෙම කිව්වම එයැයි හිනා වෙච්චි විදියට මට ලැජ්ජ හිතුන.
“මගෙ මොන ලස්සනක්ද? ගීතාංජලී නම් හැබෑවටම අද හඳ එලියට දිලිහෙන කඩුපුල් මලක් වගේ හැඩයි”
හංගාන උන්නට ආසිරි ඇතුලෙත් කලාකාරයෙක් ජීවත් වෙනව හේ තමා මට දැනුනෙ.එයැයි ඒ කතාකොලේ මට නෙවි මගෙ හිත ඇතුලාන්තෙටයි කියලයි මට හිතුනෙ.
“ගීතාංජලී”
මන් කල්පනා කොර කොර ඉද්දි ආසිරිම ආයෙ අපි අතර තිබ්බ නිස්සද්දෙ බින්දා.
“ම්ම්ම්”
“මට ඔයාට කියන්න දෙයක් තියනව.මේ රාජකාරි අහවර වෙලා නිස්කලංක වෙලාවක මන් ඒක කියන්නම්. ඔයා අහන් ඉන්නවද ගීතාංජලී ?”
ආසිරි වෙනදට වඩා බෝම වෙනස් විදිහට නෙව අද කතාකලේ.මට ඒක නුපුරුදුයි හේම මගෙ හිත ඇතුලෙත් බෝම ලැජ්ජාවෙන් තමා මන් උන්නෙ.කියන්න දෙයක් නැති හන්දම මන් එයැයි බීල අහවර කොරපු තේ කෝප්පෙත් අරන් ලැජ්ජාවෙන් වගේ ඉස්කෝලෙ පැත්තෙට දුවන් ඇවිත් ආයෙ හැරිල බලද්දි ආසිරි හඳ එලිය මැද්දෑවෙ ඉඳන් බෝම ලස්සනට හිනාඋනා.හරියට හැම බැඳීමකින්ම නිදහස් වෙච්චි මිනිහෙක් ගානට.
“කැවිලි පෙට්ටි කොටහක් හෙනම් ආසිරි බයිසිකලේ අරන් යන්න.අපි ඉතුරු ටික අර ගෙන පන්සලට එන්නම්”
තිබ්බ ඔක්කොම කැවිලි පෙට්ටි අරන් ආසිරිටයි අනිත් පිරිමි ලමයටයි බයිසිකලේ යන්න බැරිහන්ද අපි කට්ටිය ඒ විදියට කතාඋනා.
ගෑණු ලමයි කොටහක් එක්ක පන්සලට කැවිලි පෙට්ටි අරන් යන අතර වාරෙ අපි එක එක ඕපදුප කතා කොර කොර ගිය හන්ද වෙලාව යනව දැනුනෙවත් මහන්සියක් දැනුනෙවත් නෑ.
“ගීතාංජලී නෝන ඉස්කෝලෙ මේ තරම්වත් කාලයක් ඉඳිවිය කියල අපි හිතුවෙ නෑ”
“අර මොකෝ කුමාරි ල එහෙම හිතුවෙ මන් ඉන්න එකක් නැතැ කියල”
“ආපු හැම ඉංගිරිසි ගුරුවරයෙක්ම ගියා නෝනේ ආ පයින්ම. අනිකඉංගිරිසි පත්වීම් ගන්න ලේසි හන්ද උන්දැල බැලුවෙ ගෙවල් පැත්තට හරි ටවුමක ඉස්කොලේකට යන්න.ඒකයි මන් එහෙම හිතුවෙ”
“ආහ් ඒක මිසක්ක.ඒ එයාලනෙ කුමාරි, මන් එහෙම නෑ.දිගටම ඉන්න කැමති මන්.මන් හරි ආසයි මේ ගම් පලාතට”
“ඒඋනාට නෝනට දීග ගියපු කාලෙක මෙහෙන් යන්න වෙයි”
කුමාරි කියපු ඒ කතාවටනන් මට හිනාත් ගියා.මගෙ හිනාවට කුමාරි එක්ක අනිත අයත් එක්කහු වුනා.
“මන් වත් හිතුවෙ නැති අතක් නෙව කුමාරි හිතල තියෙන්නෙ.”
අපි ගීතාංජලී නෝනෙට් මෙහෙන් කාව හරි හොයල දෙමු.එතකොට හැමදාම මෙහෙ ඉස්කොලේ උගන්නන්න ඇහැකි නෙව.”
අපේ කතාවට හිනාවෙවීම එක්කහු වෙච්ච කුසුම් එහෙම කිව්වම මට එකපාර මතක් උනේ ආසිරිව.හඳ එලියෙ දිලිහි දිලිහි එයැයි මන් දිහා බලාන ඉද්දි එයැයිගෙ ඇස් වල තිබුන පෙනුම ගැන.
පන්සලට ලංවෙද්දි මට දැනුනෙ මන් දිවිය ලෝකෙට ඇතුල් වෙන්නැහැ හැඟීමක්.පන්සල තිබ්බෙ පඩි හැට හැත්තෑවක් උඩහට නැගල ගොහින් ඇතුල් උනාම.ගමේ මිනිස්සු එක්කහු වෙලා පාරෙ ඉඳල ඒ පඩිපෙල දිගටම පන්සල වෙනකම්ම පොල්තෙල් පාන් දල්වල කරු හිටවල තිබුන.කොඩි ඇදල, පන්දම් එලිය එක්ක මුහුවෙච්ච හඳ එලියට එක්කහු වුන පිරිත් සුවඳ මුලු ගම පුරාම විහිදුනා කියලයි මට හිතුනෙ.
පඩි නැග ගෙන ගොහින් පන්සල් වත්තට ඇතුල් වෙද්දි මන් දුටුවෙ පිරිත පටන් ගන්න කලියෙන් පිරිත් මණ්ඩපේ තව අඩුපාඩු තියනවද කියල හොය හොය උන්නු ආසිරි.
නැන්ද තව ගමේ ගෑනු උදවිය එක්ක බණ අහන තැන රැස්වෙලා උන්න.බණ අහන මිනිස්සුන්ට වාඩිවෙන්න පැදුරු දදා උන්නු ලමයි අතර බණ ශාලාවෙ කෙලවරේම ලොකු හාංදුරුවො එක්ක කතා කොර කොර උන්නෙ ඉස්ටීවන් මහත්තය. මුලු ගමම එක්කහු වෙච්ච මේ පිරිත ඇත්තටම ගමට බලපාල තියෙන අතුරු අන්තරා ඔක්කොම සුන්නද්දූලි කොරල දාවි කියන හැඟීමක් මගෙ හිතට ආව. එහෙම වෙනවනම් කොච්චර එකක්ද කියක හිතන ගමන්ම අතේ තිබ්බ කැවිලි පෙට්ටි ටික දාන ශාලාවෙන් තියන්න හිතාන මන් ඒ පැත්තට ගියේ.
දාන ශාලාවෙත් සෙනග.කහට පැහෙන මුට්ටියට එහා පැත්තෙන් කට්ටියක් කහට බොන්න හකුරු කෑලි කොරනව.තව කට්ටියක් පෙට්ටිවල තියන කැවිලි මේසෙ උඩින් අඩුක්කරනව.නානා ප්‍රකාර වැඩ අස්සෙ මා එක්ක හිනාවෙන්නත් උන්දැල අමතක කොරේ නෑ.
පිරිත පටන් ගන්න වෙලාවෙදි ඔක්කොම වැඩ අහවර කොරපු අපි හැමෝම ඇහැක් ඇහැක් තැන්වලින් වාඩිගෙන බණ අහන්න ලැහැත්ති උනා.
“හැමෝම වැදගෙන මන් කිව්වට පස්සෙ නමස්කාරය කිව්වනම් හොඳා”
ලොකු හාංදුරුවන්ගෙ ඒ අණත් එක්කම තමා මුලු ගමම එක පෙලට වැඳගත්තෙ.රෑ මැදියමක් වෙන කම් බන අහපු මන් නැගිටල ආයෙ දාන ශාලාවපැත්තට ගියේ ආටානාටිය කියල අහවර උනාට පස්සෙ හාංදුරුවන්ට වලඳන්න දෙන්න ගිලන්පස ලැහැත්ති කරන්න.
රෑ හන්ද හැමෝටම කෝපි දෙන්න සූදානමෙන් තමා කටයුතු ලැහැත්ති කොරල. තිබුනෙ. අපි කෝපි හදන අතර වාරෙ තමා ආටානාටිය පටන් ගන්නව මට ඇහුනෙ.එකපාර ගහපු බෙර සද්දෙට තිගැස්සුන පාරෙ අතේ තිබ්බ කෝපි ජොග්ගුව ඉහිරිලා මගෙ සුදු පාට ඔසරියම තෙත් වෙන්න ගියේ තප්පර ගානයි.
“ආහ්හ් ගීතාංජලී නෝන.දෙයියනේ මේ මක්කයි කොරගත්තෙ.”
” ඒක නේන්නම්.බලන්නකො වෙච්ච දේ”
ඔසරිය අතරින් හමට දැනිච්ච රස්නෙ ගතියට වඩා මට දැනුනෙ මන් ආසම ඔසරියෙ කහට බැඳිච්ච එකේ වේදනාව.මක්ක කොරන්නද දැන් ඉතින්?
“උදේ වෙනකම් ඉන්නත් වෙන හන්ද නෝන වෙන ඔසරියක් මාරු කරගත්ත නම් හොඳා”..
“ඒකතමා මන් ගොහින් ඔසරිය මාරු කරන් එන්නම් නැන්දෙ.”
“හිටින්න මන් කාව හරි එවන්න තනියට”
“අනේ මොන තනියක්ද නැන්දෙ.මේ හොඳට හඳ පායල තියන එකේ.මන් ගොහින් එන්නම්.වලව්වට එහෙමකටදුරක් නෑ නෙව.”
“අනේ මන්දා ඒඋනාට”
“බයවෙන්න එපා නැන්දෙ.මන් හනික ගොහින් එන්නම්කො.අනික මෙතන තව වැඩ තියනවනෙ.තව කාවහරි එක්කන් ගියොත් එව්ව පාඩුවෙනව නෙව.මන් හනික ගොහින් එන්නම්”
හැබෑවටම හඳ පායල හන්ද යන්න බයක් තිබුනෙ නෑ.මේ හොඳට එලිය තියෙන්නෙ.
පන්සලෙව් පඩිබැහැන් එද්දි මට ඈහුනෙ හාංදුරුවො මහ සද්දෙට ආටානාටිය කියන හඬ.
“වචසා මනස චෙව – වන්දාමෙතෙ තථාගතෙ
සයනෙ ආසනේ ඨානෙ-ගමනෙචාපි සබ්බදා”
මහ සද්දෙට මුලු ගම පුරාම පැතිරුච්චි ආටානාටිය පිරිතෙ සද්දෙ එක්ක මන් වලව්ව පැත්තට අඩිය තිබ්බෙ හඳ එලියෙ පිහිටෙන්.
ඉස්කෝලෙ වත්තෙදි දැකපු හඳ එලිය නෙවි මට ඒඋනාට එවෙලෙ දකින්න ඇහැක් උනේ.ඊට වඩා මෝරාපු, රතුපාට, මක්කහරි හංගන්න හදන හඳ එලියක්. කැලෑ පාරෙ එද්දි මට කලින්ද වගේම දැනුනෙ කවුරුහරි මන් දිහාද බලාන ඉන්නව කියාලමයි.හිත ඇතුලෙ ඇතිවෙච්චි බය හන්දම මන් හනික හනික අඩිය ඉක්මන් කොරල ගේ දිහාට ආව.ඩිංගක් හිතට හයිය ආවෙ ඉස්තෝප්පුට ගොඩවෙලා ගෙට ඇතුල් උනාට පස්සෙ.නිස්කලංකෙ හුස්ම ගන්න ගමන් මන් කාමරේට ගොහින් කල්පනා කොරේ ඊලගට අදින ඔසරිය මක්කද කියල.මන් ගාවලා ලා පාට ඔසරි තිබ්බෙ නෑ.ඒ හන්ද නිකමට වගේ ස්වරනගෙ ඇදුම් ටික ඇදල බලද්දි නැන්ද කලින් වතාවක අදින්නය කියල දුන්න ස්වර්න ඇඳපු ලා රෝස පාට ඔසරිය අඳින්න මන් හිතුවෙ.ඒකට මන් එවෙලෙ ඇදන් උන්නු සුදු ඔසරියෙ රේන්ද හැට්ටෙ ගැලපෙන හන්ද හනික ඇඳන් මම එලියට ආවෙ අඩිය ඉක්මන් කොරල පන්සලට යන්න.කී දාහක් නම් වැඩ තියනවද?
ඉස්තෝප්පුවේ මහ දොර වහල මන් එලියට බැහැල යද්දි මට ඇහුන පිටිපස්සෙන් මක්ක හරි සද්දයක්.
කුක්කවත්ද? කවුරුහරි ඇවිදන් එන සද්දයක්.තනකොල පිස්ස උඩ ඇවිදින සද්දයක්.
රංජිත්ද දන්නෙ නෑ කියල හැරිල බලද්දි මන් දුටුවෙ කවුදෝ මූන වහගත්ත ඇත්තෙක්.
උන්දැ එකපාරම ගෝනියකින් මගෙ මූන වහන්න හදද්දිම මන් දුවාන ගියේ පඩිපෙල බැහැල පන්සල පැත්තට දුවන්න හිතන්න.
“අනෙ අම්මේ……..”
මටවඩා ඉක්මන් වෙච්ච ඒ මිනිහ ගෝනියෙන් මගෙ මූන වහල මාව හනික කර තියාන අඩිය ඉක්මන් කොරල යන්න ගියා.මොනතරම් දැඟලුවත් මට ගැලවෙන්න පුලුහන් උනේ නෑ.
ඩිංග වෙලාවකින් හුස්ම ගන්න බැරුව මට සිහි කල්පනාව නැතිඋනාද මන්ද….
“අම්මේ……”
-මතු සම්බන්දයි-
උදතාරී





