“ආහ්හ් ගීතෝ, කාලෙකින් නෙව මුලිච්චි වුනෙ”
රංජිත් ගෙ කටහඬ ඇහැව්වට පස්සෙ මන් බය වුනාය කියා කතාව ආයෙ අමුතුවෙන් කියන්නෙ මක්කටෙයි.
මගේ ඇඟේ ඒ මහ දවාලෙත් හීගඩු පිපිල හිත තිගැස්සුනා.
“රංජි…රංජිත්”
“මොකද ගෑණියෙ බයවෙලා වගේ?”
එයැයි දිහාව හැරෙන ගමන්ම මන් එයාගෙ නම කිව්වෙ බෝම බයෙන් වෙව්ල වෙව්ල හේ.රෑට පන්දම් අරන් හක්මන් කොරන මිනිහ, කෙල්ලො අන්තරස්දාන කොරවල රෑට ගොරවන මල යකා රංජිත් කියල මට දැන් ආයෙ අමුතුවෙන් එලිකොරන්න රහසක් තිබ්බෙ නෑ.මේ තරම් දවසක් රංජිත් උන්නෙ නෑ වගෙම ඒ දවස් ටිකේම් පන්දම් කාරය උන්නෙත් නෑ.
ඊයෙ රෑ එකපාර පන්දම් කාරය ආයෙ උන්න වගේම, කෙල්ලෙකුත් අන්තරස්දාන උනා.ඒහේම අද රංජිත් ආපහු ඇවිදින් තියෙන්නෙ, මේ තරම් දවසක් කොහෙ හරි හැංගිල ඉඳල ඕනෙ කරන කලමනා ලැහැත්ති කොරන් ඇවිදින් ඊයෙ රෑ කෙල්ලෙක් ඩැහැගන්න තමා කියල ආයෙ මට නොහිත ඉන්න කාරනා තිබ්බෙනෑ.
දෙයියනේ මට මොන වින්නැහියක් වෙන්න යනවද කියාල මටවත් හිතාගන්න පුලුහන් උනේ නෑ.
“රංජිත් කවද්ද ආවෙ?”
වෙන අහන්න දෙයක් නැති හන්දම මන් එහෙම අහන්න හිතුවා.මන් එහෙම ඇහුවම එයැයි මන් දිහාව බලාන උන්නෙ මහ අමුතුවිදියට.
“ඊයෙ ආවෙ.එද්දි හැන්දෑ වෙලා”
එහෙම කියන ගමන් එයා වෙනදට වඩා වෙනස් විදිහට හිනාඋනා. රංජිත් ලස්සනයි නේද? කියල මට පලවෙනි වතාවට තමාහිතුනෙ. ගස් අතරින් බේරිච්චි ඉර එලිය එයැයිගෙ ඇඟ පුරා විහිදිලා. එයැයිගෙ කලු පාට සරීරෙ තෙල් දාල හේ දිලිහෙනව. එයැයිගෙ ඇස් හරියට කලුන්පාට මැනික් කැටදෙකක් හේ දිලිහෙනව. කැරලි ගැහිච්චි කොන්ඩෙ වෙනදට වගේ උරහිස් මත්තෙ විසුරුවන් ඇවිදිල්ල තිබ්බෙ නෑ. ඩිංගක් විමසිල්ලෙන් බලද්දි තමා මන් දුටුවෙ එයැයිගෙ කොන්ඩෙ අද පිටිපස්සට කොරල බැඳල විත්තිය.ඒ හන්ද මූන හොඳ හැටි පේනව අද.
එයැයිගෙ නලලෙ වම් කෙලෝරෙ ලොකු කැපිච්චි පාරක් තියනව. මන් හිතන්නෙ කෙල්ලො ඩැහැගන්න යද්දි උන් බේරෙන්න තනද්දි වෙච්චි කැලලක් වෙන්නැති.
මන් එයැයි දිහාවම බලන් ඉද්දි එයැයිතුත් මන් දිහාවම බලාන උන්නෙ යකෙක් දැක්කහේ.
“මොකද ගෑණියෙ කන්න වගේ මං දිහා බලන් ඉන්නෙ?”
එකපාර ඇඟට කඩන් පැනල හේ රංජිත් අහද්දි මන් ගැස්සුනා
“මක්කවත් නෑ”
හිත අස්සෙන් වෙව්ල වෙව්ල තමා මන් උත්තර බැන්දෙ. කෝමද දෙයියනේ මේ මිනිහ කිසි වගක් නෑ හේ ඊයෙ රෑ කෙල්ලෙක් අන්තරස්දාන කොරවල අද මෙහෙම ඇවිදින් කතා කොරන්නෙ? මගෙ හිත අස්සෙ තරහක් හේම අන්තරස්දාන වෙච්ච ගෑනු ලමයි ගැන බෝම වේදනාවක් තමා තිබුනෙ.
“එහෙනම් මොකද මේ අමුතු විදිහට බලන් ඉන්නෙ?”
“මක්කවත් නෑ.කොයිබෙයි ගියේ මේ දවස් ටිකේ? පේන්න උන්නෙවත් නෑනෙ”
මන් එහෙම කිව්වමත් මිනිහ කිසින කලබලයක්.පෙන්නුවෙ නෑ. කිසිම වගක් නෑ වගේ හොඳට හිනාවෙලා මන් දිහාව බලාන උන්න. දෙයියනේ මුගෙ හිත අස්සෙ තියන හයිය? කිසිම වගක් නෑ වගේ ඉන්න හැටි.
“අහ් ඒ කියන්නෙ මන් එනකම් ඔයා බලාන උන්නද ගීතො? පාලුවෙන්ද උන්නෙ මන් නැතිව?”
එහෙම කියාල එයැයි මහ සද්දෙට හිනා උනේ මුලු කැලෑව අස්සමඒ සද්දෙන් බිරන්ත කරන ගමන්. මට මතක් උනේ ඊයෙ රෑ මහ හයියෙන් ඇහිච්ච් ගොරවන සද්දෙ. දෙයියනේ මේ යකා ම තමයි මෙහෙම හැම වින්නැහියක් පස්සෙම උන්නෙ.
මන් මුලු වෙලාවෙම කොලේ බයෙන් රංජිත් දිහාව බලාන උන්නු එක.මුන්දැට ලේසියෙන්ම මාව උනත් අන්තරස්දාන කොරන්න ඇහැක් නේද.දවාලට මුලිච්චි වෙන හන්ද තමා මාව තාම අන්තරස්දාන කොරන්න උන්දැට ඇහැක් වුනේ නැත්තෙ.
මට තේරුනා මන් ඇහැව්ව පුරස්නෙන් ගැලවෙන්න තමා එයැයි වෙන කතාවක් ඇදල ගත්තෙ කියාල.
“ආහ් ගීතො.කියන්නකො. මන් නැතිව පාලුවෙන්ය උන්නෙ?”
කවදාවත්ම නැතිව රංජිත් ඒක ඇහැව්වෙ මයෙ මූන දිහාවටම එබිල හේ. එයැයිගෙ කලු පාට ඇස් හරි ලස්සනයි.මායාවක් වගේ එව්වට ඇදිල යනව කියලයි මටහිතුනෙ.ඒ කලු පාට ගැඹුරු ඇස් එයැයිගෙ අඩි හයක් විතර උස කලු පාට සද්දන්ත සරීරෙට වගේම හැමදේම හංගන් කොරන එයැයිගෙ කලු පාට හිතිවිලි වලටත් අපුරුවට ගැලපුනා නෙවිද කියල මට කල්පනා උනා.
“කොයිබද ගියේ කියල ඉතින් කිව්වෙ නෑනෙ”
මන් එහෙම ඇහැව්වම එයෑයි ආයෙ කොලේ අහක බලන් හිනා වෙච්චි එක., හරියට උඹ අල්ලන්න හදන හොරේ මම දන්නව ගීතෝ කියන්නැහේ.
“අපිටත් ඉතින් වැඩ රාජකාරි නැතෑ”
කියල එයැයි හැදුවෙ පුරස්නෙන් ගැලවෙන්න විත්තිය මට හොඳහැටි තේරුනා.හාර හාර අහන්න ගොහින් වෙන වින්නැහියක් උනොත් ය කියන බය මයෙ හිතේ තිබ්බ හන්ද මන් වැඩිය ආය අහන්න ගියේ නැ එව්ව ගැන.
“හැබෑටම ඔයැයි මක්කද කොරන්නෙ? කොයි ඉසව්වෙද ඉන්නෙ? වයස හෙම කියද?”
එකදිගට මන් පුරස්න වැලක් අහගෙන ගියේ මට රංජිත් ගැන තව විස්තර දැන්ගන්න ඕන වෙච්ච හන්ද.
හැබෑටම මන් උන්දැ ගැන මක්කවත් දන්නෙ නෑ නෙව. උන්දැ නම් මන් ගැන් හැමදේම දන්නව නෙව.
“හැබෑටම ඒකත් ඇත්ත නෙව.මන් ඔයා ගැන දැනන් උන්නට ඔයා මන් ගැන් දන්නෙ නැ නෙව.”
“ඒකනේ”
මන් බෝම හොඳින් උන්දැ එක්ක කතාකොලේ මට ඕන උනේ මේ පුරස්නෙ විසඳගන්න.හැබෑටම මෙව්ව පස්සෙ ඉන්නෙ කවුදැයි කියාල හරියටම දැනගන්න.
” මගෙ නම ඔයා දන්නව නෙව.රංජිත් කියාල.මන් මේ ගමේ එක එක කුලීවැඩ කොර කොර තමා ඉන්නෙ.පහුගිය දවස් ටිකේ උන්නෙ නැත්තෙ අල්ලපු ගමේර ගෙයක් හදන රාජකාරියකට.”
ලැජ්ජ නැතිව බොරු කියන හැටි විතරක්. මුන්දැ හිතාන ඉන්නෙ මන් මක්කවත් දන්නෙ නැති මෝඩ ගෑනියෙක් කියල වෙන්නැති.
“හ්ම්ම්ම්ම්” වෙන මක්කවත් කියන්න දෙයක් නැති හන්දා මන් හූමිටි තියාල ආයෙ පොකුන පැත්තට හැරුනෙ හනික නාගෙන හෙම යන්නය කියාල හිතාන.
“ඔයාගෙ කොන්ඩෙ හරි හැඩයි නෙව.කෝමත් ඔයා හැඩයි.අද නෙව කොන්ඩෙ දැක්කෙ.”
මන් අනිත් පැත්ත හැරුනම රංජිත් කිව්ව දේට මන් ආයෙ එයා දිහාවට හැරෙද්දි රංජිත් ගෙ ඇස් තිබ්බෙ මයෙ මූන මත්තෙ.
“ඇයි එහෙම කිව්වෙ එකපාරම?”
කවදාවත් නැතිව රංජිත් එකපාර මන් ලස්සනය කියල කියන්නෙ මිනිහ ඊලගට ඩැහැගන්න බලාන ඉන්නෙ මාව හන්ද මාව මුලා කරගන්නද? සුගුණි ව, ස්වරනව වගේම අනිත් ගෑනු දැරිවියොත් අන්තරස්දාන කොරන්න කලින් රංජිත් මේ විදිහට එයැයිලව මුලා කොරන්න දොඩල තියනවද?
ස්වර්නත් ඉස්සර පොකුනෙන් නාන්න ආවය කියල නැන්ද කියනවමට මතකයි.රංජිත් ඒ දවස් වලත් මෙහෙ උන්නද? රංජිත් ස්වර්න එක්කත් මේ විදිහටම කතා බස් කොරල තියනවද? කියන පුරස්න වක්කඩ කැඩුව හේ මයෙ හිතට ආවට ඔව්වට උත්තර මුන්දැගෙන් කවදාවත්ම ගන්න බැහැයිකියන එක මන් හොඳාකාරවම දැනන් උන්න.
“ලස්සන හන්ද නෙව කිව්වෙ.ඔයා හැබැයි හරි කොටයි නෙ? අඩි පහක්වත් උස නැතුව ඇති”
එහෙම කියලනම් එයා හිනාඋනාම මටත් එයා ඒක කිව්ව විදිහට හිනා ගියා.මන් කොටය කියාල ඉස්සර ඉස්කෝලෙ කාලෙදි වගේම අමරසුරිය ට්‍රේනිං කොලීජියෙදිත් කට්ටිය සෑහෙන විහිලු තහලු කොරල තියනව. මට එව්ව මතක් වෙලා තමා හිනා ගියේ.
“ඉතින් කොට අයත් ඉන්න එපාය”
“හැබෑටම ඔයාගෙ උස කීයද ගීතො?”
“හතරයි අටයි.ඔයැයි නම් දිගංචිය වගේ ඉන්නෙ, ඔයැයිගෙ උස කීයද?”
“හයයි තුනක් උසය මන්.දිගංචියෙක් තමා ඉතින් ඔයැයි එක්ක බලද්දි”
එහෙම කියල ආයෙ එයෑයි මහ හයියෙන්හිනා වෙද්දි මට මතක් උනේ රෑ තිස්සෙ ඇහිච්චි ගොරවන සද්දෙ. ඒ එක්කම මට හිතුනෙ රංජිත් ගෙන් අහල බලන්න ඕන මිනිහට ආරංචි උනාදැයි කියල සුගුණි අන්තරස්දාන වෙච්ච සිද්දිය. මිනිහ මොනව කියයිද කියල බලන්නත් එක්ක.
“ඔයැයිට ආරංචිද ඊයෙ රෑ වෙලා තියන සන්තෑසිය?”
ඒ වෙලෙ එයැයි උන්නෙ පොකුණු ගැට්ට උඩ වාඩිවෙලා උඳුපියලිය කොල උදුර උදුර.මන් එහෙම කිව්වමවත් එයැයි නෙවි ඔලුව උස්සල බැලුවෙ.ඔව් ඉතින් මක්කටෙයි බලන්නෙ?මන් කියන්න කලියෙන් උන්දැ හොදටම දන්නව නෙව වෙච්ච සන්තෑසිය.
“අපෙ ඉස්කෝලෙ ගෑනි ලමේක් ඊයෙ රෑ අන්තරස්දාන වෙලා නෙව.”
මන් එහෙම කියන ගමන් එයැයි දිහාවම බලාන උන්න.මහ හොර බැල්මක් දාන් දිගටම් උදුපියලිය බිස්ස දිහාව බලාන උන්නෙ එයැයිට මගෙ මූන දිහාව බලන්න බැරි හන්ද නෙවිද?
“හැබෑට? කවුදැයි අන්තරස්දාන වෙලා තියෙන්නෙ? මොකද වෙලා තියෙන්නෙ ?”
කිසිම වගක් නැතුද හේ එයැයි ඇහැව්වට එයැයි දිගටම බලාන උන්නෙ උදුපියලිය බිස්ස දිහාවමයි.බය ඇති නෙව අහුවේය කියල මන් දිහාව බැලුවොත් තමන් කරන හොර වැඩ…
“සුගුණි කියල ඉස්කෝලෙ ලමේක්.ඔයැයිට ආරංචි උනේ නැතැයි? “
“හ්ම්ම්ම්”
“මීට කලියෙනුත් ගමේ ගෑණු ලමයි සෑහෙන අන්තරස්දාන වෙලා තියනවලු.”
“හ්ම්ම්ම්”
මන් දිගටම කතා කොරාට එයැයි කිසිම දෙයක්නොකිය උදුපියලිය උදුරන ගමන් හූමිටි තිබ්බ එක තමා කොරේ.
“ඔයැයිට හිතෙන්නෙ කවුරු මෙව්ව පස්සෙ ඉන්නව කියලද?”
මන් එහෙම අහන ගමන් එක එල්ලේ එයැයි දිහාවම බලාන උන්න.
“කවුදැයි දන්නෙ? ඔය කෙල්ලො මොකෙක් හරි කොල්ලෙක් එක්ක පැනල යන්න ඇති. වෙන මොනව වෙන්නද?”
මූම තමා මේක පස්සෙ ඉන්නෙ.නැත්තම් දෙයියනේ අනුකම්පාවටවත් “ඒකතමා පව් දෙයියනේ ” කියල කියන්න එපාය.
“ඔහොම ඉතින් කෙල්ලො යනවද කොල්ලො එක්ක පැනල?”
“කෙල්ලො නැතුව ඉතින් කොල්ලො එක්ක ආච්චිල පැනල් යන්නය”
හිතේ මොන කහට තිබ්බත් හැබැයි රංජිත් එහෙම කිව්වම මගෙත් සිරික්කිය හිකිස් ගාල එලියට පැනගත්තා. මයෙ හිනාවට රංජිතුත් එක්කහු වෙද්දි තමා මන් දුටුවෙ එයැයිට කෝපිමල් පාට ලස්සන හිනාවක් තියෙන විත්තිය.
අපි දෙන්නම මූනට මූන බලාගෙන ඩිංගක් වෙලා උන්නා.
“ඔයාටත් පැනල යන්න කවුරුහරි නැත්තම් මට කියන්නකො, මන් එන්නම්”
ඒක කියද්දිනම් රංජිත් ගෙ මූනෙ තිබ්බෙ ඉස්සෙල්ල තිබ්බ කෝපි මල් හිනාව නෙවි.වෙන විදිහක හිනාවක්. ඒ හිනාව ඉස්සරහ එයැයි එක්ක එක්කහු වෙලා ඒ හිනාවට මගේ හිනාව මුහුකරන්න විදිහක් මට තිබ්බෙ නෑ. මක්කද කියනකම් මන් හැබෑටම ඒ හිනාව ඉස්සරහ උත්තර නැතුව තක්බීර් උනා හේම ඒ හිනාව මායාවක් වගේ මාව උන්දැ දිහාවට ඇදගත්තා කිව්වොත් හරි.
“මන් හෙනම් යනව ගීතෝ.පරිස්සමින් නා කියාගෙන යන්න.”
මන් තක්බීර් වෙලා බලාන ඉද්දි රංජිත් එහෙම කියාන කැලෑව අස්සෙ හැංගිලා ගියා.තව ඩිංගක් වෙලා එයැයි දිහාව බලාන උන්නු මන් හනිකට නාකියාගෙන ගෙට එන්න ලැහැස්තිඋනා.ඒ ගමනුත් මන් කල්පනා කොලේ හැබැටම මේ මක්කද වෙලා තියෙන්නෙ, මේ ගෑනු ලමයි අන්තරස්දාන වෙන සිද්දිය පස්සෙ රංජිත් ඉන්නවද? ඉන්නවනම් ඒ ගෑනු ලමයිට උන්දැ මක්කද කොරන්නෙ කියන එක.
නාරංගහ අද්දරින් පිලිකන්න පැත්තට ගොඩවෙලා හෝදාපු රෙදි වේලෙන්න දාද්දි තමා මට ඉස්සර පැත්තෙන් කතා බහ කොරන සද්දයක් ඇහුනෙ.පිලිකන්න පැත්තෙන්ම ඉස්සරහට ඔලුව දාල බලද්දි මන් දුටුවෙ ඉස්තෝප්පුවේ වම් අත පැත්තෙන් වත්තෙ තියන නුග ගහ අද්දර අඳුරට වෙලා සුරුට්ටුවක් උරන ආසිරිව. ආසිරි සුරුට්ටූඋරන විත්තියක් මන් හැබෑවටම දැනන් උන්නෙ නෑ නෙව. ඒ එක්කම තමා නැන්දගෙකටහඬ කපාගෙන මට ඉස්ටීවන් මහත්තයගෙයි ලොකු ඉස්කොලේ මහත්තය ගෙයි කටහඬ ඇහුනෙ.
“අපි මේ සුගුණි ලයි ගෙදරත් ගොහින් එන ගමන් කුමාරිහාමි . මගදි තමා ඉස්ටීවන් මහත්තය මුන ගැහිල අපිවත් එක්කරගෙන මෙහෙ ආවෙ.'”
“දැන් ඉස්කොලේ මහත්තයල ගත්ත තීන්දුව මොකද්ද හැබෑටම?”
“ඉස්කෝලෙ වහන්නත් බෑ වගේම අපිට ලමයි අනතුරේ දාන්නත් බෑ නෙව. අපි ඒ හන්ද හිතුවෙ වැඩිය හවස් නොවී මේ පුහුනුවීං කටයුතු අහවර කොරන්න වගේම, ලමයි ගෙදර යද්දි උන්ගෙ මව් දෙමව්පියන්ට එන්නය කියන්න.”
“ඔව් ඒක නම් හැබෑව.එහෙම කොරානම් හොඳයි තමා”
“දැන් මහ පිරිත එනව නේද ආයෙමත් ඉස්කෝලෙ මහත්තය ?”
ඉස්ටීවන් මහත්තය උන්දැගෙ ගාම්භීර කටහඩෙන් බෝම නිවිච්ච විදිහට ඇහුව.
“මහපිරිත මේ පාර පන්සලේ තියන්න කියල අපි හිතුවෙ මහත්තය. ආරස්සාවට ඒක හොඳයි කියල අපිහිතුව.”
“ඒක හැබෑව”
රෙදි වනල අහවර වෙලා ගෙට එන්න හදද්දි බාල්දියෙ යකඩ කොක්ක වදින සද්දෙට ආසිරි එකපාර මන් උන්නු දිහාව හැරිල බැලුව.
මන් ඉන්න විත්තිය දැකපු ගමන් මිනිහ සුරුට්ටුව නුග ගහ මුලට විසික්කොරල මා එක්ක හිනාඋනා.මාත් උන්දැ එක්ක හිනාවෙලා ගෙට ගියේ ඉස්තෝප්පුවට යන්න හිතාගෙන.
කුස්සියට ඇතුල් වෙද්දිම තමා මන් දුටුවෙ නැන්ද කේතලේ ලිප තියන්න ලැහැත්ති වෙන විත්තිය.
“නැන්ද ගොහින් කතාකරන්න.මන් තේ හදන් එන්නම් නැන්දෙ”
මා එක්ක හිනාවෙන ගමන්ම කැවිලි බාජන ටික තියන තැන් පෙන්නපු නැන්ද ආයෙ ඉස්තෝප්පුව දිහාවට ගියා.
ඉක්මනට තේ ටික ලැහැත්ති කොරන් මන් ඉස්සරහට යද්දි ආසිරිත් ඇවිදින් ඉස්තෝප්පුවේ පුටුවක ඈඳිගෙන උන්න.මහ දොරෙන් මන් යද්දි ඒ අයිනෙම තිබ්බ පුටුවෙ වාඩිගෙන උන්නු ලොකු ඉස්කෝලෙ මහත්තය, ඉස්ටීවන් මහත්තය වගේම ආසිරිත් මන් දිහාව බලල හිනාඋනා.
“මන් මේ ඒත් අක්කගෙන් දූ කොහෙද කියා අහන්න හැදුව විතරමයි “
බන්දේසියෙන් කෙසෙල් ගෙඩියක් කඩාගෙන තේක අතට ගන්න ගමන් මගෙ මූන දිහාව බලාන හිනාවෙච්චි ඉස්‍ටීවන් මහත්තය කිව්ව.
“නාන්න ගොහින් ඉඳිය මහත්තය”
කියල කියන ගමන්ම මන් ඉස්කොලේ මහත්තයට තේක අල්ලල ආසිරි දිහාවට හැරුනා.
“නැන්දටත් තේ ගේන්නද?”
“පස්සෙ බොමු දුවේ”
“ගීතාංජලී නෝනෙත් කල්පනා කොරනව ඇති නේද ඉඳල ඉඳල රාජකාරිය පටන් ගත්තෙ මහ පුදුම තැනකින් කියල”
මන් දිහාව බලන් ඉස්කෝලෙ මහත්තය කියද්දි ආසිරිත් එයාගෙ අර මලානික බැල්මෙන්ම මන් දිහාව බලනව මන් දුටුව.
ඉස්ටීවන් මහත්තය නම් උන්නෙ එක එල්ලෙ ඈත බලාන කෙසෙල් ගෙඩිය කන ගමන්.
” මට තියන පුරස්නෙ හැබෑටම් මේ ලමයින් අන්තරස්දාන වෙන්නෙ කොහෙන්ද කියන එක ඉස්කොලේ මහත්තය “
ඉස්කොලේ මහත්තය අහපු පුරස්නෙට මන් හිනාවෙලා බිම බලාගනිද්දි නැන්ද තමා එහෙම ඇහැව්වෙ.
“දැන් ගෑනුලමයි කීදෙනෙක්ද.මොන සාපයක් වැදිලද මන්ද ? ආරංචියක් නෑනෙ කිසිම.ගමට සාපයක් වැදිලද මන්ද”
නැන්ද කියපු ඒව හරියටම උන්දැ උන්දැටම කීයාගත්ත ඒව හේ වෙන කිසිම කෙනෙක් එව්වට උත්තර බඳින්න ගියේ නෑ.අනික දෙන්න උත්තර තිබ්බෙත් නෑ නෙව.
ආසිරිත් හිමින් හිමින් තේක බොන ගමන් බිම බලාන උන්නෙ.ඉස්ටීවන් මහත්තය කලෙත් කල්පනා කොරන එක.නිස්සද්ද තාව ඩිංගක් හරි බිඳුනෙ ලොකු ඉස්කෝලෙ මහත්තය සුරුස් සුරුස් ගාල පීරිසියට දාන් තේ බොන සද්දෙන්.
“මේ වත්ත සෑහෙන දුරට විහිදෙනව නේද?”
නිස්සද්දෙ බිඳින්න වගේ ආසිරි එකපාර එහෙම ඇහැව්ව.
“ඔව් . ඔය පැත්තෙ මෙතන ඉඳල ඉස්ටීවන් මහත්තයගෙ වලව්වට යනකම්ම තියෙන්නෙ අපෙ මායිම,අනිත් පැත්තෙනුත් සෑහෙන විහිදිල තියනව.”
“ඩිංගක් බලල ආවට කමක් නැද්ද ගොහින්?”
“අනේ ඒකට මක් වෙනවද ? දුවේ ඔන්න මේ ලමයට පොඩ්ඩක් වත්ත පිටිය පෙන්නනකො”
නැන්ද එහෙම කිව්වම ආසිරි ගෙ අතින් තේ කෝප්පෙ ගත්තු මම ඒක බන්දේසිය උඩින් තියල එයැයි එක්කම එලියට බැස්ස.ඩිංග දුරක් යනකම්ම එයැයිවත් මන්වත් වචනය දෙඩෙව්වෙ නෑ.
ආසිරි ලඟින්ම වගේ ඇවිද්ද හන්ද තමා මන් හරියටම දුටුවෙ එයැයිතුත් රංජිත් තරමටම ඒ උස බව.ඒ උනාට රංජිත් ගෙ වගේ හොඳට හැඳිච්චි වැඩිච්චි ඇගක් නෙවි ආසිරිට තිබුනෙ බෝක කෙට්ටු ඇගක්.සාරිරික ක්‍රීඩා පුහුනු ගුරුවරයෙක් ය කියල කියන්න බැරි තරම් කෙට්ටු ඇඟක් තමා එයාට තිබ්බෙ.
ආසිරි සුරුට්ටු බීල ඉඳපු හන්දද කොහෙද එයාලග තාම ඒ ගඳ නතරවෙලා තිබුනා.
“ගීතාංජලී ගෙදර යන්නෙ හෙම නැද්ද?”
“යන්න ඕන ආසිරි, දිග නිවාඩුවක් ආවම තමා ඒඋනාට යන්න වෙන්නෙ.රෑ වෙනවනෙ ගාල්ලටම යන්නත්”
“ඔව් ඔව් ඒක හැබෑව”
“ආසිරිගෙ ගෙවල් කොයිබද?”
“මන් ගම්පහ නෙ ගීතාංජලී “
“ආහ් එහෙමද? මන් ඒ පලාතෙ ඇවිදින් නෑ”
“මා එක්ක යන් මන් ගෙදරයන වෙලාවක”
එහෙම කියාල් ආසිරි හිනාවෙද්දි මට එකපාර මතක් උනේ රංජිත් ව.
“ඔයාටත් පැනල යන්න කවුරුහරි නැත්තම් මට කියන්නකො, මන් එන්නම්”
කිසි ලැජ්ජාවක් නැතුව බවලතෙක්ට කියන කතාවක්ද උන්දැ එවෙලෙ කිව්වෙ. ඒකටත් හරියන්න ආසිරි කතාකරන්නෙ කොයිතරම් ලස්සන විදිහටද? හනේ මන්ද? රංජිත් තරම් ලස්සන නැතුවට ආසිරි හරි තැන්පත්. ඒකතමා කියනවැත්තෙ පොතක් උනත් මනින්න එපාය කියල පිට කවරෙන්.
හවස් වෙනකම්ම අපි සෑහෙනවෙලා වත්ත එහා මෙහා ඇවිද ඇවිද කතා කොර කොර උන්නා. ආසිරි ආපහු ගියේ මගේ හිත අස්සෙ එයා ගැන සෑහෙන තරම් දේවල් ගොන්නක් පැල පැදියම් කොරල
“අලුත් ඉංගිරිසි ඉස්කෝලෙ ගුරුවරියක් එනවය කියල කිව්වට මන් හිතාන උන්නෙ නෑ ඒවිය කියාල.ඒවගේම ගීතාංජලී හේ ලස්සන තරුණ කෙනෙක් ඒවිය කියල”
“අර මක්කෙයි එහෙම හිතුවෙ?”
“මෙහෙට ඇවිත් මේ අසරණ ලමයින්ට උගන්නන්න කවුද ගීතාංජලී කැමති? අනික ගාල්ල වගේ ඈත පලාතක ඉඳල එනවය කිව්වම මන් හිතුව කෝමවත් එන එකක් නැතෑ කියල.”
“ඒක මිසක්ක.අපේ අම්මල හෙම මනාප උනේ නෑ වැඩිය,මන් මේ තරන් දුර එනවට.ඒඋනාට ඉතින් මන් උන්දැලට උනත් කීවෙ මෙහෙ ලමයින්ටත් ඉතින් උගන්නන්න කවුරුහරි ඉන්න එපාය.
“ඔයා වගේ හිතන ගුරුවරු හරි අඩුයිනෙව .ඒකහන්ද ඉතින් ලමයින්ටත් හොඳයි”
“ආසිරි මක්කද හිතන්නෙ මේ ගැනු ලමයි අන්තරස්දාන වෙන එක ගැන.”
“ම්ම්ම්ම්ම් ඇත්තටම ගීතාංජලී මටත් තියන ලොකුම පුරස්නෙ ඒක තමා.අපි කොයිතරම් නම් හෙව්වද. මන් මෙහෙ ඇවිදින් මාස හය හතක් ගියාට පස්සෙ තමා ඔය පබා කියන ගෑණු ලමය අන්තරස්දාන වුනේ.එවෙලෙ අපි හිතුන ඒ ලමය කවුරුහරි කොල්ලෙක් එක්ක පැනල යන්න ඇතෑ කියල.ඉන්පස්සෙ කී දෙනෙක් අන්තරස්දාන වෙන්න ගත්තද?”
“මේ වලව්වෙ කුමාරිහාමි ගෙ දූ ඉගැන්නුවෙත් අපෙ ඉස්කෝලෙම නේද?”
“ඔව් ඔව් ස්වර්න.ඔය දැන් කල්පනා උගන්නන විශයන් උගන්නන්න තමා ස්වරනා උන්නෙ.මන් එද්දිත් ස්වර්න ඉස්කෝලෙ උන්න.ගීතාංජලී වගේම හරිම අහිංසක ලමය.බෝම උනන්දුවෙන් රාජකාරි කටයුතු කලා. හිටිගමන් තමා ස්වර්නත් නැතිඋනේ.අපි හරියට කනගාටු වුනා එවෙලෙ.මොනව කරන්නද? තියන ලොකුම පුරස්නෙ මොකද්ද මේ වින්නැහිය කියල හිතන්න බැරි එක නෙව”
“හ්ම්ම්ම්ම්”
“මහපිරිතට ආසිරි එනවද?”
“නැතුව.මුලු ගමම එදාට එක්කහු වෙනව නෙව.ඒ දවස්වලට ඉතින් මුලු ගමටම නිවාඩුවක් නෑ.මොකද පිරිතෙන් පස්සෙන්ද දානෙ හන්ද කෑම උයන එව්ව, කැවිලි හදන එව්ව, පිරිත් මන්ඩපේ, සැරසිලි හෙම තියනව නෙව.වෙනද නම් ඉස්කෝලෙ තමා කොලේ සෙනග එන හන්ද.මේ පාර පන්සලේ පිරිත කරන්න වගේම උයන පිහන කැවිලි හදන එව්ව ඉස්කොලෙ කරමුය කියල ලොකු ඉස්කෝලෙ මහත්තයයි අපියි කතා කොලා. ආරස්සාවට එහෙම හොඳය කියල. ඉස්කෝලෙ ගෑනු ලමයි හෙම තමා කැවිලි පෙවිලි හෙම හදන්නෙ.මේ පාර ගීතාංජලීටත් උදව් වෙන්න බැරිය”
“ඒකතමා.මාත් කැමති ඒකට”
මට හිතුන ආසිරිට කියන්න රංජිත් තමා මෙව්ව පස්සෙ ඉන්නෙ කියාල.ඒඋනාට කෝමද මන් එහෙම කියන්නෙ.එකාතකින් මන් තාම හරියට දන්නෙ නෑ ඇත්තටම මේක පස්සෙ රංජිත් ඉන්නවද කියල මන් හරියටම දන්නෙ නෑ වගේම, මන් ඕක ආසිරි එක්ක කිව්වය කියල රංජිත් දැනගත්තොත් උන්දැ මට කරදරයක් කරාවිය කියන බයත් මගෙ හිතෙ තිබුනා.
ඒ හන්ද කට පියාන ඉන්න එක හොඳයි කියල තමා මන් හිතුවෙ.
රෑ නිදාගන්න ගොහින් කන්නාඩිය ඉස්සරහ කොන්ඩෙ පීරද්දිත් මන් කල්පනා කොලේ රංජිත් වගේම ආසිරි කිව්ව එක.
“හැබෑටම මන් ලස්සනද?” මට කවදාවත්ම එහෙම හිතුනෙ නෑ.
දණිහ ගාවට දිග කැරලි ගැහිච්ච දිග කොන්ඩෙ, තලෙලු පාට හම, ලොකු දුබුරු පාට ඇස් ලස්සනයි කියල මට කවදාවත්ම හිතුනෙ නෑ. අද ආසිරියි රංජිතුයි කිව්වම තමා මට හිතුනෙ මගෙත් මක්කහරි ලස්සනක් ඇතැයි කියාල.
එහෙම හිත හිත තමා මන් නිදාගන්න ගියේ.එදා රෑ නම් කිසිම පන්දම් එලියක්වත් සද්දයක්වත් මගෙ නින්දට බාද කොලේ නෑ.
හැබැයි….
“මන් දැක්කෙ රෝස පාට ඔසරියක් ඇඳගත්ත ගෑනියෙක් පිටි පස්ස හැරි හැරි කැලෑව මැද්දෙ දුවන් යනව.එයැයිගෙ දිග කොන්ඩෙ විසිරිලා හැම තැනම… මට එයැයිගෙ මූන පෙනුනෙ නෑ හරියට.
එයැයි පිටිපස්ස හැරි හැරී දුවගෙන ගියේ කවුරු හරි පස්සෙන් එනවය කියා බයට වගේ.
එහෙම ගොහින් එයැයි පය ලිස්සල බිම ඇදන් වැටුන.කවුරුහරි එයැයිගෙ පස්සෙන් ආව මිනිහ එයැයි ලඟට ලං වෙද්දි එයැයි කොලේ දෑතෙන් මූන වහන් අම්මේ කියල කෑගහපු එක.
ඒ එක්කම මට ඇහුන කවුරුහරි ඈතින් කෑගහනව.
“ස්වරනාආආආආආආආආඅ…………”
-මතු සම්බන්දයි-
උදතාරී







