උයන පුරාම තිබුණේ හරිම නිස්කලංක හැඟීමක්. කුරුල්ලෝ ගස් අතු අතරින් බෙල්ල දාලා සිංදු කිව්වා. ගඟේ වතුර ගල් අතරින් හෙමින් ගලාගෙන ගියා. සිංහයෙක්, මුවෙක්, හාවෙක් එකම වතුර වලෙන් පිපාසය නිවාගත්තේ කවුරුත් කාටවත්ම බයවෙච්ච නැති ලෝකෙක.
ඒ ලෝකෙ කිසිම දේකට නමක් තිබුණේ නැහැ. බය, වේදනාව, ඊර්ෂ්‍යාව, වෛරය, මරණය. ඒ වචන ඇත්තටම ඉපදිලාවත් තිබුණේ නැහැ.ඒ නිසාම ඒ ලෝකය හරිම නිස්කලංකයි, හරිම පරිපූර්ණයි.
හැබැයි, ඊව්ට විතරක් ඒ නිහඬකම සමහර වෙලාවට මොකක් හරි කියන්න හදනවා වගේ දැනුණා. ඊව් අන්න එහෙම කල්පනා කර කර ඉන්න වෙලාවක තමයි එයාට තමන්ගෙ පිටිපස්සෙන් ආදම් කතා කරනවා ඇහුණෙ.
“ආයෙත් මෙතෙන්ට ආවද?”
ආදම්ගේ කටහඬ ඇහෙද්දී ඊව් හැරිලා බැලුවා. ආදම්ගෙ අතේ තිබුණේ ඉදිච්ච පලතුරු වගයක්.
“මේ උයනේ මෙච්චර දේවල් තියෙද්දි ඇයි ඔයා හැමදාම මෙතනටම එන්නෙ?”
ආදම් ගහ දිහා බලාගෙනම ඇහුවා.
“ඔයාට මොකද්ද හිතෙන්නෙ?”
“මට හිතෙන්නෙ ඔයාට මේ ගහ ලස්සනට පේනවා”
“මේ උයනේ ඊට වඩා ලස්සන ගස් තියෙනවා”
“එහෙනම්?”
“මේ ගහ වෙනස්”
“කොහොමද?”
“අනිත් හැම ගහක්ම අපිට අයිතියි.” එහෙම කියලා ඊව් ටිකක් කතාව නැවැත්තුවා. “ඒත් මේ ගහ විතරක් අපිට අයිති නෑ”
ආදම් බිම වැටිලා තිබුණු කොළයක් අරගෙන ඇඟිලි අතරේ තියල කරකවන්න ගත්තා.
“දෙවියන් කිව්ව දෙයක්නෙ ඉතින් ඕක.”
“ඔව්.”
“ඉතින් එහෙනම් ඇයි ඒ ගැන තව කතාකරන්නෙ? ඒක එතනින් ඉවරයිනෙ? ආයෙ හිතන්න දෙයක් නෑනෙ.”
“ඉවරයි?”
“ඔව්.”
“ඇයි ඉවර වෙන්නෙ?”
“දෙවියන් කිව්ව හන්දා.”
ඊව් හෙමින් හිනා වුණා.
“ඔයා කවදාවත් ඇයි කියලා අහන්නෙ නැද්ද?”
“මොකටද එහෙම අහන්නෙ?”
“දැනගන්න”
“මම දැනගෙන ඉන්න ඕන හැමදේම මම දැනටමත් දන්නවා වගේම මට ඒ දේවල් දැනටමත් තියෙනවනෙ” ආදම් එහෙම කියද්දි ඊව් එයා දිහා එක එල්ලේම බලාගෙන උන්නා.
“ඔයා කොහොමද ඒක දන්නෙ?”
ආදම්ට ටිකක් හිනා ගියා ඊව් එහෙම ඇහුවම.
“ඔයා අදත් අමුතු ප්‍රශ්න අහනවා.”
“ඒක නෙවෙයි මං අහපු දේට උත්තරේ”
“හරි. මම සතුටින් ඉන්නවා.”
“ඒ කියන්නෙ?”
“මට අඩුවක් දැනෙන්නෙ නෑ.”
ඊව් හෙමින් හිස වැනුවා.
“සමහර වෙලාවට අඩුවක් දැනෙන්නෙ නැත්තෙ අඩුව මොකද්ද කියලවත් අපි දන්නෙ නැති නිසා වෙන්න බැරිද?”
දෙන්නම ටික වෙලාවක් කතා කළේ නැහැ. උයනේ හුළඟ ගස් අතු අතරින් හමාගෙන ගියා. ආදම් බිම දිගා වුණේ ඒ හුළඟ විඳගන්න ගමන් ඊව් අහන දේවල්වලට උත්තර දෙන්න හිතාගෙන.
“ඔයා දන්නවද මම මොනවටද කැමති කියලා?”
“මොනවටද?”
“ඔයා හැමදේම ගැන අමාරු විදියට හිතන එක. මෙච්චර ලේසියෙන් හැමදේම ලැබිලා තියෙද්දිත් අමාරු දේවල් ගැන හිතන එක”
ඊව්ට හිනා ගියා.
“මම?”
“ඔව්.”
“මම මොනවද අමාරුවෙන් කළේ?”
“මේ උයනේ ජීවත් වෙන එක.”
“ඒ මොකද?”
“මම මීට කලින් හිතුවෙ නැති දේවල් ඔයා මට හිතවන්න ගන්නවා.”
“ඒක වරදක්ද?”
ආදම් ටිකක් කල්පනා කළා.
“නෑ ඒත් ඒකෙන් පස්සෙ මට ඒක හිතන්න කලින් තිබුණු සැනසීම ආයෙ ලැබෙන්නෙ නෑනෙ.”
ඊව් ගහ දිහා බැලුවා.
“ඔයා දන්නවද?”
“මොකද්ද?”
“මට හිතෙනවා මේ ගහේ ගෙඩි තහනම් කළේ ඒවා විස නිසා නෙවෙයි.”
ඊව් එහෙම කිව්ව ගමන් ආදම් එකපාර ගැස්සිලා වගේ නැගිටලා ඉඳගත්තා
“එහෙනම්?”
“අපි වෙනස් වෙන නිසා.”
“මොන විදියටද?”
“අන්න ඒක තමයි මට දැනගන්න ඕන.”
ඒ මොහොතේ දෙන්නටම ඇහෙන්නෙ නැති තරම් හෙමින් තහනං ගහේ උඩ අත්තක් හෙලවුණා. හරියට කවුරුහරි මේ මුළු කතාවම සද්ද නැතුව අහගෙන හිටියා වගේ.
ඊළඟ දවසෙත් ඊව් ආවෙ ඒ ගහ යටටමයි. හැබැයි මේ පාරත් එයා ආවෙ ගෙඩියක් කන්න නෙවෙයි.උත්තරයක් හොයාගන්න. උයනේ අනිත් හැම තැනකම වගේම මෙතනත් හරි නිස්කලංකයි. ඒත් මේ ගහ ළඟ තිබුණු නිස්කලංකකම වෙනස්. හරියට කවුරුහරි හුස්ම හිරකරගෙන බලාගෙන ඉන්නවා වගේ. ඊව් අත දික් කරලා ගහේ කඳට අත තිබ්බා.
“ඔයා මොනවද හංගගෙන ඉන්නෙ?”
ඒක ගහෙන් අහපු ප්‍රශ්නයක්ද, තමන්ගෙන්ම අහපු ප්‍රශ්නයක්ද කියලා ඊව්ටවත් තේරුණේ නැහැ.
“ප්‍රශ්න අහන මිනිස්සුම තමයි හැමදාම උත්තර හංගගෙන ඉන්නෙ”
ඒ කට හඬ ඇහුණේ පිටිපස්සෙන්. ඊව් හැරිලා බැලුවා. ගහේ පහළ අත්තක් උඩ දිගා වෙලා වෙළිලා හිටියේ සර්පයෙක්. කහ පාට කොරපොතු ඉර එළියට දිලිසුණා.ඒත් ඊව් පුදුම වුණේ ඒ ඇස් දෙක දැකලා. ඒ ඇස් හරි අමුතුයි. හරියට හැමදේම දන්න කෙනෙක්ගෙ ඇස් වගේ.
“ඔයා කවුද?”
ඊව් ඇහුවා.
සර්පයා හිනා වුණා.
“මං ගැන අහන්න කලින් ඔයා ඇයි මේ ගහ ළඟට ආවෙ කියලා කියන්න.”
“මට දැනගන්න ඕන.”
“මොනවද?”
“ඇයි මේ ගහේ ගෙඩි විතරක් අපිට තහනම් කියලා.”
“දෙවියන්ගෙන් ඇහුවද?”
“නෑ.”
“ඇයි?”
ඊව් ටිකක් කල්පනා කළා.
“මං හිතුවෙ දෙවියන් එපා කියයි කියලා.”
“එහෙනම්?”
“මට ඕන උනේ ඇයි කියලා දැනගන්න.”
සර්පයා හිස වැනුවා.
“හරි.”
“හරි?”
“ඔයා අහන්නෙ හරි ප්‍රශ්නය.”
ඊව් ඇස් පුංචි කළා.
“එහෙනම් ඔයා උත්තරේ දන්නවද?”
“ඔව්.”
“එහෙනම් කියන්න.”
“බෑ”
“ඇයි?”
“මං කිව්වොත් ඒක මගේ උත්තරේ.”
“ඒ කිව්වෙ?”
“ඔයාට ඕන මගේ උත්තරේද? නැත්තම් ඔයාගෙම උත්තරයක්ද?”
“වෙනස මොකද්ද?”
“ලොකු වෙනසක් තියෙනවා.”
සර්පයා ගහෙන් බිමට ඇදිලා ආවා.
“මම ඔයාට කිව්වොත් මේ ගෙඩිය හොඳයි කියලා ඔයා විශ්වාස කරනවද?”
“දන්නෙ නෑ.”
“දෙවියන් කිව්ව හන්දා මේ ගෙඩිය කන්න හොඳ නෑ කියලා ඒක විශ්වාස කරනවද?”
ඊව් උත්තර දුන්නෙ නැහැ. සර්පයා හිනාවුණා.
“දැක්කද?”
“මොකද්ද?”
“ඔයා තාම කාගෙ හරි උත්තරයක් මත යැපෙනවා.”
ඊව් නිහඬ වුණා.
“එහෙනම් මං මොකද්ද කරන්න ඕන?”
“ඔයාම හොයාගන්න.”
“කොහොමද?”
සර්පයා ගහ දිහා බැලුවා.
“ප්‍රශ්නයක් ඇත්තටම තේරුම් ගන්න නම් සමහර වෙලාවට ඒ ප්‍රශ්නෙ ඇතුළෙ ජීවත් වෙලා බලන්න වෙනවා.”
ඊව් ඒ වචන තේරුං ගන්න උත්සාහ කළා.
“ඒ කියන්නෙ ගෙඩිය කන්න කියලද කියන්නෙ?”
සර්පයා ආයෙ පාරක් හිනා වුණා.
“මම එහෙම කිව්වද?”
“නෑ.”
“මම ඔයාට කිසිම දෙයක් කරන්න කියන්නෙ නැහැ.”
“එහෙනම්?”
“මම අහන්නෙ එකම එක දෙයයි.”
ඒ ඇස් දෙක ඊව්ගේ ඇස් දෙක දිහා කෙළින්ම බැලුවා.
“ඔයා ඇත්තටම ඇත්ත දැනගන්න කැමතිද?”
ඊව් කිසිම උත්තරයක් දුන්නෙ නැහැ. සර්පයා ආයෙමත් කතා කළා.
“මොකද ඇත්ත දැනගත්ත දවසට පස්සෙ ආයෙ කවදාවත් ඔයාට ඒ ඇත්ත නොදන්න කෙනෙක් වෙලා ඉන්න බැහැ.”
ඒ වචන ටික උයන පුරාම හෙමින් දෝංකාර දුන්නා. ඊව් ආයෙ ගහ දිහා බැලුවා. මේ පළතුර තහනම් වෙලා තිබුණෙ විස නිසාද, නැත්තම් එයාව වෙනස් කරන නිසාද කියලා කල්පනා කරන්න ගිය හන්දා ඊව්ට එදා රෑ නින්ද ගියේ නැහැ. උයන පුරාම තිබුණේ සුපුරුදු නිස්කලංකකම. ඒත් ඊව්ගේ හිත ඇතුළෙ පළවෙනි වතාවට නිස්කලංකබවක් තිබුණේ නැහැ. හැම වතාවෙම ඇස් පියාගත්තම එයාට මතක් වුණේ සර්පයා අහපු එකම එක ප්‍රශ්නය.
“ඔයා ඇත්තටම දැනගන්න කැමතිද?”
ඊව් ළඟ ඒ ප්‍රශ්නෙට උත්තරේ තිබුණා. ඔව්. හැබැයි ඒ ඔව් කියන වචනය එයාගෙ හිතට සැනසීමක් ගෙනාවෙ නැහැ. ඒක ගෙනාවෙ නොසන්සුන්කමක්. පහුවදා උදේ ආදම් ඊව්ව හොයාගෙන ආවා.
“ඊයෙ මොකද උනේ?”
“මොකුත් නෑ.”
“ඔයා මට කියන්නෙ නෑ”
ඊව් හිනා වුණා.
“ඔයා කොහොමද දන්නෙ?”
“ඔයා දෙයක් ගැන හිතනකොට ඔයා කතා කරන්නෙ අඩුවෙන්.”
“එහෙමද?”
“ඔව්.”
ආදම් ටිකක් එයා දිහා බලාගෙන හිටියා.
“ඊයෙ ඔයා අර ගහ ළඟ කාත් එක්ක හරි කතා කළාද?”
ඊව් එකපාරටම ආදම් දිහා බැලුවා.
“ඔයා දැක්කද?”
“නෑ.”
“එහෙනම්?”
“ඔයාගෙ ඇස් වෙනස්.”
දෙන්නම ගං ඉවුර දිගේ ඇවිදගෙන ගියා. ටික වෙලාවක් කවුරුත් කතා කළේ නැහැ. අන්තිමේ ඊව්ම කතාව පටන් ගත්තා.
“ඔයා මාව විශ්වාස කරනවද?”
ආදම් එකපාරටම හිනා වුණා.
“ඒ මොන වගේ ප්‍රශ්නයක්ද?”
“උත්තරේ දෙන්නකො.”
“ඔව්.”
“කොච්චරක්ද?”
“මොකක්?”
“කොච්චරක්ද?”
“සම්පූර්ණයෙන්.”
ඊව් හෙමින් හිස වැනුවා.
“එහෙනම් මම අර ගහේ ගෙඩියක් කෑවොත්?” කියලා ඊව් කතාව කියන්න පටන් ගද්දිම ආදම්ගේ මූණෙ තිබුණු හිනාව නැති වුණා.
“එහෙම කරන්න එපා.”
“ඇයි?”
“දෙවියන් කිව්වනෙ එපා කියලා.”
“මම ඇහුවෙ ඇයි කියලා.”
“මම දන්නෙ නෑ.”
“එහෙනම් ඇයි මට එපා කියන්නෙ?”
“මොකද” ආදම්ට වචන හොයාගන්න බැරි වුණා.
“මට හිතෙනවා.”
“මොනවද?”
“මොකක් හරි වෙනස් වෙයි කියලා”
“මොකද්ද?”
“දන්නෙ නෑ.”
“දන්නෙවත් නැති දෙයක් වෙනුවෙන් නතර වෙලා ඉන්නෙ මොකටද?”
ආදම් නිහඬ වුණා. ඊව්ට එකපාරටම තේරුණා. ආදම් නතර වෙන්නෙ ඒ ගෙඩිය කන එකෙන් නෙවෙයි ඒ ගෙඩිය කෑවයින් පස්සෙ දෙයක් වෙන එක වළක්වාගන්න කියලා.
“ඊව්” ආදම් ආයෙත් හෙමින් කතා කළා.
“අපිට තියෙන ජීවිතේ වරදක් නෑනෙ?”
“නෑ.”
“එහෙනම් ඇයි මේක වෙනස් කරන්න හදන්නෙ?”
“මම මේක වෙනස් කරන්න හදන්නෙ නෑ.”
“එහෙනම්?”
“මම දැනගන්න හදන්නෙ.”
“දැනගෙන මොනවද කරන්නෙ?”
“දන්නෙ නෑ.”
ආදම් එකපාරටම ඊව්ගෙ අත් දෙක අල්ලගත්තා.
“මට පොරොන්දු වෙන්න.”
“මොනවද?”
“ඔයා ඒ ගහ ළඟට ආයෙ යන්නෙ නෑ කියලා.”
ඊව් ආදම්ගෙ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ ලස්සන දෙයක් කියන එක එයාට තේරුණා. ඒ ලස්සන ඇතුළෙ තවත් දෙයක් තිබුණා. ඒත් ඒ මොකද්ද කියලා ඒ වෙද්දිත් ඊව් සහ ආදම් දැනගෙන උන්නෙ නෑ.
“ඇයි ඔයාට මාව නවත්තන්න ඕන?”
“මොකද අපි ඒක නොකළ යුතු හන්දා”
එදා හවසත් ඊව් තනියම ආයෙත් අර ගහ ළඟට ගියා. සර්පයා එතන හිටියේ නැහැ. හැබැයි එයාගේ වචන ඊව්ට අද ඇහුවා වගේ මතක තිබුණා. “ ඇත්ත දැනගත්ත දවසට පස්සෙ ආයෙ කවදාවත් ඔයාට ඒ ඇත්ත නොදන්න කෙනෙක් වෙලා ඉන්න බැහැ.” ඊව් ගහේ එල්ලුණු ගෙඩියක් දිහාවට අත දික් කළා. ඒ වෙලාවේ පිටිපස්සෙන් ඇහුණේ ආදම්ගේ කටහඬ.
“ඊව්”
ඒ හඬේ තිබුණ හැඟීම ඊව්ටත් තේරුණේ නැහැ.
“ඊව්”
ආදම්ගේ හඬ ඇහෙද්දී ඊව් අත ආපහු ඇදගත්තා. දෙන්නා අතරෙ තිබුණේ ගහ. ගහේ එල්ලුණු පලතුර. ඒ පලතුර දිහා දෙන්නම බැලුවේ හරියට ඒක සාමාන්‍ය පලතුරක් නෙවෙයි වගේ.
“අපි ආපහු යමු.”
ආදම් හෙමින් කිව්වා.
“ඇයි?”
“මේක හරි තැන නෙවෙයි.”
“ඇයි?”
“මම කිව්වනෙ.”
“ඒක උත්තරයක් නෙවෙයි.”
ආදම් හෙමින් සුසුමක් හෙළුවා.
“ඊව් හැමදේටම ඇයි කියලා අහන්න ඕන නෑ.”
“ඇයි?”
ආදම් මොහොතකට ගොළු වුණා.
“මොකද සමහර දේවල් කෙනෙක් කිව්වම අපි විශ්වාස කරන්න ඕන.”
“විශ්වාසය කියන්නෙ ප්‍රශ්න නොඅහන එකද?”
“නෑ.” තුන්වෙනි හඬක් ආවෙ ඒ වෙලාවෙ. දෙන්නම එකපාර හැරුණා. සර්පයා ආයෙත් ගහේ අත්ත උඩ වෙළිලා ඉන්නවා දෙන්නම දැක්කෙ එවෙලෙ. “විශ්වාසය කියන්නෙ ප්‍රශ්නයක් අහලා හරි දේ තෝරාගන්න එක”
ආදම් උන්නෙ සර්පයා කියන දේ පිළිගන්න අකමැත්තෙන් වගේ.
“උඹ ආයෙත්.”
“ඔව්.”
“උඹට මොනවද ඕන?”
සර්පයා හිනා වුණා.
“මට?”
“ඔව්.”
“කිසිම දෙයක් නෑ.”
“එහෙනම් ඇයි මේ හැමදාම මෙතනට එන්නෙ?”
“මොකද” කියලා කතාව චුට්ටකට නැවැත්තුව සර්පයා ඊටපස්සෙ ඊව් දිහා බැලුවා. “කවුරුහරි පළවෙනි වතාවට හිතනවා.”
ආදම් ඉස්සරහට ආවා.
“උඹට ඕන ඊව්ව වෙනස් කරන්න.”
“නෑ.”
“උඹ ඊව්ගෙ ඔළුව අවුල් කරනවා.”
“නෑ.”
“එහෙනම්?”
“මම කරන්නේ එක දෙයක් විතරයි.”
“මොකද්ද?”
“ඊව්ගෙ ප්‍රශ්න මග නොඇර ඉන්න එක.”
ඊව් දෙන්නා දිහාම බලාගෙන හිටියා.
“ඔයාලා දෙන්නාම මං වෙනුවෙන් කතා කරනවා ඒක ඇත්ත ඒත් මගෙන් කවුරුවත් අහන්නෙ නෑ මට මොකද්ද ඕන කියලා.”
අන්න ඒ වෙලාවෙ තමයි ආදම් වගේම සර්පයත්, මුළු උයනත් නිහඬ වුණේ. හරියට හුස්ම ගන්න එක නතර කරා වගේ.
“මං දන්නවා ඔයාට හොඳ දේ මොකද්ද කියලා.” ආදම් හෙමින් කිව්වාම ඊව් එයා දිහා බැලුවා.
“ඇත්තද?”
“ඔව්.”
“මට වඩා හොඳට ඔයා දන්නවද මට මොනවද හොඳ කියලා?”
ඒකට ආදම් උත්තර දුන්නෙ නැහැ. ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් එයා ගාව තිබුණෙ නෑ. අන්න ඒ නිසාම ඊව් ඊළඟට සර්පයා දිහා බැලුවා.
“ඔයා?”
“මමත් දන්නෙ නෑ.”
“එහෙනම් ඇයි මට උදව් කරන්නෙ?”
“මම උදව් කරන්නෙ නෑ.”
“එහෙනම්?”
“මම ඔයාට තීරණයක් ගන්න එක ගැන කියලා දෙන්නයි හදන්නෙ.”
ඊව් ඇස් දෙක පියාගත්තා. එක පැත්තක ආදම්. අනිත් පැත්තේ සර්පයා. එක්කෙනෙක් කියන්නෙ”මාව විශ්වාස කරන්න.” කියලා. අනිත් කෙනා කියන්නෙ “ඔයාව විශ්වාස කරන්න.” කියලා. ඒ දෙකේ වෙනස ඊව්ට පළවෙනි වතාවට තේරුණේ එවෙලෙ. ඊව් හෙමින් ගඟ ළඟට ඇවිදගෙන ගියා. ඊට පස්සෙ අත දික් කරා. පලතුරක් කඩාගත්ත. ආදම්ට දැනුණෙ තමන්ගෙ හුස්ම හිරවෙනවා වගේ. ඒත් සර්පයා නිහඬවම බලාගෙන උන්නා. “ඊව්” කියලා ආදම් උත්සහ කරේ ඊව් කරන්න යන දෙයින් එයාව වළක්වන්න.
“එපා.”
ඊව් හැරිලා බැලුවා.
“ඇයි?”
“මොකද මම කියන හන්දා.”
“ඒක තමයි, මං මේක කන්නෙ දෙවියන්ට විරුද්ධ වෙන්න නෙවෙයි. ඔයාට විරුද්ධ වෙන්නත් නෙවෙයි. මං මේක කන්නෙ පළවෙනි වතාවට මං හිතුව දෙයක් කරලා බලන්න.”
එහෙම කිව්ව ඊව් පලතුරෙන් පුංචි කෑල්ලක් කෑවා. ඊව් පලතුර කනවා දැකලා ආදම්ටත් පලතුර නොකා ඉන්න පුළුවන් වුණේ නෑ. ඒ නිසාම එයත් පලතුරෙන් කොටසක් කෑවා. ඒ එක්කම අහස දෙදරා ගියා. උයනේ හුළඟ වෙනස් වුණා. පළවෙනි වතාවට බය කියන දේ උපන්නා. ලැජ්ජාව උපන්නා. වේදනාව උපන්නා.
ඒ එක්කම තවත් දෙයක් උපන්නා. ඒ තමයි තෝරාගැනීම.
පළවෙනි වතාවට ඊව්ට තමන් නිරුවත් කියලා දැනුණා. ආදම් ටක් ගාලා කොළ කඩාගෙන තමන්ව වහගත්තා. දෙන්නම ගස් අතරට දුවලා හැංගුණා. ඒ වෙලාවේ උයන පුරාම එක හඬක් රැව් දුන්නා.
“ආදම්, ඊව්” හරියට තාත්තා කෙනෙක් තමන්ගෙ ළමයි දෙන්නව හොයනවා වගේ දෙවියන් ගහ යටට ඇවිදගෙන ආවා. ගහේ එල්ලුණු පලතුර දිහා බැලුවා. ඊට පස්සේ දෙන්නා දිහා බැලුවා.
“ඔයාලා පලතුර කෑවා නේද?”
ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හැමදේම දැනගෙන කියපු වාක්‍යයක් කියලා තේරිච්ච ගමන් ආදම් ඉක්මනින් කිව්වා. “ඊව් තමයි මට ඒක කන්න දුන්නෙ” කියලා. ඊව් පුදුම වුණා ආදම් එහෙම කිව්වම. මොකද කිසිම මොහොතක තමන් ආදම්ට බල කිරීමක් කරේ නැති බව ඊව් දැනගෙන උන්න හන්දා.
“ඒත් ඒක කාගෙ තීරණයක්ද?” දෙවියන් හෙමින් ඇහුවා.
ආදම් නිහඬ වුණා. ඊව් ඉස්සරහට ආවා.
“මගේ.”
“ඇයි?”
“මට දැනගන්න ඕන වුණා.”
“ඉතින් දැනගත්තද?”
ඊව් වට පිට බැලුවා. දැන් ඇයට පේනවා. බය, ලැජ්ජාව, දුක, ආදම්ගේ ඇස්වල තියෙන සැකය, තමන්ගෙ හිතේ තියෙන බර. ඒ හැමදේම පළවෙනි වතාවට ඊව් දැක්කා.
” මේ දේවලුත් එක්ක ඔයා හිතනවද මම මේ ගහ මෙතන හිටෙව්වෙ වැරදීමකින් කියලා?” දෙවියන් අහද්දි ඊව් ආයෙ පාරක් අලුත් ඇහැකින් ගහ දිහා බැලුවා.
“නෑ.”
“එහෙනම් ඇයි කියලා හිතනවද?”
ඒකට දෙන්න උත්තරයක් ඊව්ට තිබුණේ නැහැ.
“මට ඕන නම් මං එපා කියන කිසිම දෙයක් නොකරන ජීවියො හදන්න තිබුණා.එහෙනම් ඇයි මං ඔයාලා වගේ මිනිස්සුන්ව හැදුවෙ කියලා ඔයා හිතනවා ඇති නේද?මොකද මනුස්සකම කියන්නෙ හැමදේටම කීකරුවීම නෙවෙයි. මනුස්සකම කියන්නෙ වඩා හොඳ දේ, හරි දේ තෝරාගැනීම.”
“ඒත් අපි කළේ වරදක්.” ඊව් කිව්වා.
“ඔව්.”
“එහෙනම්?”
“වැරදි කරන්න පුළුවන් කෙනෙක්ට විතරයි හරි දේ තෝරගන්නත් පුළුවන්.”
“එහෙනම් අපිව උයනෙන් එළවන්නෙ ඇයි?”
“මොකද මේ උයන තීරණ ගන්න කලින් ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් හදපු තැනක්. ඔයාලා දැන් තීරණවල ප්‍රතිඵල එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා යන්න.”
ඒ වචනය ඇතුළේ තරහක් තිබුණේ නැහැ.
“බය වෙන්න, වැටෙන්න, වැරදි කරන්න, ආදරේ කරන්න, පසුතැවෙන්න, ආයෙ නැගිටින්න එහෙම තමයි මනුස්සයෙක් වෙන්නෙ.”
ඊව් ආපහු එක පාරක් ගහ දිහා බැලුවා. එදා තමයි එයාට තේරුණේ තහනම් වෙලා තිබුණේ පලතුර නෙවෙයි. තහනම් කරන්න බැරි දේ තමයි නිදහස.ගෙඩිය කෑවේ ඒ නිදහස දැනගන්න. හැබැයි ඒ නිදහසට මිලක් තිබුණා. හැබැයි ඒ නිහඬකම ඇතුළෙ ඊව්ට එකපාරටම තේරුණා ඒ ගෙඩිය තමන්ට හොඳ නරක තේරුම් කරලා දුන්නා කියන එක.
ඒත් මේ මොහොතේ ආදම් කරේ වෙන දෙයක්. තමන්ට බේරෙන්නෙ තමන්ගේ තීරණය තමන්ගේ අතින් වෙන කෙනෙක්ගේ කර උඩට පටවපු එක. එතනින් පස්සෙ දෙවියන් මොකුත් කිව්වෙ නැහැ. උන්වහන්සේ දෙන්නා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඊට පස්සෙ උයනේ දොරටුව දිහා අත දික් කළා.
“යන්න.”
දෙන්නම හෙමින් ඇවිදගෙන ගියා. පිටිපස්සෙන් උයනේ දොරටුව වැහුණා. ගොඩක් දුර ඇවිදලා ඊව් නැවතුණා. ආදමුත් නැවතුණා. ඊව් ආදම් දිහා හැරිලා බැලුවා.
“මට එක දෙයක් දැනගන්න ඕන. ඔයාට ඇත්තටම හිතෙනවද මම තමයි ඔයාට ඒ ගෙඩිය කැව්වෙ කියලා?”
ආදම්ගේ තොල් හෙලවුණා. ඒත් වචනයක් පිට වුණේ නැහැ. ඊව් හෙමින් හිනා වුණා. ඒ හිනාවෙ තරහක් තිබුණේ නැහැ. තිබුණෙ දුකක් විතරයි.
“අපි ගෙඩිය කාපු මොහොතේ. අපි මනුස්සයෝ වුණා.හැබැයි ඔයා ඔයාගේ තීරණේ බර මගේ කරේ තිබ්බ තප්පරේ අපේ කතාව ඉවර වුණා. අලුත් කතාවක් පටන් ගත්තා.
ඒ තමයි තමන් කරපු වැරැද්දක් වෙන මනුස්සයෙක්ගෙ පිට පටවලා බේරෙන්න හදන මනුස්සයන්ගේ කතාව.”











