නොවෙනස්

ඩිලන් රූගත කිරීම් ඉවර වෙලා තමන්ගේ ගමන් මල්ලත් අරගෙන වාහනය දිහාට යන්න හැරුනේ සෞම්‍යාට කෙටි පණිවිඩයක් යවන අතරේ. රෑ කෑමකට එළියට යන්න ඩිලන් සෞම්‍යාට පොරොන්දු වුණේ මීට දවස් දෙකකට කලින්.රූගත කිරීම් වලට සහභාගි වෙලා මොනතරම් මහන්සි වුණත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි ඩිලන්ට උවමනා වුණේ.

” ඩිලන් “

ඩිලන් වාහනයට නඟින්න හදනකොටම ඔහු ඉන්න තැනට දුවගෙන ආවේ මිෂෙල්. මිෂෙල් කියන්නේ ඩිලන් ඒ වෙනකොට වැඩ කරමින් ඉන්න ටෙලි නාට්‍යයේ සහාය නිළිය.

” මං ඔයාට කතා කරන්න හිටියට වෙලාවක් හම්බුනේ නැහැ.අපි කොෆී එකකට යමුද? ඔයාට කියන්න දෙයක් තියෙනවා”

මිෂෙල් කිව්වේ බොරු හුරතලයක් මවාගන්න ගමන්.

” වැදගත් දෙයක්ද මිෂෙල් ? ” 

” වැදගත්ද නැද්ද කියලා බලන්න ඔයා මට ඒක කියන්න දෙන්නකෝ ඩිලන් ” 

ඩිලන් ආපහු අත් ඔරලෝසුව දිහා බැලුවා. සෞම්‍යා තමා වෙනුවෙන් විනාඩියක්වත් නාස්ති කරනවා දකින්න ඩිලන්ට වුවමනා වුණේ නැහැ.

” අනේ සොරි මිෂෙල්.මම දැනටමත් පරක්කුයි. මට ඩිනර් එකකට එළියට යන්න තියෙනවා “

මිෂෙල් තත්පර කීපයක් බලාගෙන හිටියා.

” මේක ඩිනර් අවුට් එකකට වඩා නම් ටිකක් වැදගත් දෙයක් ඩිලන් “

” එහෙනම් අපි හෙට කතා කරමු මිෂෙල්. එහෙම නැත්නම් ඔයා මට මෙසේජ් එකක් දාන්න ” 

ඩිලන් වාහනයට නඟින්න හදනකොටම මිෂල් ආපහු ඔහුගේ අතින් අල්ලලා නතර කරා.

” අපේ තාත්ති කැමතියි ඔයාවයි මාවයි දාලා ෆිල්ම් එකක් කරන්න “

ඩිලන් මේ සහභාගී වෙන්නේ ඔහුගේ දෙවැනි ටෙලිනාට්‍යයට. ඒ ටෙලි නාට්‍ය දෙකෙන්ම ඔහු රටේ ජනප්‍රියම තරුවක් බවට පත්වෙලා හිටියා. ඒකට මුල් අඩිතාලම දැම්මේ ඩිලන්ගේ දෙමව්පියන්. ඔවුන් දෙන්නම කලා ක්ෂේත්‍රයේ වැඩිහිටි පරම්පරාවේ කලාකරුවෝ නිසා ඩිලන්ට ක්ෂේත්‍රයට පය තියෙන එක ඒ තරම් අසීරු වුණේ නැහැ. ඒත් මිෂෙල් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ ඇගේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වීමත් , නිෂ්පාදන වලට වියදම් කරන්න තරම් ඔහු අතේ මුදල් තිබුන නිසායි.

” ඒක හොඳ ආරංචියක් මිෂෙල්. අපි ඔය ගැන හෙමින් සැරේ කතා කරමු “

ඩිලන් තවත් මොහොතක්වත් පමා නොවී වාහනයට නැඟලා පිටත් වුණා. ඔහුට පෙම්වතියක් ඉන්නවා කියන එක ගොඩක් අය දැනගෙන හිටියත් ඒ කවුද කියන්න කවුරුත් දැනගෙන හිටියේ නැහැ. තමන් එක්ක එකම ටෙලි නාට්‍යයේ තමන්ගේ පෙම්වතා විදිහට රඟපාන ඩිලන්ව ඇත්තටම තමන්ගේ පෙම්වතා කරගන්නයි මිෂෙල් හීන දැක්කේ. ඒ නිසාම ඔහු එක්ක තවත් කාලය ගත කරන බලාපොරොත්තුවෙන් චිත්‍රපටයක නිෂ්පාදන කටයුත්ත කරන්න මිෂෙල් ඇගේ තාත්තාව  කැමති කරවගෙන තිබුණා. තමන්ගේ එකම දුවගේ ඉල්ලීම සහ ආසාව අහක දාන්න බැරි නිසාම වගේම මිෂෙල් ඩිලන් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න බව දන්න නිසාත් මිෂෙල්ගේ තාත්තා දෙවරක් නොහිතම දියණියගේ ඉල්ලීමට එකඟ උනා.

මිෂෙල්ගේ යෝජනාව ගැන ඩිලන් එක පාරටම සෞම්‍ය එක්ක කතා කරන්න හිතුවෙ නෑ. බොහොම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක් වෙච්ච සෞම්‍යා ඩිලන්ගෙ පෙම්වතිය උනේ උසස් පෙළ කරන කාලයේදීයි. ඩිලන්ගෙ ජීවිතයේ හැම හොඳ කාලයකදී වගේම නරක කාල වලදිත් සෞම්‍යා හෙවනැල්ලක් වගේ ඔහු පසු පසින්ම හිටියා.ඒ නිසා පහු කාලීනව මොනතරම් කාර්ය බහුල වුණත් ඇය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඩිලන් අමතක කළේ නැහැ.

මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තියලා ගෙදර ආපු ඩිලන් ඒ වෙද්දී උත්සවයකට සහභාගී වෙලා ගෙදර ඇවිල්ලා හිටපු දෙමව්පියන්ට මිෂෙල්ගේ යෝජනාව ගැන කිව්වා.

” කොච්චර හොඳ චාන්ස් එකක්ද පුතා?මේ කාලේ ප්‍රඩියුසර් කෙනෙක් හොයා ගන්න එක ලේසි නැහැ. අනික මිෂෙල් කියන්නෙත් ඔයා නොදන්න කෙනෙක් නෙමෙයිනේ . මේ වෙද්දි ඔය දෙන්න තමයි ලංකාවේ ෆේමස්ම කපල් එක “

තමන්ගේ පුතා ගෙනාපු ආරංචියට ඩිලන්ගෙ තාත්තා හුඟක් සතුටු වුණා. ඒත් ඩිලන්ගේ මූණෙන් කිසිම සතුටක් පේන්න තිබුනෙ නෑ.

” ඔයා මේ චාන්ස් එක ගන්න එච්චර කැමැත්තක් නැද්ද පුතා ? “

ඩිලන්ගේ ඕනම පුංචි වෙනසක් වටහා ගන්න ඔහුගේ අම්මා ඇහුවේ තවත් විනාඩි කීපයකට පස්සේ.

” මං තව හිතන්න ඕනේ අම්මා. අනිත් එක මට හිතෙනවා මිෂෙල් මට මේ චාන්ස් එක ගෙනාවේ නිකන් වෙන්න බෑ කියලා “

” ඒ කිව්වේ? ” 

” මිෂෙල් තැන් තැන්වල මං ගැන කියන කතා මට ආරංචි වෙනවා අම්මා. එයාට ඕනේ ඩ්‍රාමා වලට විතරක් නෙමේ ඇත්තටමත් මාව බෝයිෆ්‍රෙන්ඩ්  කරගන්න “

ඩිලන් එහෙම කිව්වට පස්සේ ඔහුගේ තාත්තා හිනා වෙවී ඔහු ලඟට ආවා.

” ඉතින් මොකද ? ඒ ළමයා නරක ළමයෙක් නෙමෙයිනේ. තාත්තා හොඳ බිස්නස්මන් කෙනෙක්.හොඳ පවුලක හොඳ ළමයෙක් නේ”

” බලමුකො තාත්තා “

ඩිලන් ඒ කතාව එතනින් නතර කරලා කාමරයට ආවා. පුංචි කාලයේ ඉඳලම ඩිලන්ගේ ජීවිතය ගෙවුනේ කලාව එක්ක. රටේ මිනිස්සු ආදරය කරන කලා තරු ගොඩක් හුඟක් දවසට ඩිලන්ගෙ ගෙදරට එන එක ඩිලන්ට පුංචි කාලෙ ඉඳලම සාමාන්‍ය දෙයක් වුණා. ටෙලි නාට්‍ය දෙකක් විතරක් කරලා ඩිලන් රටේ ජනප්‍රියම තරුවක් වෙනකොට ගෑණු ළමයින්ගේ ආකර්ෂණය ඩිලන්ට නොඅඩුවම ලැබුණා.ඒත් ඒ කිසි තැනකදි සෞම්‍යා වෙනුවෙන් වෙන් කරලා තියෙන ඩිලන්ගේ හිත කිසිම විදියකින් හෙල්ලුනේ නැහැ.

මේ එළඹිලා තියෙන්නේ සෞම්‍යා ගැන දෙමාපියන්ට කියලා ජීවිතය පිළිවෙලක් කරගන්න ඕනේ කාලේ කියලා ඒ වෙනකොට අවුරුදු විසි පහ ලබලා හිටපු ඩිලන්ට වැටහෙන්න පටන් ගත්තා. ඉදිරියේදී මූණ දෙන්න වෙන හුඟක් ප්‍රශ්නවලට පිළිතුර ඒක කියලා හිතපු ඩිලන් ඊළඟ දවසේ උදේ කෑම මේසයේදී සෞම්‍යා ගැන දෙමව්පියන්ට කිව්වා.

” ඔයාට තාම අවුරුදු 25යි නේ.ඒ ලෙවල් කාලෙදි ගන්න තීරණ හරියටම හරි යන ඒවා නෙමෙයි කියලා තව අවුරුදු දෙක තුනකින් ඔයාට තේරෙයි පුතා. අනිත් එක අපේ පවුලේ ඉන්න හැමෝම මේ රටම දන්න කියන අය. ඔයා උනත් ඒ වගේ පවුලකින් කසාදයක් කරගන්නවා නම් තමයි අපි කැමති ” 

ඩිලන්ගේ තාත්තා වචන ටික කියලා ඉවර වෙනවත් එක්කම ඔහුගේ දුරකථනය නාද වුණා.ඔහු ඒ ඇමතුමත් එක්ක කෑම මේසයෙන් නැගිටලා ගියා. ගෙදර හුඟක් තීරණ වලදී අවසන් තීරණය ගන්නේ ඔහු නිසා ඩිලන්ගේ අම්මා ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ.

” මිෂෙල්ගේ තාත්තා කතා කළේ. එයා දැනටමත් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකුත් හොයාගෙන. එයා ලොකු ගානක් ඔය ෆිල්ම් එකට වියදම් කරන්නත් ලෑස්තියි “

ඩිලන්ගේ තාත්තා ආපහු කෑම මේසෙන් වාඩි වුණා. 

” ඒ වගේම එයා තව දෙයකුත් කිව්වා “

ඒ මොන වගේ දෙයක්ද කියලා ඩිලන් ඒ වෙනකොටත් අනුමාන කරලයි තිබුණේ.

” එයා මිෂෙල්ව ඔයාට propose කරනවා.මං හිතනවා ඒකේ වැරැද්දක් නෑ කියලා. මොකද මිෂෙල්ගේ තාත්තා මේ ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් වලට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ෆීල්ඩ් එකේ එයාව නොදන්න කෙනෙකුත් නෑනේ. මටත් හිතෙනවා පුතා ඔයයි මිෂෙලුයි හොඳට ගැලපෙනවා කියලා. අනික ඔයාට උනත් අපි හම්බ කරලා දීපු දේවල් තියෙනවනේ”

ඩිලන්ට මේ කතාව අතිශය නීරස එකක් වුණා.දෙමාපියන් විදිහට තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන එකේ වරදක් නැති උනත් තමන්ට ඇත්තටම ජීවත් වෙන්න පහසු කොහොමද කියල තීරණය කරන්න දරුවන්ට අයිතියක් තියෙනවා කියලා ඩිලන් හිතුවා.

” තාත්තා. සෞම්‍යා කියන්නේ අපේ වගේ පවුලක ළමයෙක් නෙමෙයි තමයි. හැබැයි මම දන්නවා මට ජීවත් වෙන්න පහසුම කෙනා සෞම්‍යා කියලා. අපි කවද හරි කසාද බඳින්න ඕනේ අපේ සල්ලි වලටවත්, අපිට තියෙන දේවල් වලටත් ආදරේ කරන කෙනෙක්ව නෙවෙයි. අපිට ආදරය කරන කෙනෙක්ව.වෙනස් වෙන්නෙ නැතුව අපිත් එක්ක හැම කාලෙදිම ඉන්න කෙනෙක්ව.සල්ලි නම් හම්බ කරගන්න පුළුවන් තාත්තා ඕන තරම්. ඒත් අපිට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි හොයාගන්න බැරි ” 

තමන්ගේ එකම පුතා ජීවිතය ගැන මේ තරම් පරිණත විදිහට හිතනවා කියලා ටිකක් වත් හිතලා නොතිබුණු ඩිලන්ගේ අම්මයි තාත්තයි මූනෙන් මූණ බලා ගත්තා.

” අපිට නාට්‍යවල ඕන තරම් රඟපාන්න පුළුවන්.ඒත් ඇත්ත ජීවිතේ එහෙම බෑ තාත්තා.අපි ජීවත් වෙන්න ඕනේ පොළවේ පය ගහලා. ඒ හින්දා සෞම්‍යාට මම දීලා තියෙන පොරොන්දුව කවදාවත් මට කඩන්න බැහැ “

එහෙම කියපු ඩිලන් කෑම මේසයෙන් නැගිට්ටා.

More Stories

Don't Miss


Latest Articles