ලොකු හීන තිබ්බට ඔයත් කම්මැලිද? ඒකට හේතුව දන්නවද?

ඔයාට හිතෙනවද, “මම මට කරන්න ඕනේ දේවල් ඔක්කොම දන්නවා ඒත් වැඩේ පටන් ගන්න බැරි ඇයි?” කියලා?

ලොකු හීන තියෙනවා. අනාගතේ ගැන ලස්සන සැලසුම් තියෙනවා. දවසක සාර්ථක වෙන විදිහ ඔයාගේ ඔළුවේ හොඳටම මැවිලා පේනවා. හැබැයි වැඩේට අත ගහන්න යනකොට මොකක්දෝ දෙයක් ඔයාව නවත්තනවා.

“හෙට ඉඳන් පටන් ගන්නවා.”
“තව ටිකක් මෝටිවේෂන් ආවම කරනවා.”
“මේක හරියටම ප්ලෑන් කරලා පටන් ගන්න ඕනේ.”

ඔය වගේ හේතු කිය කියා දවස්  ගෙවිලා යනවා. මාස ගණන් ගෙවිලා යනවා. සමහර වෙලාවට අවුරුදුත් ගත වෙලා යනවා.

අන්තිමට රෑට නිදාගන්න යද්දී හිතෙන්නේ එකම දේයි.

“මම අදත් වැඩක් කළේ නෑ නේද?”

හැබැයි මෙතන තියෙන හොඳම ආරංචිය තමයි මේක ඔයා කම්මැලි කෙනෙක් නිසා වෙන දෙයක් නෙවෙයි.

මේක කම්මැලිකමක් නෙවෙයි

ගොඩක් අය හිතන්නේ Procrastination කියන්නේ කම්මැලිකම කියලා.

ඒත් Psychology වලට අනුව මේක ඊට වඩා ගැඹුරු දෙයක්.

අපේ මොළේ හදලා තියෙන්නේ අපිව අපහසුතාවයෙන් බේරගන්න. ඒක හැමවෙලේම ලේසිම, ආරක්ෂිතම දේ තෝරන්න කැමතියි.

ඒ නිසා අමාරු වැඩක් කරන්න යනකොට මොළේ කියනවා,

“අද නෙවෙයි හෙට කරමු.”

ඒ වෙනුවට ෆෝන් එක අතට ගන්නවා. YouTube  Video එකක් බලනවා. TikTok එකේ ටිකක් ඉන්නවා. Facebook එක ස්ක්‍රෝල් කරනවා.

ඒවා කරනකොට මොළේ Dopamine කියන රසායනය නිකුත් කරනවා. ඒ නිසා පොඩි සතුටක් දැනෙනවා.

ඉතින් මොළේ ඉගෙන ගන්නවා “වැඩේ මඟහැරියම මට හොඳක් දැනෙනවා.” කියල හිතන්න.

ඔන්න ඔතනින් තමයි මේ චක්‍රය පටන් ගන්නේ.

හැමදාම වෙන්නේ එකම දේ

උදේ නැගිටිනවා. අද නම් අනිවාර්යයෙන්ම වැඩේ පටන් ගන්නවා කියලා හිතනවා.

ඒත් “විනාඩි පහක් විතරයි” කියලා ෆෝන් එක බලනවා. විනාඩි පහ පැයක් වෙනවා.

ඊට පස්සේ,

“දවල් කෑමෙන් පස්සේ පටන් ගන්නම්.”

කෑම කාලා,

“දැන් ටිකක් මහන්සියි. හෙට උදේම පටන් ගන්නම්.”

ඔහොම හෙට… හෙට… කියද්දි කාලය යනවා.

රෑට තමන් ගැනම කලකිරෙනවා. ආයෙත් හෙට වෙනස් වෙනවා කියලා හිතනවා. ඒත් හෙට ආවම ආයෙත් ඒකම වෙනවා. ඔයාගේ ඇතුළේ දෙන්නෙක් ඉන්නවා

එක පැත්තක් කියනවා,

“මට ලොකු දෙයක් කරන්න ඕනේ.”

අනිත් පැත්ත කියනවා,

“අපිට මේක අමාරුයි. අසාර්ථක වුණොත්?”

මේ දෙන්නා අතරේ හැමදාම සටනක් යනවා. අවාසනාවකට ගොඩක් වෙලාවට දිනන්නේ සැප පහසුව හොයන පැත්ත. ඒක ඔයා දුර්වල නිසා නෙවෙයි වෙන්නෙ. ඒක මිනිස් මොළේ වැඩ කරන විදිහ. තවත් ලොකු හේතුවක් තියෙනවා.

ඒ තමයි Perfectionism. ගොඩක් අය හිතන්නේ Perfectionism කියන්නේ හොඳ ගුණයක් කියලා.ඒත් ඇත්තටම ඒක ගොඩක් වෙලාවට කරදර වෙන වැඩක්.

“වැඩේ හොඳටම කරන්න බැරි නම් පටන් ගන්නේ නැහැ.”

“තව ටිකක් ලෑස්ති වෙලා පටන් ගන්නම්.”

“Perfect දවසක් ආවම කරනවා.”

හැබැයි Perfect දවසක් කියලා එකක් කවදාවත් එන්නේ නෑ. අන්තිමට වෙන්නේ වැඩේ පටන් ගන්නේවත් නැති එක. ඇත්තටම Perfectionism කියන්නේ අසාර්ථක වෙයි කියන බය වගේ දෙයක්.

සාර්ථක මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද?

ගොඩක් අය හිතනවා සාර්ථක අයට Motivation වැඩියි කියලා.

නෑ. එයාලටත් කම්මැලි දවස් තියෙනවා. කරන්න හිතෙන්නේ නැති දවස් තියෙනවා.

වෙනස තියෙන්නේ එයාලා හිතෙනකන් බලන් ඉන්නේ නැහැ. කරන්න හිතෙන්නේ නැති දවසෙත් කරනවා. මොකද එයාලා දන්නවා Motivation එනවා. යනවා.

හැබැයි Discipline තිබුණොත් ගමන නවතින්නේ නෑ.

පොඩියෙන් පටන් ගන්න

ගොඩක් අය එක රෑකින් ජීවිතේ වෙනස් කරන්න හදනවා.

ඒක තමයි වැරැද්ද. ඒ වෙනුවට අද කරන්න පුළුවන් එක පොඩි දෙයක් තෝරගන්න.

විනාඩි 15ක් වැඩ කරන එක. පිටුවක් ලියන එක. පොතේ පිටු දෙකක් කියවන එක. ජිම් එකට ගිහින් විනාඩි 20ක් ඉන්න එක.

වැඩේ ලොකුද පොඩිද කියන එක වැදගත් නෑ.

වැදගත් වෙන්නේ අද කරන එක. හෙටත් කරන එක. අනිද්දත් කරන එක.

Consistency තමයි ජීවිත වෙනස් කරන්නේ.

ඔයාගේ පරිසරයත් වෙනස් කරන්න

“මට Willpower මදි.”

ඇත්තටම ගොඩක් වෙලාවට ප්‍රශ්නේ Willpower එක නෙවෙයි. ප්‍රශ්නේ Environment එක. ෆෝන් එක මේසෙ උඩ තියෙනවා නම් ඔයා ඒක අතට ගන්නවා. Notifications එනවා නම් අවධානය කැඩෙනවා. වැඩ කරන තැන අවුල් නම් ඔළුවත් අවුල් වෙනවා.

ඒ නිසා…

  • වැඩ කරන වෙලාවට Notifications Off කරන්න.
  • ෆෝන් එක වෙන කාමරයකින් තියන්න.
  • වැඩ කරන මේසය පිරිසිදුව තියාගන්න.
  • දවසේ එකම වෙලාවකට වැඩ කරන පුරුද්දක් හදාගන්න.

සාර්ථක මිනිස්සුන්ට සුපිරි Willpower එකක් නෑ. එයාලා හදලා තියෙන්නේ හොඳ System එකක්. තව එක වැරැද්දක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට Productivity ගැන වීඩියෝ බලනවා. Success ගැන පොත් කියවනවා. Motivation Podcasts අහනවා.

ඒවා බලලා හිතෙනවා “අදත් මම ජීවිතේට දෙයක් කළා.”

ඒත් ඇත්තටම ඒකත් තවත් Procrastination එකක් වෙන්න පුළුවන්.

මොකද ඉගෙන ගන්න එකයි කරලා බලන එකයි දෙකක්.

ඉතින් තව තොරතුරු හොයන එක නවත්තලා, දැනට දන්න දේ කරන්න පටන් ගන්න.

වැරදුණොත්?

වැරදෙයි.

අතහැරෙයි.

දවසක් මිස් වෙයි.

ඒක සාමාන්‍යයි.

සාර්ථක මිනිස්සුන්ගෙ වෙනස තියෙන්නේ එක නරක දවසක් නිසා මුළු සතියම නාස්ති කරගන්නේ නැති එක. වැටුණා නම් ආයෙත් නැගිටිනවා. ආයෙත් පටන් ගන්නවා.

ඒ නිසා තමන්ටම ටිකක් දයාවන්ත වෙන්න.

හැමදාම තමන්ටම බැන බැන ඉන්න එකෙන් ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා.

ඒ වෙනුවට හිතන්න “අද මට වැරදුණා.” “හරි… හෙට ආයෙත් උත්සාහ කරමු.”

ඔයාගේ හොඳම යාළුවෙක් වැරදුණා නම් ඔයා එයාට කතා කරන විදිහටම, ඔයා ඔයාටත් කතා කරන්න.

Self-compassion කියන්නේ අතහැරලා දාන එක නෙවෙයි.

ඒ කියන්නේ වැරදුණත් ආයෙත් උත්සාහ කරන්න තමන්ටම අවසර දෙන එක.

මතක තියාගන්න ඔයා කම්මැලි කෙනෙක් නෙවෙයි.

ඔයා හිරවෙලා ඉන්නේ රටාවක. ඒ රටාව වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනස එක දවසකින් වෙන්නේ නෑ. එක පොඩි පියවරකින් පටන් ගන්න. අද එක වැඩක් කරන්න. හෙට තවත් එකක් කරන්න. Motivation එනකන් බලන් ඉන්න එපා. ක්‍රියාවෙන් Motivation එක හදාගන්න. මොකද අන්තිමට ජීවිත වෙනස් කරන්නේ ලොකු තීරණ නෙවෙයි. හැමදාම නැවත නැවත කරන පුංචි ක්‍රියාවන්.

ඉතින් තව වීඩියෝ එකක් බලන්න කලින් ෆෝන් එක පැත්තකින් තියන්න.

ඔයා මෙච්චර කල් හිත හිතා හිටපු වැඩේ දැන්ම පටන් ගන්න.

Related Articles

Don't Miss


Latest Articles