තනි අතේ අත්පුඩිය

ලිප උඩ තිබ්බ තාච්චියෙන් තෙල් ටික රත්වෙලා දුම දාද්දි මාධවී කරපිංචා ඉත්තක් එකතු කරා. කුස්සිය පුරා පැතිරෙච්ච ඒ සුවඳත් එක්කම පිටිපස්සෙන් ඇහිච්ච අඩි සද්දෙන් මාධවීට තේරුණා ඒ එන්නේ කවුද කියලා.

“අදත් වෙනම උයනවද?”

නැන්දම්මාගේ කටහඬේ තිබ්බේ මහ අමුතු ගින්දරක් කියන එක මාධවීට  නොතේරුණා නෙවෙයි. ඒ වුණාට මාධවී ආපසු හැරුණේ නැහැ. බබාට කිරට හදලා දෙන්න කැරට් අලයක් චූටි කෑලිවලට කපන ගමන්ම හිමීට කිව්වා,

“බබාට ටිකක් වෙනම හදන්න හිතුණා අම්මෙ.”

“බබාටද නැත්තං ඔයාටද?”

ඒ එක්කම සාලෙ පත්තරයක් බල බල හිටපු නෑනාගේ  ඒ කියන්නේ භානුකගේ කසාද බැන්දෙ නැති අක්කාගේ නෝණ්ඩි හිනා හඬ කුස්සියට ඇහුණා.

“අපි උයන කෑම කන්න බැරි නම් මොකටද මං අහන්නේ මේ ගෙදර ඉන්නේ? අනේ මල්ලි නම් කනවා අපි හදනේවා. ඔය කසාදෙ කරගන්න කලින් කොහොමත් මල්ලි කෑවෙ අපි හදන ඒවනෙ. මල පිස්සුනෙ මේවා” කියලා  අක්කා සාලෙ ඉඳන්ම සද්දෙ දැම්මා.ඒත් මාධවී මොකුත් කිව්වේ නැහැ. අවුරුදු පහක් තිස්සේ අහපු එකම කතාවට ආයෙත් අලුතින් උත්තර දෙන්න දෙයක් මාධවීට තිබුණෙත් නැහැ.

“අපේ පුතාගේ සල්ලි කනවා”

 “දවස ගානේ වෙනම උයනවා”

“චෙෆ් කෙනෙක් කියලනෙ හිතන් ඉන්නෙ”

මුලදි නම් මාධවී ඒ හැම එකකටම හේතු පැහැදිලි කරන්න ගියා. “අම්මේ, අපේ ගෙදර ටිකක් සැරට උයන්න පුරුදු වෙලා උන්නෙ” නැත්නම් “මං මගේ සල්ලිනුත් බඩු ගේනවනේ අම්මේ” කියලා. ඒත් ඒ හැම පැහැදිලි කිරීමක්ම අන්තිමට ඉවර වුණේ තමන්ම වැරදිකාරි වෙන ලොකු රණ්ඩුවකින් කියලා තේරුං ගියයින් පස්සෙ ඉතින් කාලයක් යද්දි මාධවී කට වහගෙන, ඔළුව නමාගෙන ඉන්න පුරුදු වුණා.

ඒ වුණාට ඉතින් හැමදාම ඒක කරන්නත් බෑනෙ. තමන්ට තියෙන්නෙත් හිතක් නේද කියලා මාධවීට දහස් වෙනි වතාවටත් කල්පනා වුනා. එදා රෑ භානුක මහන්සි වෙලා වැඩ ඇරිලා ආවට පස්සේ, රෑ කෑම කාලා ඉවරවෙලා බෙඩ් රූම් එකට යන ගමන් මාධවී හිමීට ඔන්න ඔය කතාව ඇහුවෙ ඒ හන්දා.

“අපි වෙනම ගෙයක් බලමුද භානුක?”

භානුක තුවායෙන් ඇඟ තෙත මාත්තු කරන ගමන්, මහන්සි පාට ඇස් දෙකෙන් මාධවී දිහා බැලුවා. “ආයෙ පරණ කතාවම ඇදලා ගත්තද?”

“මට තවත් බෑ භානුක” මාධවීගේ කටහඬ වෙවුලුවා. තව ටිකකින් ඇස් දෙකේ කඳුළු පිරෙන විත්තිය මාධවී දැනගෙන උන්නා. හැමදාම වෙච්ච දේනෙ ඉතින් ඒක.

“අම්මා වයසයිනේ මාධවී. අනික අක්කත් ඉන්නවා. ඔය ටිකක් ඉවසන්නකෝ.”

“මං අවුරුදු පහක් ඉවසුවා භානුක.”

“අනේ මන්දා… අපි ගියොත් අම්මගෙ හිත රිදෙයි.”

මාධවී ටික වෙලාවක් සද්ද නැතුව භානුක දිහා බලන් හිටියා. ඊටපස්සේ හරිම හිමින්, ඒත් ටිකක් වචන තද කරලා ඇහුවා.

“එතකොට මට දුක හිතෙන එක?”

භානුකට ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නැති හන්දද, ඒකට උත්තර දෙන්න එයා අකමැති හන්දද මන්දා එයා ලයිට් එක නිවලා ඇඳට වැටුණා.

එදා රෑ බබාව නිදිකරවලා, කාමරයේ චූටි ලයිට් එක විතරක් පත්තු වෙවී තියෙද්දි මාධවී කන්නාඩිය ඉස්සරහට ගියා. කන්නාඩියෙන් පෙනුණු තමන්ගේම රූපේ දැකලා මාධවී ගැස්සුණා. ඇස් යට කළු වෙලා, තොල් වේලිලා, මූණේ තිබ්බ අහිංසක හිනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් මොකද්දෝ මහ මුස්පේන්තු පාටක් තමන්ගෙ මූණ අස්සෙ, ඇස් අස්සෙ හැංගිලා තියෙනවා කියන එක මාධවීට පෙනුණා.

“මං මෙච්චර වෙනස් වුණේ කවද්ද?” මාධවී තමන්ගෙන්ම ඇහුවෙ ඇත්තටම එයාට ඒ වෙනස දරාගන්න බැරිවෙච්ච හන්දා.

එතැනදී මාධවීට ලොකු ඇත්තක් තේරුණා. තමන් බය වුණේ නැන්දම්මාටවත්, නෑනාටවත් නෙවෙයි තමන්ටමයි කියන එක මාධවීට තේරුණේ එවෙලෙ. තවත් අවුරුදු පහක් මේ නපුරු, වටපිටාවෙ හිරවෙලා හිටියොත් තමන්ට මොනවා වෙයිද කියන බයත් මාධවීගෙ හිතට ආවා. 

අන්න ඒ හන්දයි මාධවී හිතුවෙ තමන්ට කවදාවත් ගන්න තරං හයියක් තියෙන තද තීරණයක් ගන්න. භානුක ආවත් කමක් නැහැ, නාවත් කමක් නැහැ. තමන්ටයි දරුවටයි සැනසිල්ලේ හුස්ම ගන්න පුළුවන් තැනකට තමන් යනවමයි කියලා මාධවී හිතුවෙ අන්න ඒ හන්දා.

සතියක් යන්න කලින් මාධවී පොඩි ගෙයක් හොයාගත්තා. ඒක මහගෙදරට ඇවිදගෙන යන්න පුළුවන් තරම් ලඟින් තිබ්බ ලස්සන, චූටි ගෙදරක්.

මාධවී තමන්ගේත් දරුවාගේත් ඇඳුම් බෑග්වලට දාලා අස් කරද්දි, නැන්දම්මා දොරකඩට වෙලා කටකොනකින් හිනාවුණා. 

“දවස් දෙකයි. ආයෙ මෙහෙට එන්නෙ නැද්ද කියලා බලන්නකො” කියලා නෑන නැන්දම්මට කියනවා ඇහුණට මොකෝ ඒවට මාධවී උත්තර දුන්නේ නැහැ. එයා සාලෙ හිටපු නැන්දම්මා දිහා බලලා හිමීට හිනා වුණා විතරයි. බබාව වඩාගෙන කිසි කතාවක් නැතුව මහගෙදර දොරෙන් එළියට බැස්සා.

භානුක මිදුලේ හිටගෙන අසරණව බලන් හිටියා.

“මාධවී”

 “මං යනවා භානුක.” 

“ප්ලීස් මාධවී පිස්සු නටන්න එපා.”

 “එන්න ඕන නම් ඔයත් එන්න.”

එච්චරයි. මාධවී භානුකට බල කළේ නැහැ. නැන්දම්මා එක්ක රණ්ඩු වුණේ නැහැ. අඬ අඬා කෑගැහුවෙත් නැහැ. කිසි සද්දයක් නැතුව ගෙයින් පිටවෙලා ගියා.

පළවෙනි දවස් දෙකේම භානුක හිටියේ මහගෙදර. අම්මාගෙයි අක්කාගෙයි කතා මැද භානුකට ලොකු තනිවීමක් දැනුණා. තුන්වෙනි දවසේ රෑ, මාධවී සාලෙ බබාට කතාවක් කිය කිය ඉද්දි කවුරුහරි දොරට තට්ටු කරන සද්දේ ඇහුණා. මාධවී ගිහින් දොර ඇරියා. දොරකඩ හිටියේ භානුක. එයාගේ අතේ බබා ආසම බිස්කට් පැකට් එක තිබ්බා. එයා මාධවීගේ ඇස් දිහා කෙළින් බලන්නෙ නැතුව හිමීට ඇහුවා.

“අද… මං මෙහෙ ඉන්නද?”

මාධවී කිසිම දෙයක් කිව්වේ නැහැ. එයා භානුකට ඇතුළට එන්න පුලුවන් වෙන්න  දොර හොඳට ඇරලා පැත්තකට වුණා. භානුක ඇතුළට ආවා. ඊටපස්සේ ටික ටික එයාගේ ඇඳුම්, අනිත් බඩු එහෙමත් ආවා. අන්තිමට භානුකත් ඒ පුංචි ගෙදරම නතර වුණා.

දැන් හැම ඉරිදාකම භානුක අම්මව බලන්න මහගෙදර යනවා. බබාවත් එක්කන් යනවා. නැන්දම්මා මුණුබුරා දැක්කාම තාමත් හරි ආදරෙන් කතා කරනවා. පරණ විදියේ නපුරු කතාත් ඉඳලා හිටලා කියනවා.

ඒත් දැන් ඒ කතා ඉවර වෙන්නේ මහගෙදර සීමාවෙන් විතරයි. 

ඒවා තමන්ගේ පුංචි ගෙදර ඇතුළට අරන් ඇවිත් සැනසීම නැති කරගන්න මාධවී දැන් ඉඩ දෙන්නේ නැහැ.

More Stories

Don't Miss


Latest Articles