ගීතාංජලී

0
46

හැඳින්වීම

“හැබෑටම දුවේ උඹට වෙන යන්න අහක් තිබ්බෙම නැද්ද? මේ කාත් කවුරුත් නොදන්න දීපංකරේක යන්න තීන්දු කොරගත්තෙ?

 උඹල අනෙ අම්මප ඉගෙන ගත්තට ඔව්ව මොන ලෝකෙ යනවද කියල මට නං නිච්චි නෑ.”

“අනේ අම්මෙ දැන් කී පාරක් කිව්වද එහේ ඉස්කෝල වල ලමයිටත් උගන්නන්න ගුරුවරු ඉන්න ඕන.එකයි මන් යන්නෙ.අම්ම හොඳහැටි දන්නව නෙව ටවුමෙ වෙලත් අපි කොයිතරම් මහන්සි උනාද කියල ඉගෙන ගන්න.අපිටත් ගුරුවරු උන්නෙ නෑ.එහෙව් එකේ ඒ ලමයින්ට කවුරු අකුරු සෑස්තරේ කියාලා දෙන්නද? අනික ඉංගිරීසි ගුරුවරු හරි හොරයි නෙව ඔය වගේ ඉස්කෝල වල උගන්නන යන්න. ඉන්නෙත් අතලොස්සයි ඉංගිරිසි ගුරුවරු.උන්දැල බලන්නෙත් ටවුමෙ ඉස්කෝල වලට එන්න.”

“උන්දැල බලන්නෙ ටවුමෙ ඉස්කොල වලට එන්න, මොකද උන් ඉගෙන ගත්තුව ඔලුවෙ තියෙනව.උඹලගෙ වගෙ නැති නහත්ති වෙලා ගොහින් නෑ.”

“අනේ අම්මෙ ඔය පඬිච්චිට ඕන අහක යන්න දීල අම්ම කට වහන් ඉන්න.දැන් ඔව්ව කිව්වය කියල කාරියක් තියෙයි”

ඈතින් කෑගහනව ඇහුනෙ අපෙ අයියණ්ඩි.උන්දැ මහ ඒජන්ත කන්තෝරුවෙ තමා වැඩකොලේ . වාසිටියෙන් අයින් වෙච්චි ගමන්ම වගේ තමා ලියාපු පරිපාලන සේවා විබාගෙ පාස් වෙලා එයාට රස්සාව ලැබුනෙ.මන් උන්නෙ එතකොට ගුරු අබ්‍යාස ඉස්කෝලෙට යන්න බලාන. ජේස්ට විභාගෙ පාස් උනාට පස්සෙ මට ඕන උනේ ඉස්කෝලෙ නෝන කෙනෙක් වෙන්න.උණවටුනෙ අමරසුරිය ගුරු අබ්‍යාස විද්‍යාලෙන් තමා මන් ඉංගිරිසි ගුරු පත්විමකට සුදුසුකම් ලැබුවෙ.

 කියන්න අමතක උනා නෙව කලියෙන් මන් කවුදැයි කියාල.මගෙ නම් ගීතාංජලී නානායක්කාර.

වැකුණගොඩ පාරෙ නානායක්කාර වලව්වෙ රටේ මහත්තයැයි දෙවනි දෝණියැන්ද තමා මන්.මට වැඩිමල් ඔය ඒජන්ත කන්තෝරුවෙ වැඩ කරන අයියයි, ඊට පස්සෙ මන්, ඊටත් පස්සෙ උන්නෙ නංගියි මල්ලියි.එයැයිලනම් තාම ඉස්කෝලෙ යනෝ .

ජේස්ට විභාගෙ එනකම්ම ඉගෙන ගත්තෙ මන් ගාල්ලෙ රිපන් කොලීජියෙන්.අපෙ ගෙට අල්ලපු වැටේ තමා තිබ්බෙ රිපන් කොලීජියයි රිච්මන් කොලීජියයි. ඊටපස්සෙ අමරසුරිය ට්‍රේනිං කොලීජියෙන් පාස් වෙලා මුල්ම පත්වීම ලැබුනෙ ඇල්ල පලාතෙ ඉස්කෝලෙක ඉංගිරීසි ගුරුවරියක් හැටියට.

දුර බැහැර උනාට මන් එහේ යන්න තීරණය කොලේ බෝම කැමැත්තෙන්.

මන් කවරදාවත්ම  ඇල්ල පලාතට ගොහින් නෑ.ගාල්ලෙ ඉඳලා කෝච්චියෙන් තමාලු යන්න වෙන්නෙ.කොළඹට ගොහින්. අනිද්දා දිහාවට තමා යන්න වෙන්නෙ. මේ කලබලේ ලක ලැහැත්ති වෙන්නෙ. අපේ අම්මල හෙම වැඩිය මනාප නෑ මන් මේ තරම් දුර බෑර පලාතක රාජකාරියක් කොරන්න යන එකට.අම්ම තකහනියෙ කටයුතු කරන්න යන්න මොහොතක් තියල හරි මන් යන ගමන නතර කොරන්න තමා.

මේ තරම් ඈතක යන්න වෙන හන්ද මන් කලියෙන්ම එහෙ ඉස්කෝලෙ ලොකු සර්ට මට නතරවෙන්න තැනක් ලැහැත්ති කොරල දෙන්නය කියල ලියුම් කරදහියක් යවාල තිවුනා. ඉස්කෝලෙ ගුරු නිවාසෙ පහසුකම් නැති විත්තියත් ඒඋනාට එහේ ඉස්කෝලෙම උගන්නාපු දැන් විස්‍රාම ගොහින් ඉන්න ගුරුවරියක්ගෙ ගෙදර ඉන්න මට ලැහැත්ති කොරන්න ඇහැකි විත්තිය ලොකු ඉස්කෝලෙ මහත්තය කියාල එවල තිවුනා.පරණ ගුරුවරියක්ගෙ ගෙදරය, ගම් පලාතෙ ඉන්න වැදගත් මිනිස්සු වගේම ඒ ඇත්ති ඇරෙන්න වෙන කවුරුවත් එහෙ නැති හන්දා අම්මල නවාතැන් පහසුකම් ගැන නම් ඒ හැටි කලබල උනේ නෑ.මාත් බෝම සන්තෝස උනා පරණ ගුරුවරියකගෙ ගෙදර නතරවෙන්න ඇහැකි වෙච්චි එක ගැන.

“උඹ ඔය නොදන්න පළාතක ගොහින් අසනීපයක්වත් උනොත් කාටද කියන්නෙ? අනික අපි දන්න අඳුරන කෙනෙක් වත් නෑ නොව ඔය පළාතෙ.”

යන දවසට කලියෙන්දා රාත්‍තිරියෙත් අම්මවිස්සෝප උනා මන් මේ හැටි දුරක යන එක ගැන.මගෙ නම් හිතේ තිබ්බෙ අම්මට හොරෙන් ගෙදර සීනි බෝතලෙන් සීනි ඩිංගිත්තක් කටේ දාගන්න බලාන ඉන්න පොඩි එකෙක් හේ සන්තෝසෙකින්.

“මන් නතරවෙන්න යන අහ තව ගුරුවරියක්නෙ අම්මෙ ඉන්නෙ.ඒ නෝනත් අම්මගෙ වගේ වයසට ඇති නෙව.ඒ හන්දා බයවෙන්න එපා.ලොකු ඉස්කෝලෙ මහත්තයා ලියල එවල තිබ්බෙ ඒ නෝනා හරි කරුණාවන්තය, මන් එන්න කලියෙන් උන්නු ඉංගිරීසි ගුරුවරිත් එහෙලු උන්නෙ මාරුවක් ලැබිල යනකම්ම.ඒ හන්දා නාක තැනක් වෙන්න බෑ නොව.අම්ම බය නොවී ඉන්න”

“උඹලට ඔව්ව කියන එක බෝම ලේසි.අපි නෙව මෙහෙ ගින්දරෙන් ඉන්න ඕන.ලේසි පාසු තැනකටද යන්නෙ.යන්න එන්නම පැය කීයක්ද? මොකාක් හරි හදිසියක් උනත් ලියුම් කරදහියක් එන්නත් සෑහෙන දවස් ගාණක් යාවි නොව”

“හදිස්සියකට ඔය ටෙලිග්‍රෑම් එකක් එවන්න බැරිය අම්මෙ”

“ටෙලිගිරෑම් එක එවන්නත් උඹ තනියම එපාය යන්න.”

“ඔහොම බයවෙලා ඇහැකිද අම්මෙ? අනික මට ඇහැකිද ගේ අස්සටම වෙලා ඉන්න? එහෙ ගියාම තව කට්ටිය මුණ ගැහෙන්නෙ නැතෑ.අම්ම බය වෙන්නෙ මක්කටෙයි මේ හැටි”

“අනෙ මෙ උඹ මයෙ කට අවුස්සන්න එපා. උඹලට කියල දෙන්න අපි උගත් නෑ කියල උඹල හිතන් ඉන්නව ඇති දුවේ.ඒ උනාට මතක තියාගනිං මේ අම්ම උඹට වඩා කල් ජීවත් වෙලා තියෙන විත්තිය.”

කියාල වැඩක් නෑ හිතලද කොහෙදො තාත්තයි අයියයි නම් වචනයක් වත් කියෙව්වෙ නෑ. අම්ම නම් කුටු කුටු ගගා උන්නෙ මා එක්ක තරහට වඩා මන් යනවට දුකෙන් වගේම මගේ පරිස්සම ගැන බයෙන් විත්තිය මට නොතේරුනා  නෙවේ. මල්ලියි නංගිත් දුකෙන් උන්නෙ මන් යනවට. උන් දෙන්නට සෙල්ලම් කොරන්න, කතාකොරන්න හරි උන්නෙ මන් විතරනෙ.

උදහැනැක්කෙම නැගිට්ටෙ උදේම කෝච්චිය අල්ලගන්න යන්න තියෙන හන්දා. ගාල්ලෙන් පිටත්වෙලා කොළඹින් මාව ඇල්ලට යන කෝච්චියකට නග්ගවන්න අයිය ආව. උන්දැ තමා ඉතින් ඔය කොළඹ ගැන් දන්න කෙනා. මාව කෝච්චියට දාල පිටත්වෙලා යනකම්ම උන්නු අයියගෙ මූණෙන් පෙනුනෙ හිත අස්සෙ හැංගිලා තිබිච්ච දුක, වේදනාව, බය වෙන්ඩැති.කවුදැයි දැන් උන්නෙ ඒ බයට සාධාරණයක් ඉස්ට කොරන්න ඉරණම් දේවතාව බලාන උන්නු විත්තිය?…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here