දෙනෙතින් ගලා යන කඳුළු වල මදි කමට කුඩා යුවතිය ලේන්සුව මුහුණට තද කර ගනිමින් ඉකි ගසා හැඬුවාය.
” එදා රවිහාන්ගේ සිද්ධිය විතරක් නෙමෙයි , ඔයාගේ තාත්තගේ මරණේ , එතකොට අර නිශ්ශංකගේ මරණේ , ඔයාලගේ ගමේ ඉස්කෝලේ සිද්ධිය මේ හැම එකකටම RD එකේ කොහේහරි සම්බන්ධයක් තියනවා. සියත්‍රව උගෙම උන් පාවිච්චි කළා. ඌ ලව්ව හැමදේම ඉහලට අරන් ගියාට යට තිබ්බ කුණු වැඩ ටික එහෙම්මම උනා. සියත්‍ර විහින් ඇරෙස්‍ට් උනා විතරක් නෙමෙයි , එක පාරටම ෆැක්ට්‍රි එක වැහුවම මේවා සම්බන්ධ උන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ අතරේ අපිට ඕන තරම් සාක්ෂි එකතු කරගන්න පුලුවන්. සියත්‍ර හිතුවා තමන්ව ඇරෙස්‍ට් කළාම , ෆැක්ට්‍රිය වැහුවම අම්මයි , තාත්තයි අනිත් පැත්තට දුවන් එයි කියලා. ඌ හැදුවේ මේක පිළිවෙළට විසඳන්න. ඌ හිතුවා මෙච්චර කාලෙකට වෙච්ච හැමදෙයක්ම අන්කල් දිනේන්ද්‍ර එළියට දායි කියලා ඌව රිමාන්ඩ් එකෙන් එළියට ගන්න. ඌ පුතා නිසා ඌව බේර ගන්න අන්කල් දිනේන්ද්‍ර මෙච්චර කාලෙකට එළියට නොදාපු රහස් ඔක්කොම අන්කල් එළියට දායි කියලා ඌ හිතුවා. ඌ විතරක් නෙමෙයි අපි උනත් හිතුවේ එහෙම. ඒත් .. ඉතිං ඔයා දැක්කනේ වෙච්ච වැඩේ. පුතාව බේරගන්න තාත්තා ඉදිරිපත් වෙයි කියලා හිතුවට අන්තිමට උගේ අම්මයි , තාත්තයි ලංකාවටවත් ආවේ නෑ. ඌ දැන් ඉන්නේ තරහටත් වඩා කලකිරිලා නංගි. ඒකයි මේ ටිකේම සද්දයක් නැත්තේ. “
මහීල් සීත වීදුරුව මත රැඳිව ඇති ජල බිඳු හැඟීමකින් තොරවම තම දබරැඟිල්ලෙන් එහා මෙහා කරමින් සිටි අතර ඔහු පවසනා කිසිවකට තමා ලඟ පිළිතුරු නොමැති වූ ඈ නිහඬවම ඉදිරිය බලා උන්නාය.
” ඌ එදා ඔයාට කෑගැහුවේ තරහකට නෙමෙයි හිතේ තියන දුකට. ඔයාට කෑගහලා , ජොබ් එකෙනුත් අස් වෙන්න කියලා බැන්නලු නේද .? ඊට පස්සෙ එහෙන් එන ගමන් මට මොකද්ද දන්නවද කිව්වේ ඌට බයයි කිව්වා , මේවට ඔයා පැටළිලා නැති ප්‍රශ්න දාගනී කියලා බයයි කිව්වා. ඒත්..තවත් ඔයාගෙන් මේවා හංගන් ඉඳලා තේරුමක් නෑ කියලා මට තේරිච්ච නිසයි මං මේ ටික ඔයාට කියන්න ඕනේ කියල හිතුවේ.. “
මහීල්ගේ වදන් කිසිවකට පිළිතුරු නුදුන් ඈ ගමන් මල්ලේ තිබූ නාද වන ජංගම දුරකතනය ගෙන ඇමතුමකට සම්බන්ධ වූවාය.
” තිමිර..! මං තව ටිකකින් එනවා. ඔයා ඕෆ් වෙන්න. හරී…”
යුවතියගේ ඇමතුමත් සමඟ දෑස සිහින් කර ගත් මහීල් ඈ දෙස නුරුස්සනා බැල්මක් හෙළුවේය.
” ඒ මොකද්ද ඒ ?”
” පෙරේදා ඉඳන් කැෆේ එකක ජොබ් එකක් ලැබුණා අයියේ. “
මහීල්ගේ මුහුණ දෙස කෙලින් නොබැලූ තරුණිය බොහෝ මන්ද ස්වරයෙන් පිළිතුරු බැන්ඳාය.
” වට්..? අරූ RD එකට එන්න එපා කිව්ව කියලා ඔහොම වැඩ කරන්නේ ඇයි නංගි ? බලන් යනකොට ඌ කියන කතාව හරි . ඔයාගේ තියෙන්නේ පුදුම හිතුවක්කාරකමක්. “
” අනේ.. නෑ අයියේ නෑ… එහෙම දෙයක් නෙමෙයි . මගේ අම්මා පොඩි පොඩි දේවල් කළාට එයාට මහන්සි වෙලා වැඩක් කරන්න බෑ. ඒ දෙන්නා ජීවත් වෙන්නෙත් මං යවන කීයෙන් හරි. ඉතිං මං මොකක් හරි කරන්නම ඕනේ අයියේ. සර් එක පාරට රස්සාවට එන්න එපා කිව්වම මට වෙන තැනක් හදිස්සියට හොයාගන්න බැරි උනා . ඒකයි . “
” ඒ ..ඒ මොනවා උනත් ඔයාගේ එකවුන්ට් එකට අවශ්‍ය කරන ඔක්කොම සල්ලි වැටෙනවනේ ? එදා අරූ මාත් එක්ක කිව්වේ ඔෆිස් එන්න එපා කිව්වට ඔයාගේ වියදම් වලට , ගෙදර වැඩට ඕන දේවල් වලට සල්ලි ශාක්‍යාට දාන්න කියලා කිව්වා කියලනේ. ?”
පිළිතුරක් නුදුන් ඈ මහීල් දෙස නොබලාම ඉවත බලා සිටියාය.
” නංගි ..?”
තව දුරටත් හිතුවක්කාරියගේ නිහඬබව පිළිගත නොහැකි වූ ඔහු ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූවේය.
” දාලා තිබුණා “
” ඉතිං ?”
” මං ආයේ ඒවා ඔක්කොම රිටර්න් කළා. “
” ඇයි ඒ ?”
” කාගෙන් උනත් නිකරුණේ එක රුපියලක්වත් ගන්න බෑ අයියේ.. “
” දැන් ඔතන කීයක් ගෙවනවද ? “
” පාට් ටයිම් කරන පැය ගාණට ගෙවන්නේ. පැයකට එකසිය පනහා ගාණේ. “
කිසිවක්ම නොපැවසූ මහීල් කලකිරිණු ස්වරයෙන් හිස දෙපසට සැලුවේය.
*****************************************
” කල්පනා කරන්න තියාගන්න එපා බං. කොයිතරම් අමාරු උනත් උඹ කරලා තියෙන්නෙ ඇත්ත එළියට දාපු එකනේ. “
ගල් පඩි පෙළ මත හිඳ ගත් විමර්ෂා සඳැස්විගේ අතක් මත තම අත තබා ඈ සැනසීමට බොහෝ උත්සාහ ගනිමින් සිටියාය .
” එක අතකට ඒ යකා මෙහෙම හිතනවත් ඇති . තාත්තට පිටුපාන්න පුලුවන් දුව මට කොහොම පිටුපායිද කියලා “
අමාවී ඇඹුල් කර ගත් උවනින් පැවසූ වදන් ඇසුණු සැණින් සඳැස්වි තිගැස්සී ඈ දෙස බැලුවාය .
” හරි හරි. උඹ ඕකට ගැස්සෙන්න ඕනේ නෑ. කතාබහ නොකළට දවසක් දෙකක් දැකලා තියනවනේ. කුළු මීමා වගේ මූණේ හිනා පොදක් නැතිව ඉන්න මිනිහෙක් නිසා මම කිව්වේ දකින දකින හැමදේම වැරදියට ගන්නවද දන්නෑනේ. “
අමාවිගේ වදන් වලට චිරිස් ගා සිනාසුණු විමර්ෂා වහා සඳැස්වි දෙස බලා සිනහව ගිල ගත්තාය.
” සයුල් මොකද විමූ ? මං එක්ක තරහින්ද ?”
බොහෝ වේලාවක් සිට හදවතට වද දුන් පැනය විමර්ෂා හමුවේ අත හැරි සඳැස්වි පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ උවන දෙස බැලුවාය.
” ඌ උඹ එක්ක මොනාට තරහා වෙන්නද ? උඹ එක්ක තරහා වෙන්න මේවා කළේ උඹ යෑ ? අර මිස්ටර් සියත්‍රව රිමාන්ඩ් කරපු දවසෙනම් ඌ පට්ට හැපී එකේ හිටියේ. ඒත් .. ඉතිං කරන්න දෙයක් නෑනේ බං. ඒ මිනිහා වැරදි නැත්තන් නිකන් බොරුවට හිරේ ලඟින්න ඕනේ නෑනේ ? අනික සයුලුත් අනේ මන්දා බං. උගේ අයියා මැරුණා. ඒක හරි. ඒකේ RD එකේ වරදක්ද නැද්ද කියලා අපි හරියටම නොදැන ඒ මිනිස්සු එක්කම පලි දරන එක හරි නෑනේ. අර උගේ අයියා අන්තිමට කතා කළේ ඔය සියත්‍ර එක්ක කියලා කියපු වෙලේ මටත් ඒ ගැන සැක හිතුණා. ඒත් ඉතිං වෙලා තියන දේ දැක්කම එතනත් ඒ මනුස්සයගේ වරදක් නෑනේ. ඌ මේ නිකන් බොරුවට දඟලනවා කියලමයි මට හිතෙන්නේ. “
” ඒක හරි . වෙලාවකට සයුල් මහ පණ්ඩිතයි. “
අමාවීද හිස සලමින් විමර්ෂාගේ කතාව අනුමත කර සිටියාය.
****************************************
” ආදේශ්…! Blue waves එකේ ප්‍රපෝසල් එක ඩබල් චෙක් වෙලා ඉවර කරලයි මිසිස් කැටිපේ ලඟට දාන්නේ. තව අර WTC එකේ ඩොකියුමන්ට්ස් ටිකත් ඩබල් චෙක් කරලා මිස් ශාක්‍යාට දෙන්න . මොකද්ද ? හදිස්සියි ? උන්ට හදිස්සි නම් වෙන තැනකට දීලා කරගන්න කියහන් . මාත් එක්ක වැඩක් කරනවනම් මුලින්ම ඒක වෙන පිළිවෙල බලලා වැඩේට එන්ටර් වෙන්න කියහන්. “
දුරකතන ඇමතුම විසන්ධි කර දැමූ දේහදාරියා රියදුරු අසුනේ සිටි මිතුරා දෙස හැරී බලන විටත් ඔහු අවන්හලක් අසල මෝටර් රථය නතර කොට හමාරය.
” මොකෝ..?”
” තිබහයි බං. මොනාහරි බීලා යං. “
යළිත් වරක් කිසිවක් පැවසීමට පෙරම බැස ගිය මිතුරා දෙස සිහින් කළ දෑසින් බැල්මක් හෙළූ ඔහුද මෝටර් රථයෙන් බිමට බැස අවන්හල තුළට ඇවිද ගියේය.
අවන්හල් ද්වාරයෙන් මතු වූ පිරිමි මුහුණු දෙක දුටු විටම එහි සේවය කරමින් සිටි කුඩා යුවතියගේ හදවත වේගයෙන් සැලෙන්නට පටන් ගත් අතර සෙමින් තොල්පට සපාගත් ඈ වේගයෙන් හුස්ම ඉහල පහල ගනිමින් මොහොතක් ඔවුන් දෙස බලා සිටියාය .
රතු පැහැ ඉරි දෙකකින් හා වම් පස අවන්හල් ලාංජනය සටහන් කොට තිබූ කළු පැහැ කමිසයකින්ද , ඒ හා සමානම කළු පැහැ කලිසමකින්ද , කළු පැහැ හිස් වැසුමකින්ද සැරසී සිටි යුවතිය විසල් හුස්මක් ඉහලට ඇද සෙමින් සෙමින් තරුණයින් හිඳ සිටි මේසය අසලට ගොස් මහීල් අසලින් සිට ගත්තාය. දෑසම අත රැඳි ජංගම දුරකතනය වෙත විතැන් කර සිටි දේහදාරියා එක් දශමයකට හෝ මුහුණ ඔසවා නොබැලූ අතර තරුණිය දෙස බලා සිනාසුණු මහීල් යළි මිතුරා දෙස බැලුවේය.
” ඒහ් මොනාද ?”
” බ්ලැක් කොෆී.”
” two black coffe and chocolate cake . ඔයාලා ලඟ නැද්ද Cinnamon and sugar topping එකක් දාපු Crunchy layer එකක් තියන පැණිරස අඩු කේක් එහෙම ?”
එසේ පවසා තරුණිය දෙස බලා ඇසක් ඉඟි මැරූ ඔහු වෙත මුව ඇද කරමින් රවා බැලූ තරුණිය යළිත් පිටව ගියාය.
” උඹේ ඇහේ මොකක් හරි ලෙඩක්ද ?”
හිස හෝ දෑස නොඔසවාම මිතුරා ඇසූ පැනයට මුවඟින් සිනහ වූ මහීල් මේසය මතට බර විය.
” ඇයි උඹට ඉරිසියද ?”
” එයා දැන් මෙතනද වැඩ ?”
අතේ තිබූ ජංගම දුරකතනය පසෙකින් තැබූ ඔහු මිතුරාගේ මුව මතට දෑස විතැන් කරමින් ඇසුවේය.
” හ්ම්ම්.. ඒ කෙල්ලව කර කර හිටපු රස්සාවෙන් එළියට දාලානේ. ඉතිං දැන් මෙතන වැඩ. පාට් ටයිම් පැයකට ගෙවන්නේ කීයද කියලා දන්නවද ? රුපියල් එකසිය පනහයි. ඒකෙන් තමනුත් ජීවත් වෙලා අර ගමේ ඉන්න අම්මවයි , නංගිවයිත් ජීවත් කරවන්න ඔය දඟලන්නේ.. “
මහීල්ගේ සැර නෝක්කාඩු වදන් හමුවේ මුනිවත රැක සිටියද කඩවසම් දේහදාරියාගේ දෑතම ඔහුටත් නොදැනී මිට මෙළවී ගියේය.
” කවුද මෙතන ඕනර් ?”
” ඇයි අහන්නේ ? බෝඩිම් වෙලා නැවතිච්ච ගේ ගත්තා වගේ මේකත් ගන්නද ?”
තරුණිය ගෙනැවිත් ලබා දී තිබූ කෝපි කෝප්පය තොළ ගාමින් මිතුරා දෙස යටැසින් බැලූ මහීල් නැවතත් ඔහු හමුවේ පැනයක් තැබීය.
” බැරි කමක් නෑ “
එසේ පිළිතුරු ලබා දුන් ඔහු තමා දෙස සමච්චල් සිනහවක් නඟා සිටින මිතුරා දෙස නොබලාම ඉවත බලා ගත්තේය.


