“ඇයි ඔයා දේවිකාට වෙඩින් එකට ලස්සනට ඇඳගෙන එන්න කියලා කියන්නේ..”
සංකල්පනී එසේ ඇසුවේ ධනුක යළි කාමරයට පැමිණියාට පසුවය. ඔහු ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
“නෑ ඔයා විශේෂයෙන් එහෙම කියනව ඇහුණු හින්දයි මම ඇහුවේ.”
“ඔයා කවද ඉඳලද අනුන්ගේ කතා වලට ඇහුම්කන් දෙන්න පුරුදු උනේ.”
“මං උවමනාවෙන් ඇවිල්ල ඇහුම්කන් දුන්නෙ නෑ ධනුක. ඔයාට බඩගිනියි කියපු නිසා ඔම්ලට් එක ඉක්මනට හදලා කන්න කතා කරන්නයි මං එළියට ආවේ. ඒ වෙලාවේ ඔයා අම්මට එහෙම කියනවා මට ඇහුණා.”
“නෑ ඉතින් ඒ ළමයා ගැන අපි බලන්න ඕනනේ. පිට කවුරුවත් නෙමෙයි මගේ මාමගෙ දුවනේ.”
ධනුක එසේ පැවසූයේ දෑස් හංගාගෙනය. ඊයේ පෙරේදා සිට සංකල්පනී තමා ගැන විමසිල්ලෙන් පසු වන බව ඔහු දනී. එනිසාම ඔහු ඇනෙක්සියේදී අම්මාට හෝ දේවිකාට ඇමතුමක් ලබා නොගත් තරම්ය. දේවිකා දහවලෙහි කතා කරමින් පැවසූයේ ඇය අහස් නිල් පාට සාරියක් තෝරගත් බැවින් තමාටත් ඒ පැහැයේම කමිසයක් ගන්නා ලෙසය. ‘අපි දෙන්නා එක පාටම අඳිමු. මං දැකල තියෙනව කපල්ස් වෙඩින් වලට යන්නේ එහෙමයි. අනිවාර්යයෙන් ඔය වෙඩින් එකේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ අපි දෙන්නා. ඊළඟට අපි දෙන්නගේ වෙඩින් එක කවදද කියලා තමයි හැමෝම අහන්නේ. අපි ඒකට දෙන්න උත්තරයකුත් හදාගන්න ඕනේ සුදු අයියේ….”
ඈ පැවසූයේ එසේය. ඒ වදන් අසත්‍යයක් නොවේ. ඔහු මෙවර ඇයට මුදල් යැව්වේ ද ‘කීයක් ගියත් කමක් නෑ අනිත් අය අඳිනවට වඩා හොඳ සාරියක් ගන්න’ යනුවෙන් පවසමින්ය. දේවිකාට වූයේ ගැමි කමට හුරු වූ ලස්සනකි. ඒ රුව රූපලාවන්‍යාගාරතුළ දවසේ වැඩිම හරිය ගෙවා දමමින් ඔපමට්ටම් කරගත් රුවක් නොවේ. ඇය බොහෝ විට කාර්යාලීය හිතවතුන්ගේ මංගල උත්සව වලට පවා ඇන්ඳේ ඔසරියයි. දිගු කෙස් කළඹ ගෙල මුලට වන්නට ගෙඩියක් සේ බැඳගෙන ඊට කුඩා මලක් රඳවා ගන්නා ඕ ආභරණ ලෙස පළඳින්නේද ඉතා චාම් ඒවාය. එහෙත් ඈ අන් සියල්ල අතරින් කැපී පෙනෙනවායැයි ධනුකට සිතෙන්නේ ඈ විසින් වට්ස්ඇප් වෙත යොමු කරන සේයා රූ දකිද්දීය.
යාන්තමට රෝස පැහැ ලිප්ස්ටික් ස්වල්පයක් දෙතොල්වල තවරමින් රෝස් පවුඩර් ස්වල්පයක් දෙකොපුල්වල තවරා ගන්නා ඈ ඉන් එහා ගිය මෙවලමක් භාවිතා කරන්නේද ද නැත. එහෙත් මේ මංගල උත්සවය වෙනුවෙන් රූපලාවන්‍යාගාරයකට ගොස් සූදානම් වන්නයැයි ධනුක ඇයට බල කර සිටියේය.
“දේවිකා ගැනද කල්පනා කරන්නේ….”
සංකල්පනීගේ ඒ හඬෙහි වන්නේ අවඥාවක්ද එසේත් නැතිනම් පුදුමයක්ද යන්න හඳුනා ගැනීමට ධනුක උත්සාහ නොකළේය.
“ඔයා දන්නවා මං ඔය වගේ විහිළුවලට කැමති නෑ කියලා..”
සංකල්පනීගේ කට වැසිය යුතු ආකාරය ඔහු දැන සිටියේය. ඈ යමක් අසන සෑම විටකම ඔහු පාවිච්චි කළේද ඒ උපක්‍රමයයි.
“එයා දන්නවා මං රන්දිකව අතෑරලා තමයි එයාගේ ළඟට ආවේ කියලා. ඒ වගේම මට තවම එයාගේ අයිතිය ලැබිලා නෑ කියලා. හරියට එහෙට මෙහෙට පාවෙන පරඬැලක් වගේ ගෑනියෙක් මං.”
සංකල්පනී එසේ සිතුවේ කුඩා මුළුතැන් ගෙය අස්කර දමමින්ය. දුම්වැටියක් දල්වා ගෙන මිදුලේ අඹ ගස යටට වී සිටින ධනුක කල්පනාවකය.
**************
නුලාරාගේ සිත ගිලන්ව තිබුනේ හරි හැටි නින්දක්වත් මනසට සුවයක්වත් නොවූ නිසාය. චාරුකගේ ජීවිතයේ සිටින්නේ තමා පමණක් නොවන වග දැන් ඇයට හොඳටම විශ්වාසය. අවසන ඈ තම ජීවිතය පිළිබඳව තීරණයක් ගන්නට සිතා ගත්තාය. සංකල්පනී මේ දිනවල නුලාරා බලන්නට වැඩිපුර නොගියේ නයනා රඹුක්වැල්ල නිතර නිවසේ රැඳී සිටි නිසාය.
චාරුකත්, මන්දස්මිත්, අමායාත්, තේජනත් එක්ව මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවේ යූ ටියුබ් දර්ශන ඇය වෙත එවා තිබුණේ සංකල්පනීය. මුලින්ම කතා කළේ චාරුකය. දෙවනුව කතා කළේ මන්දස්මිය. බොලිවුඩයේ සුපිරි තරුවක් වූ සාහිල් කාන් ලංකාවේ පැවැත්වෙන සංදර්ශනයක් සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම පිළිබඳව චාරුක කිහිප වතාවක්ම තමාගේ කතාවේදී මන්දස්ම්ට විශේෂයෙන්ම ස්තූතිවන්ත විය. ලෝකයා හමුවේ ඇයට ගෞරවයක් ලබාදී ඔසවා තබන්නට චාරුක ඕනෑවටත් වඩා වෙහෙස වෙනවා යැයි නුලාරාට සිතුනේ එනිසාය. චාරුකගේ පියා ඒ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූයේ අමුත්තෙකු ලෙසය. තම පුතණුවන් සේම ඔහුගේ මේ ටීම් එක පිළිබඳව ඔහු කතා කළේ දක්ෂයන් පිරිසක් යැයි පවසමින්ය. නුලාරා යළි යළිත් ඒ වීඩියෝ පටය නරඹමින් සූම් කරමින් චාරුකගේ දෑස් වල වන හැඟීම් හඳුනා ගන්නට වෙහෙස වූවාය. අවසන ඈ දුරකථනය පසෙකින් තැබුවේ මහත් වූ කලකිරීමක් දරාගෙනය.
ඒ හා සමගම ඈ තම මවට ඇමතුමක් ලබා ගත්තාය. චාරුකගේ මවත් පියාත් යළි ඇමරිකාවට යාමට නියමිතව තිබුනේ අනිද්දා සවසය. එනිසාම සිතාරා උන්නේ ඔවුන්ට ගෙන යාමට කල් තබා හැකි ආහාර ද්‍රව්‍ය කිහිපයක් සාදා දෙන්නට වෙහෙස වෙමින්ය.
“ඇයි පුතේ…..”
“අම්ම මොනවද කරන්නේ?..”
“මම මේ උම්බලකඩ බැදුම හදන්න උම්බලකඩ ටික බැදලා තිබ්බා. එතකොට පුතේ අපිට කලින් දවසේ ලූනු ටික බැදලා කලවම් කරන්නනේ තියෙන්නේ. නයනා කොච්චර එපා කියලා කිව්වත් මේවා අපේ යුතුකම්නේ. අනිත් එක අර දුවයි එයාගේ මහත්තයයි දෙන්නම මේ වගේ ලංකාවේ කෑම කන්න ආසයිලු. තාත්තත් මං පොලට යැව්වා හොඳ පොළොස් ගැට දෙක තුනක් හොයාගෙන එන්න කියලා.”
“අම්මට ඉතිං මෙහේ ආවනං සෝමව හවුල් කරගෙන ඔය වැඩ ටික කරන්න තිබුණනේ මොකටද මහන්සි වෙන්නේ?.”
“සෝමට කියලා පොඩි වැඩ කොටසක්ද පුතේ දැන් තියෙන්නේ. චාරුක පුතා කියලා තියෙන්නේ වතුර එකක් ගන්නවත් ඔයාව මහන්සි කරවන්න එපා කියලා. ලබන සඳුදා නේද දරුවාව ඩොක්ටර් ගාවට ගෙනියන්න තියෙන්නෙත්.”
“ඔව් අම්මා. වැක්සින් එක දෙන්න තියෙන්නෙත් එදාටම තමයි.
“දැන් මටත් දරුවා නොබලා ඉන්න බෑ. තාත්තත් කියනවා දරුවා ළඟට ගියහම එන්න හිතෙන්නේ නෑ කියල”
“අම්මා මං මේ අහන්න ගත්තෙත් මට ටික දවසක් ගෙදර ඇවිල්ලා ඉන්න බැරිද කියලා?”
“මේ වෙලාවේ ඇයි ඔයා එහෙම අහන්නේ?. ඇයි පුතේ..”
සිතාරාගේ හඬ වෙනස් වූයේ ඇය එසේ අසද්දීය. දැන් ඇයට වන්නේ කලබලයකි.
“නෑ…නෑ මුකුත් ප්‍රශ්නයක් නෙමෙයි. අම්ම නිකං කලබල වෙලා. අඩු ගානෙ දරුවට මාස තුනක්වත් යනකල් අම්ම ළඟ ඉන්න තිබුනනම් හොඳයි කියල හිතුනා.”
“අනේ ඇයි දරුවෝ මට යන්න එන්න බැරි තරම් දුරක නෙමෙයිනේ. විනාඩි දහයේ පහළොවේ ගමන නේ. කොහොමටත් වැඩි හරියක් මං ඉන්නේ ඔයා එක්කනේ. මේ දවස් දෙක තුන විතරනේ පුතේ. ඒත් චාරුක පුතාගේ අම්මා ඉන්නවනේ.”
“අනේ මන්ද අම්මේ මට ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක ටිකක් ඉන්න ඕනෙ වගේ හැඟීමක් දැනෙනවා. අපි එහෙම නොගියට සාමාන්‍යයෙන් අම්මේ පළවෙනි දරුවා හම්බවුණාට පස්සේ දුවෙක්ව අම්මල ළඟට ටික කාලෙකට එක්කගෙන යනවා නේද?”
“ඔව් ඉතින් ඉස්සර නං ඒක.චාරිත්‍රයක්. ඒ උනාට පුතේ දැන් එහෙම නෑ. ඒහා හිතුවේ පරණ මිනිස්සු. ඔයා ඔහොම අහන්නේ නිකං නෙමෙයි කියලා මම දන්නවා. ඇයි කවුරුහරි හිත රිදෙන්න මොනවා හරි කිව්වද?”
“අනේ නෑ අම්මේ..මට හිතෙනවා ඒක හැම පැත්තකින්ම හොඳයි කියලා.”
“අනේ මන්දා. ඒක ඉතින් එහෙම කරන්න බැරි කමක් නෑ. මහ ලොකු කාලයක් නෙමෙයිනේ. ඒ උනාට චාරුක පුතා කැමති වෙයිද කියලා කවුද දන්නේ. මොකද මේ ගෙදරට වඩා වැඩි පහසුකම් හැම දෙයක්ම ඔයාගේ ගෙදර තියෙනවා.”
“පහසුකම්ම නෙමෙයිනේ අම්මා ජීවිතේ කියලා කියන්නේ මට ඒ දේ ඒ විදිහට විඳින්න ඕන වුණා. අපි මෙහේ අම්මල යනකං ඉමු. ඊට පස්සේ මම චාරුක එක්ක කතා කරන්නම්. එයාටත් ඕනනම් ඇවිල්ලා බලලා යන්න පුළුවන්නේ….”
දියණියට එකඟ වී දුරකථනය විසන්ධි කලත්, සිතාරාගේත් සිතට ඇතිවූයේ බියකි. දෙපා අවසඟව ගිය රෝගියෙකු පරිද්දෙන් ඕ මුළුතැන් ගෙය තුළම වූ පුටුවක අසුන් ගත්තේ එනිසාය. දෙදෙනා අතර යම් ප්‍රශ්නයක් ඇතිවී ඇත්දැයි ඕ සිතුවේ ඊයේ පෙරේදා ඔවුන්ගේ හැසිරීම යළි යළිත් මතකයට නගා ගන්නට උත්සාහ කරමින්ය.
************
සෙරසිංහ වීයරු වැටී සිටියේ පෙරදා සැන්දෑවේ පැවති මාධ්‍ය සාකච්ඡාව රූපවාහිනිය ඔත්සේ නැරඹුවාට පසුවය. සාහිල් කාන් වර්ණ ඇඩ්වර්ටයිසින් සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වනවාය යන පුවත මුළු ලංකාවම කලඹා තිබිණ. අන්තර්ජාලයෙන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ අවස්ථාව ලබාදී අඩ හෝරාවක් ගතව යන්නට මත්තෙන් ‘සෝල්ඩ් අවුට්’ යන ලේබලය අලවන්නට ඔවුනට පුළුවන්කම ලැබී තිබිණ. මේ වර්ණ ඇඩ්වර්ටයිසින් වෙත මිලියන ගණනක ලාභ ලැබිය හැකි අවස්ථාවකි. වර්ණ ඇඩ්වර්ටයිසින් වට්ටා දැමීම දැන් ලේසි පහස කටයුත්තක් නොවේ. රඹුක්වැල්ලගේ පුතු මේ සා දක්ෂයෙකුයැයි ඔහු විශ්වාස නොකළේය. කෝටි ගණනක් මුදල් වියදම් කරමින් ඔහු මේ සා දැවැන්ත කාර්‍යයකට බයක් නොමැතිව අත ගැසීමම පුදුමයකි.
“පිස්සු හැදෙනවනෙ අයිසෙ මේ පොඩි කොල්ලා මාර ගේම් එකක්නෙ ගහන්නේ.”
ඔහු තමා අබියස ඉඳගෙන වීදුරුව මත්පැන් වලින් පුරවා ගනිමින් උන් ධනුකට පැවසූයේ මදක් උස් හඬින්ය.
“චාරුකයා විතරක් නෙමෙයි සර් අපිත් මාර ගේම් තමයි ගහන්නේ. මං සර්ව හම්බවෙන්න ඕනේ කියලා කිව්වේ සර්ට මාර වටින දේවල් ටිකක් දෙන්න. මේ බලන්නකෝ…”
ධනුක තම ජංගම දුරකථන තිරය ඔස්සේ ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් යැව්වේ තවත් මත්පැන් උගුරු කිහිපයක් පානය කලාට පසුවය. එහි වූයේ චාරුකත්, මන්දස්මිත් වැළඳගෙන ඉන්නා සේයා රූ කිහිපයකි.
“අයිසෙ මේවයින් අපිට කරන්න දෙයක් නෑ…”
“තියෙනව සර් තියෙනවා…ඔය චාරුකයගේ ගෑනි ඉන්නව නේද. මහ අමුතු ගෑනි. චාරුක ගෑනියෙක් දිහා බැලුවත් ඔය ගෑනිට සැකයි. හැබැයි ඔය චාරුක බෝසා ඉන්නව නේද. තමන්ගෙ වයිෆ්ට මාර ආදරෙයි. සර්ට කියන්න අපේ ගෑණි කියනවා ඇවිදින්න දෙන්නේ නෑ වඩාගෙන ගිහිල්ලලු ඇඳෙන් තියන්නේ. මාර ආදරෙයි.”
“එහෙනම් අයිසේ මූ මේ වෙන ගෑනියෙක් බදාගෙන ඉන්නේ.”
“අන්න දැක්කද බොස්ට පෙනුනෙත් ඒ වගේ නේද. ඒක ඇවිල්ල බොස් මගේ පින්තූර ගැනීමේ හැකියාව. මේ මුළු ඔෆිස් එක ඉස්සරහම තමයි සර්, චාරුක බොසා මන්දස්මි මිස්ව බදාගෙන මෙන්න මෙහෙම ස්තුති කලේ.”
ධනුක රඟ දක්වමින් පෙන් වූයේ ස්තුති කරමින් චාරුක මන්දස්මිව වැළඳගත් ආකාරයයි.
“මේක මේ විදිහටම තේජනත් කළා අමායත් කළා. හැබැයි මට පුළුවන් උනා සර් මගේ ෆෝන් එකෙන් ලස්සන ෆොටෝ ටිකක් ගන්න. වටේ පිටේ ඉන්න මිනිස්සු පේන්නේ නෑනෙ. මුන් දෙන්න බදාගෙන ඉන්නවා.එච්චරයි.”
“ඔව්…තමුසෙත් එක්තරා විදිහක දක්ෂයෙක් තමයි.”
සේරසිංහ පැවසූයේ යළි යළිත් ඒ ඡායාරූප දෙස බලනා ගමන්ය.
“දැන් තමුසෙ මොනවද මට මේකෙන් කරන්න කියලා කියන්නේ. මට ඕනේ වර්ණ කොම්පැනිය වට්ටන්න මිසක් මේ කොල්ලගෙ කසාඳෙ කඩන්න නෙමෙයි.”
සේරසිංහ යළිත් එසේ පැවසූයේ තමාගේ මත්පැන් වීදුරුව පුරවා ගන්නා ගමන්ය. ඔහුට තවමත් මේ සේයා රූ වලින් වැඩක් ගත හැකියැයි නොපෙනේ.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


