අංජන ගේ හදවත ඔහුට ම ඇසෙනා තරමට ලබ් ඩබ් හඬ නැගුවේ ය. මීට පෙර ද සන්තුෂී ඔහු සමග දුරකතනයෙන් දොඩමළු වී ඇත ද ඇගෙන් ඇමතුමක් එත්දී මේ විදිහට හද ගැහී නැති බව ඔහු ට විශ්වාස ය. එසේ නම් මේ ගැස්මට හේතුව ඇය ඔහු ගේ හදවත ඉහළ මළුවේ වැඩ හිඳිනා සරස්වතිය බව දැන ගන්නට ලැබීම ද?
“හෙලෝ…”
“අනේ සොරි අංජන. මං ඔයාගෙ ගුඩ් මෝනිං මැසේජ් එක දැක්කෙ දැං”
ඇය වචන ඉසිරවූ රිද්මයේ වූ හුරුබුහුටි බව නිසා ඔහු ට උස් හඬින් සිනා ගියේ ය.
“ඒක හොඳයි. ගුඩ් නයිට් වෙලා රෑටම දැක්කනං හරි. ඒකට කමක්නෑ ඉතිං…අපි වගේ අයට එහෙම හරි සැලකිල්ලක් කරනව මදෑ”
“අනේ එහෙම නෙවේ. අම්ම අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා. අද දවසෙම ඔළුව අවුල් අංජන”
“ඇයි අම්මට මොකද…මොකද්ද හොස්පිට්ල් එක…”
ඒ පුවත සවන් වැකුණු ගමන් ඔහු දැක්වූ උනන්දුව ව්‍යාජයක් නොවන බව, පසිඳුරන් ඉක්මවූ කුමක් හෝ ඉවකට ඇයට දැනිණ. මීට ටික වෙලාවකට කලින් සිය නීත්‍යානුකූල සැමියා ගේ කතා බහේ වූ වියළි රළු බව ඇයට සිහි විය.
“සල්ලි තියනවද…ක්‍රෙඩිට් කාඩ් එක තියනවනෙ…”
‘ඔයාට තනියම බෑ නේද…මාත් එන්නං හොස්පිට්ල් එකට’ කියා කීවා නම් ඇයට යම් කිසි හෝ අස්වැසිල්ලක් දැනෙන්නට තිබිණ. කල්ප හිතන්නේ මුදල් ඉස්සරහාට දැම්මාම ගැහැනු ප්‍රශ්න සියල්ලෙන් ගැලවිය හැකිය කියා ය. මාළුන් අල්ලා ගන්නට ඇමට පණුවෙකු අමුණන්නා සේ, මුදල් ටිකක් දුන් පමණින් ගැහැනුන් ට ලෝකය ම අමතක වෙනවා කියා ය.
“සල්ලිනං අම්ම ළඟත් තියෙන්නෙ. මගෙ ළඟත් තියනව”
ඇය උදාසීන ලෙස කීවා ය. කල්ප ට එයත් හාස්‍යයට කරුණක් විය.
“ඕව් ඔව්. ඕගොල්ලො හරි සල්ලිකාරයොනෙ”
“සන්තුෂී…”
අංජන ඇගේ නමින් ඇමතුවේ සන්තුෂී දිගු නිහැඬියාවක් තුළ ගිලී ගිය හෙයිනි. අංජන ගේ හඬින් යළිත් පියවි ලෝකයට එත්දී අසරණ හැඟීමක් ඇය ට දැනිණ.
“ම්…”
“අම්මට මොකද දැං…මොකද්ද හොස්පිට්ල් එක…”
“දැන්නං උදේට වැඩිය හොඳයි. ඒත් දවස් දෙකක් විතර ඇඩ්මිට් වෙලා ඉඳං ට්‍රීට්මන්ට්ස් කරන්න ඕන කියලයි ඩොක්ටර් කිව්වෙ. අම්මල තාත්තල අසනීප වෙන එක තරං බලං ඉන්න බැරි දරා ගන්න බැරි වෙන දෙයක් නෑ කල්ප. එයාලට කවදාවත් ලෙඩක් හැදෙන්නැතුව තියෙනවනං…උණක් හෙම්බිරිස්සාවක් ඔළුවෙ කැක්කුමක්වත් හැදෙන්නැතුව තියෙනවනං…වෙන කිසි දෙයක් ඕනෙ නෑ. බබාල දෙන්න පොඩි කාලෙත් එයාල පොඩ්ඩක් හරි අසනීප වෙනකොට මේ ෆීලින් එක මෙහෙමම දැනිල තියෙනව. එයාලට තේරෙන්නෙත් නෑනෙ අමාරුවක් කියන්න. සමහර දවස් වලට පුතාට වීස් එක එහෙම ආවම මං රෑ එළි වෙනකල් එයා දිහා බලං නිදි මරල තියනව. බැරි වෙලාවත් ටිකකට නින්ද ගියොත් එහෙම බලාගෙනම ඉන්නව එයාල හුස්ම ගන්නවද කියල…”
එක ම ඇස් දෙකක මඳහසක් ද තෙතමනයක් ද දෙක ම විය. සන්තුෂී ඒ වෙලාවේ සිටි මානසික තත්වය අංජන ට නොදැනුණා නොවේ. නමුත් ඇයට සමීප වීමට හැක්කේ යම් කිසි සීමාවන් ඇතුළේ බවත් ඔහු මැනවින් දැන සිටියේ ය. වින්දි දැනටමත් ඔහුට වෙනත් සබඳකමක් ඇති බවට චෝදනා කොට තිබේ. ඒ ඔහුට සන්තුෂී හමු වීමටත් කලිනි. දැන් ඔහු මේ විදිහට ඇය ඇසුරු කරනවායි දැන ගත හොත් ඇය සැකය තහවුරු කර ගෙන ඔහු ව වැරදිකාරයෙකු බවට පත් කරනු ඇත. ඒ නැත ද සන්තුෂී විවාහක බිරිඳකි. ඔවුන් ගේ ඇසුර ඒ උත්තම විවාහ සංස්ථාවට අල්ප හෝ කැළලක් සිදු නොකළ යුතු යයි හෙතෙම විශ්වාස කළේ ය.
“ලෙඩෙක් බලන්න ගියාම මොකද…යාළුවෙක්ව ආශ්‍රය කළාම මොකද…”
ඔහු තමන් ගෙන් ම ප්‍රශ්න කර ගනිමින් පෞද්ගලික රෝහල වෙත විනාඩි කිහිපයකින් ම ළඟා විය. ගිලන් කුටියේ දොරට කිසිවෙකු තට්ටු කරත්දී ස්වර්ණකාන්ති සැතපී හිඳින යහන ළඟ පුටුවක් තබා හිඳ ගෙන අම්මා ගේ හිස පිරිමදිමින් උන් සන්තුෂී ට සිතුණේ ඒ කල්ප වෙන්නට ඇති කියා ය. යුතුකමක් වශයෙන් හෝ ඔහු අම්මා බලන්නට පැමිණෙනු ඇතැයි අහිංසක බලාපොරොත්තුවක් ඇය තුළ විය. නමුත් නන්දා විසින් විවර කරන ලද දොරෙන් ඇතුළට අඩියක් තැබුවේ අංජන ය. හදවත ගැස්සී යනවා සන්තුෂී ට දැනිණ. ඔහු එන්නම් කීවත් ඒවියි ඇය සිතුවේ නැත. මේ තරම් ඉක්මනින් ඒවියි කොහොමවත් සිතුවේ නැත.
“මෙච්චර ඉක්මන්ට ආවද…”
කියමින් අසුනෙන් නැගිට ගත් සන්තුෂී ගේ ඇස් දිළිසෙමින් තිබිණ. මොහොතකට ඒ සිව් නෙත් අවකාශයේ යම් තැනෙක එකට හමුව විදුලියක් කොටා විසිර ගියේ ය.
“මේ ළඟනෙ සන්තුෂී ඔෆිස් එක තියෙන්නෙ. අම්මට දැන් කොහොමද…”
ඔහු ඒ විමසීම කළේ සන්තුෂී ගෙන් නොව කෙළින් ම ස්වර්ණකාන්ති වෙත නැඹුරු වෙමිනි. ඒ නම් කදිම තරුණයෙකැයි සිතිවිලි මාත්‍රයක් ස්වර්ණකාන්ති තුළ ක්ෂණික ව ඉපිද විසිරිණි. ඇගේ මුහුණ සිනහ කුසුමකින් අලුතෙන් විකසිත වූයේ ය.
“මට හොඳයි පුතේ…මේ දොස්තරලයි මෙයයි බොරුවට බය වෙලා”
ඇගේ ඒ කතාවට ඔහු තරමක් හඬ නගා නිදහස් ලෙස සිනහ වූයේ ය. සන්තුෂී අංජන දෙස බලා සිටියේ ඇස් මුදවා ගත නො හැකි ආකර්ෂණයකට නතු වී ගෙන ය. මීට පෙර සදෙව්මා ගැන කතා කරන්නට ඔහු හමු වූ කිසිදු වතාවක මේ තරම් කඩවසම් හා නිදහස් බවක් ඔහු වෙතින් දුටු බවට මතකයක් ඇය ට නැත.
“ඒකනෙ…මේ දොස්තරලනෙ වැරැද්ද කරන්නෙ…දෙයියන්ගෙ පිහිටෙන් අම්මට දැන් හොඳයි තමයි”
ඔහු ස්වර්ණකාන්ති අභියස පුටුවේ අසුන් ගත්තේ ඇය ව කාලයක් තිස්සේ දැන හැඳින සිටියා මෙනි. ඒ ළෙංගතුකමෙන් ස්වර්ණකාන්ති ගේ වියපත් වෙමින් පැවති හදවත උණුහුම් වූයේ ය. ඔහු සන්තුෂී ගේ මිතුරෙකු ලෙස හඳුනා ගත්තාට ඒ මිතුරු කම කවදා කොතැනකදී ඇති වූවක් ද කියා විමසන්නට තරම් ඉසිඹුවක් ඇයට වූයේ නැත. කොහොමත් ජීවිතයෙහි තනි වූ තැනැත්තන් තමන් වෙත ළෙංගතු හැඟීමක් දනවමින් කතා කරනා අය හා කතාවට වැටෙන්නට දක්වන්නේ කැමැත්තකි.
“මං මෙයාට කිව්ව. බොරුවට හොස්පිට්ල් එකට බිල් ගෙවන්න ඕන නෑ..ටිකට් කප්පෝගෙන ගෙදර යමු කියල”
යළිදු අංජන ගෙන් උස් හඬින් පාන පිරිමි පෞරුෂය උතුරනා සිනහවකි.
“බෑ බෑ ඒකනං කරන්න බෑ. ඩොක්ටර් ඩිස්චාජ් කරනකං ඉමු..නේද සන්තුෂී…”
“අනේ මේවගෙ ඉතිං බලන්නෙ දවසක් හරි වැඩියෙන් තියා ගන්නනෙ පුතේ. මේවයෙ කෙරෙන්නෙ බිස්නස් එකක්නෙ”
“ඒ කතාවනං ඇත්ත අම්මෙ. ඒත් අපි බලමුකො තව දවසක්වත්…දැන් අම්ම කාල බීලද ඉන්නෙ…මං මුකුත් අරං ආවෙත් නෑ මොනා දෙන්න හොඳද දන්නැති නිසා”
“අනේ මොනා ගේන්නද පුතේ. අනික මන්නං කාල බීල ඉන්නෙ. මේ අපේ සන්තු තමයි තාම උදේටවත් කාල නැතුව ඉන්නෙ..මං කොච්චර කිව්වද මං ගැන දැන් බය වෙන්න දෙයක් නෑ ගිහිං කාල බීල එන්න කියල. මට සාත්තු කරන්නෙ කොහොමද එයා බඩගින්නෙ ඉඳං…”
“ඔයා තාම කාල නෙවේද ඉන්නෙ…”
එවර අංජන සන්තුෂී දෙස බැලුවේ ය. ඇය සිනහවකට නැගෙන්නට හැරියා ය. හැඳිනගෙන දින කිහිපයක් පමණක් වන අංජන මේ විදිහට ඔවුන් ගේ ජීවිත වෙත සමීප වීම එක අතකට ඇයට පුදුමයකි.
“බඩගින්නක් නෑ අනේ”
“ඒක පුදුම වැඩක්නෙ..අපිට ප්‍රශ්න වලදි මාර දාර්ශනික උත්තර දෙන කෙනා අම්මට ටිකක් අසනීප වුණාම දවසෙම බඩ ගින්නෙ හිටියද…”
එය තරවටුවකි. නමුත් ඒ තරවටුව තුළ ආදරය වූයේ ය. තරවටුවට ආදරය මුහු වූ විට කිසිවෙකුට ඒ ප්‍රතික්ෂේප කරන්නට නො සිතේ. සන්තුෂී ගේ වත මත උපන් සිනහව ඒ වාගේ එකකි. ඒ කරවටුවට කැමතියි වාගේ එකකි. නමුත් ඔහු පාසල් දැරියක කාලේදී වාගේ මඳ ලැජ්ජාවක් පෑවා ය. කාලාන්තරයක් තිස්සේ ඇයට ඒ ලැජ්ජාව අමතක ව ගොස් තිබි බවක් සන්තුෂී ම වුව දැන සිටියේ නැත.
“හොඳ වැඩේ. මං කිව්වට ඇහුවෙ නෑනෙ. මේ පුතා ඉන්න වෙලාවෙ එයත් එක්ක එළියට ගිහිං හරි කෑම ටිකක් කාල එන්නකො දරුවො”
“යං යං”
ස්වර්ණකාන්ති ගේ අර වචනය පිටතට පනිනා තුරු බලා සිටියා සේ අංජන කලිසම් සාක්කු වල දෑත් ඔබා ගනිමින් නැගී සිටියේ ය. අම්මා ගේ පෙළඹවීම නිසා සන්තුෂී ට දැන් ඔහු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද නැත.
“නන්දාට රෑට කන්න බත් එකකුත් අරං එන්න චූටි පුතා. ඔය මෙහෙ කෑව එයාට හරියන්නෑ”
කාමරයෙන් පිට වෙන්නට සූදානම් වෙත්දී ස්වර්ණකාන්ති මතක් කිරීමක් කළා ය.
“අම්මගෙ වදේට එළියට ආවට මට කන්න බෑ හොඳේ”
කාමරයෙන් පිටතට ආ ගමන් ම සන්තුෂී මිමිණුවා ය. ඔහු ඇය විනිවිද බැලුවේ ය. එදා සරස්වතියට රඟත්දී ඇගේ නව යොවුන් මුහුණේ තිබූ පවිත්‍ර නිකැළැල් ස්ත්‍රී ලක්ෂණ සොයන්නට මෙන් අංජන ගේ ඇස් ඇය මත වැතිර තිබිණ.
“රවන්න එපා ඉතිං”
අංජනට සිනහ ගියේ ය. රෝහල් පරිශ්‍රයෙන් පිටතට පැමිණි ඔවුහු ඉන්දියානු බොජුන් හලකට ගොඩ වූහ..සන්තුෂී හෙමි හෙමිහිට තෝසෙයක් කන්නට වූවා ය. අංජන ඒ මුහුණ දෙස බලා සිටියේ කැළඹුණු සයුරක් සේ හෝ ගානා හිතක් දරා ගෙන ය. දුටු දා පටන් කිසි දා ක අමතක නොවූ, හෙව්වාට හමු නොවූ, ආදරය ඉල්ලා සිටි තැන ම ප්‍රතික්ෂේප කළා වූ ඇය වූ කලී තවමත් ඔහු ට නිමා නොවූ චමත්කාරයකි. එදා බාලිකාවේ රංග ශාලාවේ ආරාධිත පාසල් සිසුන් වෙනුවෙන් වෙන් කොට තිබූ ආසන පේළි වලට ද පැහැදිලිව දැකිය හැකි වූ වහු පැටියෙකු ගේ ඇස් මෙන් පැහැදිලි වූ, කුංකුම අංජන තැවරීම නිසා මනෝහර වූ සන්තුෂී ගේ ලස්සන ඇස් දෙක වෙනස් වී දැයි ඔහු බලා ගෙන ම සිටියේ ය. මඳ වෙහෙසකර බවක් වූවාට ඒ ඇස් නොවෙනස් ය. අංජන තුළ ජීවත් වූ ඇයට පෙම් කළ කොල්ලා භාවනාවක් සේ නොසෙල්වී ඇදෙස ම බලා සිටියේ ය.
“මො..කද ඔහොම බලන්නෙ…”
සන්තුෂී ට මඳ අපහසුතාවයක් දැනිණ. අංජන සිනහවකින් උළුඳු වඩයක් අතට ගත්තේ ය.
“කනවද කියලයි බලං හිටියෙ”
ඇය ඇස් දෙක පහලට ම හරවා ගත්තා ය. මොකක්දෝ බරක් ඇස් වල සිට ඇතුළාන්තය තෙක් කාන්දු වන්නා සේ ඇයට දැනේ. එක අතකට ඇය ලෝභී හැඟීමකින් සසල ව සිටියා ය. මතක අතීතයක කල්ප මේ වාගේ ළඟට වී ඇය වෙනුවෙන් යම් වෙලාවක් ගත කළේ නැත.
“කොයි එක්කෙනත් පිට ගෑනුන්ට මේ වගේ ඇති. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ”
සරුංගලයක් සේ පාව යන්නට හදනා හිත මෙල්ල කරනු වස් ඇය එවන් සිතිවිල්ලක් උපදවා ගත්තා ය. නමුත් ඒ අතරේ ඇයත් නොදැන දිගු සුසුමකින් ඇගේ පපුව පිරී යමින් තිබිණි.
කියා ගන්නට බැරි තැවීමක් ඈ තුළ වන බව ප්‍රථම වතාවට අංජන ට දැනිණ. ඔහු ගේ ස්වාමි පුරුෂයා ගැන අසා දැන ගන්නට හිතුණත් ඔහු එසේ නොකොට සිය සිත පාලනය කර ගත්තේ ය.