“ඔව් රනුක”
මලිති කතා කළේ තැති ගැන්මෙනි. රාජකාරියක් අතපසුවීම රනුකගේ දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් නොවේ. එවැනි කාරණා ඔහු සමග කතාබහ කර විසඳා ගත හැකි බව හැම විටම පවසන්නකි. නමුත් රනුක කතා කරන්නේ ඉතා සංසුන් ස්වරයකිනි. එහි අදහස ම යම් විශාල ගැටළුවක් බව ය.
“උත්පලා මට කතා කළා. ඔයාලා කීපදෙනෙක්ගෙ ෆෝන් නම්බර්ස් ඉල්ලනව. මං කිව්වා මට ඒක කරන්න අපහසුයි කියලා. රාජකාරියක් නෙමෙයි නම් ඔයාලගේ ඔයාලගේ පර්සනල් නම්බර්ස් දෙන්න මට බෑ.”
ඇය එසේ දුරකතන අංක ඉල්ලන්නට හේතුවක් තිබිය යුතුම ය. මලිති එය අනුමාන කළා ය.
“බබා වැටුණු වෙලාවෙ එතනට ගියේ ඔයාලා. වෙච්ච දේට ඔයාලගේ සාක්කි එයාට උවමනා වෙන කතාවක් තමයි එයා කියන්නේ. ඒ උනාට මලිති මම මේ ගැන හිතන්නේ මෙහෙමයි. අපි හැමෝම මිනිස්සු. පුංචි දරුවෙක් කරදරේ වැටිලා දැක්කම අපි කවුරුවත් උදව් කරනව. ඒකට අපි හැමෝම හොඳට දන්න අපේ හිතවතෙක්ගෙ දරුවෙක් ද කියන එක අදාළ නෑ. අපි එතනට ගියේ ශේන්යාගෙ ජීවිතේ වෙනුවෙන්.ඔයා ලේ පෙරාගෙන දරුවෙක් තුරුල් කරගත්තේ රුවිනිලා බබාට කරන්න ඕන දේවල් කරේ ජීවිතේ කවදාවත් ඩ්‍රයිව් කරල නැති තරම් වේගෙකින් මම ඩ්‍රයිව් කරේ අන්න ඒ හින්දා.”
රනුක කියන්නේ පැහැදිලි සත්‍යයක් බව මලිති සිතුවා ය. එතැන කිසිම දෙයක් තිබුණේ නැත. දරුවෙක් කියන්නේ දරුවෙකුට ය. අනතුරට පත් කුඩා දරුවෙකු මගහැර යන්නට කිසිවකුත් හිත හදා ගන්නේ නැත.
“මට ඔයාලා සම්බන්දෙන් වගකීමක් තියෙනව. ඒ වගකීම් ඇතුලේ ඔයාලා අහක යන නඩු වලට පටලවන්නේ නැතුව ඉන්න එකත් තියනව කියලයි මට හිතෙන්නෙ. උත්පලා එයාලාගෙ පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් ඔයාලගෙන් සාක්ෂි ඉල්ලනවා නම් ඒකට ඔයාලා මැදිහත් වෙන්න ඕන නෑ.”
රනුක එසේ කියන්නේ යහපත් ආයතන ප්‍රධානියෙකු ලෙස බව මලිති දනියි. ඇය ඒ නායකත්ව ලක්ෂණයට ගරු කළා ය. නමුත් මේ මොහොතේ ඇයට ඇති ගැටළුව එය නොවේ.
දැන් තුහිනගේ මුළු ජීවිතයම කුඩා ශේන්යා ය. අනතුර හන්දා ඔහුට ඇයව අහිමි වුවහොත් තුහින වැටෙන තැන ගැන සිතන්නටවත් මලිති අකමැති ය. අන් සියළුම වේදනා පරදා දරුවෙකු අහිමි වීමේ ශෝකය ප්‍රබලව නැගෙන බව ඇය දනියි.
මලිතිට රුවිනි අමතන්නට සිත් වේ. නමුත් කිසිවක්ම කරගන්නට සිතක් නැති ඒ හන්දාම ඔබමොබ ඇවිදිමින් සිටි ඇය ෆේස්බුක් මත ඉහළ පහළ යන්නට ගත්තා ය.
“මං කසාද ජීවිතේ පුරාම රඟපාපු කෙනෙක්. මට පොඩ්ඩක්වත් නොගැළපෙන මනුස්සයෙක් බැඳගෙන මේ මනුස්සය හරිම හොඳයි කියලා ලෝකෙට පෙන්නන්න මම ඔයා ඉස්සරහම මොනතරම් රඟපෑව ද? ඒත් මට තවදුරටත් රඟපාන්න බෑ කියලා ඔයාලට කිව්වා ඔයාලට මතක ඇති. මං ගෙදරින් ආවේ මගෙ දරුවා එයාගෙ තාත්තට දීලා. ඒ මට දරුවො බලා ගන්න තරම් මූල්‍ය ශක්තියක් නැති නිසා. ඇත්තටම මට එහෙම කරන්න වුණා. ඒත් මගෙ දරුවගෙ තාත්තට එයාව බලා ගන්න පුලුවන් වෙලා නෑ. මේ ඉන්නේ මගේ පුංචි කිරිල්ලී. හොඳටම තුවාල වෙලා ඉන්න මගේ පුංචි පැටියට කොයි තරම් රිදෙනවා ඇතිද? සමාවෙන්න පුතේ මං මහා නරක අම්මා කෙනෙක්. ඒ උනාට ඔයා ගැන චුට්ටක්වත් නොබලපු අපි දෙන්නම දෙපැත්තට වෙන් කරපු ඔයාගේ තාත්ත ඊට වඩා දස දහස් ගුණයක් නරකයි. අපි දෙන්නම හරිම අසරණයි.”
වරද හෝ නිවැරදිභාවය ගැන සිතීම පසෙක තැබූ මලිති උත්පලාගේ සටහන දෙස බලා සිටියේ වෛරයෙනි.තුහිනට ආදරය කිරීම වෙනම කාරණාවකි. ඔහුගේ සමීපතමයකු නොවන අයෙකුට පවා මේ සටහන කෝපයක් ඇති කළ යුත්තක් බව ඇය සිතුවා ය.
තමන්ගේ ගෙදර සමාජ මාධ්‍ය වෙත ගෙන ආවේ උත්පලා ය. ඇය එතැනින් නතර නොවී දැන් තමන්ගේ ගැටළු නිරාවරණය කිරීම සඳහා කුඩා ශේන්යා භාවිතා කරමින් හිඳියි. රෝගී සයනයේ සිටින දරුවා පවා සමාජ අනුකම්පාව ගන්නට යොදා ගන්නා ගැහැනිය ගැන මලිතිට කියන්නට බැරි තරමේ තරහක් ඉපදෙමින් තිබිණි
“අඩුම තරමේ දරුවගෙ ෆොටෝස් නොදා හිටියනන්”
නමුත් උත්පලා සමඟ මේවා කතාබහ කර විසඳා ගන්නට නොහැකි බවද ඇය දැන සිටියා ය. කෝපය උතුරා යද්දී තුහිනට ඇමතීම ද අමතක කළ ඇය උත්පලාට හොඳ දෙකක් කියන්නට සිතුවා ය.