ස්වයං අරගල ඔබ වඩා ශක්තිමත් කරයි

ඔන්න එකමත් එක කාලෙක පොඩි ගමක හිටපු වෙළෙන්දෙක් තමන්ගේ වෙළඳාම් වැඩ අවසන් කරලා ගෙදර එමින් හිටියා. ඒ එන මඟ දැනුණ වෙහෙස නිසා ගහක් ළඟින් හාන්සි වෙලා ඔහේ බලාගෙන හිටියා.

එතකොට තමයි මේ වෙළෙන්දා දැක්කේ සමනළ කෝෂයකිම් එළියට එන සූදානම් වෙන සමණලයෙක්. ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගෙන තිබුන මතකේ තිබුණට කවදාවත් සජීවීව සමනල් උපත දැකලා තිබුණේ නැති නිසා වෙළෙන්දා තීරණය කලා පැය කීයක් හරි ඉවසගෙන බලාන ඉන්න.

පැය ගානක් තිස්සේ කෝශය සෙලවි සෙලවි තිබුණා. කෝෂයේ අග සිදුරෙන් එළියට එන්න සමනලයා වෙර දරන විදිය වෙළෙන්දා බලාගෙන හිටියා. ඒත් එකපාරටම ඒ චලන නැවතුණා. වෙළෙන්දා බලාගෙන හිටියාත් කිසිම වෙනසක් වුණේ නැහැ.

දැන් වෙළෙන්ඳාගේ හිතටත් හරි නැහැ. ඒ නිසා වෙළෙන්දා තීරණය කලා සමනළයාට උදව් කරන්න. මල්ලේ තිබුණ පොඩි කතුරක් ගත්තා. අරගෙන කෝෂයේ එකට හා වෙලා තිබුණ කොටස කැපුවා. ඊට පස්සේ ඉදිමිලා තිබුණ ඇඟයි, කුඩා පිහාටු දෙකකුයි එක්ක සමනලයා එළියට ආවා. 

ඊට පස්සේ වෙළෙන්දා වාඩි වෙලා බලාගෙන හිටියේ මේ විකෘති රූපයක් තියෙන සමනලයා පියාපත් විශාල වෙලා හැදෙනකල්. ඒත් ඒක පැය කීයක් බලාගෙන හිටියත් සිදු වුණේ නැහැ. වෙලෙන්දා සමණලයා දිහා බලාගෙන ඉන්න වැඩේ අතෑරලා යන්න ගියා. 

සමණලයා ඉදිමුණ ඇඟයි, කුඩා පිහාටුයි එක්ක නිදහසේ පියඹන්න බැරුව තනි වුණා.

කරුණාවන්ත හදවතක් තිබුණාට, ඒ වෙළෙන්දා තේරුම් ගත්තේ නෑ සමනළයාට කෝශය ඇතුළේ සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරන්න තියෙන කාළය සමනලයාම අරගල කරමින් ගෙවන්න ඕනි බව. ශරීරයේ තියෙන තරලය පිහාටු වලට තල්ලු කරලා පිහාටු විශාල කරවන යාන්ත්‍රණය ඉවර වෙන්න  ඒ කෝෂය ඇතුලේම කාළතරණය වෙන්න ඕනි කියන එක වෙළෙන්දාට මඟෑරුණා. නිදහසේ පියාඹන්න නම් තමන්ම අරගල කරලා පිහාටු හය්ය කරගන්න සමනළයාට වෙන බව වෙළෙන්දාට අමතක වුණා.

ඉතින් ; සමහරවෙලාවට අපේ ජීවිතවලත් ඔය විදියේ සිදුවීම් වෙනවා. හැමදාම කාගේ හරි අතක එල්ලිලා, උරිස්සකට වාරු වෙලා ඉන්න එක ජීවත් වෙනකොට ප්‍රායෝගික නැහැ. එහෙම ඕනි වෙන අවස්ථා තියෙනවා තමයි. ඒත් ඒ අවස්ථාව පවා තනිවෙලා දරාගන්න අපිට සිද්ද වෙන්න පුලුවන්.

ජීවිතේ හරිම අස්ථිරයි. අහම්බකාරකයි. අද අපේ වටේ සීයක් දෙනා හිටියත්, හෙට එක්කෙනෙක්වත් නැති වෙන්න පුලුවන්. එහෙම හෙටකින් අනිද්දාට යන්න අපිට වෙන්නේ තනියම වෙන්න පුලුවන්. ඒ නිසා ඒ තනිකම  පිළිගෙන තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕනි.

අම්මලා තාත්තලා සමහර අයගේ ජීවිත ඇතුළේ හැමදේම බලා කියාගන්නවා. තනියෙන් කඩේටවත් යන්නේ නැහැ, බස් එකක තනියෙන් ගිහින් නැහැ, ඒ ආදරේ තමයි. ඒත් ඒ ආදරේ තමන්ට පාරාවලල්ලක් නොවෙන්න අපි වග බලා ගන්න වෙනවා.  තමන්ගේ ආදරේ නිසා තමන්ගේ දරුවාගේ ජීවිතේ පළුඳු සමනල් පිහාටු තියෙන සමණලයා ට වුණ වැඩේ නොවෙන්න අම්මලා වග බලා ගන්නත් ඕනි. අනෙක් අයගේ සහයෝගය ජීවිතේට වැදගත් වෙන්නේ කොච්චරක්ද, ඒ වගේ දහස් ගුණයක් ස්වය සහයෝගය අපිට වැදගත් වෙනවා.

ඒ නිසා ඉඩ ලැබෙන හැම වෙලාවකම තමන්ව ගොඩ නඟා ගන්න එක වැදගත්. ඒක පොඩි කාලේ ඉඳන්ම පොඩි පොඩි දේවල් එක්කම පුරුදු වුණාම එහෙම නැත්නම් පුරුදු කලාම   ලොකු වෙනකොට මහා ප්‍රාමාණ දෙයක් වෙනුවෙන් වුනත් අරගල කරලා  ජීවිතේ ට ගලපගන්න අපිට පහසු වෙනවා. 

ඒ නිසා, මතක තියාගන්න ඔබට සටන තියෙන්නේ ඔබ එක්ක. ඔබ ශක්තිමත් වෙන්න ඕනි ඔබ තුළ. ඔබේ සියළුම ශක්තිමත් කලාප තියෙන්නේත් ඔබ තුළ. ඒ වෙනුවෙන් ස්වයං අරගල කරන්න. දිනන්න. 

ඊට පස්සේ ඔයා ලස්සන පිහාටු තියෙන සමණලයෙක්……..!!!

Related Articles

Don't Miss


Latest Articles