පාස්පෝට් එක හදාගන්න පාස්පෝට් ඔෆීස් යන්න ඉන්න ඔයාට වැදගත් වෙන tips ටිකක්

රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා වගේම ව්‍යාපාරික කටයුතු හෝ වෙනත් විවිධ අවශ්‍යතා නිසා විදේශගත වෙන්න සූදානම් වෙලා ඉන්න ඔබ මුලින්ම ඔබේ විදේශ ගමන් බලපත්‍රය (passport) ගැන අනිවාර්‍යෙන් හොයල බලනවනේ. 

විදේශ ගමන් බලපත්‍රයක් නැත්නම් අලුතෙන් ලබාගන්න, විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙලා නම් නැවත අලුත් කරගන්න වගේම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවෙලා නම් අලුතෙන් ලබාගැනීමත් හරිම වැදගත් මේ නිසයි.

තමන්ගෙ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් වැදගත්, වටිනා සහ පිළිඟත් ලියවිල්ලක් වන විදේශ ගමන් බලපත්‍රය තිබීම වැදගත් වෙන්නෙ විදේශගත වන විට පමණක්ම නොවෙන නිසා විදේශ ගමන් බලපත්‍රය සාදාගෙන තිබීමේ ගැටළුවකුත් නෑ. 

ඔන්න ඒ නිසා අද අපි ඔබටත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ විදේශ ගමන් බලපත්‍රය ලබාගන්න ආගමන විගමන දෙපාර්තුමේන්තුවට යන ඔබට ඉතාම වැදගත් කරුණු කාරණා ටිකකුයි. රස්තියාදුවකින් තොරව හරි විදිහට පිළිවෙලට විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ගෙදර එන්න මේ කරුණු ඔබට වැදගත් වෙයි. 

මුලින්ම, වෙලාවක් වෙන්කර ගන්න

බත්තරමුල්ල, වව්නියාව, මාතර, කුරුණෑගල සහ මහනුවර කියන ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ඕනෑම ශාඛාවකින් ඔබට මේ පහසුකම ලබාගන්න දැන් ඉඩ ලැබිල තියෙනවා. 

මේ සඳහා ඔබ පදිංචි ප්‍රදේශය කිසිම ආකාරයකින් බලපාන්නෙ නැහැ. 

මුලින්ම මෙන්න මේ පහළ තියෙන වෙබ් ලිපිනය ආධාරයෙන් ඔබේ ප්‍රදේශයේ තියෙන පිළිඟත් ඡායාරූප ආයතනයකින් ඔබේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපය අරන් ඔබට ලබාදෙන අංකය සමඟ වෙලාවක් වෙන්කර ගැනීම කරන්න ඕන. 

https://www.immigration.gov.lk/studio_e.php

ඊළඟට මේ පහතින් තියෙන වෙබ් ලිපිනය ඔස්සේ ඔබ දිනයක් සහ වෙලාවක් වෙන්කර ගැනීම අවශ්‍ය වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම අවශ්‍ය මඟ පෙන්වීම් කරනවා. 

https://www.immigration.gov.lk/index_s.php

මේ පුරවන application form එකේ pdf එක අරන් අදාල දිනයට යන්න ඔබ සූදානම් වෙන්න ඕන. 

අවශ්‍ය දේවල් සූදානම් කරගන්න

Application form එක,

විවාහ වුණ කෙනෙක් නම් විවාහ සහතිකය සහ එහි පිටපතක්,

ඔබේ සේවා ස්ථානයෙන් ඔබේ තනතුර තහවුරු කරල ලබාගත්ත ලිපියක් (විදේශ ගමන් බලපත්‍රයේ රැකියාව සඳහන් කිරීමට අවශ්‍ය නම්)

ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක්,

උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්, 

ඔබ පාස්පෝට් ඡායාරූපය ගන්නා විට ලබාදුන් රිසිට් පත

වගේ එහි සඳහන් ඔබ රැගෙන ආ යුතු ලියකියවිලි සියල්ලම වෙනම බෑගයකට දමා පිළිවෙලට අසුරා සූදානම් කර තබා ගන්න ඕන. 

අවශ්‍ය පිටපත් දෙක බැගින් වගේ රැගෙන යාම වඩා හොඳයි. 

ඔවුන් ඉල්ලද්දී ඉක්මණින් පහසුවෙන් ඒව ලබාදෙන්න හැකිවිය යුතුයි. 

ඊළඟට ඔබ රැගෙන යන මල්ලේ වතුර බෝතලයක්, ආහාර පාර්සලයක්, කුඩයක්, අවශ්‍ය වුනොත් වේදනා නාශක පෙති කීපයක් හෝ ඖෂධ, බිම වාඩිවී සිටීමට අවශ්‍ය වුනොත් ඉටි රෙදි කැබැල්ලක් වගේ ඔබට අවශ්‍ය සියළුම දෑ පහසුවෙන් ලබාගත හැකි ආකාරයට අසුරා ගන්න ඕන. 

වැදගත්ම දේ ඔබේ මුදල් පසුම්බියයි.

තැන් කීපයක මුදල් දමාගෙන යාම වඩා සුදුසුයි. හොරුන් සහ ගැට කපන්නන් සිටින නිසා ඔබේ මුදල් ප්‍රවේශම් කිරීමේ වගකීම වෙනත් අයට පවරන්න එපා. අවශ්‍ය මුදල හරියටම අරන් යන්නෙ නැතුව ටිකක් වැඩිපුර මුදලක් ඔබ ලඟ තබා ගැනීම වඩා සුදුසුයි. ඒ වගේම ඕනෑම බැංකුවක ATM යන්ත්‍ර ආගමන විගමන කාර්‍යාලයේ තියෙන නිසා එතනින් මුදල් ලබාගන්නත් පුළුවන්. 

හරි වෙලාවට, හරි තැනට

ඔබට ලැබුණු දිනයේ ටිකක් කල් වේලා ඇතුව අදාළ ආගමන විගමන කාර්‍යාලයට යන්න.

ශරීරයට අපහසු, තද ඇඳුම් අඳින්න නම් එපා. වැඩි වෙලාවක් ගත කරන්න පහසු සරල ඇඳුමකින් සහ පාවහන් වලින් සැරසිලා යන්න. ඔබ යම් යම් රෝගී තත්ව වලට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් අදාළ ඖෂධ හරි වෙලාවට අරන් හැකිනම් ඔබේ උදව්වට තවත් කෙනෙක් සමඟ යන එක වඩාත් හොඳයි. 

වටිනා ආභරණ පළඳින්න එපා. ඔබේ මුදල් සහ ලිපිලේඛන වගේම ආභරණ ගැනත් සැළකිලිමත් වෙන්න සිදුවීම ඔබට අනවශ්‍ය පීඩනයක් ඇතිකරන්න පුළුවන්. 

උදේ ආහාරය ගැනීම අනිවාර්‍යයි. සමහර වෙලාවට ටික වේලාවක් යනතුරු නැවත ආහාර ගන්න ඉඩක් නොලැබෙන්න පුළුවන්. 

ඒ නිසා, කුස පුරවාගෙන සිටීම වඩා යහපත්. ගෙදරදීම පිළියෙල කරගත්ත ආහාරයක් එහෙමත් නැත්නම් කෙටි කෑමක් ගැනීම වඩා යහපත් වෙන්නෙ එළියෙන් කන කෑම වලට සමහර විට වමනය හෝ වැසිකිළි යාමේ අවශ්‍යතාව එන්න පුළුවන් නිසයි. 

පගාව දෙන්න යන්න එපා

මේ පෝළිම් වල ටික වෙලාවක් ඉද්දි “පෝළිමේ ඉන්න ඕන නෑ. මම විනාඩි 10 න් වැඩේ කරල දෙන්නම් කියන මිනිස්සු අනිවාර්‍යෙන් මුණ ගැහෙනව.” 

ඒම අයට ඔබේ මේ වටිනා ලිපි ලේඛන සහ මුදල් දෙන්න යන්න එපා. අවශ්‍ය ලේඛන නිවැරදිව තියෙනව නම් ඔබට ඇත්තටම ඒ කාගෙවත් සහයක් අවශ්‍ය වෙන්නෙ නෑ. හරි විදිහට හරිම පහසුවෙන් ඔබේ විදේශ ගමන් බලපත්‍රය ලබාගන්න පුළුවන්. 

ඒ නිසා අවශ්‍ය දේවල් හරි විදිහට අරන් යන්න. ඔබේ මුදල් නිකන් නිස්කාරනේ කිසිම කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න එපා. 

අනික ඔබේ ලිපිලේඛන සමඟ ඔය පුද්ගලයෝ අතුරුදහන් වුනොත් ඒ ගැන වගකීම ගන්න ඔබ ඇර කිසිකෙනෙක්ට හැකියාවක් නම් නෑ. 

විනීත වෙන්න

පෝළිමට ඉන්න. ඔබ වගේම මුදල්, කාලය සහ ශ්‍රමය වියදම් කරමින් අනිත් අයත් ඒ වෙන්කර ගත් දිනට පෝළිමට ඇවිත් ඉන්න බව ඔබ මතක තබා ගන්නම ඕන. වෙනත් වැඩකටයුතු එදාට යොදාගන්න එපා. ඒව අනිත් අයට අදාළ නොවෙන බවත් මතක තබාගන්න.

ඒ නිසා පෝළිම් පනින්න එපා. පෝළිම් පනින්න කිසිවෙකුට අවස්ථාව දෙන්නත් එපා. යම් අයෙක්ට විශේෂත්වයක් දීල සළකනව නම් ඒ ගැන එතන ඉන්න නිළධාරීන් හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටත් බය වෙන්න එපා.

සෑම කෙනෙක්ගෙම කාලය ඒ කෙනාට ඔබට වගේම වටිනවා. ඒ නිසා විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් නොයිද අවශ්‍ය වෙලාව ගත කිරීමට නිසි සූදානමින් ඒ ස්ථානවලට යන්න. 

සුහදව, විනීතව, ආචාරශීලීව තමන් අසල සිටින පුද්ගලයන් සමඟ කතාබහ කරාට වරදක් නෑ. නමුත් අනවශ්‍ය පුද්ගලික තොරතුරු හුවමාරු කරගන්න යන්න එපා. 

ඉතිං, මේ තොරතුරු විදේශ ගමන් බලපත්‍රය ලබාගන්න යන්න සූදානමින් ඉන්න ඔබට ගොඩක් වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. 

එහෙනම් පරිස්සමට ගිහින් එන්න!

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles