රිදුණු තටු පිරිමදිමි – 20

කල්ප බණ්ඩාරතිලක ඔවුන් ගේ දෙමහල් මන්දීරේ දැවැන්ත ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. ඒ සක්මන කල්පනා භරිත වූවකි. ඔහු සිය නිකට පුරා වැවුණු රැවුල පිරිමදිමින් ද දෑත් පපුවේ බැඳ ගනිමින් ද නැවත දෑත් සාක්කු වල රුවා ගනිමින් ද සක්මන් කළේ ය. නැවත සෝෆාවකට බර වූයේ ය. නො සන්සුන් ලෙස නැගිට නැවත ද සක්මන් කළේ ය. 

ඔහු මේ මන්දිරය ගොඩනැගුවේ කෙතරම් නම් ආඩම්බරයකින් ද? ඒ ඔහු ගේ තාරුණ්‍යයේ ශක්තිමත් ම යුගය ය. කල්ප විවාහ වන විට විශ්ව විද්‍යාලයෙන් සමු ගත් ගමන් තුරුණුවෙකි. එතකොටත් ඔහු ප්‍රකට ටියුෂන් ගුරුවරයෙකු ලෙස අත්තිවාරම දමා ගනිමින් සිටියේ ය. කල්ප ට උවමනා වූයේ ඉක්මන් ගමනකි. ඒ වේගවත් බව ඔහු ගේ ලේ වලට ම මුහු වී තිබිණ. බැංකු ගිනුම් වල ශේෂය ශීඝ්‍රයෙන් ඉහළ යනු දැකීම ඔහු ගේ සතුට විය. ඒ වෙනුවෙන් වෙහෙසීම ඔහු ගේ විනෝදාංශය විය. 

ඔහු ට සුරූපී තුරුණු බිරිඳක් සිටියා ය. විදේශ දරුවන් සේ පෙනුණ හුරුබුහුටි දරු දෙදෙනෙකු ඉක්මනින් ඔවුන් අතරට පැමිණ සිටියහ. මේ විශාල මැදුර ඉදි කොට ඔවුන්ට නිදහසේ ඕනෑ හැටියට ජීවත් වන්නට ඔහු අවකාශයක් තනා දුන්නේ ය. මේ මැදුර තවමත් ඒ පැත්තට වන කැපී පෙනෙන නිවසකි. එය ජීවත් වීමට අවශ්‍ය සියළු සුඛෝපභෝගී ගෘහාංග වලින් සමන්තවිත විය. සන්තුෂී ට හා දරු දෙදෙනාට අබ මල් රේණුවක භෞතික අඩුපාඩුවකට ඔහු ඉඩ තැබුවේ නැත. ඉතින් ඔවුන් තවත් බලාපොරොත්තු වන්නේ මොනවාද?

දරු දෙදෙනා විදේශ ගත වූයේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙනි. නමුත් ඔවුන් යළි නො එන බව කල්ප ඉඳුරා දැන සිටියේ ය. කාටවත් නො කියනා සන්තාපයක් ඒ ගැන ඔහු ගේ හදවත පත්ලෙහි වේ. නමුත් ඔවුන් ළමයින් හැදූ හැටියට ඔවුන්ට මේ කොදෙව්ව ප්‍රමාණවත් නොවන බව කල්ප දනී. ඔවුන් තටු සලා මහාද්වීප සොයා ඉගිල ගියේ ඒක ය. නමුත් සන්තුෂී ට ඉගිල යන්නට හේතුවක් විණි ද? ඒ ගැන කල්පට වන්නේ ශෝකයක් නොව කෝපයකි. ලෝකයේ වන සියලු සැප සම්පත් මේ මැදුර තුළ තිබියදීත් ඇය ඒ අතැර නික්ම යන්නට හදන්නේ මොන ඉසුරක් හොයා ගෙන ද?  අත මිට මොළවා කල්ප සෝෆාවට පහරක් ගැසුවේ ය.

මේ මැදුර ඔහු ගේ අභිමානය ය. එහි ඔහු ගේ සියල් වස්තුව රැඳී තිබිණි. ලෝකයට ඔහු ගේ යස ඉසුර කෑ ගසා කියන නිහඬ ඝෝෂාව එය වූයේ ය. ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා, මව් බස සේ ඉංග්‍රීසියෙන් දොඩන දරු දෙදෙනෙකු එහි වූහ. පිරිමි ඇසක් දෙවරක් හැරී බලන විදිහේ සොඳුරු බිරිඳක එහි සිටියා ය. ඔහු ගේ අභිමානය නිර්මිත වන්නේ ඒ සියල්ලෙහි එක් වීමෙනි. නමුත් අද ඒ මන්දිරය පාළුවට ගොසිනි. දරු දෙදෙනා සේ ම සන්තුෂී ද එය හැර ගොසිනි. කල්ප බණ්ඩාරතිලක ගේ අභිමානය ගේ මැද්දේ අසරණ ව සුසුම් හෙළයි.

ඔහු ට මහත් තනි කමක් දැනේ. එය භීතියක් හා සම්බන්ධ වූ තනිකමකි. 

“මට තනි වෙන්න බෑ ය කෝ..”

ඔහු වීදුරු ස්ටූලය මත වූ අගනා පළිඟු බඳුනක් පොළොවේ ගසා කුඩු කළේ ය..වීදුරු කැබලි සී සී කඩ විසිර ගියේ ය. මුළු ගෙදර ම බඩු පොළොවේ ගසා කුඩු කොට දමන්නට තරම් ආවේගයක් කල්ප වෙත විය. ඔහු වෙව්ලමින් සිටියේ ය. කෑ ගසා හඬන්නට ඕනෑ කමක් ඔහු ට විය. නමුත් කල්ප නිවැරදිව එය හැඳින ගත්තේ නැත. ගෑනියෙක් නිසා හඬන්නට තරම් උමතුවක් ඇති දුර්වල පිරිමියෙකු ලෙස තමන් ව දකින්නට ඔහු ට ඕනෑ නොවිණ. නමුත් හෙතෙම සෝෆාවේ ගුලි ගැහී ඒ බිය තනිව විඳ ගන්නට විය. තනි වෙන්නට මිනිස් සන්තානයක වන බිය!

කල්ප ට ඕනෑ වූයේ සම්පූර්ණ ගෙදරකි. ඔහු එය සම්පූර්ණ කර ගෙන සිටියේ ය. නමුත් ඒ තුළ ආදරය හිඟ වෙමින් යන බව ඔහු නො දැන සිටියේ ය. සන්තුෂී ඉගිල ගියේ ඇති වෙමින් පැවති ඒ රික්තකය තුළින් බව ඔහු නො දැන සිටියේ ය!

භෞතික වශයෙන් ගැහැනුන් තෘප්ත කළ හැකි යයි බොහෝ පිරිමි සිතා සිටිති ගෙදර අඩු පාඩු නොකරනවා නම් ගෙයින් පිටත දී සිය සම්බන්ධතා කවරාකාරයෙන් වි ද කිම දැයි ප්‍රශ්න කරනා පුරුෂ සමාජයෙහි කල්ප ද එක් අංශුවකි. මුදල් වලින් සතුටු විය හැකි දේවල් ළං කර ගත හැකි වී ද සතුට මිල දී ගත නො හැකි බව ඒ පිරිමින්ට වටහා ගත නො හැකි ය. සුඛෝපභෝගී රන් කූඩුවක සිර කර තබා ගත නොහී, ජීවත් වීමෙන් සතුටු වීමට සිතනා කිරිල්ලියන් ඉගිල යනු ඇති බව ඔවුන්ට සිතා ගත නො හැකි වේ.

සන්තුෂී සිතිවිලි රළ හා පොරබදා එතෙර වූයේ පහසුවෙන් නොවේ. මේ මුල් ම හා අවසාන අවස්ථාව වනු ඇත. මෙයින් මතු යළි අවස්ථාවක් උදා නොවනු ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නො ලද හොත් යළි කිසි සේත් එවැන්නක් බලාපොරොත්තු විය නො හැකි වනු ඇත.

“අම්මෙ…”

 උදේ තේ බොන ගමන් සන්තුෂී ස්වර්ණකාන්ති ළඟ පුටුවේ හිඳ ගෙන සන්සුන් ලෙස මව ඇමතුවා ය. ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඇති ස්වර්ණකාන්ති දියණිය ගේ ස්වරය තුළ වන් සන්සුන් බවින් මඳක් තිගැස්සුණා ය. නමුත් ඇය අභියෝග වලට බිය ඇති හා ඒවායින් පැන යන ගැහැනියක නොවේ!

“ම්…”

“මං ගෙදරින් ආවෙ දිගටම අම්ම එක්ක ඉන්නව කියල හිතා ගෙන”

දුවක කුළ ගෙය අත්හරිනවා කියන ආරංචිය අම්මා කෙනෙකු ගේ පපුව මත මහාමේරුව නංවයි. සුසුම් කුණාටුවක් හදවත ඇතුළේ කැළඹුමක් ඇති කළා වී ද ස්වර්ණකාන්ති සිය සන්සුන් බව පළා යන්නට ඉඩ දුන්නේ නැත.

“මං ගැන වද වෙන්න ඕන නෑ පුතේ”

“මං ගැනවත් මං දැං වද වෙන්න ඕන අම්මෙ. හැම සැපක්ම තිබිච්ච ඒ ගෙදර ඇතුළෙ මං හරියට දුක් වින්දා අම්මෙ. ආදරේ කියන්නෙ බලෙං ගන්නවත් බලෙන් දෙන්නවත් පුළුවන් දෙයක් නෙවේ. මං කල්ප එක්ක ගියේ ආදරේ නිසාද ආදරේ කියල හිතපු වෙන හැඟීමක් නිසාද කියල මන් දන්නෑ. ඒ මොකක් වුණත්…ආදරේ වුණත් ඒක ටික කාලෙකදි වෙනස් වෙලා ගියා අම්මෙ. අම්මයි තාත්තයි දන්නවනෙ. ළමයි නිසයි ආත්ම ගෞරවේ නිසයි මං හුඟක් දේවල් ඉවසං හිටිය. ඒත් එහෙම ඉන්නකොට අපිට අපිවම එපා වෙන තැනක් එනව. මහ හිස් කමක්…අප්පිරියාවක්…වෙහෙසක් දැනෙනව. ඒත් ඉවසං ඉන්න ගියොත් ජීවිතේ නැති කර ගන්න තමයි අන්තිමට හිතෙන්නෙ. ආදරේ නැති වෙලා ගියා කියල ඩීප්‍රෙශන් හදා ගන්න තැනට වැටෙන්න මට ඕන නෑ අම්මෙ. එයා නැතුව බෑ කියල එක කාලයක් රණ්ඩු කර ගත්තට…ආදරේ කියන්නෙ එහෙම ඉල්ලන්න ඕන දේකුත් නෙවේ කියල දැන් මං දන්නව. ඒත් කල්පට ඕන මගෙ ජීවිතෙන් යන්නත් නෙවේ. එයාටග වයිෆ් විදිහට එයාගෙ ගෞරවේ විදිහට එයාගෙ ආඩම්බරේ විදිහට මාව පැත්තකින් තියං ඉන්න ගමන් ඒ වෙනුවෙන් මට කිසි වටිනාකමක් නොදී වෙන ගෑනු ඕන හැටියට අශ්‍රේ කරන්න. ඒ ජීවිතේ මට අප්පිරියයි අම්මෙ. මට ඒ නරා වළෙං එළියට යන්න ඕන අම්මෙ. මං අම්ම එක්ක මගෙ ජීවිතේ ඉතුරු ටික ගෙවන්නං”

සන්තුෂී බලාපොරොත්තු වූ තරම් ස්වර්ණකාන්ති කලබල වූයේ නැත. නමුත් ඇගේ ඇස් වලට කාන්දු වූ කඳුළක් තිබිණ. සන්තුෂී ගේ අම්මා වශයෙන් ඒ කඳුළ නො ඉපදුණා නම් පුදුම විය යුතු ය. ඒ කඳුළ වියළා ගැනීමෙන් පසු ඕ තොමෝ සිනහවක් නගා ගත්තා ය.

“මට ඔයා කියන හැම දේම තේරෙනව. දැනෙනව. ඔයා ඒ රත්තරං කූඩුවෙන් එළියට එන එක ගැන මට දුකක් නෑ චූටි පුතා. ඒත් ඔයා දවසක තනි වෙනව නේද කියල හිතෙද්දි මට දුකයි”

“තනි වෙන්නෙ කොහොමද…මට අම්ම ඉන්නෙ…”

“අපි උගුරට හොරා බෙහෙත් කන්න ඕන නෑ චූටි පුතා. මං දැන් වයසයි කියල අපි දෙන්නම දන්නව..හිටිය කාලෙ වැඩියි. කොයි වෙලාවෙ යන්න වෙයිද කියන්න බෑ. අඬගහන වෙලාවක යන්න ලෑස්ති වෙලා ඉන්නයි තියෙන්නෙ. ඒත් ඔයා මං ළඟ ඇවිත් වැටෙනව කියන්නෙ…මට හිත හදාගෙන ඒ ගමන යන්න බෑ”

“මොනාද අම්මෙ කියන්නෙ…ඔයා දැන්ම එහෙම යන්නෙ නෑ. කොච්චර තරුණද ඔයා…මගෙ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕන අම්ම…අනිත් එක අම්මෙ…තනි වෙන්න බය වෙන්න ඕන නෑ කියල දැන් මං හිතනව. අපි තනි නෑ කියල හිතන තැන…අපිට පවුලක් තියනව කියල හිතන තැන තනි වෙන එකයි භයානක. මං ඒක විඳපු කෙනෙක්. බැඳීම් නැතුව තනි වෙනව කියන්නෙ සැහැල්ලුවක්..දැන් මට ඕන ඒ සැහැල්ලුව මිසක් බැඳීම් නෙවෙයි”

“මට වුණත් අයිතියක් නෑ පුතේ ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න..ඔයා හොඳට කල්පනා කරල හොඳම තීරණේ ගන්න..මුලින් වගේ වරදින්නෙ නැති වෙන්න. හරි ගියත් වැරදුණත් අම්ම ඔයා එක්ක ඉන්නව. ඉන්න තැනක ඉඳන් තාත්තත් ඔයා දිහාමයි බලන් ඇත්තෙ. එක සැරයක් ඔයා වරදක් කරපු වෙලාවෙත් ඔයාව අත්ඇරල දාන්න අපිට පුළුවන් වුණෙ නෑනෙ. හැබැයි ඔයා හිතන තරං ලේසියෙන් කල්ප මේ දේවල් අත් අරියි කියලනං මං හිතන්නෑ”

“අම්ම මේ වෙලාවෙත් මාව තේරුං ගත්ත එක මට ඇති”

අප්‍රමාණ වූ සැනසීමක් සන්තුෂී ට දැනිණ. සියල් ජීවිත පිරිපත විසින් ශක්තිමත් හිත් ඇති මිනිසුන් බිහි කරනවා යි කතාවක් තිබේ. දැන් ඇගේ තීරණයට අවශ්‍ය ආශිර්වාදය ද ලැබී ඇතියෙන් ඇය වඩා දිරිමත් වූවා ය. 

එදා සන්තුෂී ලා ගේ ගෙදර ගිහින් ආවාට පස්සේ අංජන ඇයට කතා කළේ ම නැත. මිහිරක් ඔහු ගේ හදවතේ තිබිණ. ඒ මිහිර අතීතයෙන් පැන නැගී වර්තමානය මත වැතිර ගත්තා වූ එකකි. එදා සරස්වතිය ගේ රත් පියුම්  ලවන් මත වූ තීව්‍ර මඳහස අදටත් නොවෙනස් කියා ඔහු ට සිතේ. නමුත් අද සිටින්නේ එදා සිටි ඇය හෝ එදා සිටි ඔහු නොවන බව අංජන ඉඳුරා දැන සිටියේ ය. ඔහු සන්තුෂී ට දුරකතන ඇමතුමක් හෝ නොදී සිටියේ හිත දුර යනවා වැඩි හින්දා ය. එහෙම ගිහින් යළි පාර සොයා ගත නො හැකි තැනක අතරමං වීම ගැන හිත වන්නේ බියකි. සදෙව්මා රාහුල දියණියක වී අංජන ගේ හිත අවුරා පවුරු බඳී.

ඔහු කාර්යාලයට ගොඩ වෙන විට ම සන්තුෂී ගේ නමින් දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. අංජන ගේ දෙතොල් මතට දඟකාර සිනහවක් ආවේ ය. ඔහු පරිනත පිරිමියෙකු වෙමින් ඒ සිනහව ඔහු තුළ ම සඟවා ගත්තේ ය.

“ගුඩ් මෝනිං මැඩම්”

නමුත් ඒ ස්වරයෙහි අවුරුදු දහ අටක භද්‍ර යෞවනයෙකු ගේ හඬෙහි කැළතී තිබිය හැකි ආදරය තිබිණ. අවුරුදු හතළිස ගණනක අංජන නීලවතුර ගේ සැබෑ පිරිමි පෞරුෂය තිබිණි. 

“ගුඩ් මෝනිං තමයි. මං තරහයි”

සන්තුෂී දඟකාර නෝක්කාඩුවක් පෑවා ය. අංජන පුටුව ඇද අසුන් ගත වෙන ගමන් සැහැල්ලුවෙන් සිනහ වූයේ ය.

“ඒ මොකද අප්පේ…මං මොන වරදක් කළාටද…”

විශේෂ උත්සාහයක් නොකළ ද අංජන නීලවතුර ගේ දේහධාරී පෞරුෂය ද රැවුල් කොට වැවුණ මුහුණේ පිපෙන ආකර්ෂණීය සිනහව ද ලා බොර පැහැති ඇස් ගැඹුරේ වන ගැහැනු හදක් සසල කරවිය හැකි හුදෙකලා ශෝකී බව ද සිහි කර ගන්නට සන්තුෂී ට හැකි විය. ඒ ඉරියව් සියල්ල ඇගේ හිතේ රූප රාමු මවා ලූයේ ය. කෙසේ වෙතත් ඇගේ කතා බහ අනවශ්‍ය ලෙස පෞද්ගලික වූ සෙයක් සන්තුෂී ට දැනිණ. ඇය මොහොතකට යටි තොල් පට සපා ගත්තා ය.

“අලුත් නිවුස් මුකුත් නැද්ද…”

“සදෙව්මා ගැනද…”

“හ්ම්”

“නෑ සන්තුෂී. බලං ඉන්නව ඉතිං…”

“මං හිතුව දූව හම්බ වුණාවත්ද කතා කරන්න කියල…අපිට කෝල් එකක්වත් දෙන්න අමතක වුණේ…”

“එහෙම කෝල් කරන එකත් කරදරයක් වෙන්න පුළුවන්නෙ නේද..”

“හ්ම්”

එවර ඔවුහු දෙදෙන ම එකවර සිනහ වූහ. ඒ වෙලාවේ සන්තුෂී සිටියේ රූපලාවන්‍යාගාරය ඉදිරියේ රිය ගාල් කරමිනි. එදා මුල් වරට ඔහු එතැන රිය හරස් කර ගෙන සිටි ආකාරය ඇයට සිහි විය.

“නිවුස් එකක් තියනවද බලන්නයි කතා කළේ ඉතිං. මං මේ සැලෝන් එක ළඟ කා එක පාක් කරන ගමං. එහෙනං…තියන්නං අංජන”

අංජන හා කීවේ නැත. බොර පාට හීනි ඇස් තවත් හීනි කර ගෙන, ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමූ පසුවත් ඔහු දුරකතනය සවනට තද කර ගෙන සිටියේ ය. පපුව ඇතුළේ සිදු වෙමින් පැවති පෙරළිය කුමක් වුණත් දුරකතනය මේසය මත තබනා ගමන් නිදහස් අතින් පපුව මඳක් පිරිමැද ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles