මල් තුහින -47

රෝගයක් සුව වීම උදෙසා වෛද්‍යවරුන්ගේ කැපවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. රෝගියා ද තමන්ගේ සුවය වෙනුවෙන් පූර්ණකාලීනව කැප විය යුතු වේ. විශ්වාසය සහ අධිෂ්ඨානය ඕනෑම කාර්යයක් සාර්ථක කරගන්නට උදව් වන්නා සේම රෝගයක් සුව වීමට ද බොහෝ පිටුවහලක් වේ.

එහෙත් උත්පලාට නොතිබුණේ එයම ය.

“ඩ්‍රග්ස් වලට ඇඩික්ටඩ් වෙන එක නවත්තාගන්න හරිම අමාරුයි. මං ඒකෙන් ගැළවෙන්න දෙන උත්සාහේ වෙන කිසිම දේකට පාවිච්චි කරන් නෑ කියලා මට හිතෙනවා. ඒ හන්දම මම දන්නවා මොකක්හරි පුරුද්දක් හරි ඇබ්බැහියක් හරි මානසික පීඩනයක් හරි නවත්තගන්න අපි පුළුවන් තරමට උත්සාහ ගන්න ඕනේ”

උත්පලා තමන් සිටින තත්ත්වය අවබෝධ කර නොගැනීම ගැන මලිති සමඟ විස්සෝප වෙමින් තුහින එසේ පැවසුවේ ය.

“මානසික රෝගයක් කියන දේත් හෙම්බිරිස්සාවක් කැස්සක් තරමට සාමාන්‍ය දෙයක් කියලා මිනිස්සු නොහිතන එක තමයි ඔතන තියන අවුල. හොඳටම උගුර රිදෙන්න අරන් කැස්සක් හැදුණම හරි නවත්තන් නැතුව වොමිට් වෙන්න ගත්තම හරි ගින්දර වගේ උණ ගත්තම හරි අපි ලෙඩක් නෑ නෑ කියලා බෙහෙත් නොගෙන ඉන්නේ නෑනෙ. ඒත් අපිට හොඳටම හිත අවුල් කියලා තේරෙනකොටත් ඒ හන්දා අනිත් වැඩ හැමදෙයක්ම පැටලෙනවා කියලා හිතෙනකොටත් ඒකට ඩොක්ට කෙනෙක්ගෙ හෙල්ප් එක ගන්න අපි අකමැති.”

මලිති එසේ කියද්දී තුහිනගේ දෙතොල් අතර සිනාවක් මැවුණේ ය. ඒ එක්තරා කතාවක් සිහි වීම නිසා ය. උත්පලා ඇගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රේමයෙන් ජීවිතය ගෙවන අන්දම ගැන උපදෙස් දුන් ගැහැනියකි. සැමියා තමන්ගෙන් මිදෙන ඕනෑම මොහොතක රස කෑමක් සාදා දී ඔහුගේ සිත දිනා ගත හැකි බව ද සරාගීව හැසිරීම ඔහුව බිරිඳට තව තවත් අලවා තබන බව ද ඇය ලියූ අන්දම ඔහු සිහි කළේ ය.

“ඕක හරි ගැටළුවක් තුහින. මානසික සෞඛ්‍ය ගැන අපේ රටේ මිනිස්සු හිතන විදිය වැරැද්ද ඔතනිනුත් පැහැදිලි වෙනවා. ලස්සනට ගෙයක් අස් කරන හැටි රසට කෑමක් හදන හැටි ගැන අත්දැකීම් අනිත් අනිත් අය එක්ක බෙදා ගන්න තරමටම පවුල් උපදේශනය කරන්නත් තමන්ට පුලුවන් කියලා උත්පලාලා වගේ අය හිතන්න ගන්නවා. එයාලට ඒකට තියෙන එකම සුදුසුකම උයන්න පිහන්න කියාදුන්න දුන්නු පේජ් එකට ෆලෝවර්ස්ලා ලක්ෂයක් දෙකක් එකතු වෙන එක විතරයි. ඇත්තටම මේවා ඛේදවාචක.”

එසේ පැවසූ මලිති වඩාත් ඛේදනීය තත්වය ගැන පැහැදිලි කළේ ඉන් අනතුරුව ය.

“උපදෙස් දිදී හිටපු උත්පලා දැන් ඉන්න තත්වෙ අපිට පේනවනේ. එතකොට ඩොක්ට කෙනෙක්ගෙන් කවුන්සලර් කෙනෙක්ගෙන් ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන මට්ටමක හිටපු කෙනෙක්ට එයා උපදෙස් දෙන්න ගිය එකෙන් කොච්චර විනාශ සිද්ධ වෙන්න ඇද්ද?”

මේ සංවාදය ඇති වූයේ තුහින මලිති දකින්නට ඇගේ නව නිවසට ආ මොහොතේ ය. ඇයට ඕනෑ කරන නිදහස් ජීවිතය සොයා ගත් මිතුරිය ගැන තුහිනට දැනුණේ සතුටකි. මලිති මේ කැප වන්නේ ඇගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට ය. එවැනි අවබෝධයක් තිබීම මොනතරමට වැදගත්දැයි ඔහු නැවත නැවත සිතුවේ ය. උත්පලාට උවමනා දුකෙහි ගැලෙන්නට ය. එය විකුණන්නට ය.

“කෝපි ගෙනාවා. ඕනනම් තව මොනවාහරි බොන්න ගේන්නත් පුලුවං.”

රුවිනි පැමිණියේ එසේ කියාගෙන ය. ඇගේ කිරිකෝපි කෝප්පය අතට ගන්නා අතර තුහිනට කරන්නට තර්ජනයක් ද තිබිණ.

“මෙන්න මේ කෙල්ලව නරක් නොකර ඉන්නවා රුවී. “

දැන් මලිති වැඩිහිටි ගැහැනියකි. ජීවිතයේ ඈ ඇවිද යන මාර්ගය තීරණය කළ යුත්තේ ඇය ය. රුවිනි එසේ කියද්දී මලිති සිනාව අතරින් ම ඔවුන්ගේ කතාබහට හේතු වූ කාරණාව සිහිපත් කළා ය. තුහිනත් රුවිනිත් රණ්ඩු වන්නට පටන් ගතහොත් කතා කරමින් සිටින ඔහු මාතෘකා යට යන බව ඇය අත්දැකීමෙන් ම දැන සිටියා ය.

“ඔයා ඩ්‍රග් ඇඩික්ටඩ් කියලා බෙහෙත් ගන්නවා. මම කාලයක් හිතුවා පැතුම්ගෙ නපුරුකම්වලට මාව ඇඩික්ට් වෙලාද කියලා. මම මලීට නිතරම නවීන්ට ඇබ්බැහි වෙන්න එපා කියලා. ඇත්තටම ලෝකෙ තියෙන නරකම දෙයක් තමයි ඇබ්බැහි වීම කියන්නේ. එතනිනුත් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා තමන්ව දැකලත් නැති දන්නෙත් නැති මිනිස්සු ඉස්සරහ වීරයෙක් වෙන්න හදන මිනිස්සු ඉන්න ඇබ්බැහියෙන් ගැලවෙන්න ඇත්තටම ඒ මිනිස්සුන්ට අමාරුයි. උත්පලා ඉන්නේ ඔන්න ඔය අවදානම් තත්වෙ. එයාට ඇත්තටම ලොකු දුකක් හරි ලොකු සතුටක් හරි ඕනෑ. නැත්තං එයා මාකට් කරන්නෙ මොනවද?”

රුවිනි කතාබහ ඉදිරියට ගෙන යන්නට පටන් ගත්තා ය.උත්පලා මේ විකිණීම් සංකල්පය තුළ අතරමං වූ ගැහැනියකි. ඇය ඉන් මුදා ගැනීම දැන් කෙසේවත් කරන්නට නොහැකි දෙයක් බව තුහින තේරුම් ගනිමින් සිටියේ ය.

“දුව වෙනුවෙන් හරි පවුල වෙනුවෙන් හරි උත්පලා සනීප වෙනවනම් හොඳයි. ඒත් ඩිවෝස් එකත් විකුණලා දුව වෙන් වෙන එකත් විකුණන්න බලන් ඉන්න උත්පලාට මේ වෙලාවෙ තමන් ගැන ඇස් පෑදෙන් නෑ. එයා ඔහොම විකාර කරයි. දිගටම දිගටම විකාර කරයි.”

රුවිනි කතාව අවසන් කළේ එහෙම ය.

“ඔය ඕඩියන්ස් එකේ විසිල් සද්දේ නෑහෙන දවසක් එයි. මට එයා එක්ක නීතිමය බැඳීම ඉවර වුණාට දූට එහෙම ඉවර වෙන්නේ නෑනෙ. උත්පලාට කිසිම ෆෑන් කෙනෙක් නැති දාටත් මගේ දරුවා එයාට ඉතුරු වෙයි. අන්න එදාටවත් දරුවා වෙනුවෙන්වත් සනීප වෙන්න එයා කල්පනා කරන්නේ නැතැයි.”

තුහිනට ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තුව එපමණකි. ඔහු ඒ හන්දාම එසේ සිතුවේ ය.හදවත අත් හරිමින් තිබූ බැඳීම බලහත්කාරයෙන් ජීවිතයට අලවා ගන්නට ඕනෑ නැත. නමුත් ජීවිතය මෙතැනින් අවසන් නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles