සඳරැස් සාලයේ පුටුවකට වැටෙන අන්දමත් එහි විට්ටමේ හිස ගසාගෙන පුටු අත් මතින් දෑත් පහළට වැටෙන්නට ඉඩ හැරියේ ය. දුලන්‍යා බලා සිටියේ ඒ දෙස නොවේ. සාලයේ බිම ඇති අක්කාගේ මංගල දිනයේ ඡායාරූපයක් දෙස ය. මනාලියක වූ අක්කාගේ කර වටා අතක් යැවූ ඔහු එහි හිඳින්නේ ඕනෑවටත් වඩා හිනැහීගෙන ය.
ඔහුට අද හිනැහෙන්නට අමතක ගාණ ය.
“මං ඇනෙක්ස් එකෙන් අයින් වුණා. කීස් බාර දුන්නා. ගෙයක් හොයාගන්න යන ගමන්.”
ඔහු එසේ කියන්නේ කාටදැයි ඇය සිතුවා ය.
“දුලාජ් අයියා ඔයාට හැමදාම කියනවනෙ මල්ලි. මෙන්න මෙහෙ නවතින්න ඇවිල්ලා”
තාරකා අක්කා එසේ කියද්දී සඳරැස් බැලුවේ අක්කා දෙස නොවේ, දුලන්‍යා දෙස ය.
“අනේ ඔයාලටත් කරදරේ!”
ඔහු කියන්නේ පුදුම කතාවකි. අනෙක් අතට ඒ කතාව ඇය දෙස බලාගෙන පැවසීම ගැන දුලන්‍යා කෝප ගත්තා ය. අක්කාගේ නිවසේ නතර වන්නට ඇති හිරිහැරය ඇය වාගේ කතා කිරීම බොහොම නරක වග කියන්නට දුලන්‍යාට ඕනෑ විය.
“කෝලං කියන්න එපා මල්ලි. මේ පුංචි කෙල්ල බලාගත්තට අපි මේ අලියෙක් වගේ ඉන්න ඔයාව බලාගන් නෑ. තමන්ගෙම කියලා ගේකට යන දවසක් එනකම් මෙන්න මෙහෙ ඉන්නව”
ඔහු හිස සලයි. ඒ තාලයට ය. අනතුරුව තාරකා අක්කා දෙස බැලූ සඳරැස් හිනාවක් පිපෙන්නට ඉඩ හැරියේ ය. එක්වරම හිනැහෙන කොල්ලන් ඕනෑතරමට දැක තිබුණ ද ක්‍රමානුකූල සිනාවකට පිපෙන්නට ඉඩ දෙන කොල්ලෙකු දුටු විට අහක නොබලන්නට දුලන්‍යාට සිතිණ.ඇය තව ඕනෑතරම් වෙලාවක් ඔහු දෙස බලා හිඳින්නට සිතුවා ය. එහෙත් ඒ සිතුවිල්ල හදිසියේම බොඳ වූයේ ඔහු හන්දා ය. ඔහුගේ දෑස ඇය මත වැටී තිබේ.සඳරැස්ව ජීවිතයේ ප්‍රථම වතාවට දුටු පරිද්දෙන් දුලන්‍යා සසැළුණා ය. එහෙව් බැල්මක්!
“මෙයාව වගේ මාවත් බලාගන්න වෙයි.”
සඳරැස් එසේ කියද්දී දුලන්‍යාගේ කම්මුල් රත් පැහැ ගැනිණ. ඇය ලැජ්ජාශීලිව අක්කා දෙස බැලුවා ය. ඔහු අනාරාධිතවම කෑම මේසයට පැමිණ දුලන්‍යා අසලින් අසුන් ගත්තේ ය.
“ඔයා මොකද මෙහෙ ආවේ? ගෙදරටත් කිට්‍ටු එකේ පේරා යන්න තිබ්බනෙ”
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තාත්තා සේවය නොකරන බව කියන්නට දුලන්‍යාට උවමනා ය. නමුත් ඇය ඉතා වැදගත් ස්වරයකින් ඇගේ ප්‍රතිඵල සෑහෙන්නේ ජයවර්ධනපුර සරසවියට බව හෙළි කළා ය.
“මෙයා ස්ටිකරයක් වගේ දුලාජ් අයියලගෙ අම්මට ඇලිලා නේද ඉන්නේ අක්කා. රෑට අඬනවද දන්නෑ.”
ඔහු කියයි. මුල්ම දවසේ ටිකක් හැඬූ බව ඔහුට කියන්නට තරම් ඇයට ඕනෑ විය. ඇය උදව් පතා අක්කා දෙස බැලුවා ය.
“ඔන්න ඔය ළමයට ඉන්න අරිනවා.”
තාරකා අක්කා අවසාන තීන්දුව දෙද්දී සඳරැස් සිටියේ හිත හොල්ලාගෙන ය. අක්කා හැරෙන්නට ලෝකයේ විශ්වාස කළ හැකි කිසිම ගැහැනියක නැති බව හිතන ඔහුට මේ කම්මුල් රත්පැහැ කර ගන්නා කුඩා කෙල්ල සමඟ දිගින් දිගටම කියවන ආවේගයක් ඇති වී තිබිණ.
“ගෑනු කවදාවත් ඇත්තටම ආදරේ කරන්නෙ නෑ.”
සඳරැස් දන්නා කාලයේ පටන් එසේ සිතුවේ ය. එය එසේ නොවුණානම් අම්මා ඔවුන් අත් හැර නොයන්නී ය. ඇයට දරුවන් දෙදෙනෙකු වැදූ පසු තාත්තාට වඩා වෙනත් ප්‍රේමවන්තයෙකු හොඳ වන්නට කිසිම සාධාරණ හේතුවක් තිබෙන්නට නොහැකි බව ඔහු සිතයි. එය විශ්වාස කරන ඔහුට ගැහැනුන් කියන්නේ නිකම්ම නිකම් මායාවකි.
“මෙයත් මේ බබා මූණෙන් ඉන්නේ ටික දවසයි. තව ටික දවසක් යනකොට කැම්පස් එකේ කොල්ලො කීදෙනෙක්ට ගින්දර දෙයිද දන් නෑ.”
සඳරැස් එසේ සිතුවේ දුලන්‍යා දෙස බලමිනි. දුලාජ් අයියා කියන්නේ හොඳ මිනිසෙකි. නමුත් නංගි එසේ විය හැකි බව කියන්නට නොහැකි ය.
“රිද්මි”
දුලන්‍යා ඔහුගේ නාද වන දුරකථනය දෙස බැලුවේ එය නාද වෙද්දී ය. එහි සටහන් වූයේ ඒ නම ය. දෙතොල් පෙති ලිහී ක්‍රමයෙන් හට ගන්නා සිනාව වෙනුවට ඔහු පුළුල් සිනාවක් නැඟී ය. එතරමට හිනැහෙන්නටත් දුරකථනය ගෙන නිවසින් පිටතට යන්නටත් ඔහුට හේතුවක් තිබේදැයි ඇය සිතුවා ය.මතක හැටියට ඔහු ඇයට වඩා වසර පහක්ම වැඩිමහළු ය. ඉතින් ඔහුට අනිවාර්යයෙන් පෙම්වතියක ඉන්නට ඕනෑ ය. ප්‍රේමය පහළ වන්නටත් පෙර මිය යන බව කියන්නේ මෙවැනි තැනකට බව දුලන්‍යාට සිතිණ.
“මොකද අනේ ඔෆිස් ආවේ නැත්තෙ? කියන්නෙත් නැතුව එන්නේ නෑ. වැඩ ගොඩ ගැහිලා”
රිද්මි බනින්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. සඳරැස් සමච්චලයට හිනැහුණේ ය. ඇය ඊයේ කොණ්ඩය වර්ණ ගන්වා ඡායාරූප කිහිපයක් එවා තිබිණ. අද ඇයට උවමනා ඒ කෙස් කළඹ සජීවීව පෙන්වන්නට බව ඔහුට සිතේ.
“ඔව්චර නහිනකම් තමන්ගෙ හස්බන්ඩ් ගාවට යනවකො හලෝ”
ඔහු එසේ කියද්දී රිද්මිගේ වචන සිංහලට මාරු විය. ඒ හඬ වඩාත් ප්‍රේමණීය වේ.
“දාලා යන්න බැරි දේවලුත් මෙහෙ තියනවනෙ සඳරු.”
සඳරැස් අසංවර සිනාවක් නැඟී ය.රිද්මි එනපොට ඔහුට නොතේරෙනවා නොවේ. අම්මා ද “අර මිනිහා” වශී කරගන්නට ඇත්තේ මේ ආකාරයට බව සිතද්දී ඔහුට පුදුමාකාර කෝපයක් දැනේ. එහෙත් ඔහු ඒ කෝපය පාලනය කර ගත්තේ ය. මේවාට සැලකිය යුත්තේ ඉක්මන් වී නොවන බව සඳරැස් සිතයි.
“කෝල් එකක් ආවම එළියට දුවන්න පුලුවං. ඒත් තමන් ගැන හිතන්න බෑ.”
තාරකා මල්ලිට එසේ දෝෂාරෝපණය කළේ දුලන්‍යා සමඟ ය. ඒ ඔහුගේ පෙම්වතියදැයි අසන්නට දුලන්‍යාට සිතිණ. එහෙත් එයට පෙර තාරකා කතා කළා ය.
“ඔය මනුස්සයා කිසිම සීරියස් ලව් එකක් තියාගන්නෙත් නෑනෙ නංගි. මට තේරෙන් නෑ අපේ මල්ලි ගැන. කෙල්ලෙක් නැති වෙන්න හේතුවක්වත් මට තේරෙන් නෑ.”
දුලන්‍යාට මේ වනතුරු ආදරයක් ඕනෑ වූයේ නැත. විශ්ව විද්‍යාලයේදී හොඳ සහකරුවෙකු සොයා ගන්නැයි අම්මා කියන්නේ අයියා ආදර්ශයට ගනිමිනි. එහෙත් දුලන්‍යාට එවැනි උවමනාවක්වත් නොතිබිණ.
“කවුද කෝල් කරේ?”
නැවත නිවස තුළට එන සඳරැස්ගෙන් තාරකා ඇසුවා ය. ඔහු දෙන පිළිතුර අසා හිඳින්නට නොහැකි තරමේ බියක් ඇති වන්නේ ඇයිදැයි දුලන්‍යාට සිතේ.
“රිද්මි.”
ඒ පිළිතුරට තාරකා දෑත් ඉඟට ගත්තා ය.
“ඒ ළමයගෙ වෙඩින් එකටත් තමුසෙ ගියේ. හැංගි හැංගි කතා කරන්නේ මොකටද?”
සඳරැස් හිනැහුණේ උස් හඬකිනි. දෙතොල් ලිහී පිපෙන සිනාව මිසක ඒ හිනාව ලස්සන නැතැයි කියන්නට දුලන්‍යාට ඕනෑ විය.
“ප්ලේ බෝයි කෙනෙක් වෙන්නෙපා ඕයි. ලැජ්ජා නැද්ද? ගෑනුන්ගෙ කසාද කඩන් නැතුව ඉන්නවා.”
අක්කා බැන වදිද්දී පවා ඔහු හිනැහේ. දුලන්‍යාට කාමරයට ගොස් සැඟවෙන්නට ඕනෑ විය. ඇය අසුනින් නැගිටිද්දී ඔහුගේ හඬ ඇසිණ.
“කසාද කඩා ගන්නේ ගෑනු හලෝ. දැන් ඔයාට අයියා අමතක කරලා වෙන මොකෙක් හරි එල්ලා ගන්න ඕනද? නෑනෙ? ඒ වගේ උන් ඉන්නේ සීයට එකයි දෙකයි. ඉන්න තරමක් ඉන්නෙ වල් ගෑනු.”
එසේ ලේබල් අලවන්නට සඳරැස්ට ඇති අයිතිය අසමින් තාරකා අක්කා මහා සංග්‍රාමයක් අරඹා තිබිණ. දුලන්‍යා කාමරයට ආවා ය. ඇයට හඬන්නට ඕනෑ විය.